අපේරට ජාත්‍යන්තර යුද උගුලක දඩබිමක් බවට පත්කරලා...

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කර ඇති යුද්ධයේ තීරණාත්මක අනියම් පාර්ශ්වකරුවෙකු බවට ශ්‍රී ලංකාව පත් කරමින්, මෙරට ජාත්‍යන්තර යුද උගුලක දඩබිමක් බවට පත් කිරීමේ බරපතල අවදානමක් මතුව ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. අද (07) බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, රජය විසින් ජනතාවට වසන් කර අත්සන් කර ඇති රහස් ආරක්ෂක ගිවිසුම් හේතුවෙන් ශ්‍රී ලංකාව අද වන විට ස්වාධීන තීරණ ගත නොහැකි අසරණ රාජ්‍යයක් බවට පත්ව ඇති බවයි.

Mar 8, 2026 - 00:06
 8
අපේරට ජාත්‍යන්තර යුද උගුලක  දඩබිමක් බවට පත්කරලා...

අපේරට ජාත්‍යන්තර යුද උගුලක 

දඩබිමක් බවට පත්කරලා...


මැදපෙරදිග අහිමි වන ඇමෙරිකානු

මිලිටරි තිප්පොළවලට විකල්පය ශ්‍රී ලංකාවද? 

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කර ඇති යුද්ධයේ තීරණාත්මක අනියම් පාර්ශ්වකරුවෙකු බවට ශ්‍රී ලංකාව පත් කරමින්, මෙරට ජාත්‍යන්තර යුද උගුලක දඩබිමක් බවට පත් කිරීමේ බරපතල අවදානමක් මතුව ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. අද (07) බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, රජය විසින් ජනතාවට වසන් කර අත්සන් කර ඇති රහස් ආරක්ෂක ගිවිසුම් හේතුවෙන් ශ්‍රී ලංකාව අද වන විට ස්වාධීන තීරණ ගත නොහැකි අසරණ රාජ්‍යයක් බවට පත්ව ඇති බවයි.

මෑතකදී ඉන්දියාවේ පැවති ‘මිලාන් 2026’ නාවික අභ්‍යාසයට සහභාගී වී ආපසු යමින් සිටි ඉරාන නාවික යාත්‍රාවට එල්ල වූ ප්‍රහාරය සහ ඉන් අනතුරුව ඇති වූ තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් වීරවංශ මහතා මෙසේ පැවසීය:

"ඉන්දියාවේ නිල ආරාධනය පරිදි පැමිණි ඉරාන නාවික යාත්‍රාවට අපේ ආර්ථික කලාපය තුළදී ඇමෙරිකානු සබ්මැරීන් පාවිච්චි කරලා පහර දුන්නා. මේක කල්තියා සැලසුම් කරපු මෙහෙයුමක් බව ඉන්දියාවේ හිටපු විදේශ ලේකම් කන්වාල් සිබල් පවා කියනවා. ඇමෙරිකානු හමුදා අන්තිම මොහොතේ අභ්‍යාසයෙන් ඉවත් වුණේ මේ ප්‍රහාරය දන්න නිසයි. ඉන්දියාවේ 'රෝ' ඔත්තු සේවය මේ ගැන දැන සිටියේ නැද්ද? තමන්ගේ ආරාධනාව මත පැමිණි අමුත්තන්ව මෙවැනි අනතුරකට ඇද දැමීම ඉතාම අශීලාචාර ක්‍රියාවක්. මේක ඉතාම සූක්ෂම විදිහට ඉන්දියාව මේ අර්බුදයට ශ්‍රී ලංකාව ගොදුරු කරෙව්වා. මේ තමයි නරකම අසල්වැසියාගෙන් ලැබෙන නරකම අත්දැකීම."*

ප්‍රහාරයට ලක්වූ යාත්‍රාවේ පිරිස බේරාගැනීම මානුෂීය වගකීමක් වුවද, දෙවන ඉරාන යාත්‍රාව කොළඹ වරායට ගෙන්වා ගැනීම වැළැක්වීමට ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙරට බලධාරීන්ට සෘජුවම බලපෑම් කර ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේය.

"දෙවෙනි නාවිකාව කොළඹ වරායට එන්න අවසර ඉල්ලනකොට ඇමෙරිකානු තානාපති කාර්යාලයේ බලධාරීන් කිව්වා කොළඹ වරායට ගෙන්නගන්න එපා, ගෙන්නුවොත් ගුවන් මගින් පහර දෙන්න සිද්ධ වෙනවා කියලා. අන්න ඒ වෙලාවේ තමයි ආරක්ෂක ලේකම්වරයා ඉරාන තානාපතිට කියන්නේ මේක භාරගන්න බෑ කියලා. පස්සේ ආණ්ඩුවේ ඉන්න මුස්ලිම් දේශපාලඥයන්ගේ පීඩනය මත තමයි ඇමෙරිකාව එක්ක සාකච්ඡා කරලා යාත්‍රාව ත්‍රිකුණාමලයටත්, පුද්ගලයන් කොළඹටත් ගේන්න එකඟ වුණේ. අද රොයිටර් පුවත් සේවය කියනවා ඔවුන්ට යන්න දෙන්න එපා කියලා ඇමෙරිකාව බලපෑම් කරනවා කියලා. පණ නැත්තේ මොකවත් හින්දා නෙවෙයි, අපි රහස් ගිවිසුම් වලින් බැඳිලා ඉන්නේ."*

ලංකාවේ භූ-දේශපාලනික වැදගත්කම නිසා ඇමෙරිකාව මෙරට සිය මීළඟ මිලිටරි තිප්පොළ කරගැනීමට උත්සාහ කරන බව පෙන්වා දුන් වීරවංශ මහතා, මැදපෙරදිග කලාපයේ වසර 30ක් තිස්සේ තිබූ ඇමෙරිකානු කඳවුරු විනාශ වී ඇති පසුබිමක ඔවුන්ට ඇති එකම විශ්වාසනීය විකල්පය ශ්‍රී ලංකාව බව අවධාරණය කළේය.

"මැද පෙරදිග මිලිටරි තිප්පොළවල් ටික ඔක්කොම අහිමි වී තියෙන තත්ත්වයක් යටතේ, වඩාම විශ්වාසනීය තිප්පොළ හදාගන්න පුළුවන් තැනක් හැටියට මේ ඉන්දියන් සාගර කලාපයේ ශ්‍රී ලංකාව ඔවුන්ට පේනවා. ජොන් කෙරී එදා ඇවිත් කිව්වේ ඒකයි. දැන් ඔවුන් උත්සාහ කරන්නේ එක්කෝ ඔවුන්ගේ බලඇණියක් මේක ඇතුළට රිංගවගන්න, නැත්නම් ලංකාව දඩබිමක් කරගන්න."*

1995 දී අත්සන් කළ 'සෝෆා' (SOFA) ගිවිසුම, 2017 දී පිටු 17ක් දක්වා දීර්ඝ කළ 'ඇක්සා' (ACSA) ගිවිසුම සහ වත්මන් රජය අත්සන් කළ 'මොන්ටානා' ගිවිසුම මගින් ඇමෙරිකානු හමුදාවන්ට මෙරට තුළ ඕනෑම පහසුකමක් ලබාගැනීමට ඉඩ සලසා ඇති බව ඔහු පෙන්වා දුන්නේය. මීට අමතරව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති රහස් ගිවිසුම් 7ක් පිළිබඳවද ඔහු කරුණු හෙළි කළේය.

"අපි රටට නොපෙන්නපු ගිවිසුම් මගින් බැඳිලා. ඒ නිසා දැන් අර අතපය දෙකම ගැටගහ ගත්තු මිනිහෙක් පීනන්න උත්සාහ කරනවා වගේ තත්ත්වයකට ලංකාව රාජ්‍යය ඇදවට්ටලා ඉවරයි. ඉන්දියාව ඉන්නේ 'කොඩ්' (QUAD) එකේ. ඔවුන් ඇමෙරිකාවත් එක්ක මිලිටරි ගිවිසුම් තුනකින් බැඳිලා. ඒ ඉන්දියාව එක්ක අපි ආරක්ෂක ගිවිසුම් ගහපුවාම අපිත් වක්‍රාකාරව අර සියල්ලටම කොටු වෙනවා. එම්.සී.සී (MCC) එකෙන් හැදුවේ මිලිටරි උවමනාවට යටිතල පහසුකම් හදන්නයි. අභ්‍යන්තර ගුවන් තොටුපොළවල් 30 ගාණක් ඇයි අපිට? ඒ මිලිටරි උවමනාවන්ටයි."

අසල්වැසි රටවල් සහ ඇමෙරිකාව පනවන උගුල්වල ලංකාව හිරවී ඇති බවත්, මෝදි මහතා කකුල් දෙක නවාගෙන ලංකාව දෙස බලා සිටින බවත් පැවසූ වීරවංශ මහතා, රටේ ස්වෛරීභාවය පාවා නොදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

"ජාතියත්, රාජ්‍යයත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේක සූදුවක් නෙවෙයි. මේක ඉතා උතුම් රාජ්‍යයක්. බැරි නම් කරුණා කරලා ඒ වගකීම සුදුසු වෙනත් අයකුට භාර දෙන්න. එසේ නොමැතිව මේ රාජ්‍යය තවදුරටත් ඒ සතුරු කඳවුරුවල උවමනාවන් වෙනුවෙන් ගොදුරු බිමක් සහ දඩබිමක් බවට පත්වෙන්න ඉඩ දෙන්න එපා."

මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0