එක දෙකක් කිරීමේ ලක්මිණි තියරිය අසේල අතටම අල්ලාගනී...

රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ බාල ඖෂධ මෙරටට ගෙන්වීමේ මහා පරිමාණ ජාවාරමට අදාළ නඩු විභාගයේදී, විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අසේල සේරසිංහ මහතා මතු කළ තාක්ෂණික විරෝධතාව හේතුවෙන් උසාවි ගර්භය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය විය. විත්තියේ නීතිඥවරයා සිය විරෝධතාව මතු කරමින් කියා සිටියේ පැමිණිල්ල විසින් අධිකරණය හමුවේ තබා ඇති පරිගණක දත්ත සහ මිනිට් වාර්තා සටහන් මුළුමනින්ම වැරදි පදනමක පිහිටා අර්ථකථනය කරන බවයි.

Jun 10, 2026 - 15:12
 91
එක දෙකක් කිරීමේ  ලක්මිණි තියරිය  අසේල අතටම අල්ලාගනී...

2026 ජුනි මස 09 වැනිදා 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය

එක දෙකක් කිරීමේ

ලක්මිණි තියරිය

අසේල අතටම අල්ලාගනී...


පරිගණක දත්ත සහ නිල ලිපිගොනු දත්ත එකිනෙක ගැටගසමින් 

නීතිපති විත්තිය කොටු කිරීමේ දැඩි ආක්‍රමණශීලී පිළිවෙතක...

අධිකරණ වාර්තාකරු.

රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ බාල ඖෂධ මෙරටට ගෙන්වීමේ මහා පරිමාණ ජාවාරමට අදාළ නඩු විභාගයේදී, විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අසේල සේරසිංහ මහතා මතු කළ තාක්ෂණික විරෝධතාව හේතුවෙන් උසාවි ගර්භය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය විය. විත්තියේ නීතිඥවරයා සිය විරෝධතාව මතු කරමින් කියා සිටියේ පැමිණිල්ල විසින් අධිකරණය හමුවේ තබා ඇති පරිගණක දත්ත සහ මිනිට් වාර්තා සටහන් මුළුමනින්ම වැරදි පදනමක පිහිටා අර්ථකථනය කරන බවයි. 


රස පරීක්ෂක වාර්තාවේ පිටු අංක 291 හි දැක්වෙන 2023/MSD/R/D/643 දරන ඇණවුම් අංකය සහ අනෙකුත් ගොනුවල ඇති සටහන් සියල්ලම එකම ඇණවුමකට අදාළ ලේඛන බව පෙන්වා දුන් ඒ මහතා, පැමිණිල්ල විසින් වංචාවේ පරිමාව කෘතිමව විශාල කර පෙන්වීම සඳහා 2022 සැප්තැම්බර් මාසයේ ඇණවුම සහ 2023 ජනවාරි මාසයේ පද්ධති දත්ත වෙන් වෙන් ඇණවුම් දෙකක් ලෙස අර්ථකථනය කිරීමට උත්සාහ කරන බවට සෘජුවම චෝදනා කළේය. 


2022 දී සකස් කළ ඇණවුම් ලැයිස්තුව ඉදිරියට නොගිය එකක් බවත්, 2023 ජනවාරි මාසයේදී සකස් කර ඇත්තේ හුදෙක් ගැනුම් ඇණවුමක් (Purchase Order) පමණක් බවත් පවසමින් මෙම ප්‍රශ්න කිරීම් නඩුවේ හරයටම එල්ල කරන වැරදි සහගත බලපෑමක් බව ඔහු අවධාරණය කළේය.


මෙම දැඩි විරෝධතාව හමුවේ වුවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම මෙනෙවිය සිය පැමිණිල්ල මෙහෙයවනු ලැබුවේ අතිශය සූක්ෂ්ම, දැඩි සහ අනුකම්පා විරහිත විලාසයකිනි. උපකල්පන මත නොව වෛද්‍ය සැපයුම් ඒකකයේ (MSD) 'ප්‍රොන්ටෝ' පරිගණක පද්ධති දත්ත සහ නිල ලිපිගොනු එකිනෙක ගැටගසමින් සාක්ෂිකරුවන් කොටු කිරීමේ දැඩි ආක්‍රමණශීලී උපායමාර්ගයක් ඇය අනුගමනය කළාය. විත්ති පාර්ශ්වයෙන් කොතරම් නීතිමය බාධා කිරීම් මතු වුවද, පද්ධතිය තුළ තවමත් පවතින්නේ තමන් ඉදිරිපත් කරන සැබෑ දත්ත බව පවසමින් ඇය සිය ස්ථාවරය අත්නොහැරියාය. 


විශේෂයෙන්ම "Alternative SR" හෙවත් විකල්ප කේත ක්‍රමවේදය හරහා වට්ටෝරු සමාලෝචන කමිටුවේ අනුමැතිය නොමැතිව පද්ධතිය ඇතුළෙන් හොර රහසේ නව ඇණවුම් නිර්මාණය කිරීමට නිලධාරීන්ට ඇති හැකියාව සහ 7 වන චූදිතයා වැනි ඉහළ නිලධාරීන් විසින් "අතේ ඇති තොග සහ Pending Orders නොසලකා හරින්න" යනුවෙන් ලබා දුන් ලිඛිත නියෝග මතු කරමින්, පහළ නිලධාරීන් ලවාම ඉහළ සූත්‍රධාරීන් කොටු කිරීමට ඇය සමත් වූවාය.


මෙම සමස්ත නඩු විභාගයේ ප්‍රශ්නෝත්තර රටාව දෙස බැලීමේදී පෙනී යන්නේ එය සාමාන්‍ය සාක්ෂි විමසීමකට එහා ගිය, දැඩි මානසික පීඩනයක් සහ සත්‍යය වසන් කිරීමට දරන උත්සාහයන් අතර ඇති වූ අතිශය අමිහිරි ඝට්ටනයක් බවයි. 


රට තුළ දැඩි ඖෂධ හිඟයක් පවතින බව පවසමින් හදිසි මිලදී ගැනීම් සිදු කිරීමට අවසර ගෙන තිබුණද, ගබඩාවල මාස හතරකට හෝ දහයකට සෑහෙන ජාතික තොග සුරක්ෂිතව තිබූ බව වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලකවරයාට අධිකරණය ඉදිරියේ පිළිගැනීමට සිදුවීම නිලධාරිවාදයේ නිරුවත හෙළි කරන්නක් විය. සෑම ප්‍රශ්නයකටම "ඔව් ස්වාමීනී" යනුවෙන් ඉතා අසරණව පිළිතුරු දීමට සාක්ෂිකරුට සිදු වූයේ, තමන් සේවය කළ ආයතනයේ සිදු වූ මහා පරිමාණ කුමන්ත්‍රණය තමන්ගේම වචනවලින් තහවුරු කිරීමට සිදුවීමේ දැඩි මානසික පීඩනය ද දරා ගනිමිනි.


එමෙන්ම 81 වන අයිතමය වැනි ඖෂධවල තොග ප්‍රමාණය භාවිතයත් සමඟ අඩු නොවීම සහ පසුව එය අසාමාන්‍ය ලෙස ඉහළ යාම පිළිබඳව මතු වූ ප්‍රශ්න හමුවේ, ගබඩාවල කල් ඉකුත් වූ හෝ තත්ත්වයෙන් බාල ඖෂධ පවතින බව සාක්ෂිකරු ලවාම සනාථ කරවා ගැනීමට පැමිණිල්ල සමත් විය. 


නිසි ප්‍රමිතියෙන් තොර "හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් සහ රිටොක්සිමැබ්" ප්‍රතිදේහ එන්නත් ඖෂධ කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයට රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා 13 ක් යටතේ එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 කට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුකරය මේ දිනවල ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාගයට ගැනෙයි.


ඊයේ (09) ගරුතර අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදීමට වෛද්‍ය සැපයීම් අංශයේ ප්‍රධාන තොග පාලක හේරත් මුදියන්සේලාගේ ධනේශ් බණ්ඩාර මහතා සිව්වැනි දිනයටත් සාක්ෂි ලබාදීම සඳහා කැඳවා තිබූ අතර පැමිණිල්ල මෙහෙය වූ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය සාක්ෂි විභාගය සිදු කළාය.


නඩුව ඊයේ යළි විභාගයට ඇරඹුණු අවස්ථාවේ මුද්‍රා තබා අධිකරණයේ තැන්පත් කරනු ලැබූ රස පරීක්ෂක ඇතුළු කමිටුවේ වාර්තාව යළි ප්‍රදර්ශනය කරමින් එහි ඇති පැ 293, 294, 297 1A1 සහ 297 2A3 යන ලේඛනයන්හි දත්ත පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම විසින් සාක්ෂිකරු වන වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලක හේරත් මුදියන්සේලාගේ ධනේෂ් බණ්ඩාරගෙන් සිව්වන දිනටත් ප්‍රශ්න කිරීම ආරම්භ කරන ලදී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 293 හී සඳහන් 00902 901 අංකය හිමි අයිතමය බලන්න. එහි මාසික අවශ්‍යතාව කොපමණද?

සාක්ෂිකරු ; 15 000 ක් ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහි ජාතික තලයේ තොග කොපමණ තිබී ඇතිද?

සාක්ෂිකරු ; සැප්තැම්බර් 24 දා වන විට 4278ක් සහ 26 වැනිදා වන විට 4243 ක් ස්වාමීනී. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ආයතන අතර හුවමාරු වේ දී සමහර අවස්ථාවල සුළු වශයෙන් මේ අංක වෙනස් විය හැකි බව ඔබ කීවා. 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; සැප්තැම්බර් 29 වන විට ප්‍රසම්පාදනයට පියවර ගන්නන පෙර තිබුණු තත්ත්වය කියන්න.

සාක්ෂිකරු ; 30 වැනිදා වන විට 61 323 ක් තිබුණා. ඒ තොග ලැබීමෙන් විය යුතුයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; මාස කීයකට එය ප්‍රමාණවත්ද?

සාක්ෂිකරු ; මාස හතරකට.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 01 200 201 අංකය බලන්න

සාක්ෂිකරු; එහි මාසික අවශ්‍යතාවය 2500 ක් ස්වාමීනී. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; 2022/09/24 හා 09/26 වන විට ජාතික තලයේ කොපමණ තිබුණද?

සාක්ෂිකරු ; 24 වැනිදා වන විට 1470 ක් ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඇනවුම් ලැබීමෙන් පසු කොපමණ තිබුනද?

සාක්ෂිකරු ; 30 වන විට 6470 වෙලා තිබෙනවා තොග ලැබීම නිසා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය තව මාස කීයකට ප්‍රමාණවත්ද?

සාක්ෂිකරු ; තවත් මාස දෙකහමාරකට

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 293 හි 12 වන අයිතමය බලන්න. 00 201 103 අංකය ඇති එම ඖෂධයේ මාසික අවශ්‍යතාවය කොපමණද?

සාක්ෂිකරු ; 1500 ක්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මාසික අවශ්‍යතාවය බැලුවම එම ප්‍රමාණය කොපමණ කලකට ප්‍රමාණවත්ද?

සාක්ෂිකරු ; මාස හතරකට 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය 01 200 201 අංකය බලන්න

සාක්ෂිකරු ; එහි මාසික අවශ්‍යතාවය 2500 ක් 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022 සැප්තැම්බර් 24 වන විට කොපමණ ප්‍රමාණයක් ජාතික තලයේ තිබුණාද?

සාක්ෂිකරු ; 1470

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඇනවුම් ලැයිස්තු ඉදිරිපත් කල දිනවල තිබුනේ කෙසේද?

සාක්ෂිකරු ; 30 වැනිදා වන විට 6470 වෙලා තොගයක් ලැබී තිබෙනවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය මාස කීයකට ප්‍රමාණවත්ද?

සාක්ෂිකරු ; එය මාස දෙකහමාරකට ප්‍රමාණවත්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 12 වන අයිතමය බලන්න එහි මාසික අවශ්‍යතාවය කොපමණද?

සාක්ෂිකරු ; 1500 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය 2022 සැප්තැම්බර් 24 හා 26 වන විට ජාතික තලයේ තිබූ ප්‍රමාණය බලන්න.

සාක්ෂිකරු ; 24 වන විට 2299 ක් , 26 වන විට 2249 ක් 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ තොගයට ඔක්තෝම්බර් වෙනකොට මොකද වෙලා තිබුනේ?  බලන්න ඔක්තෝම්බර් 27 වැනිදා 

සාක්ෂිකරු ; 27 වන විට 6758 ක් වෙලා. එය මාස හතරකට ප්‍රමාණවත්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 293 හි 00 207 901 හි ඖෂධ බලන්න

සාක්ෂිකරු ; ඒකක 175000 මාසික අවශ්‍යතාවයක් තිබෙනවා ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය 2022 සැප්තැම්බර් 24 හා 26 වැනිදා වන විට එහි ජාතික තලයේ කොපමණ තිබුණේද?

සාක්ෂිකරු ; 24 වැනිදා 406460 ක් හා 26 වැනිදා 390 760 ක් ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඇනවුම දමද්දී කොපමණ කලකට තොග තිබී තිබෙනවාද?

සාක්ෂිකරු ; මාස දෙකහමාරකට පමණ ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඇණවුම දමන්නේ සැප්තැම්බර් අවසානයේ දෙසැම්බර් මුල වනතුරු තොග තිබී තිබෙනවා. 293 හි 00 502 001 එනම් 27 වන අංකයේ ඇති ඖෂධයේ මාසික අවශ්‍යතාවය කොපමණද?

සාක්ෂිකරු ; 15 000 ක් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එම අයිතමයට අදාළව 2022 සැප්තැම්බර් 24 හා 26 වන විට ඇති තොග ප්‍රමාණය කොපමණද? 

සාක්ෂිකරු ; 24  වැනිදාට ඒකක 29 792 ක් 26 වැනිදාට ඒකක 28 791 තිබිලා තියෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ජාතික තලයේ අවශ්‍යතාවය කොපමණ දුරට පිරිමැසෙනවාද?

සාක්ෂිකරු ; මාස දෙකක් පමණ 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2023 පෙබරවාරි 2 දා බලන්න 

සාක්ෂිකරු ;  ඒකක 147 879ක් තිබිලා. එය මාස දහයකට ප්‍රමාණවත් තොගයක්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සැප්තැම්බර් 20 බලද්දි නොවැම්බර් 20 වැනිදා දක්වා තොග තිබුණා. තව මාස දහයකට ඇනවූම් ලැබිලා.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 00 801 201 අංකය ඇති 46 අයිතමය මාසික අවශ්‍යතාවය කොපමණද?

සාක්ෂිකරු ; 250 000 පමණ වෙනවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022 සැප්තැම්බර් 24 හා 26 වන විට කොපමණ තිබී තිබෙනවාද? 

සාක්ෂිකරු ; ඒකක 727 045 ක් තිබිලා ස්වාමීනී. මාස දෙකකට පමණ සෑහෙන ප්‍රමාණයක්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 47 අයිතමයේ මාසික අවශ්‍යතාවය 8 500 ක් පමණ නේද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි..

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022 සැප්තැම්බර් 24 හා 26 වෙද්දි කොපමණ තිබිලාද?

සාක්ෂිකරු ; 23 836 ක් ස්වාමීනී. එය මාස තුනකට ප්‍රමාණවත් ප්‍රමාණයක්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 48 වන අයිතමය බලන්න. එය මසකට ලක්ෂ 3ක අවශ්‍යතාවයක්. 

සාක්ෂිකරු ; එහි තොග සැප්තැම්බර් 24 වන විට ජාතික මට්ටමේ 122 900 ක් තිබිලා. එනම් සති දෙකකට ප්‍රමාණවත් ප්‍රමාණයක්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එම අයිතමයට අදාලව ඔක්තෝම්බරයේදී දත්ත බලන්න

සාක්ෂිකරු ; 122 000 තිබූ තොගය ඔක්තෝම්බර් මාසයේදී 5 152 500 ක් වෙලා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 00 403 101 අංකය ඇති ඖෂධය බලන්න.

සාක්ෂිකරු ; එහි මාසික අවශ්‍යතාවය 275 000ක් සැප්තැම්බර් 24 වෙද්දි 7,671,090 ක් තිබිලා. එනම් මාස දෙකකට ප්‍රමාණවත් තොග

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; නොවැම්බර් වෙද්දි එහි තත්ත්වය කුමක්ද? 

සාක්ෂිකරු ; 2022 නොවැම්බර් 28 වෙද්දි පෙන්ඩින් ඕඩර්ස් ලැබිලා තියෙනවා. 11/27 වෙද්දි මිලියන 2.3 ක් වෙලා තියෙනවා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 61 වන ස්ථානයේ ඇති 01 204 802 ට ඔබේ අවධානය යොමු කරන්න.

සාක්ෂිකරු ; එහි මාසික අවශ්‍යතාව 1032 ක් සැප්තැම්බර් 24 වනදා වන විට 5128ක් ලෙස සටහන්ව තිබෙනවා ස්වාමීනී. එය මාස දෙකකට ප්‍රමාණවත්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ලැයිස්තුවේ 01 207 901 අංකය දරන, 67 වෙන ස්ථානයේ ඇති අයිතමයට ඔබේ අවධානය යොමු කරන්න. එහි මාසික අවශ්‍යතාවය 5167 ක් මෙහි මාසික වටිනාකම 5167 ක්.

සාක්ෂිකරු :- ඔව් ස්වාමීනි. එහි ගෙවා 7410 ක් තිබෙනවා. ඒ අනුව දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණියා. ඒකෙ සටහන මේ ගොනුවේ එකඟතාවය යටතේ ගොනු කර තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 01 වන කරුණු ගොනුවෙහි, 69 වන පිටුවෙහි වන ප්‍රතිපාදන බැලුවාම.
සාක්ෂිකරු :- එහි මුළු වටිනාකම 1 500 000 ක්. 2022 දෙසැම්බර් 24 වෙනි දින 15 ලක්ෂයක එකඟතාවයකට පැමිණියා, එය ගිවිසුමකට ගෙනාවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2023 ජනවාරි 31 ට ප්‍රථමයෙන් ගෙවිය යුතුයි.

සාක්ෂිකරු :- 400,000 ක් තිබෙනවා, එය ගෙවා අවසන් කරන්න පුළුවන්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔව් ඉහත 80% අයිතිය දුන් ලේඛනයේ 75% ක අයිතියක් ලබාදී තිබෙනවා මාසික වටිනාකම නොගෙවීම නිසා.

සාක්ෂිකරු :- මාසිකව ගෙවන්න පොරොන්දු වුණා. බැංකුවට ගෙවිය යුතු මුදල පියවීමට ඒකෙන් 80000 ක් පමණ තිබෙනවා. එය මාස 5 කින් ගෙවා නිම කරන්නම්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 81 වන ස්ථානයේ ඇති ඖෂධය බලන්න.

සාක්ෂිකරු ; එහි අගය වෙනස් වෙලා නැහැ. මාසික අගය 1500 ක් වෙලා තියෙද්දි ජාතික තොගය ලෙස 15000 තිබෙනවා. එහි මාසික අවශ්‍යතාව අනුව අඩුවී යා යුතු වුවත් එකම මට්ටමක තිබෙනවා. 2023 මාර්තු වෙද්දි 30506 ක් දක්වා වැඩිවෙලා තිබෙනවා. තොග පැමිණීම නිසා කල්ඉකුත් වූ හෝ තත්ත්වයෙන් බාල ඖෂධ තොගයක් මෙහි පවතින බව පෙනෙනවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; 00 800 404 අංකය ඇති ඖෂධයේ මාසික අගය 1250 ක් ලෙස සටහන්ව පවතිනවා. ඇනවුම් කළ සැප්තැම්බර් අවසානයේ කොපමණ පැවතියාද? 

සාක්ෂිකරු ; 2287 ක් එනම් මාස දෙකකට පමණ තොග තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; දෙසැම්බර් වෙද්දි මොකද වෙලා තියෙන්නේ?

සාක්ෂිකරු ; දෙසැම්බර් 12 වන විට ඒකක 6029 ක් වී තිබෙනවා. 

මේ අන්දමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය විසින් රස පරීක්ෂකවරයාගේ  වාර්තාවේ ඇති ඖෂධ වලින් 50 කට අධික සංඛ්‍යාවක් නම් කරමින් ඒවා පිළිබඳ සාක්ෂි ලබා ගත්තාය

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; ඕල්ටනේටිව් SR කියන්නේ කුමක්ද?

සාක්ෂිකරු ; වට්ටෝරු සමාලෝචන කමිටුවේ අනුමත ඖෂධ ප්‍රසම්පාදනය සඳහා ඖෂධ සංස්ථාවට ලබා දෙන සමහර නිෂ්පාදන මිලි ලීටර් 5 - 10 වගේ ප්‍රමාණ වලින් තිබෙනවා. සමහර අවස්ථාවල පිරිවිතර පවතින්නේ මිලි ලීටර් 5 සඳහා. එහෙත් මිලි 5 සඳහා ලන්සු නොලැබුණොත් මි.ලී 10 පමණක් ඉදිරිපත් වී ඇතොත් ඒවා මිලදී ගන්නවා. එතකොට අපට අවශ්‍ය මි. ලී 5 වෙනුවට මි.ලී 10 ගන්න වෙන්නේ. ඒවා අනුමත කරගෙන ඇනවුම් ලබාදීම ඕල්ටනේටිව් SR ලෙස හඳුන්වනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙම වෙනස් පරිමාව සමහරවිට ඖෂධ සමාලෝචන කමිටුව අනුමත කර නැහැ.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එවැනි අවස්ථාවක ඇණවුම ලබාදෙන්නේ කොහොමද?

සාක්ෂිකරු ; ඇස්තමේන්තු ලබාගත් වට්ටෝරු සමාලෝචන කමිටුව අනුමත කළ එකට නැති තොග ගණනය කොට සකස් කරනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; එවැනි ඖෂධ කොපමණ තියෙනවද?

සාක්ෂිකරු ; 10 ක් පමණ තියෙනවා ස්වාමීනී. system එකේ ඒකට අනුමැතිය දෙන අවස්ථා තිබෙනවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ආයතනික වශයෙන් ඊට අවස්ථාව ලබා දී ඇත්තේ කෙසේද?

සාක්ෂිකරු ; පද්ධතියට ඒ සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. තොග පාලන නිලධාරීන්ට ඕඩර් ලිස්ට් එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. SPC එකට ඇනවූම යවන්න ඕන.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; අධ්‍යක්ෂවරයාට, තොග පාලන නිලධාරි, තොග පාලක වෙන්ව එය බැලිය හැකිද? 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එම තොග සකසන්නේ ඕල්ටනේටිව් SR යටතේද?

සාක්ෂිකරු; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඕල්ටනේටිව් SR යටතේ මිලදීගෙන ඇති මි.ලී 5 ඖෂධය 137 වන ස්ථානයේ පවතින මි.ලී 3 වෙනුවට ගත් එකක්ද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී, 137 හි තිබෙනවා අනුමත SR මි.ලී 3 වෙනුවට මි. ලී 5 ඇතුළත් කරගන්න අවස්ථාව. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 293 හි අංක 138 හි SR අංකය ද , 188 යටතේ ඇති SR දෙක ගැනද ඔබට පැහැදිලි කළ හැකි වන්නේ ඉහත පැහැදිලි කිරීම් අනුවද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි. “මීතයිල් පෙනිඩේට්” ඖෂධය තිබුනේ  අන්තරායකර ඖෂධ කැටගරිය යටතේ.  පසුව එය වෙනස් වී පාලක ඖෂධ ලැයිස්තුවට ආවා. එතනදි අන්තරායකර ඖෂධ වලින් මිදුනත් යම් කාලයක් ඒ යටතේ තිබුණා. පාලක ඖෂධ පද්ධතියට ආවා. නව තොග අංකය යටතේ දැන් ලැබෙනවා. ඒ නිසා එහි තොග පෙන්වන්නේ නැහැ. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඖෂධ 182 ලැයිස්තුව සැකසූ දිනයේම 2022 සැප්තැම්බර් 26 දිනට තවත් රාජකාරියක් කළා නේද? 

සාක්ෂිකරු ; ඔව්. අයිතම ප්‍රමාණය කීයද? Spc යවනවද කියන එක සහ මාසයකට අඩු ඖෂධ ඇති ඒවාත් ශල්‍ය අවශ්‍යතා සහ රසායනාගාර අඩු ඒවාත් ලැයිස්තුගත කලා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; කවුද ඔබට කිව්වේ?

සාක්ෂිකරු ; චන්දන විජේසිංහ වෛද්‍ය තුමා.. 

මේ අවස්ථාවේ එම පත්‍රිකාවට අමුණා ඇති ඉංග්‍රීසි පරිවර්තනය පැ 163 ලෙස නම් කිරීමට නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය උත්සහ කළ අවස්ථාවේ එම ඇමුණුම නම් කිරීම පිළිබඳව විත්තියේ නීතිඥවරු විරෝධය පළ කළහ. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 58 ගොනුවේ 34 පිටුවේ ඇති ලේඛනය හඳුනා ගන්න. 

සාක්ෂිකරු ; මේ ලේඛනය ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ. ඉදිරිපත් කරන්න 2022/09/22 ලිපිය අනුව spc යවන්න සකස් කළ එකක්. මාසයකට ප්‍රමාණවත් නොවන ඖෂධ දාන්න එවූ ලැයිස්තුව තමයි මේ. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය;  260 ලේඛනය අනුව අයිතම 182 ක් සහිත ලේඛනය හැදුවේ එහි සාරාංශයක් තිබේද?

සාක්ෂිකරු ; එසේය ස්වාමීනී....

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය 2022 සැප්තැම්බර් 22 පැ 270 ලේඛනයේ උපදෙස් ලැබුණේද?

සාක්ෂිකරු; එසේය ස්වාමීනී....

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙය හදිසි ප්‍රසම්පාදන සඳහා ඉදිරිපත් කර තිබෙනවාද?

සාක්ෂිකරු ; ඔව්.

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; ඔබ චන්දන විජේසිංහ වෛද්‍යවරයාගේ අත්සන දැක තිබේද?

සාක්ෂිකරු ; ඔව්. වැඩ බලන අධ්‍යක්ෂ ලෙස ඔහු කටයුතු කළා. එහි මාස දහයක් පමණ ඔහු සේවය කළා. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; ඉන්පසු කවුද ආවේ?

සාක්ෂිකරු; වෛද්‍ය සුදර්ශන.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔහු කොපමණ කල් සිටියාද?

සාක්ෂිකරු ; මාස දෙකක් පමණ. ඉන්පසු වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක මහතා විදේශගතව සිට යළි පැමිණියා. ඔහු නැවත වැඩ භාරගත්තා. 

(යළිත් එම කැබිනට් පත්‍රිකාවේ ඉංග්‍රීසි පරිවර්තනය පැ 163 ලෙස නම් කිරීම පිළිබඳව 8 වන චූදිතගේ නීතිඥ විරෝධය පළ කරයි. ඒ අනුව එහි සිංහල පිටපත පැ 304 ලෙස නම් කරනු ලබයි)

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ පෙර කිව්වා තොග හිඟය හඳුනාගත් බව.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 71 ගොනුවේ 2022/11/01 ලෙස ඇති ලිපිය කෙරෙහි අවධානය යොමු කරන්න.මේ ලිපිය ඔබට හඳුනාගත හැකිද.? මේක කොතනට ආ ලියුමක්ද?

සාක්ෂිකරු ; තොග පාලන අංශයට හේරත් මහතා විසින් එවන ලද එකක්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022/11/01 දිනයේ අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ, තොග පාලන අංශයේ සිටින අධ්‍යක්ෂවරු වෙතද?

සාක්ෂිකරු ; එසේය ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; දකුණු පස ඇති අත් අකුරු කාගෙද?

සාක්ෂිකරු ; සොලමන්ස් මහත්මියගේ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මෙම පැ 305 යටතේ රෝම ඉලක්කම් I හා II යටතේ ඇති අමාත්‍ය මණ්ඩල සංදේශ ගැන පුද්ගලිකව දන්නවාද? 

සාක්ෂිකරු ; නැත.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; II යටතේ ඇති ලේඛනය ගැන ඔබට දී ඇති  උපදෙස් සඳහන් කළ හැකිද?

සාක්ෂිකරු ; එසේය ස්වාමීනී, මෙතනදි හදිසි ප්‍රසම්පාදනයක් ලියාපදිංචිය නැති සැපයුම්කරුවන් හරහා කරන්න කිව්වා. අතිරේක ලේකම් වෙත අමාත්‍යතුමාගෙන් ලැබුණු බව වරහන් තුළ සඳහන්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මම අහන්නේ II ගැන නොව 2 ගැනයි.

සාක්ෂිකරු ; එහි කියා ඇත්තේ. spc එකට V කේතය යටතේ ඇනවුම් ලබාදීම ගැනයි. මාස තුනක් සඳහා අවශ්‍ය ප්‍රමාණ ඇනවුම් ක්‍රියාත්මක කරන ලෙස කියා තිබුණා


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වෛද්‍ය සැපයීම් අංශය විසින් ඖෂධ 184 කට අදාළව අභිලාෂ කැඳවන ප්‍රසම්පාදන ගැන දැනුවත්ද? 

සාක්ෂිකරු ; නැත ස්වාමීනි...

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; රෝම ඉලක්කම් II යටතේ කැබිනට් පත්‍රිකාවක්  දමන්න ගත් තීරණය ගැන දැනුවත්ද?

සාක්ෂිකරු ; නැත ස්වාමීනි...

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ ලිපියේ ඇති අංක 2ට යන්න. 1 යටතේ ඇනවුම් ක්‍රියේට් කරන්න තියෙනවා. ඔබ අධිකරණයට සාක්ෂි දුන්න අන්දමින් spc ඇනවුම් ගැන දැනුවත්ව සිටිනවා නේද? 

 සාක්ෂිකරු ;ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ . 303 යටතේ ඔබ සාක්ෂි දුන්නා. 2022 නොවැම්බර් 01 වන විට V කැටගරියේ ඇනවුම් ද තිබුණේ 303 ක්. 

සාක්ෂිකරු ; එසේය ස්වාමීනී 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය ලිපියක් "හෝ" කියා තැනක තිබෙනවා.

සාක්ෂිකරු ; ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ පරීක්ෂා කළ ලේඛනය හා 305 යටතේ ඇති ලේඛනයේ යොමු අංකය සමානද ?

සාක්ෂිකරු ; ඔව්. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබලාට 7 චූදිත උපදෙස් දීල තිබුණද V කැටගරිය යටතේ, නැත්නම් EO 1 වලට යටත්ව ඇනවුම් දමන්න කියා.අලුත් ඇනවුම් දාන වෙලාවට කුමක්ද නොසලකා හරින්න කියන්නේ?

සාක්ෂිකරු ; ඒ වන විට අත ඇති තොග, පෙන්ඩින් ඇති තොග නොසලකා කටයුතු කරන්න කීවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහෙම නැත්නම් spc V ඕඩර්ස් වලට යවන ඇනවුම් MSD V කියලා යවන්න කිව්වද? 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මම අහන්නේ MSD ලෝකල් සප්ලයර්ස් කියලා නේද කිව්වේ?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය; ඒ යටතේ දාගන්න කිව්වනේ V කැටගරි එකක්

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ලියුමේ පසුපස ඇති පළමු ඡේදය බලන්න. එහි අන්සොලිටඩ් අයිතම ගැන සඳහන්. එය 3 ඡේදයට වැඩිමනක් උපදෙස් දීමක්ද? 

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; අවසන් ඡේදයේ ඊට අමතරව සඳහන් කර ඇත්තේ කුමක්ද?

සාක්ෂිකරු ; පරිගණක පද්ධතිය හරහා ඕඩරය සකසා Hard copy එකක් දෙන්න කියලයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කරගෙන යද්දී වැරදි පදනමක් මත ප්‍රශ්න කරන බවට යලිත් විත්ති පාර්ශ්වයේ නීතිඥවරු චෝදනා කළහ. 

විත්තියේ නීතිඥ අසේල සේරසිංහ; පැ 291 හි 2023/MSD/R/D/643 කියන අංකය යටතේ පැ 325 කියා මිනිට් සටහන් පෙන්වමින් ඇනවුම් ලෙස ප්‍රශ්න කරනවා. 

299 ලේඛනයේ පැ 308 හි මිනිට් එකම පැ 172 ගොනුවේදීත් පෙන්වන්නේ. එකම ඇනවුම බව පෙනී පෙනී මේ කියන්න උත්සාහ කරන්නේ  2023 ජනවාරි වනතුරු එකම ඇණවුමක් බව දැන දැන පැමිණිල්ලට ඇති අදහස ඉදිරිපත් කරනවා. මෙය නඩුවේ හරයටම යන දෙයක්. 2022 සැප්තැම්බර් 22500 ක් එන්න තියෙද්දි ජනවාරියෙත් 22500 ක් එන්න තියනවා කියන්නයි හදන්නේ.

2022 ඕඩර් ලිස්ට් එක තිබුනට ඒක ඉදිරියට ගිහින් නැහැ. ප්‍රසම්පාදන කළ පසු ප්‍රසම්පාදන කමිටුව විසින් යළි මිලදී ගන්නා කරුණක් නැහැ. ගැනුම් ඇණවුමක් ඉදිරිපත් කර 2023 පර්චස් ඕඩර් එක හැදුවේ. ඒක පෙන්ඩින් ඕඩර්ස් නෙමෙයි. මේක කරුණු වැරදි ලෙස පෙන්වාදීමට උත්සාහ කිරීමක්. එම ප්‍රශ්නය යොමු කිරීමම වැරදියි. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 3 වන චූදිත තැනැත්තිය 22ඩ500 ක් ඇතුල් කර තිබෙනවා. මම ඒක ඉදිරිපත් කළා. 2 චූදිත වෙනුවෙන් කියනවා පැ 173 ට අනුරූපව හදපු එකක් කියලා. 

 ප්‍රොන්ටෝ system එකට  2022 සැප්තැම්බර් 24 දාපු ඇනවුම තවම පෙන්වනවා. ඒක spc සභාපතිට යැව්වා. මම කළේ ඒක සාක්ෂි ලෙස ඉදිරිපත් කළ එකයි. 2023 ජනවාරි 12 V ඕඩර් එකක් දාලා තියෙනවා තව 22500 කට. 

නීතිඥ ; මගේ උගත් මිතුරිය එක ඇණවුමක් දෙකක් කරන්න හදනවා. 

විනිසුරුවරයා ; මෙම විත්තිය මඟින් අධිකරණයට පෙන්වා දෙන්නේ 00 643 ඇණවුම පැ 308 I ට ඇතුලත් කිරීම වැරදි සහගත බවයි.

පැමිණිල්ල සඳහන් කරන්නේ විරෝධතාවක් වුවත් ඒ සම්බන්ධයෙන් සාක්ෂි මෙහෙයවන බවය. තවද එම කරුණ හේතුවෙන් සාක්ෂි මඟින් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන විරෝධය පදනම් කරගෙන මෙම 00 643 ඇතුළත් නොවීම සම්බන්ධයෙන් ඉදිරියේදී ඉදිරිපත් වීමට විත්තියට හැකි බවය. 

නඩුව වැඩිදුර විභාගය ජුනි 10 දිනට කල් තැබිණි. තවදුරටත් එම සාක්ෂිකරුගෙන් සාක්ෂි ලබා ගැනීමට නියමිතය.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0