නීතීඥවරියගේ ආදරණීය ටොක්කක්..!

මේ දිනවල කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ දිනපතා විභාග වන ප්‍රමිතියෙන් තොර එන්නත් නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (10 වැනිදා) පැවැත්වෙන අතරතුරදී පැමිණිල්ල මෙහෙයවන නීතිපති දෙපාර්තමේන්තුවේ "නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය" ඇගේ සහයකයකු ලෙස කටයුතු කරන, ඇය අසල වාඩි වී සිටි රජයේ අධිනීතීඥවරයාගේ හිසට සිහින් ටොක්කක් ඇන යම් තරවටුවක් කරනු අයුරු මාධ්‍යවේදීන්ට නිරීක්ෂණය විය. එය අධිකරණ ශාලාවේ සිටි නීතිඥවරුන්ගේ මුවට සිහින් සිනාවක් මතු කළ කරුණක් විය.

Mar 11, 2026 - 12:11
 124
නීතීඥවරියගේ ආදරණීය ටොක්කක්..!

නීතීඥවරියගේ

ආදරණීය

ටොක්කක්..!

මේ දිනවල කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ දිනපතා විභාග වන ප්‍රමිතියෙන් තොර එන්නත් නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (10 වැනිදා) පැවැත්වෙන අතරතුරදී පැමිණිල්ල මෙහෙයවන නීතිපති දෙපාර්තමේන්තුවේ "නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය" ඇගේ සහයකයකු ලෙස කටයුතු කරන, ඇය අසල වාඩි වී සිටි රජයේ අධිනීතීඥවරයාගේ හිසට සිහින් ටොක්කක් ඇන යම් තරවටුවක් කරනු අයුරු මාධ්‍යවේදීන්ට නිරීක්ෂණය විය. එය අධිකරණ ශාලාවේ සිටි නීතිඥවරුන්ගේ මුවට සිහින් සිනාවක් මතු කළ කරුණක් විය. 


මේ පුවත කියවූ විගසින් ඔබට දැනෙන්නේ කුමන ආකාරයක “සිතිවිල්ලක්” දැයි මම නොදනිමි. රූමත් තරුණ යුවතියකගේ සියුමැලි සුදු ඇගිලි මිටමොලවූ අතකින් “සොඳුරු ටොකු ස්පර්ශයක්” වුව ලැබීම කිනම් වාසනාවක් දැයි, කවර තරම් ප්‍රහර්ෂයකට කරුණක් දැයි අප ඔබට අමුතුවෙන් කියාදිය යුතු නොවේ. එහෙත් ප්‍රශ්නය ඇත්තේ මෙවන් උසාවි භූමියකදී ප්‍රසිද්ධියේ එය ප්‍රදානය කිරීමට එතුමිය පෙළඹ සිටීමය...


ඒ වූ කලී චේතනාන්මිකව තරන ලද සොඳුරු මෲදු ටොකු ප්‍රහාරයක් නොව, අතපසුවීමක් යැයි කියා එම සිද්ධිය අර්ථ දැක්වීමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉදිරිපත් වීමට බැරි නැත. මන්ද මීටත් වඩා උසාවියේ විත්තියේ නීතඥවරු හා පැමිණිල්ලේ නීතිඥවරු අතර බහින්බහට ලක් වූ ඇතැම් නීතිමය තර්ක විතර්ක පවා එතුමිය “අතපසු වීමේ න්‍යායට” ලඝු කර මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී නැතැයි කියා බැහැර කරන ලද අවස්ථා මේ නඩු විභාගයේ හිඟයක් නැති නිසාය. ඒ වගත් මෙසේය

 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේශ එන්නත් වෛද්‍ය සැපයූම් අංශයට සපයා රුපියල් කෝටි 14 කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කර ඇත්තේ විමර්ශන නිලධාරීන් යම් කිසි නිශ්චිත අරමුණක් ඔවුන්ගේ සිත් තුළ තබාගෙන දැයි කියන සැකය ඔවුන් සිදුකළ විමර්ශනවල කරුණු අනුව විත්තියට මතුවන්නේ යැයි එම නඩුවේ අටවන විත්තිකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ  නයන්ත විජේසුන්දර මහතා ඊයේ (10) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී ප්‍රකාශ කළේය.


විමර්ශන නිලධාරීන් සිදුකළ ඇතැම් කරුණු සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනුකළ නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පවා දැනුවත් භාවයකින් නොසිටි බවට අනාවරණය වී ඇති බැවින් දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි, උගත් නීතිඥවරයා තමාට පෙර අධිකරණය හමුවේ දැක්වූ කරුණුවලට තමාද එකඟ වන්නේ යැයිද නීතිඥ නයන්ත විජේසුන්දර මහතා විනිසුරු මඩුල්ලට ප්‍රකාශ කළේය.

එකී කරුණු අනුව විමර්ශන සම්බන්ධයෙන් යම් ගැටලු සහගත බවක් ඉස්මතු වී ඇතැයි හෙතෙම ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීර සූරිය තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල  විනිසුරු මඩුල්ල හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


පැමිණිල්ලේ දෙවන සාක්ෂිකරු ලෙස නම්කොට තිබූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය සවින් නිශාන්ත සේවගේ මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් 2024.05.07 වැනිදා ලබාගෙන තිබූ දෙවන කටඋත්තරයේ පිටපතක් විත්තියට මේ දක්වා ලබා නොදීම සම්බන්ධයෙන් එම සාක්ෂිකරු ඊයේ (10) සාක්‍ෂි ලබා දීමට පැමිණි අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළහ. පැමිණිල්ල විසින් විත්තියට ලබාදිය යුතුව තිබූ ලේඛනයක් ලබා නොදීම මගින් සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් යම් විත්තිකරුවෙකුට එරෙහි අධි චෝදනා ගොනුකරන විට එය  සමඟ පැමිණිල්ලේ සියලු සාක්ෂිකරුවන් විමර්ශන නිලධාරීන්ට ලබා දී ඇති ප්‍රකාශනවල පිටපත් නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට පෙර විත්තියට ලබාදීම පැමිණිල්ලේ වගකීමක් වන්නේ යැයි දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නේය.


එලෙස පෙර කී ලේඛන ලබාදිය යුතු බව අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 162 (2) ඊ වගන්තිය මගින් පෙන්වා දී ඇතැයි ද පැවසූ නීතිඥ අසේල සේරසිංහ මහතා එලෙස නොකිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 අනු ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ද පැවසීය. පැමිණිල්ලේ දෙවන සාක්ෂිකාර විශේෂඥ වෛද්‍යවරයා විමර්ශන නිලධාරීන්ට පෙර සඳහන් කළ දිනයේ දෙවන වරට ප්‍රකාශයක් ලබා දී ඇති බව තමාද දැනගත්තේ එම සාක්ෂිකරු ඊයේ (10) උදෑසන උපදෙස් ලබාදීම සඳහා කැඳවූ අවස්ථාවේදී වන්නේ යැයි විත්තියේ නීතිඥවරයා දැක්වූ මූලික විරෝධතාවයට 

පිළිතුරු දෙමින් පැවසූ පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඒ බව දැනගත් වහාම විමර්ශන භාරව සිටි නිලධාරියා කැඳවා එකී ප්‍රකාශයේ පිටපත් විත්තියට ලබාදීමට අවශ්‍ය පියවර ගත් බව පැවසුවාය. 


විනිසුරු මඩුල්ල හමුවේදී, අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 162 වගන්තිය කියවූ නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය එකී සාක්ෂිකරුගේ සාක්ෂිය කැඳවීමට පැමිණිල්ලට ඇති අයිතියට බාධා කිරීමට විත්තියට අයිතියක් නොමැති බවත් විත්තියේ නීතිඥවරයා පෙන්වා දුන් පරිදි එකී ලේඛනය ලබා නොදීම මගින් විත්තියේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවී නොමැති බවත් විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නාය. 


 මෙය අතපසුවීමක් මිස චේතනාත්මිකව කළ ක්‍රියාවක් නොවන්නේ යයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට පෙන්වා දුන්නාය. ඇය එම කරුණු දැක්වීම සිදුකරන අතරතුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ සාක්ෂිකරුගේ දෙවන ප්‍රකාශයේ පිටපත් පැමිණිල්ලට භාර දීමෙන් අනතුරුව ඒවා විත්තියට භාරදීම සිදු කළේය.

පූර්ව නඩු විභාගය අවසන් කිරීමට හා මෙම නඩුවේ සාක්ෂි විභාගය අවසන් කිරීමට පෙර විත්තිය සඳහන් කළ සාක්ෂිකරුගේ දෙවන ප්‍රකාශය විත්තියට ලබා නොදීමෙන් අගතියක් සිදුවී නොමැති බවත් මේ වන විටත් එකී ප්‍රකාශයේ පිටපත් විවෘත අධිකරණය  හමුවේදී ලබාදී ඇති බැවින් ඊයේ (10) දිනයේදී පැමිණිල්ලේ මූලික සාක්‍ෂි මෙහෙයවීම අවසන් වූ පසුව විත්තියේ හරස් ප්‍රශ්න ඇසීම සිදු නොකර  (11) දක්වා හරස් ප්‍රශ්න ඇසීම කල් තැබීමට තීරණය කළ විනිසුරු මඩුල්ල පෙර කී සාක්ෂිකරුගේ මූලික සාක්ෂි මෙහෙයවීමට පැමිණිල්ලට අවසර ලබා දුන්නේය.


සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; විත්තියට පුළුවන් එම ප්‍රකාශය අධ්‍යයනය කරලා 11 වැනිදා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න අසන්න. 


පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන් සාක්ෂිකරු ; මම 1990 වසරේදී වෛද්‍ය සිසුවෙක් ලෙස යුද හමුදාවට බැඳුනා. වෛද්‍ය උපාධිය 1997 
ලබාගත් පසුව 2023 වසරේදී විශ්‍රාම යනතුරුම එහි සේවය කළා. ජාතික නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වැඩ භාරගත් මා 2022.05.30 වැනිදා ඉන් ඉල්ලා අස්වුණා. යලිත් 2024.01.08 වැනිදා ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස රාජකාරී භාරගත් මා 2025.05.31 වැනිදා එම තනතුරින් ඉල්ලා අස්වුණා. 


එහිදී වැඩිදුරටත් සාක්ෂි දුන් ප්‍රජා වෛද්‍ය සේවා පිළිබඳ විශේෂඥ වෛද්‍ය සවින් නිශාන්ත සේවගේ මහතා මෙසේද පැවසීය 


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට තමයි සියලුම පරිපාලන වගකීම් නිල බලයෙන් පැවරීඇත්තේ. අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු න්‍යාය පත්‍රය අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා සභාපතිවරයා සමග සාකච්ඡා කොට තමයි අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ. විෂය භාර අමාත්‍යවරයා පවත්වනු ලබන රැස්වීම්වලට ප්‍රධාන විධායක නිලධාරීවරයා හා සභාපතිවරයා සහභාගී වෙනවා. ඖෂධ ප්‍රසම්පාදනයට අදාළ වගකීම තිබෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඖෂධ හෝ වෛද්‍ය උපකරණ හෝ වේවා අවශ්‍ය දේවල් ප්‍රසම්පාදන කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුදැනුම මත හා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මග පෙන්වීම යටතේ සිදුකරනවා. ඒවා ඖෂධ නියාමන අධිකාරියේ නියාමන නිලධාරීන් මගින් හා අදාල විශේෂඥ කමිටුවල නිර්දේශ මත අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සලකා බලා අවසන් නිගමනය දෙනවා. 


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; ඊට අදාලව අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණ වෙනස් වූ අවස්ථා තිබෙනවාද? 


සාක්ෂිකරු ; මගේ සේවා කාලය තුළදී එහෙම වෙලා නැහැ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට පුළුවන්ද ඖෂධ ඇගයීම් සහතික සඳහා අනුමැතිය ලබාදීමට?


සාක්ෂිකරු ; නැහැ ඔහුට එහෙම බලයක් නැහැ. 


(නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මහාධිකරණ භාෂා පරිවර්තකවරිය මගින් සාක්ෂිකරුට පැ 93 දරන ලේඛනය ඉදිරිපත් කරයි.)


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔය ලේඛනයේ අත්සන් කර ඇත්තේ කවුද? ඔහුව ඔබ අඳුනනවාද?


සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි, ඔහු වෛද්‍ය විජිත් ගුණසේකර මහත්මයා. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ ඒක දැක්ක ගමන් එහෙම කියන්න දැනුවත් වුනේ කොහොමද?


සාක්ෂිකරු ; එතුමා සමග මම වැඩ කරලා තියෙනවා. අනික එතුමාගේ නම මෙම ලේඛනයේ තියෙනවානේ? එතුමා වෛද්‍ය පරිපාලකයෙක්. 


(සාක්ෂිකරු විත්තිකාර විජිත් ගුණසේකර මහතාව හඳුනා ගනී)


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබද පැ 93 ට අදාල ලේඛන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දුන්නේ ? 


සාක්ෂිකරු ; එම ගොනුවේ මුල් ලේඛන මම නෙවෙයි භාර දුන්නේ. මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදෙන ලද නියෝගයක් අනුව අනෙක් ලේඛන මම භාර දුන්නා. 


(මෙම අවස්ථාවේදී එකී ලේඛන පිළිබඳව අවධානය යොමු කළ විනිසුරු මඩුල්ල සාක්ෂිකරුව අධිකරණ ශාලාවෙන් පිටතට යවා එකිනෙකා සමග සාකච්ඡා කරයි) 


පසුව යළි කැඳවනු ලැබූ සාක්‍ෂිකරු නැවත දිව්රුම් ලබා දී සාක්ෂි ලබාදීම ආරම්භ කරයි.

සාක්ෂිකරු ; මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස මම බැඳී සිටිනවා.අදාළ කමිටු නිර්දේශ ලැබුනාට පසුව තමයි ඩබ්ලිව් ඕ ආර්  සහතිකවලට ප්‍රධාන විධායක නිලධාරිවරයා අත්සන් කරන්නේ. 


නම වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක මහතා ; මෙම නඩුවේ දහවන විත්තිකරු මහේස්ත්‍රාත්වරයාට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ පාපොච්චාරණයක් (රහස් ප්‍රකාශයක් ) ලබා දී තිබෙනවා. මට විත්ති වාචකය ගොඩනැගීම සඳහා එහි පිටපතක් ලබා දීමට නියෝගයක් කරන ලෙස ඉල්ලා සිටිනවා. 

නීතිඥ අසේල සේරසිංහ මහතා ; ඒකේ පිටපතක් අපිටත් ඕන. 


දස වන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ; මම මෙම අවස්ථාවේ එවැනි ඉල්ලීමක් කරන්නේ නෑ. 


ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා ; එම රහස් ප්‍රකාශය නඩු ගොනුවේ තිබෙනවාද කියලා සොයා බලන ලෙස ඉල්ලා සිටිනවා.


අධිකරණය එම අවස්ථාවේදී අධිකරණයේ සිටි විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ඉදිරියට කැඳවා ඒ පිළිබඳව විමසයි. 


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහෙම බවක් පැමිණිල්ල දන්නේ නෑ. 


අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවේ.නිලධාරියා ; ස්වාමීනි, දස වන සාක්ෂිකරු එහෙම රහස් ප්‍රකාශයක් මහේස්ත්‍රාත්තුමාට දීලා තියෙනවා. 


නීතිඥ රහුල් ජයතිලක ; පැමිණිල්ල දන්නේ නෑ නමුත් සී. අයි. ඩී. ය දන්නවා.


(එකී රහස් ප්‍රකාශය අධිකරණය භාරයේ ඇත්නම් එය නඩු ගොනුවට ඇතුළත් කරන ලෙසට අධිකරණ රෙජිස්ටර්වරියට නියෝගයක් නිකුත් කරයි. එමෙන්ම එකී පිටපත් ඉල්ලුම් කරන විත්තියට ලබාදෙන ලෙසටද එමඟින් නියෝග කරයි.) 


නීතිඥ අසේල සේරසිංහ මහතා ; නීතිපතිවරයා එවැනි ලේඛනයක් තිබුණාද නැතිද කියලත් දැනගත්තේ අද. මේ අනුව පෙනෙන්නේ මේකේ විමර්ශනයට අදාළ සමහර දේවල් නීතිපති නොදන්නවාට සී. අයි. ඩී. නිලධාරීන් දන්නා බව මේ අනුව පෙනෙනවා. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. එහෙම නැතිනම් විත්තියට සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමට ලැබෙන්නේ නෑ. 


නීතිඥ නයන්ත විජයසුන්දර මහතා ; මම මගේ උගත් මිත්‍රයා දක්වන කරුණුවලට එකඟයි.


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; දෙවන විත්තිකරුගේ නීතිඥවරයා කිසිම දෙයක් නොදන්න බවට පවසන එක අසත්‍යයක්. එම විත්තිකරු මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කලා. එම පෙත්සමේ මේ සියලු කරුණු ඇතුළත් කර තිබෙනවා. ඒ කරුණු වසන් කරලා තමයි දෙවන විත්තිකරුගේ නීතිඥ අසත්‍ය දේශනයක් කළේ 


සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ලේඛන පරීක්ෂා කර සෙසු සාමාජික විනිසුරුවරුන් දෙදෙනා සමගද සාකච්ඡා කොට ඒ සම්බන්ධයෙන් නියෝගය නිකුත් කළේය.


සභාපති විනිසුරුවරයා ; මෙම රහස් ප්‍රකාශය ගැන එම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාවත් ඉල්ලීමක් කර නෑ. දෙවන හා නම වන විත්තිකරුවන්ගේ නීතිඥවරුන් දස වන විත්තිකරුගේ එකී රහස් ප්‍රකාශය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පදනම් විරහිත බවයි අධිකරණය නිරීක්ෂණය කළේ. එය පදනම් විරහිතව ආරක්ෂාව සඳහා  කළ ප්‍රකාශයක් බව පෙනී යනවා. 


එම නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (10) පැවතෙන අතරතුරදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඇගේ සහයකයකු ලෙස කටයුතු කරන ඇය අසල වාඩි වී සිටි රජයේ අධිනීතීඥවරයාගේ හිසට සිහින් ටොක්කක් ඇන යම් තරවටුවක්  කරනු අයුරු දක්නට ලැබිණි. එය අධිකරණ ශාලාවේ සිටි නීතිඥවරුන්ගේ මුවට සිහින් සිනාවක් මතු කළ කරුණක් විය. 


දෙවන සාක්ෂිකරුගේ හරස් ප්‍රශ්න ඇසීම අද (11)  දක්වා කල් තැබිණි

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0