ලක්මිණි පටලවයි සාක්කිකරු පැටලෙයි...
“මට යම් පැටලීමක් සිදු වුණා ස්වාමීනී... මට තාමත් ඒක පැටලිලා තියෙන්නේ,” යැයි ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලක එච්. එම්. ඩී. එන්. බණ්ඩාර මහතා පසුගිය10 වනදා ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අසරණව ප්‍රකාශ කරමින් පැමිණිල්ලේ හා විත්තියේ නීතිඥවරුන් එල්ල කළ තියුණු සහ පීඩනාත්මක හරස් ප්‍රශ්න මාලාව හමුවේ වචන පටලවා ගනිමින් සාක්ෂි ලබා දුන්නේය.
2026 ජුනි මස 10 වැනිදා
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය
ලක්මිණි පටලවයි
සාක්කිකරු පැටලෙයි...
පැමිණිල්ලේ සාකිෂිකරු “මට පැටලුනා” කියමින්
උසාවියේදී පරස්පර ප්‍රකාශයන් රැසක් ලබාදීලා..!
අධිකරණ වාරතාකරු
“මට යම් පැටලීමක් සිදු වුණා ස්වාමීනී... මට තාමත් ඒක පැටලිලා තියෙන්නේ,” යැයි ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලක එච්. එම්. ඩී. එන්. බණ්ඩාර මහතා පසුගිය10 වනදා ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අසරණව ප්‍රකාශ කරමින් පැමිණිල්ලේ හා විත්තියේ නීතිඥවරුන් එල්ල කළ තියුණු සහ පීඩනාත්මක හරස් ප්‍රශ්න මාලාව හමුවේ වචන පටලවා ගනිමින් සාක්ෂි ලබා දුන්නේය.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පමණක් නොව මුළු මහත් සමාජයම දැඩි කම්පනයකට පත් කළ, නිසි ප්‍රමිතියෙන් තොර “හියුමන් ඉමියුනොග්ලොබියුලීන් (Human Immunoglobulin) සහ රිටොක්සිමැබ් (Rituximab)” ප්‍රතිදේහ එන්නත් ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට (MSD) සැපයීම පිළිබඳ බහුචරිත නඩුව පසුගිය10 වැනිදාත් ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දීම සඳහා කැඳවා තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලක එච්. එම්. ඩී. එන්. බණ්ඩාර මහතාය. ඔහු පස් වැනි දිනටත් එලෙස සාක්ෂි කූඩුවට නැඟ සිටි අතර, එම දිනයේ නඩු විභාගය මුළුමනින්ම උණුසුම් මුහුණුවරක් ගත්තේ විත්තියේ නීතිඥවරුන් විසින් එල්ල කරන ලද අතිශය සූක්ෂ්ම සහ තියුණු හරස් ප්‍රශ්න හමුවේ සාක්ෂිකාර ප්‍රධාන තොග පාලකවරයා දැඩි ලෙස අසරණ වෙමින්, තමන්ට කරුණු පැටලී ඇති බව අධිකරණය හමුවේ පිළිගැනීමට සිදුවීමත් සමඟය.
නඩු විභාගයේ මුල් භාගය මෙහෙයවනු ලැබුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය විසිනි. එහිදී වෛද්‍ය සැපයුම් ඒකකයේ පවතින රාජකාරිමය ක්‍රියාවලිය, පරිගණක පද්ධති ක්‍රියාකාරීත්වය සහ ඖෂධ ඇණවුම් කිරීමේදී අනුගමනය කරන ‘ප්‍රොන්ටෝ’ (Pronto) පද්ධතියේ ස්වභාවය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු අනාවරණය කරගැනීමට ඇය කටයුතු කළාය. ප්‍රධාන තොග පාලකවරයා ප්‍රකාශ කළේ තමන් තොග භාරගැනීමට සෘජුවම සහභාගී නොවන බවත්, එය තොග පාලන නිලධාරීන් සහ සහකාර අධ්‍යක්ෂවරුන්ගේ මඟපෙන්වීම මත සිදුවන රාජකාරියක් බවත්ය. 2022 සැප්තැම්බර් මාසයේදී රාජ්‍ය ඖෂධ සංස්ථාවේ (SPC) 'V' කැටගරිය වෙනුවට වෛද්‍ය සැපයුම් අංශයේ (MSD) 'V' කැටගරිය භාවිතයට පැමිණි ආකාරයත්, රටේ පැවති ආර්ථික අර්බුදය සහ ඉන්දියානු ණය සහන යෝජනා ක්‍රමය (Indian Credit Line – ICL) හේතුවෙන් මෙම හදිසි වෙනස්කම් සිදුවූ බවත් සාක්ෂිකරු මෙහිදී සඳහන් කළේය.
නීතිඥවරුන්ගේ ආක්‍රමණශීලී හරස් ප්‍රශ්න සහ සාක්ෂිකරුගේ අසරණ භාවය
පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් වීමෙන් පසු, නඩුවේ 5 වැනි චූදිතයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අශෝක සේරසිංහ මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය. එතැන් සිට අධිකරණ ශාලාව එකම අර්බුදකාරී සහ උණුසුම් වටපිටාවකට පරිවර්තනය විය. නීතිඥවරයා මුලින්ම ප්‍රශ්න කළේ වෛද්‍ය සැපයුම් අංශයේ ක්‍රියා පටිපාටිය තුළ ලිඛිත නීති රීතිවලට වඩා වාචික හෝ පුද්ගලික උපදෙස් මත කටයුතු සිදුවන ආකාරය පිළිබඳවයි.
මෙහිදී 7 වැනි චූදිතයා විසින් ලබාදුන් උපදෙස් සහ "SPC V සමානයි MSD V" යනුවෙන් අදාළ නිල ලේඛනවල සඳහන්ව තිබේදැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මතු කළ කරුණු මතම හිඳිමින් විත්තියේ නීතිඥවරයා සාක්ෂිකරු කොටු කිරීමට උත්සාහ කළේය. ලිඛිතව කිසිදු උපදෙසක් නොමැතිව, හුදු වාචික නියෝග මත මෙවැනි බරපතළ ඖෂධ ඇණවුම් වෙනස් කිරීම් සිදුකළේ මන්දැයි නැඟුණු ප්‍රශ්න හමුවේ සාක්ෂිකාර ප්‍රධාන තොග පාලකවරයා දැඩි ලෙස සලිත විය. ඔහු එකිනෙකට පරස්පර පිළිතුරු දෙන්නට වූ අතර, අවසානයේදී විනිසුරු මඬුල්ල ඉදිරියේ, “මට යම් පැටලීමක් සිදු වුණා ස්වාමීනී... මට තාමත් ඒක පැටලිලා තියෙන්නේ,” යනුවෙන් පවසමින් තමන් අසරණ වී ඇති බව ප්‍රසිද්ධියේම පිළිගත්තේය.
මෙහිදී දැඩි ලෙස මවිතයට පත් වූ විනිසුරුවරයා, “තමන් ප්‍රධාන තොග පාලන නිලධාරියෙක් නේද? කොතැනද ඔය කියන පැටලීම තියෙන්නේ?” යනුවෙන් සාක්ෂිකරුගෙන් දැඩි ලෙස ප්‍රශ්න කළේය. රටක සමස්ත ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානතම ආයතනයක උසස්ම නිලධාරියෙකු අධිකරණය හමුවේ මෙලෙස පරස්පර වෙමින් අසරණ වීම මුළු මහත් අධිකරණ ශාලාවේම අවධානයට ලක් වූ විශේෂ සිදුවීමක් විය.
නීතිඥ අශෝක සේරසිංහ මහතාගේ හරස් ප්‍රශ්න හමුවේ වෛද්‍ය සැපයුම් ඒකකයේ පවතින බරපතළ පරිපාලනමය දුර්වලතා රැසක්ද එකින් එක කරළියට පැමිණියේය. සාමාන්‍ය රෝහල්වලින් මාරුවී එන ඖෂධවේදීන් වෛද්‍ය සැපයුම් අංශය වැනි ඉතා සංකීර්ණ ආයතනයකට අනුයුක්ත කිරීමේදී කිසිදු විධිමත් පූර්ව පුහුණු කාලසීමාවක් (Training Period) හෝ විශේෂිත පුහුණුවක් ලබා නොදෙන බව සාක්ෂිකරුට පිළිගැනීමට සිදුවිය. “තාක්ෂණිකව බැලුවොත් ඔවුන්ට ප්‍රායෝගික පළපුරුද්දක් නැහැ ස්වාමීනි, රෝහල් රාජකාරියට වඩා මෙහි තිබෙන්නේ හාත්පසින්ම වෙනස් රාජකාරියක්” යනුවෙන් සාක්ෂිකරු පැවසූ විට, නිසි පුහුණුවක් නොමැති නිලධාරීන් ලවා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සහ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතික (Waiver of Registration - WR) වැනි අතිශය තාක්ෂණික ලේඛන පරිශීලනය කරවීම තුළින්ම මෙම මහා වංචාවට මඟ පෑදී ඇති බව විත්තියේ නීතිඥවරයා මනාව තහවුරු කළේය.
එපමණක් නොව, මෙම ප්‍රශ්නගත ව්‍යාජ ඖෂධ තොගය භාරගැනීමට සෘජුවම වගකිවයුතු ‘කස්තුරිසිංහ’ නැමැති නිලධාරියා දැනට සේවයට වාර්තා නොකරන බවත්, ඔහු ලංකාවෙන් පවා පලාගොස් ඇති බවට ආරංචි පවතින බවත් සාක්ෂිකරු පැවසීමත් සමඟ නඩුව තවදුරටත් උණුසුම් විය. මෙම බරපතළ අක්‍රමිකතාව හේතුවෙන් රජයට සිදුවූ මූල්‍යමය අලාභය කොපමණදැයි විත්තියේ නීතිඥවරයා දළ වශයෙන් හෝ විමසා සිටියද, ප්‍රධාන තොග පාලකයා ලෙස තමන් එය සංඛ්‍යාත්මකව හරියටම නොදන්නා බව පැවසීම නිසා ඔහු තවදුරටත් අපහසුතාවයට පත් විය.
ආරක්ෂක තොග සහ රෙගුලාසි පිළිබඳ අර්බුදය
අනතුරුව 9 වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාහුල් ජයතිලක මහතා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරමින් සාක්ෂිකරු තවදුරටත් පීඩනයකට ලක් කළේය. හදිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයන් හරහා 'ස්වාරක්ෂක තොග' (Buffer Stocks) පවත්වාගෙන යාම පිළිබඳව පවතින නීතිමය පදනම කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේය. එහිදී රාජ්‍ය ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල (Procurement Guidelines) ස්වාරක්ෂක තොග පවත්වාගෙන යාම ගැන ලිඛිතව කිසිදු තැනක සඳහන්ව නොමැති බව සාක්ෂිකරුට පිළිගැනීමට සිදුවිය. එය දීර්ඝ කාලයක සිට පැවත ආ 'පුරුද්දක්' (Practice) පමණක් බවත්, ලිඛිත රීති පද්ධතියක් ඊට නොමැති බවත් තහවුරු වීමත් සමඟ, වෛද්‍ය සැපයුම් අංශය නිල නීති රාමුවෙන් බැහැරව පුද්ගල අභිමතය පරිදි ක්‍රියා කර ඇති ආකාරය විත්තිය විසින් මතු කර දක්වන ලදී.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මියගේ උපායශීලීත්වය
විත්තියේ නීතිඥවරුන් සාක්ෂිකරුගේ “පැටලීම්” සහ ආයතනික පද්ධතියේ පවතින ලිඛිත රීතිවල අඩුපාඩු තමන්ට වාසිදායක ලෙස හරවා ගැනීමට දැඩි උත්සාහයක නිරත වුවද, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මියගේ අතිශය උපායශීලී මෙහෙයවීම මුළු නඩු විභාගයේම ගමන් මඟ තීරණය කළ ප්‍රධාන සාධකය විය.
ලක්මිණී ගිරිහාගම මහත්මිය සාක්ෂි විමසීමේදී ඉතා සූක්ෂ්ම ලෙස ලේඛනගත සාක්ෂි පෙළගස්වා තිබුණි. ඇය සාක්ෂිකරු ලවා “ප්‍රොන්ටෝ” පරිගණක පද්ධතියේ දත්ත වෙනස් කළ නොහැකි බවත්, එහි ඇති 'Order List' ස්වයංක්‍රීයව සකස් වන බවත් මුලින්ම සනාථ කර ගත්තාය. එමඟින් විත්තිකරුවන්ට පද්ධතියේ දෝෂ හෝ “මානව වැරදි” (Human Errors) පිට වරද පටවා නිදහස් වීමට තිබූ ඉඩකඩ ඇය සම්පූර්ණයෙන්ම අහුරා දැමුවාය.
එමෙන්ම, වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විසින් තබන ලද “Reference above, priority, availability one month” යන සටහන සහ අධ්‍යක්ෂ කාර්යාලයේ නිල මුද්‍රාව සහිත ලේඛන අංක 309 සහ 310 උසාවිය හමුවේ තැබීම ඇගේ තවත් ප්‍රබල උපායශීලී පියවරක් විය. 2023 ජනවාරි 23 වන විට ලැබිය යුතුව තිබූ ඖෂධ වයල් 2500 ක තොගය, අතිශය ප්‍රමාද වී මැයි මස 16 වැනි දින වන තෙක් වෛද්‍ය සැපයුම් අංශය විසින් ලබාගෙන ඇත්තේ කුමන පසුබිමකද යන්න ඇය ලේඛන මඟින්ම ඔප්පු කළාය.
ලක්මිණී ගිරිහාගම මහත්මියගේ සැබෑ උපායශීලීත්වය මතු වූයේ, විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ සාක්ෂිකරු අසරණ වුවද, ඇය විසින් ගොඩනඟන ලද මූලික ලේඛනගත සාක්ෂි පදනම බිඳ හෙළීමට විත්තියට නොහැකි වීම තුළිනි. “Waiver of Registration” (WR) සහතිකයක වලංගු කාලය සති 12ක් පමණක් බවත්, එය ප්‍රමාද වුවහොත් භාණ්ඩ භාර නොගෙන සිටීමට MSD එකට පූර්ණ නෛතික අයිතිය තිබූ බවත් ඇය සාක්ෂිකරු ලවා ස්ථීර කරගෙන තිබුණි.
ඒ අනුව, වලංගු කාලය ඉක්මවා ගිය, ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ඖෂධ තොගයක් කිසිදු පරීක්ෂාවකින් තොරව වෛද්‍ය සැපයුම් අංශය භාරගෙන ඇත්තේ ඉහළ නිලධාරීන් සහ චූදිතයන් අතර පැවති සාපරාධී කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස බව වටහා ගැනීමට අවශ්‍ය කරන සියලුම නෛතික ප්‍රතිපාදන සහ ලේඛනගත සාක්ෂි පද්ධතිය ඇය විසින් අඟලෙන් අඟල ඉතා උපායශීලීව අධිකරණය හමුවේ තහවුරු කර අවසන්ය. විත්තිය විසින් පරිපාලනමය අවුල් ජාලාවන් මතු කළද, ලක්මිණී මහත්මිය විසින් ඇටවූ නීතිමය උගුල තුළ චූදිතයන් සියලු දෙනාම සිරවී ඇති බව ඊයේ දින නඩු විභාගයෙන් මනාව පැහැදිලි විය.
වැඩිදුර නඩු විභාගය 11 වන දිනට කල් තැබිණි.
ඖෂධ නඩු විභාගයේ සාක්ෂි සටහන
නිසි ප්‍රමිතියෙන් තොර “හියුමන් ඉමියුනොග්ලොබියුලීන් (Human Immunoglobulin) සහ රිටොක්සිමැබ් (Rituximab)” ප්‍රතිදේහ එන්නත් ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සැපයීම පිළිබඳ නඩුවේ සාක්ෂි දීම සඳහා, පැමිණිල්ල වෙනුවෙන් කැඳවූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලක එච්. එම්. ඩී. එන්. බණ්ඩාර මහතා පස් වැනි දිනටත් ඊයේ (10) කැඳවා තිබිණි. පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් ප්‍රධාන තොග පාලකවරයා ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙසේ පැවසීය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ප්‍රධාන තොග පාලකවරයා ලෙස ඔබ ඖෂධ තොග භාර ගැනීම සිදු කරනවාද?
සාක්ෂිකරු: නැහැ ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: එසේ නම් තොග භාර ගැනීම් කරන්නේ කවුද?
සාක්ෂිකරු: තොග පාලන නිලධාරී. ඔහු අදාළ නිර්දේශය සහකාර අධ්‍යක්ෂවරයා වෙත යොමු කළ පසු, සහකාර අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත තොග භාරගන්නවා. නැතහොත් සහකාර අධ්‍යක්ෂවරයා අත්සන් කළ පසු අදාළ අංශ වෙත ඉදිරි කටයුතු සඳහා යොමු කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ඔබ භාණ්ඩ භාර ගැනීමට සහභාගී නොවන්නේ ඇයි?
සාක්ෂිකරු: එය රාජකාරිමය වශයෙන් මට පැවරෙන කාර්යයක් නොවෙයි. ඒ නිසයි සහභාගී නොවන්නේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: සැපයුම්කරුවෙකු නොමැති ඇණවුමක් සක්‍රීය ඇණවුමක් ලෙස සැලකිය හැකිද?
සාක්ෂිකරු: එම ඇණවුමේ වත්මන් තත්ත්වය ඖෂධ සංස්ථාවෙන් විමසා දැනගත හැකියි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ලේඛනගත පිටු අංක 188 හි 'V' කැටගරියේ ඇණවුමක් 2022 සැප්තැම්බර් 24 දා 00603205 අයිතමයට අදාළව දමා තිබෙනවා. මෙවැනි ඇණවුමක් 'ප්‍රොන්ටෝ' (Pronto) පද්ධතිය තුළට මුදා හළ පසු ඉවත් කළ හැකිද?
සාක්ෂිකරු: බැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: එම ඇණවුම සක්‍රීයද නැද්ද යන්න තීරණය කරන්නේ ඖෂධ සංස්ථාවෙන් අසා දැනගෙනද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ඔවුන් මොන වැනි අදියරවලින්ද එය තහවුරු කරන්නේ?
සාක්ෂිකරු: ප්‍රසම්පාදනය කර තිබේද, තාක්ෂණික ඇගයීම් නිමද, ණයවර ලිපි (LC) විවෘත කර තිබේද ආදී පියවර මඟින් එය තහවුරු කරගත හැකියි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: එවැනි පියවරක නොමැති නම් එය අක්‍රීයද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: මෙම තහවුරුව සඳහා 'පෙන්ඩින්' (Pending) තත්ත්වය යටතේ අදාළ අයිතමයේ තොග පවත්වා ගැනීම අවශ්‍යද?
සාක්ෂිකරු: ඔව්, එම තොරතුරු ඖෂධ සංස්ථාවෙන් ලබාගත හැකියි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ඔබ පෙර සඳහන් කළ වාර්ෂික ඇණවුම සහ අතිරේක ඇණවුම අතර පරතරයක් (Gap) දුටු විට, එය සම්පූර්ණ කර ගැනීමට හදිසි ප්‍රසම්පාදන සිදු කරන බව ප්‍රකාශ කළා. පැමිණිල්ලේ ලේඛනගත අංක 310 ගැනුම් ඇණවුම නිකුත් කර තිබෙන්නේ ඔබ හඳුනාගත් ඇණවුමට අනුවද කියලා කියන්න.
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: එය 2023 ජනවාරි 13 දා නිකුත් කර තිබෙනවා.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: 2023 ජනවාරි 23 වන විට ඖෂධ වයල් 2500 ක් ලබාදිය යුතු බවට එහි සඳහන් වී තිබෙනවා. ඒ අනුව ජනවාරි 23 වන විට එය සම්පූර්ණ විය යුතුයි නේද?
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ලේඛනගත අංක 309 ට අනුව, මෙම අයිතමය වෛද්‍ය සැපයුම් අංශයට ලැබුණු බවට සටහන් තබා ඇත්තේ කවදාද?
සාක්ෂිකරු: මැයි මස 16 වැනි දින (5/16).
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: එම 309-1 සටහනට යටින් තවත් සටහනක් යොදා තිබෙනවා. "Reference above, priority, availability one month" යනුවෙන් එහි ලියා ඇත්තේ කවුරුන් විසින්ද?
සාක්ෂිකරු: වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විසින්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: එහි නිල මුද්‍රාවක් තිබේද?
සාක්ෂිකරු: ඔව්, අධ්‍යක්ෂ කාර්යාලයේ නිල මුද්‍රාව තිබෙනවා. රාජ්‍ය ඖෂධ සංස්ථාවේ (SPC) 'V' කැටගරියෙන් ඇණවුම් ලැබෙන්නේ නැති බවට තහවුරුවක් තිබුණා. ඒ නිසා වෛද්‍ය සැපයුම් අංශයේ (MSD) 'V' කැටගරියෙන් එය ඇතුළත් කරන්නැයි තොග පාලන අංශයට පැමිණ වාචිකව ප්‍රකාශ කළේ සහකාර අධ්‍යක්ෂවරයායි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: 'V' කැටගරියෙන් දාපු ඖෂධ වර්ග කීයක් තිබෙනවාද?
සාක්ෂිකරු: 182 ක්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: එයින් MSD 'V' කැටගරියේ කීයක් තිබෙනවාද?
සාක්ෂිකරු: 158 ක් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: SPC 'V' කැටගරියෙන් දාපු ඔක්කොම ඖෂධ MSD 'V' කැටගරියට දැම්මාද?
සාක්ෂිකරු: නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: දින තුනක් ඇතුළත ඇණවුම් කරන්නැයි ලිඛිතව උපදෙස් ලැබුණා. එසේ ඇතුළත් කිරීමට නියම කළ අයිතම පමණක් ඇතුළත් කළා නේද?
සාක්ෂිකරු: ඔව්, අනෙක් ඒවා සඳහා උපදෙස් ලැබුණේ නැහැ ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ලේඛනගත අංක 305 සිට 307 දක්වා ලිපි මඟින් ඔබ අධිකරණයට ප්‍රකාශ කළේ 'E06' ක්‍රමවේදය යටතේ තෝරාගත් සැපයුම්කරුවන්ට ඇණවුම් නිකුත් කළ හැකි බවයි.
සාක්ෂිකරු: SPC 'V' යටතේ නිරන්තරයෙන් ඇණවුම් කරන ලෙස පැවසූ විට, එය MSD 'V' කැටගරියට දාන්න කියා 7 වැනි චූදිතයා උපදෙස් දුන්නා. SPC 'V' යටතේ තිබූ 182 ම MSD පද්ධතියේ තිබුණේ නැහැ. SPC 'V' එකෙන් දාපු අලුත් අයිතමවලට MSD 'V' දැම්මේ කොහොමද කියා ඇසූ විට, ඒ සඳහා උපදෙස් ලැබී ඇති බව පැවසුවා. SPC 'V' ඇණවුම්වලට සමාන්තරව (Parallel) සහ 'EO1' ලිපියට අදාළවයි ඇණවුම ඉදිරිපත් කළේ.
විනිසුරු: ඔබ වැඩ කළේ 305 ලිපියට අනුවද?
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: එසේ කියනවා නම්, එය එම ලිපියේ කොතැනද සඳහන් කර තිබෙන්නේ?
සාක්ෂිකරු: SPC 'V' වලට සමාන්තරව ඇණවුම් ඇතුළත් කරන්නැයි කී විට, ඊට අමතරව ලිපියකින්ද දන්වා තිබූ පරිදි මම කටයුතු කළා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ඔබ ලිපියට අනුව කටයුතු කළා නම්, "SPC V සමානයි MSD V" කියා එහි කොහේ හෝ සඳහන් වී තිබෙනවාද?
සාක්ෂිකරු: මට යම් පැටලීමක් සිදු වුණා ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: අංක 305-307 ලිපිවලින් ලිඛිතව එහෙම දැනුම් දී නැහැ නේද?
සාක්ෂිකරු: මට පැටලුණා, නමුත් මම ලිපියට අනුව තමයි කටයුතු කළේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: 7 වැනි චූදිතයා උපදෙස් දුන්නේ SPC 'V' කැටගරියට සමාන්තරව හෝ 'EO1' ක්‍රමවේදය අනුව තෝරාගැනීමටයි.
සාක්ෂිකරු: SPC 'V' වලට සමාන්තරව හැම එකකයටම MSD 'V' දැම්මේ නැහැ. මට තාමත් ඒක පැටලිලා තියෙන්නේ ස්වාමීනී.
විනිසුරු: තමන් ප්‍රධාන තොග පාලන නිලධාරියෙක් නේද? කොතැනද ඔය කියන පැටලීම තියෙන්නේ?
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: 7 වැනි චූදිතයා උපදෙස් දුන්නේ SPC 'V' වලට සමාන්තරව දාන්න, නැත්නම් 'EO1' වලට සමාන්තරව දාන්නයි. ඒ නිසයි 'EO1' දැම්මේ කියා ඔබ කලින් ප්‍රකාශ කළා.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ලේඛන අංක 134 හි 190 වැනි පිටුවේ ඇති මෙම ලේඛනය කුමක්ද?
සාක්ෂිකරු: එය 'WR' (Waiver of Registration - ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතිකයක්).
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ඔබට මෙහි ඡායාස්ථ පිටපත් ලැබෙන බව ඔබ ප්‍රකාශ කළා. 'EO1' ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ තිබියදී ඔබ එය එසේ භාර ගත්තාද?
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ලියාපදිංචි කාලය තුළ තොග සැපයීම සිදු කර තිබේදැයි ඔබ පරීක්ෂා කරනවාද?
සාක්ෂිකරු: අදාළ වලංගු කාල සීමාව තුළ තොගය ආනයනය කර තිබේද කියා අප තහවුරු කරගන්නවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: 'WR' සහතිකයක වලංගු කාලය පරීක්ෂා කරන්නේ ලේඛනයේ කොතැනින්ද?
සාක්ෂිකරු: එහි 'WR' කියා දිනයක් දමා තිබෙනවා, ඒ අනුව කටයුතු කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: එය 134 ලේඛනයේ කොතැනද තිබෙන්නේ?
සාක්ෂිකරු: පහළින් 'MB' කියා සඳහන් කර තිබෙන ස්ථානයේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: අදාළ ලිපිය නිකුත් කළ දින සිට සති දොළහක් දක්වා එය වලංගු යැයි එහි සඳහන් වෙනවා. එය ප්‍රමාද වුවහොත් කුමක්ද සිදුවන්නේ?
සාක්ෂිකරු: එය භාර නොගෙන සිටීමට අපට හැකියාව තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: මෙය ඔබ විසින් සකස් කරන ලද ලේඛනයක්. '229 E' ලෙස ලකුණු කර තිබෙනවා. එය 2022/09/24 දිනයි සකසා තිබෙන්නේ. ඔබ එදින ප්‍රමුඛතා ලැයිස්තුවට ඇතුළත් කළේ අයිතම ලැයිස්තුවේ මාසයකට වඩා අඩු තොග පවතින ඒවාද?
සාක්ෂිකරු: ඒ ඒ දිනයන්හි ප්‍රමුඛතා ලැයිස්තුවේ 1 සහ 2 කාණ්ඩවලට අයත් ඒවායි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: පිටු අංක 260 හි ඇති අයිතම 182 ක ලැයිස්තුවට, 2022 සැප්තැම්බර් 22 දින සකස් කළ ලැයිස්තුව සමානද?
සාක්ෂිකරු: තොග ලැයිස්තුවල ප්‍රමුඛතා සහ වෙනත් කාණ්ඩවලට අයත් අයිතම 3 කුත් ඒ තුළ තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: 'E 61' ලේඛනයේ පිටු අංක 20 සිට 28 දක්වා පිටු හඳුනාගත හැකිද?
සාක්ෂිකරු: පුළුවන්. මේ ලේඛන සතිපතා දුරකථන ඇමතුම් මාර්ගයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වාර්තා කරනවා, එමෙන්ම ඊමේල් මඟින්ද යවනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: 'ප්‍රොන්ටෝ' පද්ධතියෙන්මද මේ කටයුත්තත් කරන්නේ?
සාක්ෂිකරු: එම වාර්තාව (Report) බාගත (Download) කරගෙන, 'Excel' ගොනුවකට පිටපත් කර (Copy-Paste) ඇස්තමේන්තු ඇතුළු අනෙකුත් කරුණු ලබාගන්නවා. පසුව එය 387 ක් වන සමස්ත තොග ලැයිස්තුවට ඇතුළත් කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: එය මාස තුනක කාලසීමාවක් සඳහා සකස් කළ ලැයිස්තුවක් නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී, මාස 3 කට වඩා අඩු MSD තොග පවතින ඒවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ඔක්තෝබර් 24 (10/24) දින වන විට 301 සිට 317 දක්වා තිබෙන, මාස තුනකට අඩු ලැයිස්තුවේ ඇති අයිතම සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කටයුතු සිදු වී තිබේද නැද්ද යන්න පිළිබඳව අවධානය යොමු කළාද?
සාක්ෂිකරු: අදාළ අයිතම සලකා බැලුවා මිසක්, ප්‍රසම්පාදනය සිදු වී තිබේදැයි වෙනම සෙව්වේ නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: නිසි තහවුරුවක් නොමැති පදනම මත සකස් කළේත් එවැනි ලැයිස්තුවක්ද?
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ප්‍රමුඛතා ලැයිස්තුවේ සෑම ඖෂධයකටම 'SR' අංකයක් තිබෙනවා. මෙහි ඖෂධ 317 ක් තිබෙනවා පෙනෙනවා නේද?
සාක්ෂිකරු: ඔව්.
(පැමිණිල්ල පාර්ශවයෙන් සාක්ෂි විමසීම අවසන් කළ අතර, 5 වැනි චූදිතයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අශෝක සේරසිංහ මහතා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.)
නීතිඥවරයා: ඖෂධවේදීන් ලෙස කටයුතු කරන තොග පාලන නිලධාරීන්ට ලිඛිත රාජකාරි ලැයිස්තු ලබා දී තිබෙනවාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥවරයා:(රාජකාරී ලැයිස්තුවක් පෙන්වමින්) ඔබ පස්වැනි විත්තිකරු හඳුනාගත්තා. මේ රාජකාරි ලැයිස්තුව ඔහුට අදාළ එකක්ද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥවරයා: ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් ඔහු ක්‍රියා කළාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥවරයා: ප්‍රසම්පාදන කටයුතු සිදු කරන්නේ රාජ්‍ය ඖෂධ සංස්ථාව (SPC) මඟින් නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥවරයා: භාණ්ඩ ලබාගැනීම සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතු වූ විට, ප්‍රධාන තොග පාලකයා ලෙස ඔබට තනිව හෝ හුදෙකලාව තීන්දු තීරණ ගත හැකිද?
සාක්ෂිකරු: එවැනි ගැටලුවලදී අප කරන්නේ ඉහළ නිලධාරීන් වෙත එම ප්‍රශ්නය ඉදිරිපත් කිරීමයි.
නීතිඥවරයා: '5 V 1' රාජකාරි ලැයිස්තුව තුළ 'WR' (ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ) ලේඛන විශ්ලේෂණය කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවාද?
සාක්ෂිකරු: නැහැ.
නීතිඥවරයා: '5 V 2' ලේඛනය, නැවත චක්‍රලේඛයක් මඟින් තොග පාලන නිලධාරීන්ට ලබා දුන් එකක්. එහි 'WR' ලේඛන පරීක්ෂා කිරීම ගැන සඳහන් වෙනවාද?
සාක්ෂිකරු: අදාළ අයිතමය පද්ධතිය තුළ සක්‍රීය (Activate) කරද්දී ඒ පිළිබඳව සඳහන් කළ යුතු බව එහි තියෙනවා.
නීතිඥවරයා: 'WR' සහතිකය නිසි පරිදි පරීක්ෂා කර බැලිය යුතුය කියන වගකීම තොග පාලන නිලධාරීන්ට තිබෙනවාද නැද්ද?
සාක්ෂිකරු: මීට පෙර එවැනි විශේෂ උපදෙසක් දී තිබුණේ නැහැ.
නීතිඥවරයා: විශේෂ කරලා එහෙම උපදෙස් දීලා නැත්තේ ඇයි?
සාක්ෂිකරු: සාමාන්‍යයෙන් පරීක්ෂා කර බලන්න කියලා පමණක් කියා තිබෙනවා.
නීතිඥවරයා: භාණ්ඩ භාර ගැනීමේදී එහි ඇති නිවැරදිතාව හා නිර්වද්‍යතාව බලනවා නේද?
සාක්ෂිකරු: විශේෂයෙන් නිර්වද්‍යතාව බලන්න කියලා වෙනම ක්‍රමවේදයක් නැහැ.
නීතිඥවරයා: ඔබ මේ නඩුවට පාදක වී ඇති කරුණු දන්නවා නේද?
සාක්ෂිකරු: ඔව්, ප්‍රශ්නගත ඖෂධ වර්ග 2 ක් තිබෙනවා; ඒ “හියුමන් ඉමියුනොග්ලොබියුලීන්” සහ “රිටොක්සිමැබ්”.
නීතිඥවරයා: මෙම නඩුවේ චූදිතයන් ලෙස සිටින්නේ බහුතරයක් ඔබ සමඟ එකට සේවය කළ නිලධාරීන් සහ සේවකයන් නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥවරයා: “NMRA” (ජාතික ඖෂධ නියාමන අධිකාරිය) තාක්ෂණික ලේඛන සම්බන්ධයෙන් තොග පාලන නිලධාරීන්ට වැඩමුළුවක් පැවැත්වූවාද?
සාක්ෂිකරු: ඔව්, 2023 වසරේදී එවැනි වැඩමුළුවක් පැවැත්වුවා.
නීතිඥවරයා: ඇයි ඒ වැඩමුළුව පැවැත්වූයේ?
සාක්ෂිකරු: අපට 'WR' ලේඛනයක් නිවැරදිව පරීක්ෂා කරන්නේ කෙසේද කියා අවබෝධයක් සහ දැනුමක් ලබා දීමටයි.
නීතිඥවරයා: වැඩමුළුව පැවැත්වුණේ 2023 වසරේදී නම්, එහි නිශ්චිත දිනය මතක නැද්ද?
සාක්ෂිකරු: දිනය හරියටම මතක නැහැ, නමුත් එම වැඩමුළුවට සහභාගී වෙන්න කියා අපට ලිඛිතව දැනුම්දීමක් ලැබුණා.
නීතිඥවරයා: එහි පැමිණීමේ ලේඛනයක් තිබෙනවා. ඔබත් ඊට සහභාගී වී තිබෙනවා, අංක 22 යටතේ ඔබේ නම සඳහන් වෙනවා නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥවරයා: '5 V 3' ලේඛනයට අනුව එම වැඩමුළුවට සහභාගී වූ අය අතර 5 වැනි චූදිතයාගේ නමත් තිබෙනවාද?
සාක්ෂිකරු: තිබෙනවා.
නීතිඥවරයා: ඔහු ඊට සහභාගී වූ බවට අත්සන් තබා තිබෙනවාද?
සාක්ෂිකරු: අංක 29 යටතේ ඔහු අත්සන් කර තිබෙනවා.
නීතිඥවරයා: එසේ නම් දැන් ඔබට 'WR' ලේඛන පිළිබඳව නිසි අවබෝධයක් තිබෙනවා නේද?
සාක්ෂිකරු: ඔව්, අපට එම වැඩමුළුවේදී ඒ පිළිබඳව අවබෝධය ලබා දුන්නා.
නීතිඥවරයා: ලේඛනගත අංක 134 කියන්නේ 'WR' ලේඛනයක්ද?
සාක්ෂිකරු: ඔව්, එය 'WR' ලේඛනයක්.
නීතිඥවරයා: එය NMRA වෙතින් කාගෙන් කාට යොමු කරන එකක්ද?
සාක්ෂිකරු: NMRA ආයතනය වෙතින් ආනයන හා අපනයන පාලකවරයා වෙත යොමු කරන ලේඛනයක්.
නීතිඥවරයා: අංක 134 ලේඛනය පෞද්ගලික ආයතනයකට නිකුත් කර ඇති එකක්. කාටද මේක නිකුත් කර තිබෙන්නේ?
සාක්ෂිකරු: “අයිසොලෙස් බයෝ ෆාමා” (Isolez Bio Pharma) ආයතනයට.
නීතිඥවරයා: එහි මුල් පිටපත ලබා දෙන්නේ කාටද?
සාක්ෂිකරු: අදාළ සැපයුම්කරුට.
නීතිඥවරයා: සැපයුම්කරු විසින්ද එය ආනයන අපනයන පාලකවරයා වෙත ඉදිරිපත් කරන්නේ?
සාක්ෂිකරු: ඔව්.
නීතිඥවරයා: රේගුවෙන් භාණ්ඩ නිදහස් කරගත් පසු, අදාළ බලපත්‍රයට කුමක්ද කරන්නේ?
සාක්ෂිකරු: භාණ්ඩ නිෂ්කාශනය වූ පසු අදාළ සමාගම මඟින් එම බලපත්‍රය අප ආයතනය වෙත ලබා දෙනවා.
නීතිඥවරයා: SPC 'V' කැටගරිය වෙනුවට MSD 'V' කැටගරිය භාවිතයට පැමිණියේ කොයි කාලයේද?
සාක්ෂිකරු: එය සුවිශේෂී අවස්ථාවකදී භාවිතයට ආ එකක්.
නීතිඥවරයා: නිශ්චිතවම ඒ කිනම් කාල වකවානුවකදීද?
සාක්ෂිකරු: 2022 සැප්තැම්බර් මාසයේ අග භාගයේදී පමණ.
නීතිඥවරයා: එවැනි වෙනසක් සිදු කිරීමට හේතුව කුමක්ද?
සාක්ෂිකරු: ඒ කාලසීමාවේ පැවති ඉහළ මට්ටමේ රැස්වීම්වලදී ගනු ලැබූ තීරණයකට අනුවයි එය ක්‍රියාත්මක වුණේ.
නීතිඥවරයා: එවකට රටේ කිසියම් සුවිශේෂී හෝ අර්බුදකාරී තත්ත්වයක් පැවතුණාද?
සාක්ෂිකරු: ඔව්, ඉන්දියානු ණය සහන යෝජනා ක්‍රමය (Indian Credit Line - ICL) ක්‍රියාත්මක වූ අවස්ථාවේ රටේ දැඩි ආර්ථික ගැටලුවක් පැවතුණා. ඒ අනුවයි MSD 'V' කැටගරිය හඳුන්වා දුන්නේ. එහිදී මුලින් 'ICL' යටතේ ආවේ 'X' නමින් හැඳින්වූ ක්‍රමවේදයක්. පසුව විශේෂිත ක්‍රමයක් ලෙස MSD 'V' ගෙන ආවා.
නීතිඥවරයා: එම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ වගකිවයුතු ආයතනය (නෛතික ආස්ථිතිය) කවුද?
සාක්ෂිකරු: රාජ්‍ය අමාත්‍යාංශය කියා තමයි අප දැනුවත් වී සිටියේ.
නීතිඥවරයා: පසුව එය අහෝසි වුණා නේද? ඉන් පසුවත් දිගින් දිගටම 'V' කැටගරිය ඔස්සේමද භාණ්ඩ ගෙන්වීම සිදු කළේ?
සාක්ෂිකරු: සෞඛ්‍ය අමාත්‍යාංශය ඔස්සේ සිදු කළා කියා හිතනවා.
නීතිඥවරයා: ඔබ ප්‍රධාන තොග පාලන නිලධාරියා වෙලත් ඒ පිළිබඳව නිවැරදිවම දන්නේ නැහැ කියලද පවසන්නේ?
සාක්ෂිකරු: ඔව්, ඒ පිළිබඳ නිශ්චිතවම දන්නේ නැහැ.
නීතිඥවරයා: සැපයුම්කරුවන්ගෙන් MSD ක්‍රමවේදය ඔස්සේ භාණ්ඩ ගෙන්වන ඔබලා මෙහි කොටස්කරුවන් නොවෙයිද? මේවා ප්‍රසම්පාදනය වෙන්නේ කොහෙන්ද?
සාක්ෂිකරු: අප කරන්නේ අවශ්‍ය අයිතමවලට අදාළ ඇණවුම නිල වශයෙන් පද්ධතියට ඉදිරිපත් කිරීම පමණයි. ඉන් එහාට ප්‍රසම්පාදන තීරණවලට අප මැදිහත් වෙන්නේ නැහැ.
නීතිඥවරයා: ප්‍රසම්පාදනය කරන ලද භාණ්ඩ ආයතනයට ලැබුණු පසු, ඊට අදාළ රාජකාරි කටයුතු කරන්නේ කිනම් නිලධාරියාද?
සාක්ෂිකරු: තොග පාලන නිලධාරී.
නීතිඥවරයා: ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට ප්‍රථම, ඔබලාගෙන් විමසා භාණ්ඩ ලැයිස්තුවක් සකසනවා. ඊට අදාළ මූලික තොරතුරු ලබා දෙන්නේ තොග පාලන නිලධාරියා නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥවරයා:(ලේඛනගත අංක 308 පෙන්වමින්) මෙය තොග පාලන නිලධාරියා විසින් අදාළ අයිතමය සම්බන්ධයෙන් සපයන ලද මූලික දත්ත සටහන නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥවරයා: ලේඛනගත අංක 299 ලෙස තවත් ලේඛනයක් තිබෙනවා. අදාළ භාණ්ඩ තොගය නිකුත් කිරීමට හේතු වූ නිල ලිපිය එහි තිබෙනවා නේද?
සාක්ෂිකරු: ඔව්.
නීතිඥවරයා: අංක 360 යටතේ සියලුම තොරතුරු තොග පාලන නිලධාරියා විසින් ඉහළ නිලධාරීන් වෙත දැනුම් දී තිබෙනවා. ඔහු කෙසේද එය සිදු කරන්නේ?
සාක්ෂිකරු: පරිගණක පද්ධතිය (ප්‍රොන්ටෝ පද්ධතිය) ඔස්සේ.
නීතිඥවරයා: 'ඕඩර් ලිස්ට්' (Order List) එකක් හෙවත් ඇණවුම් ලැයිස්තුවක් සකස් වෙන්නේ කෙසේද?
සාක්ෂිකරු: පද්ධතියට ඇතුළත් කර ඇති දත්ත මත ස්වයංක්‍රීයවයි එය සකස් වෙන්නේ.
නීතිඥවරයා: ඔබට පෞද්ගලිකව එම දත්ත වෙනස් කිරීමට හැකියාවක් තිබේද?
සාක්ෂිකරු: බැහැ, පද්ධතියේ ඇති ප්‍රධාන ගොනුව වෙනස් කරන්න බැහැ. අපට ඒ සඳහා ඇත්තේ සීමිත ප්‍රවේශයක් (Limited Access) පමණයි.
නීතිඥවරයා: අංක 291 මඟින් ඇණවුම් ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ කිනම් ඖෂධයක් සඳහාද?
සාක්ෂිකරු: හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය සඳහා.
නීතිඥවරයා: අංක 309 ලේඛනය බලන්න. භාණ්ඩ තොගය වෛද්‍ය සැපයුම් අංශයට ලැබුණු පසු නිකුත් කරන නිල ලේඛනය මෙයද?
සාක්ෂිකරු: ඔව්, භාණ්ඩ ලැබුණු පසු ඉදිරිපත් කරන ලේඛනයයි.
නීතිඥවරයා: මුලින්ම එන්නේ ලිපිගොනුවයි. ඖෂධවේදියා එම ගොනුව සහ ලිපි ලේඛන පරීක්ෂා කර තීරණයක් ගන්නවා. මේ එම ලේඛනයමද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි. පරීක්ෂාවේදී සියල්ල සෑහීමකට පත්විය හැකි මට්ටමක පවතී නම් එය ඉහළ නිලධාරීන් වෙත යොමු කළ හැකියි.
නීතිඥවරයා: එසේ නොමැතිව, තොග පාලන නිලධාරියාට පමණක් එම භාණ්ඩ තොගය කෙළින්ම භාර ගත නොහැකිද?
සාක්ෂිකරු: බැහැ, සහකාර අධ්‍යක්ෂවරයා අත්සන් තැබීමෙන් පසුවයි එය භාවිතයට සුදුසු නිල තොගයක් බවට පත්වන්නේ.
නීතිඥවරයා: අංක 309 සටහනේ තොරතුරු විස්තර කර තිබෙනවා. එහි එක් ස්ථානයක “Delivery date has been expired” (බෙදාහැරීමේ දිනය ඉකුත් වී ඇත) යනුවෙන් සඳහන් වෙනවා.
සාක්ෂිකරු: ඔව්, ඇණවුම් කළ දිනයට වඩා ප්‍රමාද වී පැමිණි අවස්ථා එහි සටහන් කර තිබෙනවා. එලෙස දින ඉකුත් වීමක් සිදු වුවහොත් අප ඉහළ නිලධාරීන්ට ඒ බව දන්වනවා. ඉන් පසු ඔවුන් දෙන නියෝග සහ තීරණ මතයි ඉදිරි කටයුතු කරන්නේ.
නීතිඥවරයා: ඉහළ නිලධාරීන් ඒ සඳහා ලිඛිත නියෝග දෙනවාද? පරිගණක තිරය මත දත්ත සටහන් කිරීමේදී සිදු වූ මානව වරදක් (Human Error) නිසා මෙවැනි සටහනක් වැටෙන්න බැරිද?
සාක්ෂිකරු: එය සිදුවූයේ කෙසේද යන්න දන්නේ අදාළ දත්ත ඇතුළත් කළ පුද්ගලයා පමණයි.
නීතිඥවරයා: මෙම සමස්ත කාර්ය පටිපාටිය තුළ යම් බරපතළ වරදක් හෝ බාධාවක් සිදුවී තිබේද?
සාක්ෂිකරු: ප්‍රධාන ක්‍රියාපිළිවෙතට බාධාවක් වී නැහැ, එහි අංකය පමණක් වෙනස් වී තිබෙනවා.
නීතිඥවරයා: මේ වැරදි අංකය පද්ධතියට ඇතුළත් වූ පසු, ඉහළ නිලධාරීන්ටද පරිගණක පද්ධතියට පිවිස එය නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබෙනවා නේද?
සාක්ෂිකරු: ඔව්, මේ රිටොක්සිමැබ් ඖෂධය සම්බන්ධයෙනුයි තිබෙන්නේ.
නීතිඥවරයා: ප්‍රධාන තොග පාලන නිලධාරියා ලෙස, මෙම ප්‍රශ්නගත ඖෂධ තොගය භාර ගැනීමට සෘජුවම වගකිවයුතු නිලධාරියා කවුදැයි කියන්න.
සාක්ෂිකරු: මේ සිදුවීමට අදාළව කටයුතු කළේ කස්තුරිසිංහ නැමැති නිලධාරියායි.
නීතිඥවරයා: තොග පාලන නිලධාරීන් ලෙස මේ තොගය භාර ගැනීමට වෙනත් අය සම්බන්ධද? 5 වැනි විත්තිකරු මීට සම්බන්ධද?
සාක්ෂිකරු: නැහැ, මේකට සෘජුවම අදාළ වන්නේ කස්තුරිසිංහයි.
නීතිඥවරයා: ඔහු දැනට කොහේද ඉන්නේ?
සාක්ෂිකරු: ඔහු සිටින ස්ථානයක් මම දන්නේ නැහැ.
නීතිඥවරයා: ඔහු සේවයෙන් ඉල්ලා අස්වෙලාද?
සාක්ෂිකරු: ඔහු දැනට සේවයට වාර්තා කරන්නේ නැහැ.
නීතිඥවරයා: ඔහු වෛද්‍ය සැපයුම් අංශයේ වසර කීයක් සේවය කළාද?
සාක්ෂිකරු: වසර තුන හතරක් පමණ.
නීතිඥවරයා: වෛද්‍ය සැපයුම් ඒකකයේ කිහිප දෙනෙකුගෙන්ම රහස් පොලිසිය (CID) ප්‍රශ්න කළා. කස්තුරිසිංහ නැමැති නිලධාරියාගෙනුත් ප්‍රශ්න කළාද?
සාක්ෂිකරු: ඔහු දැනට ලංකාවේ පවා නොමැති බවයි ආරංචිය.
නීතිඥවරයා: “රිටොක්සිමැබ්” කියන්නේ ප්‍රශ්නගත ඖෂධ වර්ග දෙකෙන් එකක්. එයින් රජයට සිදු වූ මූල්‍යමය අලාභය කොපමණද කියා ඔබ දන්නවාද?
සාක්ෂිකරු: නිශ්චිතවම මතක නැහැ.
නීතිඥවරයා: ඔබේ අංශය තුළ මෙවැනි බරපතළ අක්‍රමිකතාවක් සිදුවී තිබියදී, දළ වශයෙන් හෝ පාඩුව කොපමණද කියා පැවසිය නොහැකිද?
සාක්ෂිකරු: මම එය සංඛ්‍යාත්මකව හරියටම දන්නේ නැහැ.
නීතිඥවරයා: මේ ඖෂධ වර්ග දෙකෙන් වඩාත්ම මිල අධික ඖෂධය කුමක්ද?
සාක්ෂිකරු: රිටොක්සිමැබ් ඖෂධයේ මිල සාපේක්ෂව අඩුයි.
නීතිඥවරයා: මෙම නඩුවට පාදක වූ “හියුමන් ඉමියුනොග්ලොබියුලීන්” වයල් (Vials) කීයක් සැපයුම්කරු විසින් භාර දී තිබෙනවාද?
සාක්ෂිකරු: 3000 ක්.
නීතිඥවරයා: රිටොක්සිමැබ් ඖෂධ වයල් කොපමණ ප්‍රමාණයක් ලබා දී තිබේද?
සාක්ෂිකරු: 2000 ක් පමණ.
නීතිඥවරයා: සිදුවූ මූල්‍ය හානිය ගැන තවමත් ඔබට නිසි දැනුවත්භාවයක් නැද්ද?
සාක්ෂිකරු: පද්ධතියට මට තොරතුරු ඇතුළත් කරන්න බැහැ.
නීතිඥවරයා: එසේ නම් දත්ත ඇතුළත් කරන්නේ කවුද?
සාක්ෂිකරු: ගබඩා ලිපිකරු විසින්.
නීතිඥවරයා: එතකොට පද්ධතියට දත්ත උඩුගත (Upload) වන්නේ ඔබේ දැනුවත්භාවය මත නොවෙයිද?
සාක්ෂිකරු: නැහැ ස්වාමීනී, තොග ලැබීමේ වාර්තා (GRN - Goods Received Note) හරහා දත්ත පද්ධතියට උඩුගත වන්නේ මා හරහා නොවෙයි. නමුත් මට පද්ධතියට පිවිස එය නිරීක්ෂණය කිරීමට (View) පුළුවන්.
නීතිඥවරයා: ඔබ ප්‍රොන්ටෝ පද්ධතියේ දත්ත සම්පූර්ණයෙන්ම නිවැරදි බව විශ්වාස කරනවා. රසායනාගාර දත්තවලට වඩා වෙනස් වූ, විස්තරාත්මක සංයුක්ත තැටියක් (CD) මේ සම්බන්ධයෙන් සකස් වී තිබෙනවා නේද?
සාක්ෂිකරු: පසුගිය දත්ත එකතු කරගෙන වාර්තාවක් සකස් කර තිබෙනවා. මම ඊට සෘජුවම සම්බන්ධ නැහැ.
නීතිඥවරයා: ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු දීමේදී, ඔබ සතුව එම දත්ත නොමැති බව ඔබ පවසාවි.
සාක්ෂිකරු: නැහැ ස්වාමීනි, මම පද්ධතියේ ඇති දත්ත දෙස බලා නිසි විග්‍රහයක් සිදු කළා.
නීතිඥවරයා: ඔබට ප්‍රොන්ටෝ පද්ධතිය විශ්වාසයි. 'P 207' ලෙස සලකුණු කර ඇත්තේ රජයේ රස පරීක්ෂකවරයා සකස් කළ නිල වාර්තාවක් නේද?
සාක්ෂිකරු: ඔව්, එය රස පරීක්ෂකවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද්දක්. එයද පරිගණක දත්ත පදනම් කරගෙන සකසන්න ඇති.
නීතිඥවරයා: ඔබ සිදු කළේ එහි දුටු දේ පමණක් විග්‍රහ කිරීමයි. ජාතික ඖෂධ තොග පද්ධතිය ලෙස ක්‍රියා කරන්නේ MSD එකයි. එය අඛණ්ඩව, සංඛ්‍යාත්මකව නිවැරදිව පවත්වාගෙන යන එකක්ද? මම යෝජනා කරනවා මෙය රෝහල්වලින් ලැබෙන දත්ත සහ MSD දත්ත එකතු කර සකසන එකක් බව.
සාක්ෂිකරු: ඒ සඳහා පරිගණක පද්ධතියේ දත්තම තමයි නිසි පරිදි නිරීක්ෂණය කරන්න ඕනෑ.
නීතිඥවරයා: MSD ආයතනයේ පවතින සැබෑ තොග තත්ත්වය පිළිබඳව ඔබට නිසි තහවුරුවක් තිබේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥවරයා: නමුත් බාහිර රෝහල් හෝ ස්ථානවල පවතින තොග ගැන ඔබට පෞද්ගලිකව නිල තහවුරුවක් නැහැ නේද?
සාක්ෂිකරු: එය මට පෞද්ගලිකව නැතත්, මධ්‍යම පරිගණක පද්ධතිය තුළ යාවත්කාලීනව පවතිනවා.
නීතිඥවරයා: කලින් ඔබ ප්‍රකාශ කළා මෙය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සකස් කළ වාර්තාවක් බව.
සාක්ෂිකරු: මම එය අධිකරණයට ඉදිරිපත් කළා පමණයි, එහි අඩංගු දත්තවල සියයට සියයක නිවැරදිතාව ගැන මම පෞද්ගලිකව දන්නේ නැහැ.
නීතිඥවරයා: නමුත් ඒ දත්ත පදනම් කරගෙන ඔබ පෙර ප්‍රශ්නවලට පිළිතුරු දුන්නා.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥවරයා: ඖෂධ තොගයක කල් ඉකුත් වීම (Expiry) පිළිබඳව යම් සැකයක් මතු වූ විට, පද්ධතියේ පෙන්වන සාමාන්‍ය ඉලක්කම් තුළින් එය වෙන් කර හඳුනාගන්න බැහැ නේද?
සාක්ෂිකරු: ඔව්, පද්ධතියේ සංඛ්‍යාත්මකව එය වෙනම වෙන් කර පෙන්වා නැහැ.
නීතිඥවරයා: ඔබ දුටුවේ පද්ධතියේ ඉතිරිව පවතින සමස්ත ශේෂ සංඛ්‍යාව (Balance) පමණයි නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥවරයා: පද්ධතියේ පොදුවේ තොග පෙන්වූවත්, රෝගීන්ට භාවිතා කළ හැකි සැබෑ ඖෂධ තොග මොනවාදැයි වෙනම පරීක්ෂා කර බැලිය යුතුයි නේද?
සාක්ෂිකරු: ඔව්, නමුත් පද්ධතිය තුළ එලෙස වෙන වෙනම වෙන් කර තිබුණේ නැහැ.
නීතිඥවරයා: විවිධ සේවා ස්ථානවල සිට ඖෂධවේදීන් වෛද්‍ය සැපයුම් අංශය වෙත මාරුවී එනවා නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥවරයා: එලෙස අලුතින් පැමිණෙන නිලධාරීන්ට මෙහි රාජකාරි ස්වභාවය පිළිබඳව වෙනම විධිමත් පුහුණුවක් ලබා දෙනවාද?
සාක්ෂිකරු: විශේෂිත පුහුණුවක් දෙන්නේ නැහැ, නමුත් අදාළ රාජකාරි ක්‍රියාවලිය පිළිබඳව කියා දෙනවා.
නීතිඥවරයා: ඒ සඳහා නිල පුහුණු කාලසීමාවක් (Training Period) වෙන් කර නැද්ද?
සාක්ෂිකරු: නැහැ, විශේෂිතව එහෙම එකක් නැහැ.
නීතිඥවරයා: සාමාන්‍ය රෝහලකින් මාරුවී එන නිලධාරියෙකු සතුව, වෛද්‍ය සැපයුම් අංශයේ පවතින භාණ්ඩ සැපයීම හා බෙදාහැරීමේ විශේෂිත කාර්ය පටිපාටිය පිළිබඳ ප්‍රායෝගික පළපුරුද්දක් හෝ පරිචයක් තිබෙනවාද?
සාක්ෂිකරු: තාක්ෂණිකව බැලුවොත් නැහැ ස්වාමීනි. රෝහල් රාජකාරියට වඩා මෙහි තිබෙන්නේ හාත්පසින්ම වෙනස් රාජකාරියක්. ඒ නිසා මෙහි පැමිණි පසු ඊට හැඩගැසිය යුතුයි. විශේෂිත පූර්ව පුහුණුවක් ලැබෙන්නේ නැහැ.
නීතිඥවරයා: NMRA ලේඛන කියන්නේ ඉතා තාක්ෂණික ලේඛනයි. ඒ පිළිබඳව දැනුවත් කිරීමට වැඩමුළු පැවැත්වූ බව ඔබ කීවා. නමුත් අලුතින් මෙහි සේවයට පැමිණෙන තොග පාලන නිලධාරීන්ට එම NMRA ලේඛන පරිශීලනය පිළිබඳව නිසි දැනුමක් ලබා දෙනවාද?
සාක්ෂිකරු: ඔවුන් තමන්ට ඇති මූලික දැනුම අනුව සහ දැනට සේවයේ සිටින අනෙක් පළපුරුදු නිලධාරීන්ගෙන් විමසා එය ඉගෙන ගන්නවා.
නීතිඥවරයා: රිටොක්සිමැබ් ඖෂධය සඳහා ඇණවුම් යොමු කරන අදාළ තොග පාලන නිලධාරියා හෝ සහකාර අධ්‍යක්ෂවරයා කවුදැයි කියන්න පුළුවන්ද?
සාක්ෂිකරු: වන්නිආරච්චි මහත්මයා.
නීතිඥවරයා: සැපයුම්කරුවන් තෝරාගැනීම හෝ ඔවුන් පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට තොග පාලන නිලධාරීන්ට කිසිදු නෛතික බලයක් නැහැ නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි, ඒ සඳහා අපට බලයක් නැහැ.
(9 වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රාහුල් ජයතිලක මහතා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.)
නීතිඥවරයා: (ලිපිගොනුවේ පිටු අංක 143 හි ඇති '229 E III' ලේඛනය පෙන්වමින්) මේ ලේඛනය කුමක්ද?
සාක්ෂිකරු: මෙය මා විසින් සකස් කරන ලද ප්‍රමුඛතා ලැයිස්තුවක්.
නීතිඥවරයා: ඔබ එය 10 වැනි විත්තිකරු වෙත ඊමේල් (Email) මාර්ගයෙන් යොමු කළා නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥවරයා: ඒ ඉහළ නිලධාරියෙකුගෙන් ලැබුණු නිල නියෝගයකට අනුවද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥවරයා: පවතින විවිධ නීතිමය හා ප්‍රසම්පාදන රෙගුලාසි හේතුවෙන්, හදිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයන් හරහා 'ස්වාරක්ෂක තොග' (Buffer Stocks) පවත්වාගෙන යාමට නොහැකි බව ඔබ සිතනවාද?
සාක්ෂිකරු: පවතින හිඟය හෝ පරතරය (Gap) පියවීමට නොවෙයි හදිසි ප්‍රසම්පාදන සිදු කරන්නේ. සාමාන්‍ය වාර්ෂික ඇණවුම් සහ අතිරේක ඇණවුම් මඟින් භාණ්ඩ ලබාගැනීමට නොහැකි වූ විටයි එය කරන්නේ.
නීතිඥවරයා: මෙය රාජ්‍ය ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල (Procurement Guidelines) පැහැදිලිව සඳහන් කර තිබෙන එකක්ද?
සාක්ෂිකරු: ලිඛිතව එලෙසම සඳහන් කර නැහැ.
නීතිඥවරයා: එසේ නම්, ස්වාරක්ෂක තොග පවත්වාගෙන යාමේ නිශ්චිත ක්‍රියාවලියක් ගැන ලිඛිතව කිසිදු තැනක සඳහන් වී නැහැ නේද?
සාක්ෂිකරු: එය ආයතනයේ ඉහළ පරිපාලනය විසින් සාකච්ඡා කර ගතයුතු ප්‍රතිපත්තිමය තීරණයක්.
නීතිඥවරයා: ඒ කියන්නේ මෙය දිගුකාලීනව පුරුද්දක් (Practice) ලෙස කරගෙන ආ දෙයක් මිස, නිල ලේඛනගත රීති පද්ධතියක් මත කළ දෙයක් නොවෙයි නේද?
සාක්ෂිකරු: සෞඛ්‍ය සේවය තුළ ඖෂධ හිඟයකින් තොරව, අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කාලාන්තරයක් තිස්සේ සාර්ථකව භාවිතා කළ ක්‍රමවේදයක්.
නීතිඥවරයා: නමුත් එය ලිඛිතව නීති මාලාවක අන්තර්ගත වී නැහැ නේද?
සාක්ෂිකරු: නැහැ.
නීතිඥවරයා: ප්‍රධාන තොග පාලකයා ලෙස එවැනි ක්‍රමවේදයක් සකස් කිරීමට හෝ වෙනස් කිරීමට ඔබට නෛතික බලයක් තිබෙනවාද?
සාක්ෂිකරු: තීරණ ගැනීමට මට බලයක් නැහැ, නමුත් එහි පවතින ප්‍රායෝගික අවශ්‍යතාව ඉහළ නිලධාරීන්ට පැහැදිලි කර දීමේ හැකියාව මට තිබෙනවා.
නඩුව වැඩිදුර විභාගය සඳහා 11 වන දින යළි කැඳවීමට නියමිත විය.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

