ඉමියුනෝග්ලොබියුලීම් බාල බෙහෙත් නඩුවේ ඇඟ බේරාගැනීමේ කලාව

නඩු විභාගයක සාක්ෂි විභාගයෙන් පසුව එළඹෙන හරස් ප්‍රශ්න ඇසීමේ වාරයේදී මූලික නඩු විභාගයෙන් මතුකළ හා මතුවුණු කරුණුවලට අමතරව ඉතාමත් වැදගත් සාක්ෂි හා කරුණු කාරණා රැසක් උසාවියක හෙළිදරව් වීම විශේෂත්වයකි... පසුගිය සතියේ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ දිනපතා විභාගයට ගෙන තිබූ “හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් හා රිටක්සිමැබ්” ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගයේදීද මහජනයා අවධානයෙන් සිටිය යුතු හා දැනගත යුතු ඉතා සුවිශේෂී හා වටිනා කරුණු කාරණා රැසක් රට හමුවේ හෙළිදරව් වී තිබිණි...

Mar 13, 2026 - 13:22
 72
ඉමියුනෝග්ලොබියුලීම්  බාල බෙහෙත් නඩුවේ ඇඟ බේරාගැනීමේ කලාව

ඉමියුනෝග්ලොබියුලීම් 

බාල බෙහෙත් නඩුවේ

ඇඟ බේරාගැනීමේ කලාව...

 

 

නඩු විභාගයක සාක්ෂි විභාගයෙන් පසුව එළඹෙන හරස් ප්‍රශ්න ඇසීමේ වාරයේදී මූලික නඩු විභාගයෙන් මතුකළ හා මතුවුණු කරුණුවලට අමතරව ඉතාමත් වැදගත් සාක්ෂි හා කරුණු කාරණා රැසක් උසාවියක හෙළිදරව් වීම විශේෂත්වයකි...

 

 

පසුගිය සතියේ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ දිනපතා විභාගයට ගෙන තිබූ “හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් හා රිටක්සිමැබ්” ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගයේදීද මහජනයා අවධානයෙන් සිටිය යුතු හා දැනගත යුතු ඉතා සුවිශේෂී හා වටිනා කරුණු කාරණා රැසක් රට හමුවේ හෙළිදරව් වී තිබිණි...

 

 

ඒ අතරින් අතිශයින් සංවේදී එක් ප්‍රධාන කාරණයක් ලෙස අපට පෙන්වා දිය හැක්කේ කල් ඉකුත් වූ බව දැන දැනම “ජල භීතිකාව සඳහා ලබා දෙනු ලබන එන්නත්” තොගයක්, වෙන වෙනත් හේතු මත යැයි පවසමින් මහජනතාවට එන්නත් කිරීම සඳහා නිර්දේශ කරන්නට රජය තීරණය කළ බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඉහළම ප්‍රධානියා කිසි වගේ වගක් නැතුව ප්‍රකාශයක් නිකුත් කර සිටීමයි...

 

 

ඔහු එසේ ප්‍රකාශයක් නිකුත් කළා නොව. එසේ ප්‍රකාශයක් නිකුත් කරන්නට විත්තියේ නීතිඥයින්ගේ හරස් ප්‍රශ්න හමුවේ සිදු වූවා යයි පැවසීම වඩාත් කාලෝචිතය... මෙවන් සාක්ෂි රැසකි.

 

 

සැබවින්ම මෙම නඩුකරය නීතිපති දෙපාර්තමේන්තුව විසින් පවත්වා ගෙන යනු ලබන්නේ අතිශයින් සංවේදී ප්‍රතිදේහ එන්නත් දෙකක් වන “හියුමන් ඉමියුනෝග්ලොබියුලීම් හා රිටක්සිමැබ්” ඖෂධවල ප්‍රමිතියෙන් තොර එක්තරා කාණ්ඩයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යංශය හා රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය එක්ව ගනු ලැබූ තීන්දු වලින් අනතුරුව මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක් කිරීම සම්බන්ධයෙන් වගඋත්තර කරුවන් සොයාගෙන නීතිය ක්‍රියාවේ යෙදවීමට බව රහසක් නොවේ...

 

 

ඒ වෙනුවට එකී ඖෂධය ගෙනැවිත් දී හෝ ලංකාවේ නිෂ්පාදනය කර හෝ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අදාළ ඖෂධ සපයන ලදැයි කියන සමාගම, ඇතුළු එම සිදුවීමට පහසුකම් සැපයූ, එම සිදුවීමට අනුබල දුන්, හා තීන්දු තීරණ ගත් පාර්ශ්ව දොළහක් මේ නඩුකරය සඳහා විත්තිය ලෙස මැදිහත්ව ඇති බව අපි දනිමු.

 

 

ඉහත ජල භීතිකා එන්නත ගැන මෙදිනත් තොරතුර සැපයූ, මෙම නඩුවේ දෙවැනි සාක්ෂිකරු, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපතිවරයකු වන විශේෂඥ වෛද්‍ය සවින් නිශාන්ත සේමගේ මහතා ඇතුළු සාක්ෂිකරුවන් හාරසිය දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මේ නඩුකරය ඉදිරියට පැමිණ සාක්ෂි ලබාදෙන්නේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධියේ වගඋත්තරකරුවන් කවුරුන්දැයි සොයා ගැනීමට ගරුතර අධිකරණයට සහාය වීමටය...

 

 

එහෙත් ඔවුන් කෙරෙන් දැන් දැන් මතු වෙමින් පවතින්නේ විත්තිකරුවන් වරදකරුවන් කිරීමට සමත් විධිමත් ශක්තිමත් සත්‍ය කරුණුවලට වඩා රාජ්‍ය යාන්ත්‍රණවල දුර්වලතා, අක්‍රමිකතා හා අන්‍යොන්‍ය වශයෙන් පුද්ගලයන් හා නිලබල ව්‍යූහයන් අතර සිදුව ඇති වගකීම් පැහැරහැරීම් හා වගකීමෙන් නිදහස්වීම් ආදිය පිළිබද කරුණු නොවේද... රාජ්‍ය යාන්ත්‍රණය තුළ මීට පෙර සිදුව ඇතැයි කියන අවිධිමත් ගනුදෙනු හා සිදුවීම් ගණනාවක් නොවේද...

 

 

සෞඛ්‍ය දෙපාර්තමේන්තුව රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග සපයාදීම නිතිපතාම සිදුවන කාර්යභාරයකි. එම කාර්යභාරය ඉටු කිරීමට වෙහෙසෙන හා වග වන පාර්ශ්වයන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහත කී යාන්ත්‍රණය යටතේ සංවිධානගත වී ඇත්තේය. බහුතරයක් දෙනා වගකීමෙන් යුතුව එම රාජකාරිය නොපිරිහෙලා ඉටුකරන බව අප පිළිගත යුතුය.

 

 

එහෙත් මෙවන් නඩුකරයක හෙළිදරව් වන ඇතැම් කරුණු හා සාක්ෂි මත පෙනී යන්නේ නිලධාරීන් ඒ සඳහා තීන්දු තීරණ ගැනීමේ දී මෙතෙක් කාලයක් වගකීම අනෙකෙකුට පවරා ඇඟ බේරාගෙන ඇති අන්දම සහ නිරතුරුවම වරද අනෙකෙකු වෙත පවරා තමන් සුදනා වීමේ විධික්‍රමය අනුගමනය කර ඇති ආකාරයයි.

 

 

“මගේ කාලයේදී නෙවෙයි, මම නෙවෙයි, මම දන්නෙ නෑ, මට මතක නෑ. යනාදී වශයෙන් වගකිය යුතු උසස් නිලධාරින් අභියෝගාත්මක ප්‍රශ්න හමුවේ පිළිතුරු දෙන ආකාරය බලන්න...  මෙම නඩුකරය පුරාම එවන් සාක්ෂි කොතෙක්දැයි ඉවසීමෙන් යුතුව විමසා බලන විට දකින්නට ලැ‍බෙයි.

 

 

“විත්තියේ නීතිඥවරයා ; ස්තුතියි ස්වාමීනී 2022.05.18 දිනැති, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලිපි ශීර්ෂ යටතේ නිකුත් කර තිබෙන මෙම ලිපියේ ඡායාස්ථ පිටපතේ ඔබගේ අත්සන හා නිල මුද්‍රාව තිබෙන බව පැහැදිලියි නේද? පාර්ශ්ව පහක් අත්සන් කර ඇති එම ලිපියේ හතරවන අත්සන ඔබගේ නේද?

 

සාක්ෂිකරු ; ඒක මට නිශ්චිතවම කියන්න බැහැ.

 

විත්තියේ නීතිඥ ; ඔබ යම් රාජකාරි ලිපියක් යවන විට ඔබගේ නිල මුද්‍රාව තබා අත්සන් කරනවා නේද?

 

සාක්ෂිකරු ; මා අත්සන් කරන ලද ලිපිවල කාර්යාල පිටපත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තිබෙනවා.”

 

 

රජයේ රෝහල් වෙත ප්‍රතිකාර පතා නිරතුරුව පැමිණෙන්නේ මේ රටේ සාමාන්‍ය පන්තියේ බහුතරයක් වූ අඩු ආදායම් ලබන ජනතාව බව රහසක් නොවේ. එහෙත් මේ රටේ රාජ්‍ය තන්ත්‍රය පවත්වාගෙන යාම සඳහා තමන් නිරතුරුව පරිභෝජනය කරන හාල්, පොල්, පොල්, සීනි, අල ලූණු, අත්‍යාවශ්‍ය ආහාර හා ජල, ඉන්ධන, විදුලිය ආදි පහසුකම් මත මේ රටේ වැඩිපුරම බදු ගෙවන්නේ ද සාමාන්‍ය ජනතාවයි.

 

 

රාජ්‍ය නිලධාරීන් වැටුප් හා අනෙකුත් දීමනා ලබමින් සාමාන්‍ය පොදු ජනතාවට වඩා ඉහළ ජීවන මට්ටමක් ඇතුව අභිමානයෙන් ජීවත්වන්නේ ඔවුන්ගේ ඒ මුදලින් ලබා ගන්නා අති විශාල වේතනයන් හා පහසුකම් මත බව මතක තබාගත යුතුව ඇත්තේය..

 

 

ඒ වෙනුවෙන් ඔවුන් කළ යුත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රය හෝ වෙන මොනයම් ඕනෑම ක්ෂේත්‍රයක කරන තමන්ගේ රැකියාවේ වගකීම හා යුතුකම හැකි ඉහළම පරිමාණයෙන් ඉටුකරලීමයි. එහෙත් අපේ නිලධාරී තන්ත්‍රයෙන් මේ වගකීම හරියාකාරව ඉටුකරන්නේ කීයෙන් කී දෙනෙක් ද යන ප්‍රශ්නය අපට තිබේ... මේ නඩු විභාගය පුරාම අපට තවම හමුවන්නේ එක්කෝ විශේෂඥ වෛද්‍යවරුන් හෝ වෘත්තීය වේදීන් හෝ පරිපාලන නිලධාරීන් හෝ ක්ෂේත්‍රය පිළිබඳ නිපුණතා ඇති රජයේ සේවකයන් පිරිසකි...

 

 

නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ව ක්‍රමානුකූලව පෙළ ගස්වමින් මේ රටට ඔප්පු කරන්නට සූදානම් වන්නේ එක් කරුණකි.. ඒම ප්‍රශ්නගත නඩුකරයේ වග උත්තරකරුවන් රට හමුවේ නිරුවත් කොට හෙළිදරව් කිරීම බව රහසක් නොවේ...

 

 

එහෙත් මේ වන විට කවර හෝ අඩුපාඩුවක් නිසා සෑමදාම හෙළිදරව් වෙමින් පවතින්නේ එකී නිලධාරී තන්ත්‍රය විසින් තමන් කරගෙන ගියා වූ කාර්ය පටිපාටියෙහි ඇතිඅඩුපාඩු අක්‍රමිකතා හා අන්‍යෙන්‍ය අවබොධය හා වගකීම නොමතිබවින් මතුවූ තම තමන්ගේම වැරදි තීන්දු නොවේද...

 

 

අපට කළ හැක්කේ මේ පිළිබඳ උසාවියේ විභාග වෙන සත්‍ය කරුණු පෙළ ගස්වමින් ඒවා ඔස්සේ හෙළිදරව් වන සමාජමය වැදගත්තමක් ඇති කාරණා සාක්‍ෂි ලෙස ඔබ ඉදිරියේ තැබීම පමණි...

 

 

නඩු විභාගයේ විනිශ්චය හෝ තීන්දු උගත් විනිසුරුතුමන්ලා විසින් ඉදිරියේදී රට හමුවේ ලබා දෙනු නිසැකය...

 

 

එහෙත් ඒ සියල්ල දෙස ඔබ නිරවුල් මනසකින්  විමර්ශනයෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම මතක් කරදීම මාධ්‍යකරණයේ තවත් එක් ප්‍රධාන වගකීමක් බව පෙන්වා දෙමින් අපි මෙම කරුණු ඔබ හමුවේ  මෙසේ ඉදිරිපත් කර තබනු කැමැත්තෙමු....

 

 

විශේෂ ක්‍රමවේදය යටතේ හදිසි ප්‍රසම්පාදන ලෙස ඖෂධ ආනයනය කිරීමට අදාළ ඩබ්ලිව් ඕ ආර්  ක්‍රියාවලියට අදාළ ලේඛන එවකට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගේ අත්සනින් නිකුත්කර ඇතත් එකී අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා ඇතුළු ඊට අදාළ  සියලු ලේඛන අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ එවකට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්. ඩී. ජයරත්න මහතා බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි විශේෂඥ වෛද්‍ය සවින් නිශාන්ත සේමගේ මහතා ඊයේ (12) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.

 

 සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් වෛද්‍ය විජිත් ගුණසේකර මහතා වෙත (ඩබ්ලිව් ඕ ආර් ) ලියාපදිංචිය මඟ හැර සහතික නිදහස් කිරීමට අදාළ ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කර, ඒවායේ යම්කිසි අඩුපාඩුවක් ඇත්නම් ඒ පිළිබඳව අදාල පාර්ශ්ව වෙත දැනුම් දෙන ලෙසට දැනුම්වත් කර නොතිබූ බවද විත්තිය ඉදිරිපත් කළ ලේඛන අනුව පෙනී යන බව තමා පිළිගන්නේ යයිද දොළොස්වන විත්තිකාර වෛද්‍ය විජිත් ගුණසේකර මහතා  වෙනුවෙන් පෙනී සිටි  නීතිඥ චමින්ද අතුකොරල මහතා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එම සාක්ෂිකරු පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඩබ්ලිව් ඕ ආර්  ක්‍රමවේදය යටතේ ඖෂධ ආනයනය ලියාපදිංචියට අදාළ නිර්දේශ එමඟින් ඉදිරිපත් කොට තිබුණත් ඖෂධ ඇගයීම් කමිටු නිර්දේශය ඇතුළු සෙසු නිර්දේශ ලැබෙන තෙක් එම ක්‍රියාවලිය සම්පූර්ණ නොවන බවත් එය එම ක්‍රියාවලිය ආරම්භයක් පමණක් බවත් පැවසීය.

 

විත්තියේ නීතිඥ චමින්ද අතුකෝරල මහතාද සාක්ෂිකරුට පැමිණිල්ලේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කොට ඇති 65 වන ගොනුවේ පැ 93 දරන ලේඛනය පෙන්වා කරුණු විමසයි.

 

 නීතිඥ චමින්ද අතුකෝරල මහතා ; ඔය ලේඛනය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස රාජකාරි කළ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා අත්සන් කරපු ඔය ලේඛනයේ කොතැනක හෝ සඳහන් වෙලා තියෙනවාද ඩබ්ලිව් ඕ ආර්  ක්‍රමවේදය මගහැර කටයුතු කළ යුතුයි කියලා? එහි සඳහන් වෙනවානේ. නියමිත මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතුයි කියලා.

 

 

සාක්ෂිකරු ; ඩබ්ලිව් ඕ ආර්  මගහැර කටයුතු කළ යුතු බව සඳහන් නෑ.

 

 

(මෙම අවස්ථාවේ දී විත්තියේ නීතිඥවරයා අදාළ කොන්දේසි ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත අධිකරණය හමුවේදී කියවයි.)

 

 

නීතිඥ චමින්ද අතුකෝරල මහතා ; ඔබතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ දුන්න අවස්ථාවලදී ඔය ලේඛන ඔක්කොම පෙන්නුවනේ.

 

 

සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී.

 

 

එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත කාරියරත්න මහතා ; ඖෂධ ඇගයීම් කමිටු හා ඩබ්ලිව් ඕ ආර්  කමිටු නියෝජනය කරන්නේ විශිෂ්ට දැනුමක් තිබෙන විශේෂඥ වෛද්‍යවරුන්  පිරිසක් නේද? කුමන ආකාරයෙන් ආනයනය කළත් ඒ කමිටුවල නිර්දේශ නැතුව ඖෂධ ලංකාව ඇතුලට ගේන්න බෑනේ?

 

 

සාක්ෂිකරු ; කමිටුවල විශේෂ දැනුමක් තිබෙන අය ඉන්නවා.

 

 

විත්තියේ නීතිඥවරයා ; එවැනි විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවල අධීක්ෂණයට  හෝ නිරීක්ෂණයට ලක් නොවුන කරුණක් ඔබලාට නිරීක්ෂණය වුණොත් ඩබ්ලිව් ඕ ආර්  සහතික නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරනවනේ  “මෙක්” කමිටුව විසින්?

 

 

සාක්ෂිකරු ; එහෙම කරන්න පුළුවන්.

 

 

මෙම අවස්ථාවේ දී විත්තියේ නීතිඥ චමින්ද අතුකෝරළ මහතා විසින් සාක්ෂිකරුට ජාතික ඖෂධ නියාමන අධිකාරිය භාරයේ තිබෙන ලිපිගොනුවක ඇතුළත් ලිපියක ඡායාස්ථ පිටපත් පෙන්වා එහි සඳහන් කරුණු ගැන සාක්‍ෂිකරුගෙන් සාක්ෂියක් විමසීමට උත්සාහ කළේය.

 

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මෙම ලේඛනය දොළොස්වන විත්තිකරුට ලැබුණ ආකාරය පිළිබඳව මූලාශ්‍රය ඉදිරිපත් කර නෑ. සාක්ෂි ආඥා පනත අනුව එය පෙන්වා සාක්‍ෂි විමසීම සම්බන්ධයෙන් විරුද්ධත්වය දක්වනවා. ගරු අධිකරණයේ තීරණයට මම ගරු කරනවා.

 

 

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; සාක්‍ෂි ලේඛනය ලබාගන්නා ලද මූලාශ්‍රය අනාවරණය කර නැති නිසා එහි ආවේශතාවය සනාථ කිරීමට පදනමක් නෙමෙයි. ඡායාස්ථ පිටපතක් ඉදිරිපත් කර ඇත. එම මූලාශ්‍රය ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඡායාස්ථ පිටපත ද්විතික සාක්ෂියක් වන බැවින් මුල් ලේඛන ඉදිරිපත් කිරීමේ කොන්දේසියට යටත්ව සාක්ෂි මෙහෙයවීමට ඉඩ දෙමි.

 

 

විත්තියේ නීතිඥවරයා ; ස්තුතියි ස්වාමීනී 2022.05.18 දිනැති, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලිපි ශීර්ෂ යටතේ නිකුත් කර තිබෙන මෙම ලිපියේ ඡායාස්ථ පිටපතේ ඔබගේ අත්සන හා නිල මුද්‍රාව තිබෙන බව පැහැදිලියි නේද? පාර්ශ්ව පහක් අත්සන් කර ඇති එම ලිපියේ හතරවන අත්සන ඔබගේ නේද?

 

 

සාක්ෂිකරු ; ඒක මට නිශ්චිතවම කියන්න බැහැ.

 

 

විත්තියේ නීතිඥ ; ඔබ යම් රාජකාරි ලිපියක් යවන විට ඔබගේ නිල මුද්‍රාව තබා අත්සන් කරනවා නේද?

 

 

සාක්ෂිකරු ; මා අත්සන් කරන ලද ලිපිවල කාර්යාල පිටපත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තිබෙනවා.

 

 

සාමාජික විනිසුරු විරාජ් වීරසූරිය මහතා ; 2022.05.31 වැනිදා ඔබ පෙර කිව් තනතුරින් මුල් වරට ඉල්ලා අස්වුණා කියලා  ඔබ සාක්ෂි දෙමින් කීවා. අස්වූ දිනය ඔබට නිශ්චිතවම මතකද?

 

 

සාක්‍ෂිකරු ; ස්වාමීනි, නිශ්චිතවම දිනය මතක නෑ. ඉල්ලා අස්වන බව මතකයි.

 

 

විනිසුරු විරාජ වීරසූරිය මහතා ; ඔබ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට සහභාගි වූයේ 2022 මැයි 20 වැනිදා කියලයි ඔබ සාක්ෂි දුන්නේ. එම දිනය නිශ්චිතවම මතකද?

 

 

සාක්ෂිකරු ; ස්වාමීනි, මගේ මතකය අනුවයි මම එහෙම කීවේ.

 

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 1වී 18 යන ලිපිය පෙන්වලා විත්තියේ නීතිඥවරුන් ඔබගෙන් හරස් ප්‍රශ්න ඇසුවා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ පවතින ඖෂධ තත්ත්ව පරීක්ෂණ රසායනාගාරයේ ඖෂධ නියාමන රථ නියාමනය සහ එම රථ නියාමන බලපත්‍ර නිකුත් කිරීමට අදාළව ඔබගෙන් හරස් ප්‍රශ්න ඇසුවා. ඖෂධ ප්‍රවාහන බලපත්‍ර නියාමනය ගැන ඔබ මුලින් දුන් සාක්ෂියද හරස් ප්‍රශ්න වලදී ලබා දුන් පිළිතුරු ද හරි.

 

 

සාක්ෂිකරු ; ඖෂධ ප්‍රවාහන රථවලට  බලපත්‍ර නිකුත්කිරීමට ක්‍රමවේදයක් තිබෙනවා. 2024.01.04 වැනිදා ජාතික නියාමන කාර්යාලය විසින් නිකුත් කළ වාර්තාව මගින් පෙන්වා දී තිබුණේ 2023 වර්ෂයට අදාළ වාර්තාවක්. ඖෂධ සැපයුම් අංශවල යම් යම් ගැටලු තිබෙන බව එමගින් පෙන්වා දී තිබුණා. එය රජයේ ආයතනයක් නිසා එකී අඩුපාඩු වලට එරෙහිව නීතිමය පියවර ගත්තේ නෑ. ඒ පිළිබඳව අවශ්‍ය නිලධාරීන් දැනුවත් කළා. ඖෂධ ප්‍රවාහනයේ  දී රාජ්‍ය අංශය සම්බන්ධයෙන් ගැටලු මතු වුණේ නෑ. නමුත් පුද්ගලික අංශයෙන් ඇතිවී තිබූ එවැනි ගැටලු වලට එරෙහිව නීතිමය පියවර අරගෙන තිබෙනවා. ඒ අඩුපාඩු හදන්න ඕනා සෞඛ්‍ය අමාත්‍යංශය. මම පුද්ගලිකව දැකලා  තිබෙනවා ඔය එම ඖෂධ ගබඩාවේ එවැනි අඩුපාඩු අපේ නිලධාරීන් දැකලා තියෙනවා එවැනි අඩුපාඩු.

 

 

සභාපති විනිසුරුවරයා ; ඒක විගණන වාර්තාවක්ද නැතිනම් විගණන සටහනක්ද ?

 

 

සාක්ෂිකරු ; ඔඩිට් රිපෝට් එකක් ස්වාමීනි.

 

 

දස වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ; ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ යම් ඖෂධයක් ලියාපදිංචි කළාම එකී ලියාපදිංචිය කොපමණ කාලයකට බල පැවැත්වෙනවාද?

 

 

සාක්ෂිකරු ; තාවකාලික ලියාපදිංචි කිරීමේ කාලය වසර එකකට හෝ දෙකකට දෙනවා. ඊට පසුව පූර්ව ලියාපදිංචිය ලබා දෙන්නේ වසර පහක කාලයකටයි. වසර පහෙන් පහට එය දීර්ඝ කළ යුතුයි.

 

 

ජනාධිපති නීතිඥවරයා ; එකී ලියාපදිංචිය ලබාදීමේදී සැපයුම්කරු ලියාපදිංචි කරන ඖෂධය කොපමණ ප්‍රමාණයක් සැපයිය යුතුද කියා සීමා පනවනවාද?

 

 

සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී, නිශ්චිත සීමාවක් තියෙනවා. අවශ්‍යතාවය අනුව ප්‍රමාණය සීමා කරනවා. ලියාපදිංචිය මුදා හැරීමේ ක්‍රමවේදය යටතේ ලියාපදිංචි කරන විට එවැනි මුදා හැරීම් සිදු කරන්නේ නිශ්චිත ප්‍රමාණයක් විතරයි. ලියාපදිංචිය මුදා හැරීමේ ක්‍රමවේදය කියන්නේ (WOR) ඖෂධ ගෙන්වීමේ ලියාපදිංචියට ආදේශකයක් නෙමෙයි. රෝගීන්ගේ යහපත සලකා බලා එවැනි සහතික පනත ප්‍රකාරව නිකුත් කරනවා.

 

 

දිවා ආහාර විවේකයෙන් පසුව පැමිණිල්ලේ 130වන සාක්ෂිකාරිය ලෙස නම් කොට තිබූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වැඩබලන තොග පාලන කළමනාකාරිනී, ක්‍රිෂානි මධුෂා ලියනාරච්චි මහත්මිය සත්‍ය ප්‍රකාශ කරන බවට ප්‍රතිඥා ලබා දී  පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ  මෙහෙයවීම යටතේ සාක්ෂි ලබාදීම ආරම්භ කළාය.

 

ප්‍රශ්නගත “හියුමන් ඉමියුනෝග්ලොබියුලීම් හා රිටක්සිමැබ්” ඖෂධ සැපයීම සඳහා පැ172 ලේඛනයේ සඳහන් පරිදි “අයිසොලෙස් බයෝටෙක් ෆාමා” සමාගම වෛද්‍ය සැපයුම් අංශයේ ලියාපදිංචි වී ඇති බවත් ඒ ලන්සු ඉදිරිපත් කොට තිබූ බවත් පැවසූ සාක්ෂිකාරිය අදාළ ප්‍රසම්පාදන ඉල්ලුම්පත්‍රය අනුව 2022.09.24 වැනිදා හා 2022.09.30 වැනිදා අතරතුර එනම් දින හයක් ඇතුළත හියුමන් ඉමියුනෝග්ලොබියුලීම්  එන්නත් කුප්පි 22,500ක් හා රිටක්සිමැබ් ඖෂධ 2250ක ප්‍රමාණය සැපයිය යුතුව තිබූ බවද පැවසුවාය. හියුමන් ඉමියුනෝග්ලොබියුලීම් එන්නත් සඳහා රුපියල් මිලියන 676 යි දෙලක්ෂ හැත්තෑ හතර දහස් 625 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කොට තිබූ බවත් රිටක්සිමැබ්  ඖෂධ ප්‍රමාණය සඳහා රුපියල් මිලියන 48 යි පන්ලක්ෂ අසූතුන් දහසක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කොට තිබූ බවද පැවසූූ සාක්ෂිකාරිය ඊට අමතරව ලන්සූ සුරක්ෂණ ගාස්තුවක්ද තැන්පත් කළ යුතුව තිබූ බවද පැවසුවාය.

 

 

සාක්ෂිකාරියට පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැ 46 දරන ලේඛන ඉදිරිපත් කොට යම්කිසි ප්‍රශ්නයක් ඇසීම සිදුකළ අතර එම ප්‍රශ්නය නැගීම සම්බන්ධයෙන් නව වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක මහතා විරෝධතාවයක් දක්වනු ලැබීය. 

 

 

නියෝජ්‍ය සොළිසිටර්' ජෙනරාල්වරිය ; මම සාක්ෂිකාරියගෙන් අහපු ප්‍රශ්නය ඔබතුමා හරියට අහගෙන ඉඳලා නැතිවයි ඔය විරෝධය දක්වන්නේ.

 

 

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; හරියට ඒ ප්‍රශ්නය නැවත අහන්න.

 

 

නීතිඥ රහුල් ජයතිලක මහතා ; ස්තුතියි ස්වාමීනි

 

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එහෙමයි ස්වාමීනී. මේකේ මුල් ඇස්තමේන්තුව දකින විට ඔබතුමියට මොකද හිතුනේ. එය කුමන ප්‍රසම්පාදන කමිටුවට ඉදිරිපත් කළ යුතු යැයි ද කියලා හිතුනාද?

 

 

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී. රුපියල් මිලියන 200-500 අතර වටිනා ලන්සු, සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුවට ඉදිරිපත් කිරීමෙන් පසුව තමයි අනුමැතිය ගන්න ඕනා. මේකේ ලන්සු මුදල රුපියල් 500 ට වැඩි නිසා ස්ථාවර අමාත්‍ය මණ්ඩල කමිටුවට ඉදිරිපත් කරලා තමයි අනුමැතිය ගන්න ඕනා . නියමිත කාලය තුළදී ඖෂධ සැපයීම නොකළොත් ලන්සූ සුරක්ෂණය (ඇප) රජයට අයිතිකර ගන්න පුළුවන්.

 

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ලන්සු කැඳවීමට කොපමණ දින දෙනවාද?

 

 

සාක්ෂිකාරිය ; හදිසි ප්‍රසම්පාදන ක්‍රමය යටතේ දින 14-21 කාලයක් දෙනවා. සාමාන්‍ය ක්‍රමවේදය යටතේ දින 42ක කාලයක් ලබා දෙනවා.

 

 

කෙසේ නමුත් එකී ලංසු කැඳවීමට අදාල ඖෂධ ප්‍රසම්පාදනය කිරීමක් සිදු නොකළ බවද එම සාක්ෂිකාරිය වැඩිදුරටත් පැවසුවාය. වැඩිදුර විභාගය හෙට (13) දක්වා කල් තැබිණි.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0