සෞඛ්‍ය බලධාරියාට යැවූ ලිපිය 12 වන විත්තිකරු අතට පත්වෙලා
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 6195 ගෙන්වා වෛද්‍ය සැපයීම් අංශයට ලබා දී රුපියල් කෝටි 14 කට අධික මුදලක් අපහරණය වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනෙන නඩුකරය මේ දිනවල මහත් උණුසුම්ය. නීතිපතිවරයා විසින් මේ නඩුව සම්බන්ධයෙන් ගොනුකර ඇති චෝදනා ගණන 13කි. ඒ චෝදනා එල්ල කොට ඇති විත්තිකරුවන් සංඛ්‍යාව 12 දෙනෙකි.
ප්‍රමිතියෙන් තොර "හියුමන් ඉමියුනොග්ලෝබියුලින්"
නඩු විභාගයේ උණුසුම් පුවත් දිනපතා කියවන්න...
සෞඛ්‍ය බලධාරියාට යැවූ ලිපිය
12 වන විත්තිකරු අතට පත්වෙලා
එසේ වූයේ කෙසේදැයි තවදුරටත් පරීක්ෂණ...
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 6195 ගෙන්වා වෛද්‍ය සැපයීම් අංශයට ලබා දී රුපියල් කෝටි 14 කට අධික මුදලක් අපහරණය වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනෙන නඩුකරය මේ දිනවල මහත් උණුසුම්ය. නීතිපතිවරයා විසින් මේ නඩුව සම්බන්ධයෙන් ගොනුකර ඇති චෝදනා ගණන 13කි. ඒ චෝදනා එල්ල කොට ඇති විත්තිකරුවන් සංඛ්‍යාව 12 දෙනෙකි.
එක් පැත්තකින් මේ චෝදනා ඔප්පු කිරීමට රජය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරහාගම මෙනවිය ඇතුළු උගත් නීතිඥවරු ගණනාවක් ඉදිරිපත්ව සිටිති. අනිත් පසින් නඩුකරයේ චෝදනා ලැබූ විත්තිකරුවන් 12 දෙනාගේ ඓතිවාසිකම් වෙනුවෙන් ලංකාවේ සිටින ප්‍රවීණතම නීතිවේදීන් පිරිසක් උසාවියේ හඹවන්නට පැමිණ සිටිති...
විත්තිකරුවන් සියලුම අදාල චෝදනාවන්ට වග උත්තරකරුවන් ලෙස උසාවියට ඉදිරිපත් කර සිටියත් සැබෑ වරදකරුවන් වන්නේ ඉන් කීයෙන් කී දෙනෙක් දැයි කිසිවෙකුටත් තවමත් සිතාගත නොහැකිය. මේ ගණුදෙනුව සැක සහිත බව කියමින් පරීක්ෂණයක් කරන්නයි කියා “සිදුවීම මේ රටේ අපරාධ විමර්ශන කේට්ඨාශයට බාරදුන් එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලද අද සිටින්නේ මෙම නඩුකරයේ විත්තිකරුවන් 12 දෙනා අතරය. වරදකරුවන් කවුරුද නිවරදිකරුවන් මේ අතර සිටිත්ද..? කියා හෝඩුවාවක්වත් තවමත් කෙනෙකුට සිතා ගන්නට අසීරු තැනකය. උත්තරීතර අධිකරණයේ කාර්යභාරය වන්නේ යම්කිසි වරදකට සැබෑම වරදකරුවා හෝ ඊට අනුබල දුන් කෙනා මෙන්ම වගකිවයුතු කෙනා තෝරා බේරා සත්‍යය හමුවේ එළිදරව් කිරීමය...
මෙහි දිනවල “හියුමන් ඉමියුනොග්ලෝබියුලින්” නඩු විභාගයේ පැමිණිල්ලේත් විත්තියේත් නීතිඥයෝ අපමණ නීති තර්ක ඉදිරිපත් කරමින් සාක්ෂි සාධක පෙන්වමින් උසාවියේ “හඹ” වන්නේ “හංසයා කිරෙන් දිය වෙන් කරගන්නා සේ චෝදනා 13කට වග උත්තරකරුවන් ලෙස ඉදිරිපත් කර ඇති විත්තිකරුවන් 12 දෙනා අතරින් සැබෑම වරදකරුවන් නීතිය හා යුක්තිය හමුවේ නිරාවරණය කිරීමටය... මේ වූ කලි එම උත්තරීතර කාර්යභාරය ඉටුකරන නඩු විභාගයේ තවත් එක් දවසකි.
විදේශ රටක නිෂ්පාදිත යම් ඖෂධයක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී එම නිෂ්පාදනයට අදාළ මුල් සහතිකය අනවශ්‍ය බවත් අයදුම් පත්‍රය සමඟ නිෂ්පාදිත රටේ ඖෂධ අධිකාරියේ බලධාරීන්ගෙන් ලබාගත් නිෂ්පාදනයට අදාළ සහතිකයේ ඡායස්ථ පිටපතක් ඖෂධ ඇගයීම් කමිටුවට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් බවත් ඖෂධ නියාමන අධිකාරියේ ඇගයීම් නිලධාරිනී නිශානි ලංකා කරුණාතිලක මහත්මිය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (17) පැවසුවාය.
එකී ඡායාස්ථ පිටපත මගින් පෙන්වා දී ඇති ඖෂධ එරටේ නිෂ්පාදනය කර අලෙවි කරන්නේද යන කරුණු අන්තර්ජාතික වශයෙන් පිළිගත් ක්‍රමවේද අනුගමනය කර ගනිමින් සොයා බැලීමක් කරනා බවත් පළමු වන විත්තිකාර “සීදුව අයිසොලෙස් බයෝටෙක් ෆාමා” සමාගමේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා නැගූ, හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැමිණිල්ලේ අටවන සාක්ෂිකාරිය වන නිශාණි ලංකා කරුණාතිලක මහත්මිය හයවන දිනටත් සාක්ෂි දෙමින් පැවසුවාය.
නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා ; ඔබතුමිය පැමිණිල්ලේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් පැවසුවා ඖෂධවේදය පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලයෙන් ඩිප්ලෝමා පාඨමාලාව හා විවෘත විශ්ව විද්‍යාලයෙන් ඖෂධවේදය පිළිබඳ උපාධියක් ලැබූ බව. ඖෂධවේදය ඩිප්ලෝමා පාඨමාලාවේදී ඔබතුමිය හැදෑරූ විෂයයන් මොනවාද?
සාක්ෂිකාරිය ; ඩිප්ලෝමා පාඨමාලාවේදී විෂයන් 20 ක් පමණ හා උපාධිය හැදෑරීමේදී විෂයන් 30ක් පමණ උගන්වනවා. මට එකින් එක කියන්න බැහැ සහතික තියෙනවා පෙන්වන්න.
නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා ; මම අහන සරල ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න. වසර දෙකක් වූ ඩිප්ලෝමා පාඨමාලාවේදී ඉගෙනගත් ප්‍රධාන විෂයන් මොනවාද?
සාක්ෂිකාරිය ; යම් ඖෂධයක් නිෂ්පාදනය කරන්නේ කොහොමද? ඒ සඳහා බලපාන ඖෂධ පාලන පනත ඒ සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය ඇතුළු ප්‍රධාන කරුණු එහිදී හදාරන්න ලැබෙනවා.
විත්තියේ නීතිඥ ; ප්‍රායෝගික දැනුම ලබා ගන්නේ කොහොමද?
සාක්ෂිකාරිය ; රසායනාගාර මගින් ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙනවා.
විත්තියේ නීතිඥ ; විදේශ රටවල නිෂ්පාදනය කරනු ලබන ඖෂධ ලංකාවේ ලියාපදිංචි කිරීමේ ක්‍රියාදාමය ගැන ඔබ කීවා. මම ඔබගෙන් අහන්නේ යුරෝපා රටවල නෙමෙයි ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධයක් එරටේ ලියාපදිංචි කරන ආයතනය මොකක්ද? එකී ලියාපදිංචියට අදාල නිවැරදි භාවය තහවුරු කරගන්නේ කොහොමද?
සාක්ෂිකාරිය ; ඒ සඳහා පිළිගත් අන්තර්ජාතික ක්‍රමවේදයක් තිබෙනවා. එරටේ නිල වෙබ් අඩවියට පිවිසිලා සැබෑවටම එම නිෂ්පාදනය එරටේ සිදුකරනවාද කියලා සොයා බලන්න පුළුවන්. ආනයනකරු ඖෂධ ලියාපදිංචියට අදාළ සහතිකයක පිටපතක් ඉදිරිපත් කළත් එහි නිර්වද්‍යභාවය තහවුරු කරගන්න පුළුවන්.
විත්තියේ නීතිඥ ; ඖෂධ ආනයනකරු ඉදිරිපත් කරන නිෂ්පාදනයට හෝ ලියාපදිංචියට අදාල කරුණු තහවුරු කරගන්නවාද මුල් අවස්ථාවේදීම?
සාක්ෂිකාරිය ; නෑ මුල් අවස්ථාවේදී බලන්නේ ලියාපදිංචියට අදාල මුල් පිටපත තිබෙනවාද කියලා විතරයි.
මෙම අවස්ථාවේ දී විත්තියේ නීතිඥවරයා සාක්ෂිකාරියට ලිපි ගොණුවක් ඉදිරිපත් කර අංක 38 දරණ එම ගොනුවේ ඖෂධ ලියාපදිංචියට අදාල සී.ඕ.පී.පී. (copp) සහතිකය එහි ඇතිදැයි විමසයි.
සාක්ෂිකාරිය ; කොප් සහතිකය ලංකාවට නිකුත් කළ යුතු එකක් වෙන්න ඕන නෑ. එකී නිෂ්පාදන වෙනත් රටවල අලෙවි කර ඇති බව සනාථ කිරීමට අදාළ සහතික අපි ඉල්ලා සිටිනවා.
විත්තියේ නීතිඥවරයා ; මා ඔබට ඉදිරිපත් කළ ඖෂධ ලියාපදිංචියට අදාළ ලිපි ගොනුවේ නිවැරදිභාවය තහවුරු කරන්න අවශ්‍ය ලේඛන ඇගයීම් කමිටුවට ඉදිරිපත් කර තිබෙනවාද? ඔබතුමියට කියන්න පුළුවන්ද ඒක ඇගයීම් කමිටුවට ඉදිරිපත් කළා කියලා?
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; මම එම ප්‍රශ්නයට විරුද්ධයි. ඇගයීම් කමිටු වාර්තා ගොනු පන්දාහක් විතර තියෙනවා.
සාක්ෂිකාරිය ; මේ ගොනුව ඖෂධ ඇගයීම් කමිටුවට ඉදිරිපත් වූ ගොනුවක් නොවන බව මම වගකීමෙන් කියනවා.
දසවන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා 36 වන ගොනුවේ පැ 116 ලෙස ලකුණු කර ඇති ලේඛනවල පස්වන පිටුවේ 2022.12.12 දිනැති, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂ යටතේ ඇති ලිපිය සාක්ෂිකාරියට පෙන්වයි.
ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා; මේ ලේඛනයේ අත්සන් කර ඇත්තේ කවුද කියලා ඔබ දන්නවාද?
සාක්ෂිකාරිය ; නෑ ස්වාමීනි
ජනාධිපති නීතිඥවරයා ; එහි වෛද්‍ය සුනෙත් අල්විස් යැයි සඳහන් නිල මුද්‍රාවක් තබා තිබෙනවා නේද? ඒ වෛද්‍ය සුනෙත් අල්විස් කවුද කියලා ඔබ දන්නවාද?
සාක්ෂිකාරිය ; නෑ ස්වාමීනී ඔහු ගැන දන්නේ නෑ.
ජනාධිපති නීතිඥවරයා ; එම ලේඛනය අනුව ඖෂධ ඇගයීම් කමිටු සහතික ලබා දීම ගැන ජාතික ඖෂධ නියාමන පනතේ 109 වගන්තිය යටතේ නිකුත් කර ඇති බවත් එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනේත් අල්විස් අත්සන් කර ඇති බවත් සඳහන් නේද? එමගින් ඖෂධ ඇගයීම් කමිටුවේ නිර්දේශ ඉල්ලා සිටින ඖෂධ වර්ග හය මොනවාද ?
(සාක්ෂිකාරිය එම ඖෂධවල නම් විවෘත අධිකරණය හමුවේ කියවයි)
එකී ඖෂධ ඇගයීම් වාර්තා නිකුත් කළ ආයතන හයේ නම් එකී ආවරණ ලිපියේ සඳහන් වෙනවා නේද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි
පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඊයේ (17) පෙරවරු 10.00 ට පමණ හයවන දිනටත් එම සාක්ෂිකාරියගේ මූලික සාක්ෂි මෙහෙයවීම සිදුකළ අතර දහවල් 12.06 ට පමණ මූලික සාක්ෂි මෙහෙයවීම අවසන් කළාය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 6195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයූම් අංශයට සපයා රුපියල් කෝටි 14 කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි. එම නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී පැවැත්විණි.
එම නඩුව කැඳවූ අවස්ථාවේදී දෙවන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා අධිකරණය අමතමින් මෙලෙස පැවසීය.
ස්වාමීනි, පී දෙක ලෙස නම් කර ඇති වෛද්‍ය සැපයුම් අංශය භාරයේ තිබෙන ඖෂධ 17 ක් සැපයීමට අදාල ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පසුගිය ජනවාරි 17 වැනිදා මෝසම් පත්‍රයක් මගින් මා ගරු අධිකරණයෙන් ඉල්ලා සිටියා. මගේ සේවා දායකයා වෙනුවෙන් හරස් ප්‍රශ්න නැගීමේදී එකී ලේඛන ඉතා වැදගත් වන නිසයි මා එම ඉල්ලීම කළේ. ඒ අනුව එම ලේඛන අද දින අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි දැනගන්නට ලැබුණේ.
නීතිඥ අසේල සේරසිංහ මහතා කළ ඉල්ලීම අධිකරණය නිකුත් කළ නියෝග අනුව වෛද්‍ය සැපයුම් අංශයේ ප්‍රධාන ඝණකාධිකාරීවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ ලේඛන ගොනු අධිකරණ රෙජිස්ටාර්වරිය ඉදිරියේදී වෛද්‍ය සැපයුම් අංශයේ ඝනකාධිකාරිවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පරීක්ෂා කර බැලීමට විනිසුරු මඩුල්ල නීතිඥ අසේල සේරසිංහ මහතාට අවසර ලබා දුන්නේය. එහිදී පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ඉගිරිහාගම මෙනෙවිය හයවන දිනටත් පැමිණිල්ලේ අටවන සාක්ෂිකාරිය වෙත ලේඛන රැසක් ඉදිරිපත් කොට ඒවා පැමිණිල්ලේ සාක්ෂි ලෙස එම සාක්ෂිකාරිය මගින් අධිකරණය හමුවේ ලකුණු කිරීමට පියවර ගත්තාය.
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් එම සාක්ෂිකාරිය පැමිණිල්ලේ 130 ලෙස ලකුණු කළ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා එම ලිපිය යොමු කර තිබූ බවත් එවකට එම තනතුර දැරුවේ කවුදැයි? තමාට දැනුවත් භාවයක් නොමැති බවත් අධිකරණයට පැවසුවාය. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යැව් ලිපියක් 12 වන විත්තිකරුට ලැබී තිබුනේ කෙලෙසදැයි තමා නොදන්නා බවත් ඖෂධ ඇගයීම් කමිටුව විසින් යොමු කර තිබූ නිර්දේශ 105 ක් එවකට ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ 12 වන විත්තිකරු ආපසු හරවා එවා එකී නිර්දේශ ලබාදීමට ප්‍රමාද වීමට අදාළ හේතු විමසීමක් කර තිබූ බවත් සාක්ෂිකාරිය එහිදී පැවසුවාය.
පැ 130 ලෙස නම් කළ එම ගොනුව 2023.10.19 වැනිදා සිය අංශයට ඒවා තිබූ බවද පැවසූ සාක්ෂිකාරිය හියුමන් ඉමියුනොග්ලෝබියුලින් එන්නත් සම්බන්ධයෙන් යම් විමර්ශනයක් ඖෂධ නියාමන සුරක්ෂිත කමිටුව විසින් සිදු කරමින් තිබූ බවට තමාට අවබෝධයක් ඇතැයි ද පැවසුවාය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඖෂධ නියාමන සුරක්ෂිත කමිටුවට අමතරව වෙනත් ආයතනයක් හෝ විමර්ශන අංශයක් පෙරකී හියුමන් ඉමියුනොග්ලෝබියුලින් එන්නත් පිළිබඳව යම් විමර්ශනයක් සිදුකරමින් තිබූ බව ඔබ දන්නවාද ?
සාක්ෂිකාරිය ; නෑ ස්වාමීනී මට ඒ ගැන අවබෝධයක් නෑ.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; ආපසු හරවා එවන ලද එම ලිපි 105 අතරේ කුමන වර්ගයේ ලිපිද තිබුනේ ?
සාක්ෂිකාරිය ; ප්‍රධාන වශයෙන් ලිපි වර්ග තුනක් තිබුණා ඖෂධ සැපයීමට අදාලව ඖෂධ ඇගයීම් කමිටුව විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අදාළව නිකුත් කළ නිර්දේශ ඖෂධ පරිත්‍යාගයන්වලට හා පුද්ගලික ආයතන වෙත නිකුත් කරන ලද ඖෂධ ඇගයීම් කමිටු වාර්තා ඒ අතර තිබුණා.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; ඉමියුනොග්ලෝබියුලින් එන්නත් සම්බන්ධයෙන් ඖෂධ ලියාපදිංචිය මුදා හැරීම පිළිබඳ එම ලිපිවල සඳහන් වුණාද? ප්‍රශ්නගත එකී එන්නත්වලට අමතරව Rituximab එන්නත් ලියාපදිංචිය මුදා හැරීමට අදාලව ලිපි දෙක ඔබ දුටුවාද?
සාක්ෂිකාරිය ; ඖෂධ නියාමන සුරක්ෂිත කමිටුව විමසූ අවස්ථාවේ එම ලිපි පෙන්වා සිටියා. දෙවන ලිපිය විමර්ශන නිලධාරීන් පෙන්වා සිටියා. ඒවා ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කර නොමැති බව තහවුරු කළා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; එම ලිපි හඳුනාගන්න පුළුවන්ද?
මෙම අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් පැ 95 ගොනුවේ 190 පිටුව සාක්ෂිකාරියට පෙන්වා සිටියාය.
වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි 18 වැනිදා පෙරවරු 10.00 දක්වා කල්තැබිණි. රජයේ අධිනීතීඥ ලිෂාන් රත්නායක මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය පැමිණිල්ල මෙහෙයවූූ අතර නීතිඥ හරේන්ද්‍ර බානගල, අසේල සේරසිංහ, ඉසුරු ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක සේරසිංහ, දිනුෂ් රන්දෙනිය, රහුල් ජයතිලක, රවිහංස විජේසිංහ, ඉසුරු අබේගුණවර්ධන, කසුන් සරච්චන්ද්‍ර, ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාල, අමිත ආරියරත්න හා ගයන්ත විජය සුන්දර යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා විත්තිය නියෝජනය කළේය.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

