සාක්ෂි කූඩුවේත් විත්තිකරුවෙක්...

ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී රජයට රුපියල් කෝටි 14ක මුදලක් ව්‍යපහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේදී අතිශය ආන්දෝලනාත්මක කරුණු රැසක් අනාවරණය වී තිබේ. පසුගියදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, පැමිණිල්ලේ 155 වන සාක්ෂිකරු ලෙස පෙනී සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ සෞඛ්‍ය කළමනාකරණ සහායක කෝරාධිපති නිහාල් රංජිත් මහතාගෙන් විත්තියේ නීතිඥවරුන් සිදුකළ හරස් ප්‍රශ්න ඇසීමේදී, ඔහු සහ ප්‍රධාන ඖෂධ සැපයුම්කරුවෙකු අතර පැවති අසාමාන්‍ය දුරකථන සබඳතාවක් පිළිබඳව දැඩි සැකසංකා මතු විය.

Jul 13, 2026 - 20:43
 70
සාක්ෂි කූඩුවේත් විත්තිකරුවෙක්...

2026 ජූලි මස 10 වැනිදා
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය.

සාක්ෂි කූඩුවේත්


විත්තිකරුවෙක්...


කෙහෙළිය බාල ඖෂධ නඩුවේ 155 වන සාක්ෂිකරු 

සැපයුම්කරුවෙකු සමඟ කළ ඇමතුම් 180ක රහස් එළියට... 

සාක්ෂිකරු සී. අයි. ඩීය 

අත්අඩංගුවට නොගෙන
 
සාක්ෂිකරුවෙකු කළේ ඇයිදැයි

විත්තියට සැකයක්...


අධිකරණ වාර්තාකරු.

ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී රජයට රුපියල් කෝටි 14ක මුදලක් ව්‍යපහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේදී අතිශය ආන්දෝලනාත්මක කරුණු රැසක් අනාවරණය වී තිබේ. පසුගියදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, පැමිණිල්ලේ 155 වන සාක්ෂිකරු ලෙස පෙනී සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ සෞඛ්‍ය කළමනාකරණ සහායක කෝරාධිපති නිහාල් රංජිත් මහතාගෙන් විත්තියේ නීතිඥවරුන් සිදුකළ හරස් ප්‍රශ්න ඇසීමේදී, ඔහු සහ ප්‍රධාන ඖෂධ සැපයුම්කරුවෙකු අතර පැවති අසාමාන්‍ය දුරකථන සබඳතාවක් පිළිබඳව දැඩි සැකසංකා මතු විය.


එහිදී හෙළිදරව් වූයේ ඖෂධ සැපයුම්කරුවෙකු වන සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තා සමඟ සාක්ෂිකරු වසරක පමණ කාලයක් තුළ 180 වතාවකට වඩා දුරකථනයෙන් සන්නිවේදනය කර ඇති බවයි. මෙම අනාවරණයත් සමඟ වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් සහ සැපයුම්කරුවන් අතර පැවති අනිසි ගනුදෙනු සහ වංචනික ක්‍රියාවලට සාක්ෂිකරුගේ ඇති සම්බන්ධතාවය පිළිබඳව විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ දැඩි ප්‍රශ්න කිරීම් සිදු කළේය.


මුල් ලේඛන සහ අනුමැතීන් පිළිබඳ මෙහෙයවීම්

නඩු විභාගයේ මුල් භාගයේදී නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය විසින් සාක්ෂිකරු මෙහෙයවනු ලැබීය. එහිදී වෛද්‍ය සැපයුම් ඒකකය හරහා සිදුකළ ගෙවීම් වවුචර්, ඉන්වොයිස් පත්, මිල තහවුරු කිරීමේ මුද්‍රා (Price Confirm) සහ භාණ්ඩ ලැබීමේ සටහන් (GRN) සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු විමසන ලදී.


ඇතැම් ඉන්වොයිස් පත් සඳහා මිල තහවුරු කිරීමේ මුද්‍රා තබා නොතිබූ බවත්, ඒවා ගෙවීම් සඳහා සකස් කර තිබුණේ නසීර් නැමැති නිලධාරියා විසින් බවත් සාක්ෂිකරු පිළිගත්තේය. තවද, නිරාන් ධනංජය නැමැති නිලධාරියාගේ නිර්දේශය මත වෛද්‍ය කපිල වික්‍රමනායක අධ්‍යක්ෂවරයා විසින් අනුමත කරන ලද රුපියල් ලක්ෂ ගණනක ගෙවීම් වවුචර් සහ ප්‍රමාද ගාස්තු (Late Charges) අයකිරීම් පිළිබඳ ලේඛන රැසක් ද සාක්ෂිකරු විසින් හඳුනාගන්නා ලදී.


එහිදී, අදාළ ලිපිගොනු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් පසුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු වූයේ මන්දැයි නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළාය. ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු කියා සිටියේ, අදාළ වවුචර්පත්වල වටිනාකම නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට අනුමත කළ හැකි මූල්‍ය සීමාව ඉක්මවා තිබූ බැවින් එය ඉහළ නිලධාරීන් වෙත යොමු කර ඇති බවයි.


සැපයුම්කරු සමඟ පැවති අසාමාන්‍ය දුරකථන සබඳතාව

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරියගේ ප්‍රශ්න කිරීම් නිමවීමෙන් පසු, නඩුවේ 11 වන විත්තිකරු වන වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න මහතා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය. එහිදී සාක්ෂිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ලබා දී ඇති ප්‍රකාශ පිළිබඳව අවධානය යොමු කෙරිණි.


සාක්ෂිකරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ තුනක් ලබා දී ඇති අතර, ඉන් අවසන් ප්‍රකාශය ලබා දී ඇත්තේ 2025 මැයි මාසයේදීය. එම අවස්ථාවේදී සී.අයි.ඩී. නිලධාරීන් සාක්ෂිකරුගෙන් ඔහුගේ දුරකථන සංවාද දත්ත වාර්තා (CDR) පදනම් කර ගනිමින් ප්‍රශ්න කර තිබේ. නීතිඥවරයා නැඟූ ප්‍රශ්න හමුවේ සාක්ෂිකරු පිළිගත්තේ, වෛද්‍ය සැපයුම් අංශයට මුහුණු ආවරණ (Face Masks) ඇතුළු අයිතම 32ක් සැපයූ දේශීය සැපයුම්කරුවෙකු වන සුදත් ජානක ප්‍රනාන්දු නැමැත්තා සමඟ තමන් සමීප සන්නිවේදනයක නිරත වූ බවයි.


විශේෂයෙන්ම 2022 ජනවාරි මාසයේ සිට 2023 ජනවාරි මාසය දක්වා වූ වසරක කාලය තුළ මෙම සැපයුම්කරු සහ සාක්ෂිකරු අතර ඇමතුම් 180ක් හුවමාරු වී ඇති බව නීතිඥවරයා පෙන්වා දුන්නේය. තවද, 2022 සැප්තැම්බර් සිට 2023 ජනවාරි දක්වා වූ මාස කිහිපය තුළ පමණක් ඇමතුම් 52ක් හුවමාරු වී ඇතැයි විත්තියේ නීතිඥවරයා තර්ක කළද, සාක්ෂිකරු කියා සිටියේ තමන්ට ඒ පිළිබඳව නිශ්චිතව මතකයක් නොමැති බවයි.


විත්තියේ චෝදනාව සහ සාක්ෂිකරුගේ බේරීම

සැපයුම්කරු සමඟ පැවති මෙම අසාමාන්‍ය දුරකථන ඇමතුම් ප්‍රමාණය පිළිබඳව නීතිඥ අමිත ආරියරත්න මහතා දැඩි සේ ප්‍රශ්න කරමින් කියා සිටියේ, සාක්ෂිකරු අධිකරණයට කරුණු වසන් කරමින් "මතක නැතැයි" පවසමින් බොරු කියන බවයි. රාජකාරි මට්ටමින් මෙතරම් විශාල ඇමතුම් සංඛ්‍යාවක් තනි සැපයුම්කරුවෙකු සමඟ පමණක් පැවැත්වීම බරපතළ සැකයකට තුඩු දෙන කරුණක් බව විත්තිය පෙන්වා දුන්නේය.


ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු ප්‍රකාශ කළේ, ආයතනය තුළ සිට සම්බන්ධීකරණ කටයුතු සහ කමිටු වැනි දෑ සංවිධානය කරන්නේ තමන් බැවින්, රාජකාරි අවශ්‍යතාව මත එවැනි ඇමතුම් ලබා ගන්නට ඇති බවයි. තමන් EOI (උනන්දුව ප්‍රකාශ කිරීමේ) යෝජනා ක්‍රමයේ ලිපි ලේඛනවලට සම්බන්ධ නොවූ බවත්, පරිගණක පද්ධතියට මිල ගණන් ඇතුළත් කිරීම සහ වවුචර්පත් සකස් කිරීම පමණක් සිදුකළ බවත් ඔහු පැවසීය.


මෙහිදී විත්තියේ නීතිඥවරයා අතිශය තීරණාත්මක චෝදනාවක් කරමින් කියා සිටියේ, අදාළ දූෂිත ඖෂධ ජාවාරම සිදුවූ කාලසීමාව තුළ සාක්ෂිකරු සැපයුම්කරුවන් සමඟ මෙතරම් සමීප සබඳතා පවත්වා තිබියදීත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අත්අඩංගුවට ගැනීමට උත්සාහ නොකළ බවයි. කිසිදු කරදරයකින් තොරව ඔහුව නඩුවේ සාක්ෂිකරුවෙකු බවට පත්කර බේරා හැරීමට කටයුතු කර ඇති බව නීතිඥවරයා අධිකරණයේදී සෘජුවම ප්‍රකාශ කළේය. සාක්ෂිකරු ද තමන් නඩුවේ සාක්ෂිකරුවෙකු වූ බව පිළිගත්තේය.


මෙම අසාමාන්‍ය දුරකථන සංවාද පිළිබඳව සැකය තවදුරටත් ඉස්මතු කරමින් සාක්ෂිකරුගෙන් විත්තියේ හරස් ප්‍රශ්න විමසීම ඉදිරියටත් සිදු කිරීමට නියමිතය. ඒ අනුව වැඩිදුර නඩු විභාගය 13 වැනිදාට කල් තැබීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නියෝග කළේය.


එදින පැවැත්වූ නඩු විභාගයේ වාර්තාව මෙසේය.

ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී රජයට පාඩු කළේ යැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 12 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුව පසුගිය 10 වැනිදා විභාගයට ගැනුණු අවස්ථාවේ පැමිණිල්ලේ 155 වන සාක්ෂිකරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ සෞඛ්‍ය කළමනාකරණ සහායක කෝරාධිපති නිහාල් රංජිත්, නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගමගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් මෙසේ ප්‍රකාශ කළේය.


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබේ ගොනුවේ ඇති 30 පිටුවේ ඉන්වොයිසියේ ඡායාපිටපතේ ඔරිජිනල් පිටපත වන්නේ 90 ගොනුවේ ඇති. ඉන්වොයිසිය ද බලන්න.

සාක්ෂිකරු  ; ඔව් ඒක තමයි ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එහි මිල තහවුරු කරන මුද්‍රා තබා තිබේද?

සාක්ෂිකරු ; නැහැ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙම ඉන්වොයිසිය ගෙවීම්වලට ඉදිරිපත් කළා. එහි GRN පොදුවේ තිබෙනවාද? 

සාක්ෂිකරු ;  ඔව් ස්වාමීනි. 

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; මෙය හදා ඇත්තේ කවුද?

සාක්ෂිකරු ; නසීර් මහතා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; නසීර් මහතා එය සකසා නිර්දේශයට මිනිට් සටහනක් තබා තිබේද?

සාක්‍ෂිකරු ; එසේය ස්වාමීනී. 

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; ඒ කොතනද? 

සාක්ෂිකරු ; එහි තුන්වැනි සටහනේ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 362 හි නසීර් තව වව්චර් පත් කීයක් යොදා ඇත්ද?  

සාක්ෂිකරු ; තුනක් , 396, 397, හා 398 .

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එය නිර්දේශ කළේ කවුද?

සාක්ෂිකරු ; නිරාන් ධනංජය මහතා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබේ ගොනුවේ 33 පිටුවේ ඇති ඡායස්ථ ඉන්වොයිසියේ පිටපත 92  ගොනුවේ 44 පිටුවේ තිබෙන  බව දන්නවද ? 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 363 ලේඛනය ගෙවීම් සඳහා ඔබේ අංශයට ලැබුණේ කවදාද?

සාක්ෂිකරු ; 2023/08/08 වැනිදා. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 365 සකසා ඇත්තේ කවුද?

සාක්ෂිකරු ; නසීර් මහතා. ඔහු වම් පස අත්සන් කර තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඊට නිර්දේශ ලැබී තිබේද?

සාක්ෂිකරු ; ඔව්... නිරාන් ධනංජය මහතාගෙන්. එය කපිල වික්‍රමනායක අධ්‍යක්‍ෂතුමා අනුමත කර තිබෙනවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; මෙම ඉන්වොයිසියට අදාල GRN තිබේද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ගෙවීම් වවුචරයේ අංකය කීයද?

සාක්ෂිකරු ; 000 0000 464 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 373 ට අදාල මිනිට් සටහන කොහෙද තියෙන්නේ?

සාක්ෂිකරු ; 2023/08/17 හතර වෙනියට තියෙන සටහන.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබේ ගොනුවේ 45 පිටුවේ ඡායාස්ථ පිටපතක් සහිත ඉන්වොයිස් පත හඳුනාගත හැකිද?

සාක්ෂිකරු ; ඔව් එහි මුල් පිටපත 92 ගොනුවේ තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඒ මත Price conform මුද්‍රාව තබා තිබේද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහි මුල් ලේඛනය 92 ගොනුවේ 39 ලේඛනය නේ

සාක්ෂිකරු ; ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 374, 375 ගෙවීම්වලට අදාල ඩුප්ලිකේට් ඔබේ ගොනුවේ කොයි පිටුවද? 

සාක්ෂිකරු ; 47 පිටුව. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 376 නිර්දේශයට යැවූ රිසිට් පත හඳුනාගන්න පුළුවන්ද?

සාක්ෂිකරු ; ඔව් පුළුවන් ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; කවුද එය නිර්දේශ කළේ?

සාක්ෂිකරු ; නිරාන් ධනංජය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පිටු අංක 54 හි ෆොටෝ කොපි invoice එක 92 ගොනුවේ තිබෙනවාද?

සාක්ෂිකරු ; තිබෙනවා ස්වාමීනි.

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; 64 ගොනුවේ 2V 34 ලේඛනය බලන්න. එහි තිබෙන වගුවේ ගෙවීම් වව්චර්වල අගයන් ඔබ කලින් හඳුනා ගත් ඒවාද.?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මෙහි සඳහන් late charges යනු මොනවාද?

සාක්ෂිකරු ; ඇණවුම දෙන්න ප්‍රමාද වුණොත් ඒ දින සඳහා අය කරන ප්‍රමාද ගාස්තුව.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙහි කොපමණ අය කර තිබෙනවාද? 

සාක්ෂිකරු ,; රු 314,64ක් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මේ ගැනුම් ඇනවුම නිකුත් කරන්න ඇත්තේ කවුද?

සාක්ෂිකරු ; වෛද්‍ය හේරත් මහතා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එහි ඩිළිවරි. shedule තිබුනේ කවදද ? 

සාක්ෂිකරු ; 2022 දෙසැම්බර් 17දා 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එහි ප්‍රමාද ගාස්තු අය කළාද?

සාක්ෂිකරු ; ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ බව සඳහන් වන්නේ කොතැනද? 

සාක්ෂිකරු ; වව්චරයේ  වටිනාකමට පහළින් අඩු කිරීමේ ලකුණක් දාලා අඩු කරලා පෙන්වනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය; බලන්න මෙයට අනුමැතිය හා නිර්දේශ ලැබිලද කියලා?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී. නිරාන් ධනංජය මහතාගේ නිර්දේශ හා අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක මහතාගේ අනුමැතිය ලැබිලා. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 2V 39 වගුවේ ICL /P/ 2/ 15 / 2022 තීරුවේ ප්‍රමාද ගාස්තු අයකර තිබේදැයිි බලන්න?

සාක්ෂිකරු ; ඔව් තිස් හතර අයිතමයට ප්‍රමාද  ගාස්තු 889524.24 අය කරලා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; එම ප්‍රමාද ගාස්තු අය කරන ලද වව්චර පත හඳුනාගත හැකිද?

සාක්ෂිකරු ; ඔව් පුළුවන්.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 52 ගොනුවේ අට පිටුවේ වව්චර් පත බලන්න. එහි අංකය කුමක්ද?

සාක්ෂිකරු ; 000007142 ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය හඳුනා ගත හැකිද?

සාක්ෂිකරු ; පුළුවන් ස්වාමීනී. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; එහි ප්‍රමාද ගාස්තු සකසා ඇත්තේ කෙසේද?

සාක්ෂිකරු ; වව්චරයේ වටිනාකමට පහළින් සෘණ ලකුණක් යොදා අඩුකර අගය පෙන්වනවා

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මෙහි ඡායාස්ථ පිටපතට ඩුප්ලිකේට් ඡායාස්ථ පිටපත අධිකරණයට ඉදිරිපත් කළ හැකිද?

සාක්ෂිකරු ; පුළුවන් ස්වාමීනී. 

නියෝජ්‍ය සොලිසිටර්  ජනරාල්වරිය  ; 2V 39 ලේඛනයේ අංක 9 යටතේ කෑෂ් අගය නැති බව පෙනෙනවා. නමය තීරුවේ ප්‍රමාද ගාස්තු අයකර තිබෙනවා.

සාක්ෂිකරු ; 00000 70 741 වව්චර් පත අනුව රුපියල් 3 540 289. 48ක් 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එයට අනුමැතිය හා නිර්දේශය ලැබී තිබේද?

සාක්ෂිකරු ; එහි කාබන් පිටපත් මුද්‍රාව නැති නිසා නිර්දේශ කපිල වික්‍රමනායක මහතාගේ විය යුතුයි. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මිනිට් සටහන්වල නිර්දේශ හඳුනාගත හැකිද?

සාක්ෂිකරු ; ඝනකාධිකාරී සැපයුම් , අධ්‍යක්ෂ සැපයුම් හා ඉන් ඉදිරියට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සැපයුම්...

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඊළඟට ගොනුව කාටද ගියේ?

සාක්ෂිකරු ; සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඇයි මේක එහෙම ගියේ?

සාක්ෂිකරු ; මෙම වව්චරයේ වටිනාකම නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට අනුමත කළ හැකි ප්‍රමාණය ඉක්මවා ඇති නිසා විය යුතුයි. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022/12/27 EOI ප්‍රගතිය සම්බන්ධව සැපයුම්කරුවන්ට යැවිය යුතු ලිපිය 68 පිටුවේ තිබෙනවා. එයට අත්සන් කළේ කවුද?

සාක්ෂිකරු ; වෛද්‍ය කපිල වික්‍රමනායක.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මුද්‍රා තැබුවද?

සාක්ෂිකරු ; ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එම රැස්වීම පැවැත්වෙන බවට දැනුම් දුන්නේ කවදාද?

සාක්ෂිකරු ; ජනවාරි 17.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරියගේ, ප්‍රශ්න නිමාවූ අතර විත්තියේ හරස් ප්‍රශ්න ආරම්භ විය.

ආරම්භයේ 11 වන චූදිත වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන වෙනුවෙන් නීතිඥ අමිත ආරියරත්න හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය. 

නීතිඥ ; ඔබට accountan (Supply) division එකේ රාජකාරි කරලා පුරුද්දක් ඇති. 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී. 

නීතිඥ ; ඔබට මතකද ඔබ සී. අයි. ඩීයට ප්‍රකාශ කීයක් දුන්නද කියලා?

සාක්ෂිකරු ; ඔව්... තුනයි.

නීතිඥ ; අවසන් එක 2025 මැයි කිව්වොත් හරිද? ඒ තුන්වෙනි අවස්ථාවේ ප්‍රකාශය ගනිද්දි නේද ඔබේ දුරකථන සංවාද ගැන ප්‍රශ්න කළේ? සුදත් ජානක ප්‍රනාන්දු නමැති අයෙක් සමග කළ දුරකථන සංවාද ගැන ප්‍රශ්න කළේ?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.

නීතිඥ ; ඔහු වෛද්‍ය සැපයීම් අංශයට සැපයීම් කළ කෙනෙක්.

සාක්ෂිකරු ; ඔව්.

නීතිඥ ; එම තැනැත්තා සමග 2022 ජනවාරි සිට 2023 ජනවාරි දක්වා ඇමතුම් 180 ක් අරන් තිබුණා. 

සාක්ෂිකරු ; එසේය ස්වාමීනී. 

නීතිඥ ; ඔබෙන් ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇසුවා නේද?

සාක්ෂිකරු ; දේශීය සැපයුම්කරුවන්ගේ අයිතම 32 ක් තිබුණා. ඔහු ෆේස් මාස්ක් ඇතුළු අයිතම සැපයූ කෙනෙක්. spc හරහාත් අයිතම සපයනවා. එවැනි රාජකාරී වෙනුවෙන් ඇමතුම් ගත්තේ.

නීතිඥ ; සුදත් ජානක ප්‍රනාන්දු සමඟ ඇමතුම් 180 ක් ලබාගෙන ඇතැයි ඔබ පිළිගෙන තිබෙනවා.

සාක්ෂිකරු ; ආයතනය තුළ ඉඳගෙන සම්බන්ධීකරණ කටයුතු කරද්දී, දුරකථනයෙන් තමයි සම්බන්ධ වෙන්නේ.

නීතිඥ ; වෙනත් ඒවා ගැනත් ප්‍රශ්න කළාද? විශේෂයෙන් ඔබෙන් ඇහුවේ සුදත් ජානක ප්‍රනාන්දු ගැන විතරයි නේද?

සාක්ෂිකරු ; මතක නැහැ...

නීතිඥ ; ඉන්පසු විශේෂ කාරණය 2022 සැප්තැම්බර් සිට 2023 ජනවාරි දක්වා ඇමතුම් 52ක් ලබාගෙන තිබීමයි. 

සාක්ෂිකරු ; මට ඒ ගැන මතක නෑ. 

නීතිඥ ; මම කියන්නේ 2022 සැප්තැම්බර් ඉඳලා 2023 ජනවාරි දක්වා ඇමතුම් 52 ක් හුවමාරු කරගෙන ඇති බවයි.

සාක්ෂිකරු ; මට මතක නැහැ...

නීතිඥ ; සැපයීම් කටයුතු ගැන විමසුවා කිව්වා නේද? ඇමතුම් 52 ගැන ඔබට විතරක් කී දේ මතක නැද්ද?

සාක්ෂිකරු ; නැහැ.

නීතිඥ ; ඔබ බොරු කියනවා අමතක බවට.

සාක්ෂිකරු ; සැපයුම් සිදු කරන අවස්ථාවල සාකච්ඡා කර තිබෙනවා. සාකච්ඡාවල කමිටු ආදී සියල්ල සම්බන්ධීකරණය කරන්නේ මම. ඒ වගේ අවස්ථාවල ගන්නන ඇති. 

නීතිඥ ; අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බිල්පත් ඉදිරිපත් කළාද?

සාක්ෂිකරු ; නැහැ.

නීතිඥ ; කිසිම බිල්පතක් පරිශීලනය කළේ නැද්ද? දුරකථන ඇමතුම් 180 ක් තිබිලා තියෙනවා.

සාක්ෂිකරු ; මට නෙමෙයිනේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවනේ නිරීක්ෂණය කළේ. අපේ රාජකාරී සඳහා ඇමතුම් ගත්තා.

නීතිඥ ; ඒ තරම් ඇමතුම් ගත්තෙ ඇයි කියලා ඇහුවම ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඕක කීවා. නමුත් EOI යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වුණ කාලේ ලිපි කටයුතු වුනා. 

සාක්ෂිකරු ; මම EOI වැඩ කළේ නැහැ. වව්චර් පත් හදන්න විතරයි සම්බන්ධ වුණේ. පරිගණක පද්ධතියට මිල ඇතුළත් කිරීමයි මම කරන්නේ. 

නීතිඥ ; ඔය කාල සීමාව තුළ ඔබ වෛද්‍ය සැපයුම් අංශයෙන් නිලධාරීන් සැපයුම්කරුවන්ට කතා කළා. ඔබ ඇමතුම් 180 ක් ම ගත්තේ රාජකාරි හේතූන්වලටද කියලා ප්‍රශ්න ආවෙත් නැහැ. ඔබ කිසිම කරදරයක් නැතුව සාක්ෂිකාරයෙක් වුණා. සී. අයි. ඩීය ඔබව අත්අඩංගුවට ගන්න හැදුවද?

සාක්ෂිකරු ; නැහැ.

නීතිඥ ; කෙසේ හෝ අවසානයේ ඔබ මේ නඩුවේ සාක්ෂිකාරයෙක් වුණා.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි. 

සාක්ෂිකරුගෙන් තවදුරටත් විත්තියේ හරස් ප්‍රශ්න විමසීමට නියමිතය. නඩුව ලබන 13  වනදා යළි විභාගයට ගැනේ.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0