රළු නොවන්න - සියුම් වන්න. රූමත් නීතීඥවරියට විනිසුරුතුමන්ගෙන් අවවාදයක්...

“ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේදී, පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න කළ ආකාරය අධිකරණයේ දෝෂදර්ශනයට ලක් විය. සාක්ෂිකරුවන් අපහසුතාවයට පත් කරමින් සිදුකරන බලපෑම් සහගත ප්‍රශ්න කිරීම් වහාම නතර කරන ලෙසත්, සාක්ෂි විමසීම සෞම්‍ය ලෙස සිදු කළ යුතු බවටත් විනිසුරු මඩුල්ල මෙහිදී නියෝග කළේය.”

Mar 20, 2026 - 12:28
Mar 21, 2026 - 14:39
 195
රළු නොවන්න - සියුම් වන්න. රූමත් නීතීඥවරියට විනිසුරුතුමන්ගෙන් අවවාදයක්...


2026 මාර්තු 19 වනදා 
ප්‍රමිතියෙන් තොර එන්නත් නඩු විභාගය.

රළු නොවන්න - සියුම් වන්න.

රූමත් නීතීඥවරියට

විනිසුරුතුමන්ගෙන් අවවාදයක්...


“ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේදී, පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න කළ ආකාරය අධිකරණයේ දෝෂදර්ශනයට ලක් විය. සාක්ෂිකරුවන් අපහසුතාවයට පත් කරමින් සිදුකරන බලපෑම් සහගත ප්‍රශ්න කිරීම් වහාම නතර කරන ලෙසත්, සාක්ෂි විමසීම සෞම්‍ය ලෙස සිදු කළ යුතු බවටත් විනිසුරු මඩුල්ල මෙහිදී නියෝග කළේය.”


අධිකරණ වාර්තාකරු.

අපේ රටේ රජයේ රෝහල් පද්ධතියට සහ රජයේ ඖෂධ අලෙවි සල්වලට අවශ්‍ය ඖෂධ වර්ග හා වෛද්‍ය උපකරණය ගෙන්වා සැපයීම වූ කලී ලෙහෙසි පහසු බාරදුර කටයුත්තක් නම් නොවේ. පිටකොටුවේ දෙවන හරස් වීදියේ වෙළෙන්දන් රටට එදිනෙදා “පාරිභෝජනයට හා භාවිතාවට” අවශ්‍ය අල, ලූණු, සීනි, පරිප්පු, කරවල ආදී වූ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන්වනවාට වඩා සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇවැසි ඖෂධ වර්ග හා සෞඛ්‍ය උපකරණ ගෙන්වීම මොනතරම් බැරෑරුම් හා වගකීම් සහගත කාර්යභාරයක් දැයි අපට හරියට තේරුම් යන්නේ, මේ දිනවල කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනෙන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගයේදී හෙළිදරව් වන කරුණු කාරණා සැලකිල්ලට ගන්නා විටය...

පසුගිය දින තුනක් එක දිගටම ම ප්‍රතිදේහ එන්නත් නඩුකරයේ සාක්ෂි ලබාදීමට පැමිණිල්ල නියෝජනය කරමින් පැමිණ සිටියේ කීර්තිමත් වෛද්‍යවරයෙකි. ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ මිලදී ගැනීම් යටතේ ඖෂධ පිළිබඳ අනු කමිටුවේ සභාපතිනී ලෙස සේවය කරන ඕ, සෞඛ්‍යය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ශිරාණි චම්පිකා වික්‍රමසිංහ මහත්මියයි.

එතුමිය පසුගිය දිනවල පැමිණිල්ලේ සාක්ෂි විභාගයට මුහුණ දෙමින් සාක්ෂි ලබාදෙන ආකාරය විමසා බලන නිරීක්ෂකයන්ට පැහැදිලිවම නිරීක්ෂණය වන කරුණ වන්නේ එතුමියගේ අපක්ෂපාතිභාවය හා අදීනත්වයයි.  පැමිණිල්ලේ සාක්ෂිකරුවන් පැමිණෙන්නේ බොහෝ විට පැමිණිල්ලට වාසිදායක ලෙස සාක්‍ෂි දීමට බව අපේ රටේ අධිකරණ ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායික මතයයි.  

 එහෙත් එතුමිය ඊට වඩා වෙනස් ආස්ථානයක සිටිමින් සාක්ෂි ලබාදීමේ දී  පෙන්නුම් කළ අධිනත්වය හා සත්‍යගරුකභාවය මෙම නඩුකරය හමුවේ පැමිණ සාක්ෂි දුන් අනෙකුත් බොහෝ සාක්ෂිකරුවන්ගේ ඇවතුම් පැවතුම් රටාවට වඩා බොහෝ සේ වෙනස් එකක් විය. එතුමිය එම නිසා අධිකරණයේ ඒ අවස්ථාවේ කටයුතු කළ විනිසුරුවන්ගේ ද නීතිඥයින්ගේද අනිත් පාර්ශව කරුවාන් ගේ ද නොමද ගෞරවයට වූ පාත්‍රවන බව පෙනෙන්නට විය...

එහෙත් පැමිණිල්ලේ සාක්ෂි මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවියට ඇයගේ එම ස්වාධීනත්වයක් හා අපක්ෂපාතිත්වය ගැටලු සහගත විය. ඇයට අවශ්‍ය ඇය බලාපොරොත්තු වන උත්තර සාක්ෂියෙන් නොලැබෙන විට ඇය වෙනස් අයෙකු බවට පත්විය. සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි විමසිය යුත්තේ විත්තිකරුවන් අතර සිටින “සැබෑ වරදකරුවන්” කවුද කියා සොයාගැනීමට අවශ්‍ය සාක්‍ෂි අධිකරණය හමුවේ හෙළිදරව් කිරීමට මිස සාක්ෂි දෙන්නට සද්භාවයෙන් පැමිණෙන සාක්ෂිකරුවන් විත්තිකරුවන් බවට පරිවර්තනය කිරීමේ න්‍යායපත්‍රය මත නොවේ...

අහිංසක සමනලයන් සේම දල තුඩග විෂ සහිත මී මැස්සෝ සියොමැළි සිනිදු මල් වලින් රොන් ගන්නේ මලට ඒ බැව් දැනෙන්නටවත් නොදී බව සරළ ගැමි වහරේ කතාවක් තිබේ. මන්ද... ඒ මල් තැලුණු පොඩි වුණු විට මල් කෙමියෙන් මෝදු වන්නේ මල්පැණි බිදු නොව, මලෙන් ගලන කඳුළු බිඳුය... 
එබැවින් ලක්මිණි ගිරිහාගම මෙනවිය සාක්‍ෂි කාරියගෙන් ප්‍රශ්න විමසක රළු ආකාරය පිළිබඳ නිවැරදි සාධාරණ විනිශ්චයක සිටි ගරුතර අධිකරණයේ විනිසුරුතුමන්ලාද ඇයට තරයේ අවවාද ලබාදෙන ආකාරය උසාවියටම මහත් පාඩමක් කියා දුන්නා වැනිය....

 රජයේ ගරුකටයුතු නිලතල දරන නිලධාරීන් මෙසේ උසාවි එන්නේ සත්‍යය හා හරි වැරැද්ද තෝරා බෙරා ගැනීමට අධිකරණයේ ගරු විනිසුරුතුමන්ලාට අවශ්‍ය සාක්ෂි සාධක ලබා දීමට මිස රජයේ සොලිසිටර් ජෙනරාල්වරියන්ගේ තාඩන පීඩන උසුළු විසුළුවලට හා බලපෑම්වලට ලක්වීමට නොවන බව මිනිසුරුතුමන්ලා ඒ පිළිබඳ දැක්වූ ප්‍රතිචාරයෙන් මොනවට අවබෝධ විය... ඒ වගත් මෙසේය


ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑමක් නොවන අන්දමින් සහ ඔවුන් අපහසුතාවයට පත් නොවන අන්දමින් සාක්ෂි මෙහෙයවන ලෙස එම පැමිණිල්ල මෙහෙයවන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවියට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (19) උපදෙස් ලබා දුන්නේය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ මිලදී ගැනීම් යටතේ ඖෂධ පිළිබඳ අනු කමිටුවේ සභාපතිනී, සෞඛ්‍යය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ශිරාණි චම්පිකා වික්‍රමසිංහ මහත්මිය අදාළ නඩුවේ 203 සාක්ෂිකාරිය ලෙස සාක්ෂි දෙමින් සිටි අවස්ථාවේදී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළ ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කළ විනිසුරු මඩුල්ල මෙම උපදෙස් ලබා දුන්නේය.

අදාළ සාක්ෂිකාරියගෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළ ආකාරය සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන් විසින් විනිසුරු මඩුල්ලේ අවධානය යොමු කළ අවස්ථාවේදී මෙම දැනුම් දීම කරන ලදි. එහිදී විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ නඩුවේ සාක්ෂිකරුවන්ට පහසුවෙන් සාක්ෂි ලබා දිය හැකි පරිදි සෞම්‍ය ලෙස සාක්ෂි මෙහෙයවන ලෙසය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කැදවන ලදි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ සම්බන්ධයෙන් වන අනුකමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කළ වෛද්‍ය ශිරාණි චම්පිකා වික්‍රමසිංහ මහත්මිය එහිදී තෙවැනි දිනටත් සාක්ෂි දීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටියාය. එම අනුකමිටුවේ රැස්වීම් සටහන් වලට අවධානය යොමු කරමින් සාක්ෂි විමසීමට නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය කටයුතු කළාය.

ඒ අනුව 2023 මාර්තු 31 වෙනි දින පැවති “අනු කමිටු රැස්වීම් සටහන් සමග එකඟ වන්නේද” යන්න පිළිබඳව ඇති සටහනක සාක්ෂිකාරියගේ අත්සන පමණක් තිබීමත් අනිත් සටහනේ සෙසු සාමාජිකයන්ගේ අත්සන් සමඟ සාක්ෂිකාරියගේ අත්සන් තිබීමත් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එසේ වන්නේ කෙසේද යන්න පිළිබඳව කරුණු පැහැදිලි කරන ලෙස සාක්ෂිකාරියට දන්වා සිටියාය.

එහිදී ඇය කියා සිටියේ සෑම රැස්වීම් සටහනක දීම එකඟ වන්නේ ද යන කරුණ සම්බන්ධයෙන් තමන් මුලින්ම අත්සන් තබා ඡයාස්ථ පිටපතක් තබාගෙන සෙසු සාමාජිකයන්ගේ අත්සන් ලබා ගැනීම සිදුකරන බවය. සියලු අත්සන් ලබා ගැනීමෙන් අනතුරුව ඡායාස්ථ පිටපත ඉවත් කරන බව සාක්ෂිකාරිය සඳහන් කළාය. මෙහිදී එම පිටපත් දෙකම ඇතුළත්ව ඇති බව ඇය සඳහන් කර සිටියාය. එහිදී විනිසුරු මඩුල්ල විසින් මුල් පිටපත සහ ඡායාස්ථ පිටපත් සසඳා බලන බැලීමක් සිදුකරන ලදි.

“නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා විසින් එවන ලද ලිපියක් සම්බන්ධයෙන් එදින පැවති රැස්වීමේදී සාකච්ඡාවට ගත්තාද” යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර්ජනරාල්වරිය එහිදී ප්‍රශ්නයක් මතු කළ අතර සාක්‍ෂිකාරිය, “ඔව්, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් දින දීර්ඝයක් ඉල්ලා ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයට සහ ඉන්දියානු රාජ්‍ය බැංකුවට ඉල්ලීම් කර ඇති බැවින් ඊට අදාළ ඉන්වොයිස් දිගටම බාරගන්නා ලෙස එම ලිපිය මගින් දැනුම් දී තිබුණා. එම ලිපිය ඒවා තිබුණේ මාර්තු මස 28 වැනිදායි” යනුවෙන් ඊට පිළිතුරු ලබා දුන්නාය.

“2023 අප්‍රේල් මස 21 වැනිදා රැස්වීමක් තිබුණාද?” යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය එහිදී ප්‍රශ්නයක් මතු කළාය. ඊට පිළිතුරු දුන් සාක්ෂිකාරිය සඳහන් කළේ "දින දීර්ඝයක් කලාද කියලා හරියටම කිව්වේ නෑ. අපි දිගටම ඉන්වොයිස් භාරගත්තා. ඒ නිසා ඒ ගැන සිහිකැඳවීමක් කරන්න තීරණය කළා ඒ සම්බන්ධයෙන් එදින මම සටහනක් තැබුවා” යනුවෙනි.

“ඔබට කාගෙන් හරි උපදේශයක් ලැබුණද?” යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය. “වෛද්‍ය සැපයුම් ඒකකයෙන් (MSD) ප්‍රමුඛතා ලේඛනයේ බෙහෙත් පමණක් ලබා ගන්නා ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට (SPC) දැනුම් දී ඇති බවක් අපිට දැනගන්නට ලැබුණා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමට එම අංශයේ සැපයුම් අධ්‍යක්ෂකට අප ආයතනය අපේ ඒකකයට එන්න කිව්වා. ඒ අනුව ඔහු අපේ ඒකකයට ආවා. ඔහු කපිල වික්‍රමනායක මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස මෙම අධිකරණ ශාලාවේ ඉන්නවා” යනුවෙන් සඳහන් කළාය.

මුල් අවස්ථාවේදී ඖෂධ වර්ග 1347ක්ව තිබූ ප්‍රමුඛතා ලේඛනය ඖෂධ 850ක් දක්වා අඩු කළ බව ද එම ප්‍රමුඛතා ලේඛනයේ ඇති ඖෂධ පමණක් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළ බව ඔහු විසින් තමන්ට දැනුම් දුන් බව සඳහන් කළ සාක්ෂිකාරිය ඊට අදාළ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවද කියා සිටියාය.

“එම චක්‍රලේඛයට ඖෂධ අටසිය පනහක් ඇතුළත් වෙනවාද? එහි 349 වන ඖෂධය සහ 570 යන අංකය යටතේ ඇති ඖෂධ මොනවාද?” යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය සාක්ෂිකාරිය ගෙන් විමසීමක් කළ අතර ඇය සදහන් කළේ අංක 349 යටතේ “හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය සහ අංක 570 යටතේ රිටොක්සිමැප්” ඖෂධය සටහන්ව ඇති බවය.

එම සටහනේ raw material යනුවෙන් සඳහන් ඖෂධ දෙකක් pow ලෙස සඳහන්ව තිබීම සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය කළ විමසීමට “තමන් ඒ ගැන නොදන්නා බවට සාක්ෂිකාරිය සඳහන් කළ අවස්ථාවේදී” ඖෂධ සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂකවරියක ලෙස ඔබ වැඩ කළා නේද? pow දන්නේ නැද්ද?" යනුවෙන් නියෝජ්‍ය ජනරාල්වරිය ප්‍රශ්න කළාය. එහිදී සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ “මම හරියටම දන්නේ නෑ ඒ ගැන කියන්න. ඒත් මම හිතනවා එහි සඳහන් කර ඇත්තේ පවුඩර් වෙන්න ඇති කියලා. හරියටම කියන්න දන්නේ නෑ.” යනුවෙන් සඳහන් කළාය.

අදාළ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඇති ඖෂධ පමණක් බාරගන්නා ලෙස වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයා විසින් දැනුම් දෙන විටත් අනුකමිටුව විසින් එම ලැයිස්තුවෙන් පරිබාහිර ඖෂධ ලබාගැනීම සඳහා අනුමැතිය ලබාදී තිබූ බව සඳහන් කළ සාක්‍ෂිකාරිය එම හේතුව මත මාර්තු මස 31 වැනිදාට පෙර අනුමත කළ බෙහෙත් බාරගන්නා ලෙසත්, ඊට පසු මෙම ලැයිස්තුව අනුව ඖෂධ භාරගන්නා ලෙසත් වෛද්‍ය සැපයුම් අංශයට දැන්වීමට තීරණය කළ බව සාක්ෂිකාරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ භාවිතා කිරීම සැප්තැම්බර් මස 30 වැනිදා දින තෙක් දීර්ඝ කර ඇති බව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී තිබූ බව සඳහන් කළ සාක්ෂිකාරිය 2023 වසරේ සැප්තැම්බර් මස 18 වැනි දින නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් විසින් රැස්වීමක් පැවැත්වූ බවත් ඒ සම්බන්ධ සටහන්ද තමන් විසින් තැබූ බවත් සඳහන් කළාය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය තවත් වසරක කාලයකට දීර්ඝ කළ බවත් එම ක්‍රමය යටතේ මෙරටට ඖෂධ ආනයනය කරන අවසන් දවස 2024 ජනවාරි මස 31 වැනිදා විය යුතු බවත් නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා විසින් එහිදී දැන්වීමක් කළ බව සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය.

“තව මොනවද ඔහු කිව්වේ?” යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය ඊට පිළිතුරු දෙමින් “පොඩි පොඩි ගණන්වල ඉන්වොයිස් භාර නොගන්නා ලෙසත්, ඇමරිකානු ඩොලර් දහදාහට වැඩි ඒවා පමණක් බාරගන්නා ලෙසත් එහිදී උපදෙස් ලබා දුන්නා. ඉදිරියේදී අවශ්‍යව කොපමණ ප්‍රමාණයක්ද යන්න පිළිබඳව දැනුම් දෙන ලෙස එම රැස්වීමට පෙර අපට දැනුම් දී තිබුණා. ඒ වන විටත් අනෙකුත් අංශ වෙත ලබාදී තිබූ මුදල් වියදම් කර නොතිබූ නිසා එම මුදල් අතිරේක මුදල් ලෙස ලබාගත හැකි බවට දැනුම් දී තිබුණා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ඇමතිතුමා, ලේකම්තුමා සමග රැස්වීමක් තිබ්බා. එහිදී ම ඇමරිකානු ඩොලර් මිලියන 200ක් ඉල්ලන්න කියල කිව්වා. නමුත් කමිටු රැස්වීම් දී අපි ඊට එකඟ වුණේ නෑ. ඉල්ලන දෙය රියලිස්ටික් විදියට ඉල්ලන්න ඕන කියන එකේ තමයි අපි හිටියේ.” යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය.

“රියලිස්ටික්” යනුවෙන් ඔබ මොකක්ද අදහස් කරේ.” යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී. “ඒ වන විටත් මිලියන 35ක් වියදම් කරගන්න බැරුව හිටියේ. තවත් දෙසීයක් අරගෙන කොහොමද වියදම් කරන්නේ කියන බය තිබුණා. ඒ නිසා අත්‍යවශ්‍ය වන්නේ මොකක්ද කියලා බලන්න තීරණය කළා. ඒ අනුව සියලු අංශ සමග රැස්වීමක් පවත්වන්න තීරණය කළා ඒ පිළිබඳව සටහන් තැබුවා.” යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය.

“ඉන්දියානු ණය යෝජනා ක්‍රමය අවසන් වන දිනය පිළිබඳව සඳහන් කරමින් නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් විසින් ලිපියක් එවා තිබුණේද යන්න පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටි අතර 2024 මාර්තු මස 31 වැනිදා එවැනි ලිපියක් ලැබුණ බව සාක්ෂිකාරිය සඳහන් කළ අවස්ථාවේ දී අදාළ ලිපියෙහි ඇති නිල මුද්‍රා අධිකරණය ට ඉදිරිපත් කර ඇති ඡායාස්ථ පිටපත්වල නොතිබීම සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කර සිටියාය.

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලැබුණු ලිපියෙහි නිල මුද්‍රා ඇති බවත් එම ලිපියේම ඊමේල් පිටපත්වල එවැනි මුද්‍රාවන් නොමැති බවටත් එම ඊමේල් ලිපි අධිකරණය හමුවේ ඇති බවටත් සාක්ෂිකාරිය ඊට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියාය.

“ඒ වන විට ඉන්දියානු ණයයෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 200ක් මුලින්ම ලැබුණා. පසුව ඩොලර් මිලියන 35ක් ලැබුණා. පසුව තවත් මිලියන 200ක් ලැබුණා. ඒ මුදල් පාවිච්චි කරාද? ආපසු හරවා යැව්වා? යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය එහිදී ප්‍රශ්න කළාය. එහිදී සාක්ෂිකාරිය සඳහන් කළේ එම සියලුම මුදල් නොලැබුණු බවත් අවසාන වශයෙන් ඩොලර් මිලියන 350 ක් ලැබුණු බවත්ය.

“ඩොලර් මිලියන 130 ක් නැවත හරවා යැවීම සම්බන්ධයෙන් සාකච්ඡාව ලක් කළේ නැතිද?” නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය එහිදී නැවතත් සාක්ෂිකාරියකින් ප්‍රශ්න කර සිටියාය. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ ඒ වන විටත් ලැබී තිබූ ඩොලර් මිලියන 35 පාවිච්චි කිරීම ට අපහසුව තිබූ බවය. පෞද්ගලික අංශයේ සැපයුම්කරුවන් ඖෂධ ගෙන්වීමට කැමැත්ත පළ නොකළ බව සඳහන් කළ සාක්ෂිකාරිය ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණේ ණයක් බවත් එය ට 7%ක පොලියක් ගෙවිය යුතු බවත්, එම මුදල ඉන්වොයිස් පතට එකතු කළ විට ඖෂධවල මිල වැඩිවන බවත් එම කරුණ හේතුවෙන් පෞද්ගලික සැපයුම්කරුවන් එම ක්‍රමය යටතේ ඖෂධ ගෙන්වීමට අකමැත්ත පළ කළ බවත් සඳහන් කළාය.

“අපි මුදල් දුන්නට ඒ ගානට බෙහෙත් ගෙනාවේ නෑ. රටේ ඩොලර් හිඟයක් තිබුන අවස්ථාවේදී මුල් කාලයේදී ඔවුන් බෙහෙත් ගේන්න කැමති උනා. එහෙත් රටට ඩොලර් එද්දි ඔවුන් මේ ක්‍රමය යටතේ බෙහෙත් ගේන්න අකමැති වුණා. ඒ බව මම 2024 පෙබරවාරි මස 21 වැනි දින සටහන් තැබුවා” යනුවෙන් සාක්ෂිකාරිය තවදුරටත් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළාය.

මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත සාක්‍ෂිකාරිය විසින් ඉදිරිපත් කළ ලේඛන ගොනුව ට එවැනි ලේඛනයක් ඇතුළත් නොවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය “අධිකරණ නියෝගයකට එලෙස අවනත නොවූයේ කෙසේදැ”යි සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න කළාය.

එහිදී සාක්ෂිකාරිය සඳහන් කළේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ප්‍රශ්න කිහිපයක් විමසා තිබුණ අතර ඊට අදාළ සටහන් යැවූ බවය. එම සටහන් ලබාදීමෙන් අනතුරුවත් රැස්වීම් දෙකක් පවත්වා ඇති බව සාක්ෂිකාරිය තවදුරටත් සඳහන් කළාය. අනතුරුව එම සටහන් සාක්ෂිකාරියගෙන් ඉල්ලා සිටි නියෝජ්‍ය ජෙනරාල්වරිය ඒවා පරීක්ෂා කිරීමෙන් අනතුරුව “නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් සමඟ 2024 පෙබරවාරි 1 දින පැවති සාකච්ඡාව ගැන කරුණු මෙහි තිබෙනවාද” යනුවෙන් සාක්ෂිකාරිය ගෙන් ප්‍රශ්න කර සිටියාය.

“ඔව් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය භාවිතා කිරීමට අත්‍යවශ්‍ය හා කර්මාන්ත අංශයේ අය අකමැති බව සටහන් කළා”යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළ අවස්ථාවේදී.... “ඔබ කිව්වේ පෞද්ගලික අංශය සැපයුම්කරුවන් අකමැති බව කොතැනද... එවැනි සටහනක් තිබෙන්නේ” යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකාරියගෙන් නැවතත් ප්‍රශ්න කර සිටියාය.”

“ඒ ගැන මෙහි සටහන් තබා නෑ.... ඔවුන් සමග කතා කරාම තමයි කිව්වේ ඔවුන් මෙයට අකමැති බව. ඖෂධ මණ්ඩලය අපට ඒ බව ලිඛිතව දන්වා හිටියා.”යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළ අවස්ථාවේදී විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා “ඒ සම්බන්ධ ලිපි තිබෙනවාද?” යනුවෙන් සාක්ෂිකාරියකින් විමසීමක් කළේය. එම ලිපි ඇති බවට ප්‍රකාශ කළ සාක්ෂිකාරිය අදාළ ලිපි විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කළාය.

“ජුනි 27 දින ය අවධානය යොමු කරන්න. මෙම රැස්වීමේදී පුද්ගලික සැපයුම් ගැන කරුවන් ගැන පමණයි ඇත්තේ. spc හා msd ගැන සඳහන් කර නැහැ” යනුවෙන් විමසීමක් කළ අවස්ථාවේදී එම ප්‍රශ්න කිරීමේ විලාශය සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරු විසින් විනිසුරු මඩුල්ලේ අවධානය යොමු කරන ලදී.

එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා නියෝජ්‍ය සොරිස්ටර් ජනරාල්වරිය අමතමින් සාක්ෂිකාරියට බලපෑම් නොවන ආකාරයෙන් සාක්ෂිය විමසීම සිදු කරන ලෙස දන්වා සිටියේය. සාක්ෂි විමසීමක් සිදුකිරීමේදී එය සාක්ෂිකරුවන්ගේ විශ්වාසය සහ පහසුවෙන් සාක්ෂි ලබාගත හැකි පරිදි සෞම්‍ය ලෙස සිදුවිය යුතු බව සඳහන් කළ සභාපති විනිසුරුවරයා සාක්‍ෂිකරුවන්ට බලපෑම් නොකළ යුතු බවට උපදෙස් ලබා දුන්නේය.

අනතුරුව සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න විමසීම සිදුකළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය “ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ කාලය දීර්ඝ කළා කිව්වම එයට අකමැති බව දැන්වූ පාර්ශව කවුද?” යනුවෙන් විමසා සිටියාය. “ඖෂධ නිෂ්පාදකයින් ලිපියක් එවා තිබුණා. පෞද්ගලික සැපයුම්කරුවන් දෙන්නෙක් ලිපියක් එව්වා. අනෙකුත් අය කිසිදු පිළිතුරක් එව්වේ නෑ. MSD සහ spc අකමැත්ත පළ කළේ නෑ.” යනුවෙන් ඇය ඊට පිළිතුරු ලබා දුන්නාය.

මෙම ණය මුදලින් මිලියන සියයක් වැය කිරීමට හැකි බව වෛද්‍ය සැපයුම් අංශයේ වෛද්‍ය වෛද්‍ය හේරත් විසින් වෛද්‍ය රත්නායකට දන්වා යවා ඇති බවත් ඔහු මෙම අධිකරණයේ විත්තිකරුවන් අතර සිටින බවත් සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඒ වන විටත් ආනයන සහ සැපයුම් ලෙස ලකුණු කර තිබූ ඉන්වොයිස් පත් 45කින් දෙකකට අදාල මුදල් ලැබී තිබූ බවත්, තවත් ඉන්වොයිස් පත් තිස් අටකින් එකකට අදාලව මුදල් ලැබී තිබූ බව සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය.

ඒ සමගම සාක්ෂිකාරියගෙන් මූලික සාක්ෂි විමසීම අවසන් කළ අතර පළමු විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම නොකරන බව නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා අධිකරණයට දැනුම් දුන්නේය. අනතුරුව දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කරමින් සාක්ෂිකාරියගෙන් විමසා සිටියේ මෙම ඉන්දියානු ණය යෝජනා ක්‍රමය භාවිතා කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ තිබේද යන්න පිළිබඳවය.

එවැනි මාර්ගෝපදේශයක් ඇති බව සාක්ෂිකාරිය සඳහන් කළාය. එම ඉන්දියානු ණය ආධාරය ඖෂධ පමණක් නොව “ආහාර, සත්ව ආහාර, සිමෙන්ති, ඇඟලුම්, පොහොර සහ අමුද්‍රව්‍ය වර්ග ඉන්දියාවෙන් ආනයනය කිරීම සඳහා භාවිතා කිරීමට තිබුණා නේදැයි නීතිඥවරයා ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී සාක්‍ෂිකාරිය ඊට "ඔව්" යනුවෙන් පිළිතුරු ලබා දුන්නාය.

“මෙය ආධාරයක් නොව මෙමගින් සිදුවන්නේ ඉන්දියානු රාජ්‍ය බැංකුවෙන් ඉන්දියාවේ සිට ඉන්දියාවේ අපනයන පාර්ශ්වයට මුදල් ලබාදීමක් නේද? යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය ඊට එකඟතාවය පළ කළාය. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ සාක්ෂිකාරිය “එය සරල නැහැ. මට අවබෝධ වන විදිහට එම මුදල් අපිට ලැබුනේ ණයක් විදියටයි. ඇමරිකානු ඩොලර් මිලියන දාහක්. පොලියද ඇතුළත්ව. එල්. සී. ඕපන්කිරීමෙන් පසුව ඉන්දියාවේ සැපයුම්කරුවන්ට මුදල් ගෙවනවා. ඒ සම්පූර්ණ මුදල ඉදිරියේදී ශ්‍රී ලංකා රජය පොලියට සමග ඉන්දියාවට ගෙවිය යුතුයි” යනුවෙන් සඳහන් කළාය.

එම ණයයෝජනා ක්‍රමය යටතේ පෞද්ගලික ආනයනකරුවන්ට ඖෂධ ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබූ බව හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළාය. එහෙත් සැපයුම්කරුවන් එම ණය මුදල් භාවිතා කිරීමට උනන්දුවක් නොදැක්වූ බව ද ඒ බව සඳහන් කරමින් ඔවුන් ලිපි දෙකක් එවා ඇති බවද ඇය එහිදී සඳහන් කළාය.

“ඔබ අධිකරණයේදී හඳුනාගත් කපිල වික්‍රමනායක අධ්‍යයන කටයුතු සඳහා 2022 ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මස දක්වා විදේශගත වී සිටි බව දන්නවාද ?” යනුවෙන් නීතිඥවරයා සාක්‍ෂිකාරියගෙන් ප්‍රශ්න කර සිටි අතර “ඔහු විදේශ ගත වූ බව මම දන්නවා නමුත් කාල වකවානු මම දන්නේ නෑ". යනුවෙන් ඇය සඳහන් කර සිටියාය.

වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ව සිටි වෛද්‍ය හේරත් නිවාඩු සිටි කාලයේදී සත් මාස දෙකක් කාලයක් දක්වා තමන් වෛද්‍ය සැපයුම් අංශයේ සේවය කළ බව සාක්ෂිකාරිය හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළාය. වෛද්‍ය සැපයුම් අංශය මගින් ඖෂධ ලබාගෙන ගබඩා කර රෝහල්වලට ලබාදෙන අතර ඖෂධ ප්‍රමාණය කොපමණද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද එය දාහකට වඩා වැඩිවන බව තමන්ගේ අදහස බවද සාක්ෂිකාරිය එහිදී සඳහන් කර සිටියාය. එසේම දෛනිකව ඖෂධ සහ උපකරණ තොග වෛද්‍ය සැපයුම් ඒකකයට ලැබෙන බවද සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය.

ඉන්දියානු ණයයෝජනා ක්‍රමය යටතේ ආනයනය කිරීම සඳහා පෞද්ගලික ආනයනකරුවන්ගේ ඉල්ලුම මන්දගාමී වීමට හේතුව කුමක්දැයි නීතිඥවරයා සාක්ෂිකාරියකින් විමසා සිටි අවස්ථාවේදී ඇය සඳහන් කර සිටියේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් සිදුකරන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉතාමත් දිගු සහ ක්‍රියාදාම රාශියකින් යුක්ත වන අතර එම ප්‍රසම්පාදන කාලය තුළ පෞද්ගලික අංශය අදාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හොඳින් කටයුතු කළ බවය. එහෙත් එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන්ව එම ඖෂධ ගෙන එන අවස්ථාව වන විට පෞද්ගලික අයදුම්කරුවන්ගේ උනන්දුව අවම වී තිබූ බව ඇය සඳහන් කළාය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය හැර වෙනත් ක්‍රම ඔස්සේ ඖෂධ ගෙන්වීමට හැකියාව තිබේදැයි නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය ඊට “ඔව්” ලෙස පිළිතුරු ලබා දුන්නාය. “ඉන්දියානු ණයයෝජනා ක්‍රමය හෝ වෙනත් ක්‍රමයක් මගින් ඖෂධ ලබාදී රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම මූලික පරමාර්ථය නේද ?” නීතිඥවරයා ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය ඊට එකඟතාවය පළ කළාය.

මෙම ණයයෝජනා ක්‍රමය යටතේ ඖෂධ සම්බන්ධයෙන් වන ඉන්වොයිස් පත්‍ර සම්බන්ධයෙන් කටයුතු කිරීම තමන්ට පැවරී තිබුණු අතර ඖෂධ සම්බන්ධයෙන් වන මිල ගෙවීම් හෝ ලැබීම් තමන්ගේ වප්පසරියට අයත් නොවන බවද ඒ සම්බන්ධයෙන් සාක්ෂි දීමට තමන්ට දැනුමක් නොමැති බවද සාක්ෂිකාරිය හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියාය.

දෙවැනි විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කිරීමෙන් අනතුරුව නවවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාහුල් ජයවර්ධන මහතා සාක්‍ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සෞඛ්‍ය සමුළුවලට තමන් සහභාගිවී ඇති බව සාක්ෂිකාරිය එම හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය.

2022 වසර වන විට ඩොලර් හිඟයක් තිබුණු බවත් ඒ කාලයේදී ඉන්දියානු ණය ආධාරය ලැබුණු බවත් ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් වන අනුකමිටුවේ සභාපතිනිය ලෙස තමන් කටයුතු කළ බවත් සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය. “2022 වසරේදී ලංකාවට ඖෂධ ගෙන්වා ගැනීමට අවශ්‍යතාවයක් තිබුණා නේද” යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය... “කොයි කාලයේදීත් ලංකාවට ඖෂධ ගෙන්වා ගැනීමට අවශ්‍යතාවය තිබුණා. ඩොලර් හිඟය නිසා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සැපයුම්කරුවන්ට ඖෂධ ගෙන්වීමට ඉඩ දී තිබුණා. මුදල් අමාත්‍යාංශයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් විශාල කාර්යභාරයක් කරලා සෞඛ්‍ය ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කළා”යනුවෙන් පිළිතුරු ලබාදුන්නාය.

“එයින් අදහස් වෙන්නේ ඖෂධ කඩිනමින් ලබා ගැනීමට අවශ්‍යතාවයක් තිබූ බවද?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ විට... “කඩිනමින් ඖෂධ ලබාගැනීමේ ක්‍රමයක් නෑ සැපයුම් ක්‍රියාදාමයක් තමයි තිබෙන්නේ. එම ක්‍රියාදාමයට වසර දෙකක් පමණ කාලයක් යනවා.” යනුවෙන් සඳහන් කළ සාක්ෂිකාරිය යම් ආකාරයකින් ඖෂධ ගෙන්වීමට නොහැකි වුවහොත් ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බවද සඳහන් කළාය.

කෙසේ වුවද ඉන්දියාවේ රුපියල් භාවිතා කර කර ඉන්දියාවේම නිෂ්පාදනය කරන ඖෂධ ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය පැමිණියද එය එම අවස්ථාවේදී ඩොලර් හිඟයට ප්‍රතිකර්මයක් වූ බව සාක්ෂිකාරිය හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තවදුරටත් සඳහන් කළාය.

අනතුරුව මෙම නඩුවේ එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසමින් ප්‍රශ්න කර සිටියේ... “බෝ නොවන රෝග ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියක වන සාක්ෂිකාරිය බෝවන රෝගයක් වන පිළිකා රෝගය සඳහා ලබාදෙන ඖෂධ අධික මිලකින් යුක්ත බව දන්නේද ?”යනුවෙනි.

පිළිකා රෝගය සඳහා භාවිතා කරන ඖෂධ මිල අධික ද යන්න තමන්ට ප්‍රකාශ කළ නොහැකි බව සාක්ෂිකාරිය එහිදී සඳහන් කර සිටියාය. රෝගීන්ගේ නමින් ඖෂධ ගෙන්වීමක් සම්බන්ධයෙන් නීතිඥවරයා ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ... විශේෂ අවස්ථාවලදී අත්‍යවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා එවැනි ඖෂධ ආනයනය කරන බවය. එම ඖෂධ මිලෙන් අධික බව සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය. රෝහල් පද්ධතිය තුළ ඖෂධ හිඟයක් නොමැතිව පවත්වාගෙන යාම නිලධාරීන්ගේ වගකීමක් බව සඳහන් කළ සාක්ෂිකාරිය එම හිඟය මගහැරවා ගැනීම සඳහා ස්වාරක්ෂක තොග පවත්වාගෙන යන බවද සඳහන් කළාය.

වාර්ෂික ඖෂධ අවශ්‍යතාවය පිළිබඳ සලකා බලා ප්‍රසම්පාදන කටයුතු යි සිදුකළද මිගැනීමේදී සම්පූර්ණ ඖෂධ තොගයම මිලදී නොගැනීමට කටයුතු කරන බවද සාක්ෂිකාරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය. එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුත්ව තුන්වැනි තුන්වැනි විත්තිකාරිය වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කරන ලදී.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ගෙන ඒම සඳහා වෛද්‍ය සැපයුම් අංශයෙන් සකස් කළ ප්‍රමුඛතා ලේඛණය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට එම අංශයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අධ්‍යක්ෂකවරියන් ලෙස කටයුතු කර ද චන්දනී වන්නියාරච්චි සහ සොලමන්ස් තම ඒකකය වෙත කැඳවූ බව සාක්ෂිකාරිය එම හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළාය.

වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම හෙට (20) දින සිදු කිරීමට නියම වූ අතර ඒ අනුව සාක්ෂිකාරියට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කෙරිණ.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0