කල් ඉකුත් වූ “ජලභීතිකා එන්නත්” රෝගීන්ට විදලා..!

මේ දිනවල කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාගයට ගැනෙන “ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුව” අද වන විට ඉතා උණුසුම් සන්ධිස්ථානීය තත්වයකට පැමිණ තිබෙන බව පෙනේ... පැමිණිල්ල සම්බන්ධයෙන් ලොකු කාර්යභාරයක් ඉටුකොට තිබෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් මැදිහත් වීම් හා කරුණු සම්බන්ධයෙන් නඩුකරය විභාගයට ගන්නාවිට ප්‍රායෝගික ගැටලු හා අර්බුද රාශියක් මතු වෙමින් පවතින බව පැහැදිලිය. ඒවා සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට ද යම් පසුතැවීමක් තිබෙන බව පහුගිය දිනවල සාක්ෂි විභාගය සිදුවූ අවස්ථාවල පැහැදිලි විය.

Mar 12, 2026 - 13:23
 53
කල් ඉකුත් වූ “ජලභීතිකා එන්නත්” රෝගීන්ට විදලා..!

කල් ඉකුත් වූ

“ජලභීතිකා එන්නත්”

රෝගීන්ට විදලා..!


මේ දිනවල කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාගයට ගැනෙන “ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුව” අද වන විට ඉතා උණුසුම් සන්ධිස්ථානීය තත්වයකට පැමිණ තිබෙන බව පෙනේ...


පැමිණිල්ල සම්බන්ධයෙන් ලොකු කාර්යභාරයක් ඉටුකොට තිබෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් මැදිහත් වීම් හා කරුණු සම්බන්ධයෙන් නඩුකරය විභාගයට ගන්නාවිට ප්‍රායෝගික ගැටලු හා අර්බුද රාශියක් මතු වෙමින් පවතින බව පැහැදිලිය. ඒවා සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට ද යම් පසුතැවීමක් තිබෙන බව පහුගිය දිනවල සාක්ෂි විභාගය සිදුවූ අවස්ථාවල පැහැදිලි විය.


උදාහරණයක් වශයෙන්...  නීතිපති දෙපාර්තමේන්තුව නඩුකරය තුළ උත්සාහ ගෙන තිබුණේ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වා ගැනීම සහ ඊට අවශ්‍ය රෙගුලාසි උපදෙස් හා පරාමිතීන් ලිහිල් කිරීම 2022/23 වසර වල බහුලව සිදුවී ඇති බව ඔප්පු කිරීමටය.
 
 
ඊට පෙර කාලවකවානුවල දී සහ ඊට පසු කාලවකවානුවලදී එවන් අතපසුවීම් වැරදි හා නොසලකා හැරීම් සිදුවී නැතැයි පෙන්වා දෙමින් එකී කාලවකවානුව තුළ පමණක් සිදුවී ඇති අක්‍රමිකතා ඉස්මතු කිරීමෙන් අදාළ අධි චෝදනා බල ගැන්වීම නීතිපති දෙපාර්තමේන්තුවේ අභිලාෂය බව පැහැදිලි විය.
  

එහෙත් සාක්ෂි දීම සඳහා පැමිණිල්ල විසින්ම ගෙන්වනු ලැබූ සාක්ෂිකරුවන්ගෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මෙම උත්සාහය හා අභිලාෂය සියයට සියයක්ම සාර්ථක නැති බව පෙන්වා දුන් අවස්ථා බොහොමයකි...


හොඳම උදාහරණය 11 වන දා සාක්ෂියට කැඳවා තිබූ විශේෂඥ වෛද්‍ය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට හිටපු විධායක නිලධාරි සවින් නිශාන්ත සේමගේ මහතාගේ සාක්ෂියයි. විශේෂඥ වෛද්‍ය සේමගේ මහතා මෙම නඩුවේ දොළොස්වන විත්තිකරු වෛද්‍ය විජිත් ගුණසේකර මහතාට පෙර එම කනතුරේ කටයුතු කළ විශේෂඥ වෛද්‍යවරයාය. ඔහු ගෙන්වා ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ආනයන කිරීම සඳහා නිර්දේශ සහ අවසර ලබාදීමේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතු වගකීම් සම්භාරය හා රාජකාරි ව්‍යූහය ගැන විස්තර කරන්නට ගියත් අවසානයේ සිදු වූයේ කුමක්ද...


රටේ ඇතිවන හදිසි අවශ්‍යතා හා විවිධ හදිසි තත්ත්වයන් මත නීති රීති ඉක්මවා ගොස් ඇතැම් විට නීති රීති වලට පටහැනිව ගොස්  පවා යම් යම් තීන්දු තීරණ ගන්නට සිදුවන බව සාක්ෂි සාධක සහිතව ඔප්පු කර දීමට අවස්ථාව සැලසීමයි...


සාමාන්‍යයෙන් ජලි භීතිකා රෝගය හෙවත් ගමේ ව්‍යවහාරයට අනුව “පිස්සු බලු රෝගය” සඳහා භාවිතා කරන එන්නත් ඉතාමත්ම සංවේදීය. එමෙන්ම මිල අධිකය...


සවින් නිශාන්ත සේමගේ වෛද්‍යවරයා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා හෙවත් විධායක අධ්‍යක්ෂවරයාව සිටින සමයේ ජලභීතිකාව සඳහා ගෙන්වා ගබඩා කර තිබූ ඖෂධය කල් ඉකුත් වී ඇති බව වාර්තා විය. එක් අතකින් එය නැවත ගෙන්වීමට සැලකිය යුතු කාලයක් ගතවේ. එක් අතකින් මිලද අධිකය. අනිත් අතින්  කල් ඉකුත් වී ඇති ඖෂධ තොගයද ලොකුය..


අවසානයේ විශේෂඥ වෛද්‍යවරුන් කමිටුව එකතු වී ජාතික ඖෂධ නියාමන අධිකාරිය හා සාකච්ඡා කරමින් එදා තීන්දු කර ඇත්තේ හදිසි තත්ත්වයන් මත ලබාදිය යුතුව ඇති මෙම ඖෂධය කල් ඉකුත් වූ බව රෝගියාට පවසා, රෝගියාගේ අවසරය ලැබුණොත් පමණක් එම එන්නත භාවිතා කිරීමට අවසර ලබා දීමටය..


මෙවන් අතපසුවීමක් හෝ වරදක් හෝ දුර්වලතාවයක් පෙර ජාතික ඖෂධ නියාමන අධිකාරිය තුළින් සිදුව ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ දැන උගත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුමිය දැන නොසිටියා විය හැකිය... ඒත් සාක්ෂි විභාගයේදී මෙම කාරණාව දුෂ්රා පන්දුවක් මෙන් කරකවා එල්ල කරන්නට විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජේෂ්ඨ නීතිඥ නුවන් ජයවර්ධන මහතා කටයුතු කළේය...


අපේ අතින් නම් සිහිනෙන්වත් වරදක් සී දූ වී නැතැයි යන ආකාරයේ සාක්ෂියක් දෙන්නට පැමිණි නීතිපති දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීම හෙවත් මෙම නඩුවේ දෙවන සාක්ෂිකාරයා අදාළ විශේෂඥ වෛද්‍යවරයා මෙම ප්‍රශ්නය හමුවේ නිරුත්තර විය.


එපමණක් නොව,   වෙනත් අවස්ථාවලදී සාක්ෂිකරුගෙන් විමසන මෙවන් ප්‍රශ්නවලට පැන පැන මැදිහත් වන දැන උගත් නීතිඥ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අන්ද මන්දව යන ආකාරයද දැකගත හැකි විය... අවසානයේ වෛද්‍යවරයාගෙන් එලියට පැමිණියේ කිසිලෙසකත් නීතිපති දෙපාර්තමේන්තුව අපේක්ෂා නොකළ පිළිතුරකි.


කල්ඉකුත් වීම නොසලකා එවක පැවති එන්නත් හිඟයට පිළියමක් ලෙස එකී අනුමැතිය ලබා දෙන්නට සිදුවූ බව පිළිගත් විශේෂඥ වෛද්‍යවරයා ඒ අනුව එම එන්නත් පාවිච්චි කළාද නැතිද යනවග තමා නොදන්නා බවද ප්‍රකාශ කරන්නට තරම් සමත් විය.


අනතුරුව කල් ඉකුත් වූ එවන් ඖෂධ ජාතික ඖෂධ පනතේ ප්‍රතිපාදන අනුව එම ආකාරයට භාවිත කිරීම සඳහා උපදෙස් දීම නීතිමය වරදක් නොවන්නේදැයි විත්තියේ නීතිඥවරයා ප්‍රශ්න නැගීය... ඊට පිළිතුරු ලෙස එවකට හිටපු ප්‍රධාන විධායක නිලධාරියා පෙන්වා දුන්නේ කල්ලිකුත් වූ ඖෂධ අලෙවි කිරීම හෝ ගබඩා කොට තැබීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සලකන බවයි...


මෙවන් තොරතුරු පොදු ජනතාව දැනගන්නේ  මෙවන් නඩුවිභාග උසාවියේ උණුසුම් අයුරින් විවාදයට ලක් වන ආකාරයේ තරම මාධ්‍යවලින් රට පුරා ප්‍රසිද්ධ කරන තරමට බව රහසක් නොවේ...


ඒ වගත් මෙසේය...ඒ වන විට රජයේ රෝහල්වල තිබූ ජල භීතිකා රෝගයට භාවිතා කරන එන්නත් භාවිතා කළ හැකි කාලය නිකුත් වී තිබුණත් ඒවා ආනයනය කිරීමට ගතවන කාලය හා ඉතා මිල අධික  එන්නතක් වන ඒවා ඉවත දැමීම මගින් රජයේ මුදල් නාස්තියක් වීම යන කරුණු  සලකා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක නිර්දේශ ලබාගෙන රෝගීන්ගේ කැමැත්ත මත කල්ඉකුත් වූ එකී එන්නත් භාවිත කිරීමට අවසර ලබාදීමට තීරණය කළේ යැයි ප්‍රජා සෞඛ්‍ය සේවා පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක නිලධාරි සවින් නිශාන්ත සේමගේ මහතා ඊයේ (11) කොළඹ ස්ථිර ත්‍රිපුත්ගල විනිසුරු මඩුල්ල හමුවේදී සාක්ෂි දෙමින් පැවසීය. 


ජාතික ඖෂධ පනතේ ප්‍රතිපාදන අනුව කල්ඉකුත් වූ ඖෂධ භාවිතා කිරීම නීතිමය වරදක් නොවන්නේ දැයි හයවන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙනුවෙන් පෙනී  ජ්‍යෙෂ්ඨ නීතිඥ නුවන් ජයවර්ධන මහතා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එලෙස පැවසූ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා කල්ඉකුත් වූ ඖෂධ අලෙවි කිරීම හෝ ගබඩාකොට තැබීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සලකන බවද පැවසීය. 


2022.05.24 වැනිදා තමාගේ සහභාගිත්වයෙන් පැවැති, ඖෂධ ඇගයීම් කමිටුවේදී පෙර කී එන්නත් වර්ගය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක අනුමැතියට යටත්ව, කල්ඉකුත් වී තිබුණත් තවදුරටත් භාවිතයට ගැනීමට අවසර දීමට තීරණය කළ බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා එකී තීරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත යැවීමටද එහිදී තීරණය කළේ යයිද පැවසීය. ජල භීතිකා රෝගය වැළඳුන රෝගීන්ගෙන් සියයට 99කට වඩා පිරිසක් මිය යාම සිදුවන බැවින් ඉතා සංවේදී එන්නතක් වන එය කල්ඉකුත් වීම නොසලකා පැවැති එන්නත් හිඟයට පිළියමක් ලෙස එකී අනුමැතිය ලබා දුන්නත් ඒවා භාවිතා කළේද නැතිද යන කරුණු තමා නොදන්නේ යයිද පැවසීය. 


ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 කට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව ඊයේ (11) කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ දෙවන සාක්ෂිකරු ලෙස නම්කොට තිබූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සවින් නිශාන්ත සේමගේ මහතා දෙවන දිනටත් සාක්ෂි දීම සිදු කළේය.


එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරු වෙත ලිපියක් ඉදිරිපත් කර සාක්‍ෂි ලබා ගැනීම සිදුකළ අතර 2022.07.13 දිනැති. එම ලිපිය වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක  නිලධාරීවරයා ලෙස පත්කළ ලිපිය බව සාක්‍ෂිකරු හඳුනා ගත්තේය. ප්‍රශ්න ගත එන්නත් සැපවූයේ යැයි කියන අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා  සමාගම විසින් ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදනාගාරය ආරම්භ කිරීමට ඉදිරිපත් කළ ලිපියද නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය විසින් එම සාක්ෂිකරුට පෙන්වා දුන් අතර සාක්ෂිකරු එම ලිපියද හඳුනා ගත්තේය. 


එහිදී නමවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක මහතා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්ෂිකරු ඉන්දියාවේ හෝ එහි ප්‍රාන්ත රාජ්‍යවල ඖෂධ ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අවසර ලබා දෙනුයේ ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරිය අනුමත කළ එරට ලියාපදිංචි කළ ඖෂධ පමණක් වන්නේ යැයි  පැවසීය. ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන ඖෂධ දකුණු ආසියානු රටවලට හෝ අප්‍රිකානු රටවලට අපනයනය කිරීමට අවසර ලබා ගනුයේ ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරියේ දැඩි නිර්දේශ මත වන්නේ යැයිද පැවසූ සාක්ෂිකරු පැ 127 (1) ලෙස ලකුණු කර ඇති ලේඛණය අදාළ ආයතන වෙත යවා තිබීම අවශ්‍ය පියවර ගැනීමට පහසුවක් වී ඇති බව තමා පිළිගන්නේ යයිද  පැවසීය. 


තමා යුද හමුදා සේවයේ යෙදී සිටියදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත්වීමක් ලද නමුත් එකී තනතුර සඳහා තමා අයදුම් පත්‍රයක් හෝ ඉදිරිපත් නොකළ බවත් ජාතික ඖෂධ නියාමන පනත අනුව අවශ්‍ය සුදුසුකම් සපුරා තිබූ බවද එම සාක්ෂිකරු පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ හරේන්ද්‍ර භාණගල මහතාගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසීය. 2021.11.09 වැනිදා පළමු වරට තමාව එම තනතුරට පත්කිරීමට නිර්දේශ කරනු ලැබුවේ කවුදැයි? තමා නොදන්නා බවද පැවසූ සාක්ෂිකරු 2022.05.30 වැනිදා පුද්ගලික හේතූන් මත තමා එම තනතුරින් ඉල්ලා අස්වූ බවත් එකල රට තුළ යම් අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබූ බවට තමාට අවබෝධයක් නැතැයි විත්තියේ නීතිඥ හරේන්ද්‍ර භාණගල මහතා නැගූ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසීය. 2024.08.01 වැනිදා තමාව දෙවන වරටත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස නැවත පත්කළ බවත් එකී පත්වීම සිදුකරනු ලැබුවේ තමා ඉදිරිපත් කළ අයදුම් පත්‍රයක් සලකා බැලීමෙන් අනතුරුව බවත් සාක්ෂිකරු පැවසීය. 


විගණන කාර්යාලය විසින් ඉදිරිපත් කළ වාර්ෂික විගණන වාර්තාවක් අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ පවතින ජාතික තත්ත්ව පරීක්ෂණ අංශය වෙත පැවැරී ඇති ඖෂධ ප්‍රවාහනය හා ගබඩා කිරීමට අදාල රාජකාරී වගකීම් නිසි ලෙස ඉටුකර නොමැති බවට නගන චෝදනාව පිළිබඳව කුමන පියවරක් ගත්තේ දැයි සාමාජික විනිසුරු විරාජ් වීරසූරිය මහතා නැගූ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකරු ඒ පිළිබඳව සොයා බලා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත සිය නිරීක්ෂණ ඉදිරිපත් කළ බව පැවසීය. එකී අඩුපාඩු නිසා ඖෂධවල ගුණාත්මක භාවයට යම් හානියක් සිදුවූ බවට වාර්තා වූයේ දැයි විනිසුරුවරයා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් සාක්ෂිකරු එවැනි අඩුපාඩු ඖෂධ වල ගුණාත්මක භාවයට යම් හානියක් සිදුවිය හැකි කරුණු වන බැවින් වහාම ඒවා සම්පූර්ණ කිරීමට තමාට ගතහැකි සෑම පියවරක්ම ගත් බවද පැවසීය. 


එවැනි ගැටලු නිසා ඖෂධවල ගුණාත්මක භාවය පිළිබඳව යම් ගැටලු  ඇතිවූ බවට රජයේ රෝහල්වලින් වාර්තා වූයේදැයි සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා නැගූ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකරු තමා රාජකාරි කළ කාලය තුළ එවැනි සිද්ධියක් පිළිබඳව වාර්තා නොවූ බවද පැවසීය. නමුත් පෞද්ගලික ඖෂධ ගබඩාවලින් එවැනි සිද්ධීන් කීපයක් වාර්තා වූ බවද සාක්ෂිකරු වැඩිදුරටත් පැවසීය. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් කළ නියෝගය අනුව ප්‍රශ්න ගත “හියුමන් ඉමියුනෝග්ලොබියුලින් හා රිටක්සිමැබ්” යන ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා කොළඹ ආසිරි රෝහල වෙත සාම්පල් යැවීම පිළිබඳව විත්තියේ නීතිඥ හරේන්ද්‍ර භාණගල මහතා නැගූ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දුන් සාක්ෂිකරු එකී සාම්පල ලබාගන්නා විට කුමන තත්ත්වයෙන් තිබුණේ දැයි තමා නොදන්නා බවත් එකී සාම්පල ලබා ගන්නා ලෙසට තමා නියෝග කළත් ඒවා ලබාගෙන අදාළ රෝහල වෙත යවනු ලැබුවේ ජාතික තත්ත්ව පරීක්‍ෂණාගාරයේ අධ්‍යක්ෂවරයාගේ මග පෙන්වීම යටතේ වන්නේ යැයි පැවසීය. 


විත්තියේ නීතිඥවරයා ; එම සාම්පල ආසිරි රෝහල වෙත යවන්න අධ්‍යක්ෂ මණ්ඩලය නිර්දේශ ලබා දුන්නාද කවුද එම ඖෂධවල ගුණාත්මක භාවය පිළිබඳව පැමිණිලි කළේ? 


සාක්ෂිකරු ; අධ්‍යක්ෂ මණ්ඩලයේ නිර්දේශ ගත්තාද කියලා මට මතක නෑ. මම දෙවනි වරට එම තනතුරට පත්වන විට පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබුණේ යයිද සාක්ෂිකරු පැවසීය.  


විත්තියේ නීතිඥ වරයා ; ප්‍රශ්නගත එන්නත හා  ඖෂධයේ ගුණාත්මක භාවය ගැන යම් පැමිණිල්ලක් ලැබී තිබුණාද ? 


සාක්ෂිකරු ; ගුණාත්මක භාවය ගැන නෙමෙයි සංකූලතා ගැන වාර්තා වූ බව දන්නවා. නමුත් ඒවා මොනවාද කියලා අවශ්‍ය ලේඛන නොබලා කියන්න බෑ. එම එන්නත් නිෂ්පාදනය කළ සමාගමේ හිමිකරු විසින් කරන ලද ආරාධනාවක් අනුව මම ඇතුළු නිලධාරීන් පිරිසක් එම කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කිරීමට නිරීක්ෂණ වාර්තාවක් සිදුකළා. එම නිරීක්ෂණ වාර්තාව සිදුකළ දවසේ එනම් 2022.05.30 වැනිදා තමයි මම පළමුවරට එම තනතුරෙන් ඉල්ලා අස්වුණේ. 


හයවන සාක්ෂිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ඖෂධ සමාලෝචන රැස්වීමක් පැවැත්වුණා. එයට සහභාගි වූ සමහර නිලධාරීන් කීවා දැඩි ලෙස ඖෂධ හිඟයක් තිබෙන බව. එකී කරුණු සත්‍ය නොවන බව ප්‍රකාශ කිරීමට මා එදින අවස්ථා කීපයකදීම උත්සාහ කළත් ඒ සඳහා මට ඉඩක් ලැබුණේ නැහැ. එනිසා 2022.05.20 වැනිදා පැවැති එම රැස්වීමෙන් අනතුරුව මා ඉල්ලා අස්වීම භාර දුන්නා.  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ගැටලු තියෙන බවට එම රැස්වීමේදී අදහස් ඉදිරිපත් වුණා. අගමැතිවරයා ඇතුළු නිලධාරීන් මට එහිදී අදහස් දක්වන්න ඉඩ දුන්නේ නෑ. 


විත්තියේ නීතිඥ ; මා ඔබට යෝජනා කරනවා සත්‍ය ප්‍රකාශ කරන බවට දිවුරුම් දී අධිකරණය හමුවේ ඔබ ප්‍රකාශ කරන්නේ  අසත්‍ය කරුණු කියලා?


සාක්ෂිකරු ; මම එම යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. මා සමග එම රැස්වීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාත් සහභාගි වුණා. 


විත්තියේ නීතිඥ ; එකල ඖෂධ හිඟයක් පැවතියේ ඖෂධ නිෂ්කාරනය කිරීමට  බැරිව වරායේ 


ඖෂධ ඇනවුම් ගොඩ ගැසී තිබූ නිසා නේද ? ඩබ්ලිව් ඕ ආර්  සහතික නිකුත් කිරීමට නොහැකි වීම ඇතුළු ගැටලු නිසයි කියා මා ඔබට යෝජනා කරනවා. සාමාන්‍ය පුරවැසියෙක් ලෙස ඔබට දැනුමක් තිබෙනවා නේද එකල යම් අර්බුදකාරී තත්ත්වයක් තිබුණ බව. රටේ පැවැති ආර්ථික අර්බුදය ගැන ඔබට දැනීමක් තිබෙන්න ඕනනේ? යම් පාර්ශ්වයක් නීති විරෝධී යෝජනාවක් ඔබගේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළොත් ඔබලාට හැකියාව තිබෙනවා නේද එම ඉල්ලීම ඉවත දාන්න? 


සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී


දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි. නීතිඥ අසේල සේරසිංහ මහතා ; යම් ඖෂධයක් ආනයනය කලාම ඒවා රේගුවෙන් මුදා හැරීමට ඔබගේ අත්සන සහිත සහතිකය ආනයන අපනයන පාලකවරයා වෙත යැවීම අත්‍යවශ්‍යයි නේද? 


සාක්ෂිකරු ; ඔව් ඖෂධ මුදා හැරීම ඒක නැතුව සිදු කරන්නේ නැහැ. 


විත්තියේ නීතිඥ ; එවැනි ලිපියක් නිකුත් කිරීම මගින් බලාපොරොත්තු වන්නේ එකී ඖෂධ තාක්ෂණ කමිටුවේ ඇගයීමට ලක්වී ඇති බව නේ. ඖෂධ සැපයුම්කරුවකු ආනයනය කළත් පරිත්‍යාගයක් ලෙස ඒවා ලැබුණත් එම ක්‍රමයමනේ අනුගමනය කරන්නේ? 


සාක්ෂිකරු ;ඔව් ස්වාමීනි 


විත්තියේ නීතිඥ ; ප්‍රශ්න ගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීම් හා රිටක්සිමැබ් කියන ඖෂධ දෙක ගැන පරීක්ෂණ සිදුකළ බව ඔබ දන්නවනේ . ඒ ගැන සොයා බැලීමක් කළේ නැතිද ? 


සාක්ෂිකරු ; මම  දෙවනවර ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්වන විටත් එම විමර්ශන ආරම්භ කොට තිබුණේ. සොයා බැලීමක් කරන්න තරම් අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. පොලිසියේ මහත්වරු ඉල්ලපු ලේඛන ඔවුන්ට ලබා දීමට පියවර ගත්තා. එම ලේඛන ගැන මා පුද්ගලිකව සොයා බැලීමක් කළේ නැහැ. විමර්ශන වලට අවශ්‍ය සහය දුන්නා. 


විත්තියේ නීතිඥ ; ඔබ කීවනේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා මෙක් (MEC) කමිටුවේ සාමාජිකයෙක් කියලා. 


සාක්ෂිකරු ; ඔව් 


විත්තියේ නීතිඥ ; ඔහුව එම කමිටුවට පත් කරන්නේ කවුද? 


සාක්ෂිකරු ; සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා තමයි එම පත්වීම් කරන්නේ සෞඛ්‍ය පද්ධතිය ගැන සොයා බැලීමට ඔහුට වගකීමක් තිබෙනවා. එම කමිටුවේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥ දැනුමක් ඇති අය ඉන්නවා.


විත්තියේ නීතිඥ ; ඕනෑම ඖෂධයක් ගෙන්වන්නේ මෙක් කමිටුවේ නිර්දේශය මත නේ. එවැනි ඖෂධයක් සම්බන්ධයෙන් යම් සංකූලතාවයක් වාර්තා වුණාම යම් රෝගියෙක් මිය ගියාම එම තාක්ෂණ කමිටුවේ සාමාජිකයන්ට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට යම් නීතිමය පියවරක් ගත් බවට ඔබට මතකයක් තිබෙනවාද? 


සාක්ෂිකරු ; එම ප්‍රශ්නයට උත්තර දෙන්න බැහැ. මොන අඩුපාඩුකම් තිබුණත් රාජ්‍ය නිලධාරීන් උත්සාහ කරන්නේ හැකි උපරිමයෙන් තියෙන සම්පත් යොදාගෙන උපරිම මහජන සේවාවක් කරන්නයි. 


විත්තියේ නීතිඥ ;යම් ඖෂධයක් ආනයනය කළ පසු වරායෙන් නිදහස් කළ යුතු කාලය ඉකුත් වී තිබුණොත් ඒ සඳහා සැපයුම්කරු ඉල්ලීමක් කළොත් එම කාලය දීර්ඝ කර දෙනවා නේද? එලෙස කාලය දීර්ඝ කළ පසු ගෙන්වන ඖෂධ වල භාවිතා කළ හැකි කාලය ඉක්ම යනතුරු අලෙවි කිරීමට බාධාවක් නෑනේ? 


සාක්ෂිකරු ; නැහැ. එලෙස දීර්ඝ කිරීම් සිදුකර තිබෙනවා. ජීව කාලය ඇතිනම් එය අලෙවි කිරීමට බාධාවක් නෑ. 


හයවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි. නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; ඔබව ඖෂධ නියාම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පළමු වරට පත් කරන විට එම තනතුර පුරප්පාඩුවක් තියෙන බවට හෝ ඒ සඳහා ඔබ ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් නොකළ බව කීවානේ? කවුද ඒ සමයේ ඖෂධ නියාමන අධිකාරිය භාරව සිටි අමාත්‍යවරයා? 


සාක්ෂිකරු ; මහාචාර්ය චන්න ජයසුමන මහතා තමයි විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ. 


විත්තියේ නීතිඥ ; ඔබ කීවනේ 2023.05.30 වැනිදා ඔබ ඉල්ලා අස්වන විට රටට ඖෂධ ගෙන්වීමට කිසිම බාධාවක් තිබුණේ නෑ රටේ ආර්ථික අර්බුදයක් තිබුණේ නැහැ කියලා. මා යෝජනා කරනවා ඔබ ඒ ගැන කීවේ සම්පූර්ණයෙන්ම අසත්‍යයක් කියලා? 


සාක්ෂිකරු ; මම ඒක ප්‍රතික්ෂේප කරනවා. හැමදාම ඖෂධ ගැටලු තිබුණා. දැනටත් තිබෙනවා. විශේෂ ඖෂධ හිඟයක් තිබුණේ නෑ. 


විත්තියේ නීතිඥ ; ඒ කාලේ ඖෂධ  සැපයුම් කරුවන්ට මුදල් ගෙවීමට නොහැකි තරම් ගැටලු තිබුනනේ? ඒ ගැන ඔබතුමා දන්නවා නේද? 


සාක්ෂිකරු ; ඒක මගේ විෂය පථයට අයිති දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ ගැන කියන්න බෑ.


විත්තියේ නීතිඥ ; මුදල් ගැටලු නිසා ආනයනය කළ ඖෂධ ගෙන්වා ගැනීමට නොහැකිවීම නිසා  නැව්වලට ප්‍රමාද ගාස්තු පවා ගෙවන්න සිදුවුන බව ඔබ දන්නවාද? 


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මම ඒ ප්‍රශ්නයට විරුද්ධයි.


සභාපති විනිසුරු ; සිදු වුණා කියලා දැනගන්න ලැබුණාද නෙමෙයි. එහෙම දෙයක් ගැන දැනුවත්ද කියලා අහන්න. 


විත්තියේ නීතිඥ ; මේ නඩුවට සාක්ෂි දෙන්න කැඳවන්නේ කුමන කරුණු ගැන අහන්නද කියලා  ඔබතුමා දැනුවත්ද? 2021.09.11 වැනිදා සිට ඩබ්ලිව් ඕ ආර් සහතික නිකුත් කිරීම කොපමණද කියලා දැනගන්න ඔබ කැදෙව්වා කීවානේ? ඔබ ඊට අදාළ ලේඛන ඉදිරිපත් කර නෑ කියලා මා යෝජනා කරනවා.


සාක්ෂිකරු ; මා එය ප්‍රතික්ෂේප කරනවා. 


විත්තියේ නීතිඥ ; සාමාන්‍ය පුරවැසියෙක් ලෙස රටේ ආර්ථික ගැටලු තිබුණ බවට ඔබ නොදන්නවා කියන්නෙත් සත්‍යයක් නෙමෙයි. 


සාක්ෂිකරු ; මම ආර්ථික විද්‍යාව ගැන දන්නේ නෑ. ඒ නිසා ඒකට උත්තර දෙන්න බැහැ.


වැඩිදුර සාක්ෂි විමසීම අද (12) දක්වා කල් තැබිණි

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0