ඖෂධ ගේන්න ගහපු වංගුවක් උසාවියේදී දිගඇරිලා..!

Feb 12, 2026 - 11:29
 47
ඖෂධ ගේන්න  ගහපු වංගුවක් උසාවියේදී දිගඇරිලා..!

ඖෂධ ගේන්න 

ගහපු වංගුවක්

උසාවියේදී දිගඇරිලා..!

නිසි ක්‍රමවේදයට පරිබාහිරව සීඝ්‍රගාමී ක්‍රමය යටතේ “ලියාපදිංචි වී

නොමැති” සැපයුම්කරුවන්ගෙනුත් ඖෂධ මිලදීගන්න...

ඖෂධ නියාමන අධිකාරියෙන්

අමාත්‍යංශ ලේකම්වරයාට එවූ අමුතු 

ලියුමක් උසාවියේ කියවයි...

''ඔව් ස්වාමීනී, පෙර මා සඳහන් කළ ලිපිය මගින් දොළොස්වන විත්තිකරු හය හයවන විත්තිකරුගෙන් ඉල්ලා තිබුනේ ලියාපදිංචිය මගහැර ඖෂධ ලබා ගැනීම සඳහා පෙර කී  විශේෂ සීඝ්‍රගාමී ක්‍රමවේදය හඳුන්වා දීමට අනුමැතිය ඉල්ලා තිබුනා. කුමන ආයතනයක් මගින් එම ඖෂධ ආනයනය කරන්නේද කියලා එහි සඳහන් කර තිබුණේ නෑ.  සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය ඖෂධ විශේෂ අවස්ථාවලදී එකී නව ක්‍රමවේදය යටතේ මිලදී ගැනීමටයි එමගින් අවසර ඉල්ලා තිබුණේ. එම ලිපිය ලැබුණ පසු හිටපු සෞඛ්‍ය ලේකම්තුමා එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ  අතිරේක ලේකම්වරයකු ලෙස රාජකාරී කළ වෛද්‍ය සමන් රත්නායක මහතා වෙත සටහනක් යොදා තිබුණා එකී ඉල්ලීම ගැන නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා. වෛද්‍ය සමන් රත්නායක මහතා මෙම නඩුවේ දස වන විත්තිකරු ලෙස මෙම අධිකරණයේ සිටිනවා.

ශ්‍රී ලංකාවේ ජාතික රෝහල්  පද්ධතිය ඇතුළුව මුළු මහත් සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය ඖෂධ වර්ග විදේශ රටවලින් ගෙන්වීමට හා සැපයීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු ආයතන අනුගමනය කරන නිසි ක්‍රමවේදයක් තිබේ.


මේ ගෙන්වන සියලු ඖෂධ වර්ග හා එන්නත් බැඳී පවතින්නේ “මනුෂ්‍ය ජීවිතවල පැවැත්ම” සමග බැවින් වගකිව යුතු ලියාපදිංචි සැපයුම්කරුවන්ට හැර වෙනත් සැපයුම්කරුවන් වෙත ඖෂධ ගෙන්වීමේ වගකීම භාරදීම අතිශයින් භයානක බව අමුතුවෙන් කියාදිය යුතු නොවේ...


එහෙත් හදිසි ඖෂධ ගෙන්වීමේ සීඝ්‍රගාමී ක්‍රියාන්විතය මත ඖෂධ ගෙන්වීමේ භාරදූර වගකීම ලියාපදිංචි නොවූ සැපයුම්කරුවන්ට භාරදීම කොයිතරම් අවදානම් සහගත කටයුත්තක්ද...


එවන් අවදානම් කටයුතු සඳහා අපේ රටට ඖෂධ ගෙන්වීමේ වගකීම බාරව සිටින “වගකිවයුතු ආයතන” ක්‍රියා කර ඇති අන්දම හෙළි කරන එක්තරා “සුවිශේෂී ලිපියක්” සම්බන්ධයෙන් ඊයේ (11වැනිදා) කොළඹ ස්ථිර ත්‍රිපුගල මහාධිකරණයේදී විශේෂ හෙළිදරව්වක් සිදුවීය.


ඖෂධ ආනයනය කරන සාමාන්‍ය ක්‍රමවේදයට පරිබාහිරව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ලියාපදිංචි වී නොමැති ආයතනවලින් (සැපයුම්කරුවන්ගෙන්) ඖෂධ මිලදී ගැනීම සඳහා විශේෂ සීග්‍රගාමී ක්‍රමවේදයක් සම්බන්ධයෙන් මෙම නඩුවේ 12 වන විත්තිකරු එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ හය වන විත්තිකරු වෙත ඉල්ලීමක් කොට තිබූ බවත් තමා එම ලිපිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ බවත් ඖෂධ නියාමන අධිකාරියේ ඇගයීම් නිලධාරිනියක ලෙස රාජකාරි කරන නිශාණි ලංකා කරුණාතිලක මහත්මිය ඊයේ (11වැනිදා) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී සාක්ෂි දෙමින් පැවසුවාය. 


එම ඉල්ලීම කළ එවකට ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ 12 වන විත්තිකාර වෛද්‍ය විජිත් ගුණසේකර මහතා මෙන්ම එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ හයවන විත්තිකාර ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාද අධිකරණයේ විත්ති කූඩුවේ සිටින්නේ යයිද එම සාක්‍ෂිකාරිය දෙවන දිනටත් පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි දෙමින් පැවසුවාය.  


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ඊයේ (11) ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථීර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී පැවැත්විණි. එහිදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම  මෙනෙවියගේ මෙහෙයවීම යටතේ එම සාක්ෂිකාරිය සාක්ෂි ලබා දුන්නාය. 


නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; ඔබතුමිය පෙර දිනයේ දී සාක්ෂි ලබා දෙමින් කීවා ඔබ ඔය තනතුරේ රාජකාරි භාර භාර ගත් පසුව ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය ඇතිව ඔබගේ නව රාජකාරියට අදාළ වගකීම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා ඖෂධ ඇනවුම් සඳහා ඉදිරිපත් වන ලිපිගොනු අධීක්ෂණය කළා කියලා? 


සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි...


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නොමැතිව ඖෂධ ආනයනය කිරීම සඳහා තිබූ කාර්ය පටිපාටියත් ඔබ නිරීක්ෂණය කළා කීවනේ ? පැමිණිල්ලේ 67 වන සාක්ෂිය ලෙස නම් කර ඇති ගොනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදීම සිදු කළේ ඔබ කියලා කීවනේ ? ඔබට ඒ ලේඛනය ලිපිය දුටුවොත් හඳුනාගන්න පුළුවන්ද? 


විත්තියේ නීතිඥවරයා ; එම ලේඛනයේ මුල් ලේඛනය තිබෙනවාද? 


නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම මෙනවිය ; ඔව් ඒක අධිකරණය හමුවේ ලකුණු කරලා තියෙන්නේ?  ඔබතුමිය පෙර සඳහන්  කළ හයවන හා දොළොස්වන විත්තිකරුවන් අඳුරනවාද? ඔවුන්ගේ අත්සන් පිළිබඳව ඔබට අවබෝධයක් තිබෙනවාද? 


සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී, පෙර මා සඳහන් කළ ලිපිය මගින් දොළොස්වන විත්තිකරු හය හයවන විත්තිකරුගෙන් ඉල්ලා තිබුනේ ලියාපදිංචිය මගහැර ඖෂධ ලබා ගැනීම සඳහා පෙර කී  විශේෂ සීඝ්‍රගාමී ක්‍රමවේදය හඳුන්වා දීමට අනුමැතිය ඉල්ලා තිබුනා. කුමන ආයතනයක් මගින් එම ඖෂධ ආනයනය කරන්නේද කියලා එහි සඳහන් කර තිබුණේ නෑ.  සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය ඖෂධ විශේෂ අවස්ථාවලදී එකී නව ක්‍රමවේදය යටතේ මිලදී ගැනීමටයි එමගින් අවසර ඉල්ලා තිබුණේ. එම ලිපිය ලැබුණ පසු හිටපු සෞඛ්‍ය ලේකම්තුමා එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ  අතිරේක ලේකම්වරයකු ලෙස රාජකාරී කළ වෛද්‍ය සමන් රත්නායක මහතා වෙත සටහනක් යොදා තිබුණා එකී ඉල්ලීම ගැන නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා. වෛද්‍ය සමන් රත්නායක මහතා මෙම නඩුවේ දස වන විත්තිකරු ලෙස මෙම අධිකරණයේ සිටිනවා. 


නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; 10 වන චූදිත වන වෛද්‍ය සමන් රත්නායක මහතා ලබා දී තිබෙන නිර්දේශය ඔබට කියවන්න පුළුවන්ද?  

සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනී, මෙම අවස්ථාවේදී සාක්‍ෂිකාරිය සාක්ෂි කූඩුවේ සිට ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් කර තිබූ එම නිර්දේශ කියවා ප්‍රකාශ කළාය. 


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; එහි සිංහල තේරුම මොකක්ද ? 


සාක්ෂිකාරිය ; එතුමා නිර්දේශ කර තිබෙන්නේ අභ්‍යන්තර විශේෂ සීඝ්‍රගාමී ක්‍රමවේදය මාස හයක කාලයකට යටත්ව ක්‍රියාත්මක කිරීමයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයට යටත්ව ක්‍රියාත්මක කළ යුතු බවටත් එතුමා එමඟින් වැඩිදුරටත් නිර්දේශ කර තිබුණා. 


නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ දොළොස්වන  චූදිත යම් සටහනක් තබා තිබුණා නේද? 


සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි. එතුමා නීති නිලධාරිනියට සහ පරිපාලන නිලධාරිනියට දන්වා තිබුණා ඒ පිළිබඳව අදාළ අංශවලට උපදෙස් ලබාදෙන ලෙසට. ඖෂධ නියාමන අධිකාරිය මගින් සකස් කර ඇති මාර්ගෝපදේශ මත කොන්දේසිවලට යටත්ව සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ඒ සඳහා ඉල්ලුම් කිරීම් සිදු කළ යුතු බවත් එහි සඳහන්ව තිබුණා. ඇගයීම් කමිටුවේ නිර්දේශ මත ලියාපදිංචිය ඉදිරිපත් කිරීමේ කොන්දේසියට යටත්ව ඖෂධ සැපයුම්කරුවන්ට ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ අවස්ථාව හා අවසරය ලබා දෙන බවද විවෘත අධිකරණය හමුවේදී සාක්‍ෂි දෙමින් පැවසූ එම සාක්ෂිකාරිය වෙත ලිපිගොනු සහ ලේඛන විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කොට ඒවා පැමිණිල්ලේ සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට පියවර ගත් නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකාරිය නියෝජනය කළ ඇගයීම් කමිටුවේේ ලේඛන විශාල ප්‍රමාණයක් අධිකරණය හමුවේ ලකුණු කිරීමටද පියවර ගත්තාය. 


දින දෙකක් පුරා පැවති එම සාක්‍ෂිකාරියගේ මූලික සාක්ෂි විමසීම තෙවන දිනටත් අද (12) දක්වා කල්තැබීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය. 


නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ප්‍රධාන කොට එම සාක්ෂිකාරිය මගින් පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර ඇති සාක්‍ෂි සනාථ කිරීම සඳහා අවශ්‍ය  ලේඛන සාක්‍ෂි අධිකරණය හමුවේ ලකුණු කිරීමට උත්සුක වීම නිසා පෙර දිනවල මෙන් දෙපාර්ශ්වය අතර වාද විවාද මත ගැටුම් ගෙවුණ දින දෙක තුළ මතු නොවීම විශේෂත්වයක් ලෙස දැක්විය යුතුය. 

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 1
Sad Sad 0
Wow Wow 0