පිටරට ඖෂධ මෙරටට එන්නේ මෙන්න මෙහෙමයි...

එහෙත් ජනතාවට ඇති ප්‍රශ්නය වන්නේ මේසා විශාල දැවැන්ත වගකීමක් සහිත ක්‍රියාන්විතයක් රජය විසින් අනුගමනය කරමින් සිටින පසුබිමක මහජනතාවට මේ කියන ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් සැපයීමේ අපරාදය කෙසේ සිදු වී තිබේද යන්නයි. මේ තරම් විනිවිද පෙනෙන වගකීම් සහගත ක්‍රියාවලියක් තුළ සියල්ල සිදුවූයේ නම් ජනතාවට සංකූලතාවලින් පිරි ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ භාරගන්නට සිදුවූයේ ඇයි. වරද ඇත්තේ කොතනදැයි සොයා දීම උත්තරීතර අධිකරණයේ හා නීතියේ කාර්‍යයභාරයයි

Feb 11, 2026 - 16:05
 29
පිටරට ඖෂධ  මෙරටට එන්නේ   මෙන්න මෙහෙමයි...

පිටරට ඖෂධ

මෙරටට එන්නේ 

මෙන්න මෙහෙමයි...


එසේනම් ප්‍රමිතියෙන් තොර

බාල ඖෂධ පැමැණියේ කෙසේද..?

මුලින්ම ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාගත යුතුයි.ඒ සඳහා ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය ලබා ගත යුතුයි. එම ආනයනකරු ඒ සඳහා ඉල්ලුම් කිරීමේදී ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ආනයනකරුවෙක්ද කියන එක අපි සොයා බලනවා. ඊළඟට ඔහු ආනයනය කිරීමට ඉල්ලුම් කරන ඖෂධය නිෂ්පාදනය කරන නිෂ්පාදිත සමාගම එරටේ ඖෂධ නියාමන අධිකාරිය යටතේ ලියාපදිංචි කරුවෙක්ද ? වසර තුනක කාලයක් එකී නිෂ්පාදන එම රටේ අලෙවි කිරීමට අදාළ සහතික හිමිකරුවෙක්ද කියන එකත් සොයා බලනවා. එරටේ වාණිජ මණ්ඩලයේ සහතිකය නැතිනම් එම ඖෂධය අප රටට ආනයනය කිරීමට අවසර ලබා දෙන්නේ නෑ. 

එමෙන්ම එකී ඖෂධයේ සාම්පල අප රටේ විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කිරීමක් කළ යුතුය. බොහෝ විට එකී ඖෂධ නිෂ්පාදනාගාර පරීක්ෂා කිරීම සිදු කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව නිෂ්පාදනාගාර පරීක්ෂා කිරීමකින් තොරව ලේඛන පමණක් පරීක්ෂා කොට ඖෂධ ආනයනය කිරීමට අවසර ලබා දෙන ක්‍රමවේදයකුත් තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජාතික රෝහල් පද්ධතියේත්, පුද්ගලික රෝහල් පද්ධතිය තුළත්, දේශීය ඖෂධ වෙළඳ පොලේත් භාවිත වන ඖෂධ අතරින් අතිවිශාල බහුතරයක් අප රටට පිටින් ආනයනය කෙරෙන ඖෂධ බව රහසක් නොවේ.


ඒ සඳහා කාලාන්තරයක් තිස්සේ අප රටට ගෙන්වනු ලැබූයේ “බ්‍රිතාන්‍ය ප්‍රමිතියේ” ඖෂධ හා “ඇමරිකානු ප්‍රමිතියේ” ඖෂධ වර්ග පමණකි. ඒත් මෑත කාලීනව “ඉන්දියානු ප්‍රමිතියේ” ඖෂධවර්ග වලටද ශ්‍රී ලංකාවේ ඖෂධ වෙළෙඳපොළ හා සෞඛ්‍ය ක්ෂේත්‍රය විවෘතව ඇති බව අප දනිමු...


ඒ කවර ප්‍රමිතියේ ඖෂධයක් වුවද දේශීය භාවිතාව හා දේශීය වෙළඳපළ පිණිස ආනයනය කිරීම ශ්‍රී ලංකාවට අල ලූනු ගෙන්නනවා හෝ වාහන ගෙන්නනවා මෙන්ම ඉලෙක්ට්‍රෝනික උපකරණ ගෙන්වනවා හා සමාන සරල කටයුත්තක් වන්නේ නැත. මන්ද ඖෂධ භා බැඳි ඇත්තේ මේ රටේ ජීවත්වන සෑම සියලු ජනතාවගේම ජීවත්වීමේ අයිතිය වීම නිසාය. 

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම වූ කලී කොයි තරම් වගකීම් සහගත, කොයිතරම් බැරෑරුම්, කොයිතරම් විද්‍යාත්මක, කොයිතරම් සැලකිලිමත්, කොයි තරම් කල් ගතවන, මෙන්ම කොයි තරම් අසීරු ක්‍රියාන්විතයක් දැයි ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගයීම් නිලධාරිනියක ලෙස සේවය කරන ඖෂධවේදිනී නිශාණි ලංකා කරුණාතිලක මහත්මිය පෙන්වා දුන්නාය...


නිශාණි ලංකා කරුණාතිලක මහත්මිය මෙම කරුණු පෙන්වා දුන්නේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 6195 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු අධි චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය 
රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ අටවන සාක්ෂිකාරිය ලෙස රජය වෙනුවෙන් සාක්ෂි දෙමිනි.


ලියාපදිංචි සහතිකයක් නොමැතිව ලංකාවට ඖෂධ ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බවත් යම්කිසි ඖෂධයක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට නම් එකී ඖෂධය නිෂ්පාදනයට අදාළ සියලු තොරතුරු ඖෂධ නියාමන අධිකාරියට  ලබාදීමට ආනයනකරු බැඳී සිටින බවත් ඕ මෙහිදී පෙන්වා දුන්නාය. 


එම නඩුකරය ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊයේත් (10වැනිදා)  කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාගයට ගත්තේය. එහිදී පැමිණිල්ලේ අටවන සාක්ෂිකාරිය ලෙස නම් කොට තිබූ එම සාක්ෂිකාරිය පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොළිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවියගේ මෙහෙයවීම යටතේ සත්‍ය ප්‍රකාශ කරන බවට ප්‍රතිඥා ලබා දෙමින් සාක්‍ෂි ලබාදීම ආරම්භ කළාය. 


මෙම නඩු විභාගයේ දී සාක්ෂිකාරියගේ සාක්‍ෂි මෙහෙයවමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය උත්සාහ කරන්නු ලැබුවේ ‍ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ශ්‍රේෂ්ත්‍රයට ඖෂධ ගෙන්වා සැපයීම කොයිතරම් භාරදූර කටයුත්තක් ලෙස රජය පවත්වාගෙන යන්නේදැයි, කොයිතරම් වගකීම් පරවශ ක්‍රියාවලියකදැයි, එය කොයි තරම් විනිවිද පෙනෙන ක්‍රියාන්විතයකින් යුතු රජයේ වගකීමක්දැයි පෙන්වාදීමට හා ඔප්පු කරදීමට බව පැහැදිලි විය.


එහෙත් ජනතාවට ඇති ප්‍රශ්නය වන්නේ මේසා විශාල දැවැන්ත වගකීමක් සහිත ක්‍රියාන්විතයක් රජය විසින් අනුගමනය කරමින් සිටින පසුබිමක මහජනතාවට මේ කියන ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත්  සැපයීමේ  අපරාදය කෙසේ සිදු වී තිබේද යන්නයි. මේ තරම් විනිවිද පෙනෙන වගකීම් සහගත ක්‍රියාවලියක් තුළ සියල්ල සිදුවූයේ නම් ජනතාවට සංකූලතාවලින් පිරි ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ භාරගන්නට සිදුවූයේ ඇයි.  වරද ඇත්තේ කොතනදැයි සොයා දීම උත්තරීතර අධිකරණයේ හා නීතියේ  කාර්‍යයභාරයයි


2015 වසරේදී කොළඹ විශ්ව විද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳව උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරා 2016 දෙසැම්බර් 26 වැනිදා ඖෂධ නියාමන අධිකාරියේ සේවයට එක් එක්වූ තමා නාවල රාජගිරිය විවෘත විශ්ව විද්‍යාලයෙන් 2024 වසරේදී සිය උපාධිය සම්පූර්ණ කළ බව පෙන්වා දෙමින් එම මහත්මිය සාක්ෂි ලබා දුන්නාය. 


ඖෂධ ආයතනයට අදාළ ලිපිගොනු 1100 ක් පමණ සිය රාජකාරී ජීවිතය තුළදී ඇගයීම් සිදුකර ඇති බවත් ඖෂධ ඇගයීම් කමිටුවේ සාමාජිකාවක ලෙස තමන් කටයුතු කරනා බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන් එම සාක්ෂිකාරිය තමා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධව කටයුතු කරන්නේ යයිද පැවසුවාය. 


සංවර්ධිත රටවලින් ලබා ගන්නා ඖෂධ වර්ග පරීක්ෂා කිරීමේ සායනික පහසුකම් ලංකාවේ නොමැති නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුගමනය කරමින් පිළිගත් ක්‍රමවේදයක් අනුව ලංකාවට ඖෂධ ආනයනය කරන්නේ යැයි පැවසූ සාක්ෂිකාරිය ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන ඖෂධ වර්ග නිර්දේශ කිරීම එක් එක් විෂයන් පිළිබඳව  ප්‍රවීණතාවයක් හා සුදුසුකම් ලත් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කමිටුවක් මගින් සිදු කරන්නේ යයිද පැවසුවාය.  


මෙහිදී නි‍යෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය සාක්ෂිකාරියගෙන් කරුණු මතුකරගනු ලැබුවේ මෙසේය.


නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; ලංකාවට යම් ඖෂධයක් ආනයනය කිරීමේදී මුලින්ම අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය කුමක්ද ? 


සාක්ෂිකාරිය ; මුලින්ම ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාගත යුතුයි.ඒ සඳහා ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය ලබා ගත යුතුයි. එම ආනයනකරු ඒ සඳහා ඉල්ලුම් කිරීමේදී ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ආනයනකරුවෙක්ද කියන එක අපි සොයා බලනවා. ඊළඟට ඔහු ආනයනය කිරීමට ඉල්ලුම් කරන ඖෂධය නිෂ්පාදනය කරන නිෂ්පාදිත සමාගම එරටේ ඖෂධ නියාමන අධිකාරිය යටතේ ලියාපදිංචි කරුවෙක්ද ? වසර තුනක කාලයක් එකී නිෂ්පාදන එම රටේ අලෙවි කිරීමට අදාළ සහතික හිමිකරුවෙක්ද කියන එකත් සොයා බලනවා. එරටේ වාණිජ මණ්ඩලයේ සහතිකය නැතිනම් එම ඖෂධය අප රටට ආනයනය කිරීමට අවසර ලබා දෙන්නේ නෑ. 


එමෙන්ම එකී ඖෂධයේ සාම්පල අප රටේ විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කිරීමක් කළ යුතුය. බොහෝ විට එකී ඖෂධ නිෂ්පාදනාගාර පරීක්ෂා කිරීම සිදු කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව නිෂ්පාදනාගාර පරීක්ෂා කිරීමකින් තොරව ලේඛන පමණක් පරීක්ෂා කොට ඖෂධ ආනයනය කිරීමට අවසර ලබා දෙන ක්‍රමවේදයකුත් තිබෙනවා. 


(එම සාක්ෂිකාරිය සිය සාක්ෂිය ලබාදීමේදී සිංහල වචන භාවිතයට වඩා ඉංග්‍රීසි වචන භාවිතා කිරීම නිසා හැකිතාක් දුරට සිංහල භාෂාවෙන් සාක්ෂි ලබාදෙන ලෙසට සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සාක්ෂිකාරියට අවවාද කළේය.)


සාක්ෂිකාරිය ; නිෂ්පාදනාගාර අනුමැතිය හිමිවුණාට පසුව ආනයනකරු ඉදිරිපත් කරන ඖෂධ ලියාපදිංචියට අදාළ ලිපිගොනුවේ අවම වශයෙන් ලේඛන 350ක් වත්  අඩංගුයි. අපි ලබාදී තිබෙන මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඔහු මුලින්ම ඊට අදාල ඉල්ලුම් පත්‍රය සමඟ එම ලිපි ගොණුව ඖෂධ නියාමන අධිකාරියට භාර දෙන්න ඕනා. එකී ලේඛන ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් විසින් නිසි ලෙස පරීක්ෂා කර ඔවුන්ගේ නිර්දේශ ඇතුළත් ගොනුව අදාල බලධාරීන්ට ලබා දෙනවා. ඒවා විශේෂඥ තාක්ෂණ කමිටුව විසින් නිර්දේශ කලාට පසු තමයි ආනයනය ක්‍රියාවලිය සඳහා අනුමැතිය හිමිවන්නේ. 

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල් වරිය. ඒ සඳහා ක්‍රමවේද දෙකක් තිබෙන බව ඔබ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළා නේද ? 


සාක්ෂිකාරිය ; ඔව් ජීව විද්‍යාත්මකව නිෂ්පාදන හා රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් සිදුකරන ඖෂධ නිෂ්පාදනය ප්‍රධාන කොටස් දෙකයි. ඉමියුහෝගිලොබියන් එන්නත් එලෙස ජීව විද්‍යාත්මකව නිෂ්පාදනය කරන ඖෂධයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ඒවා ජීව සංඝටක ඇතුළත් කොට නිෂ්පාදනය කරන ඖෂධ වර්ගයක් බවත් රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගෙන නිෂ්පාදනය කරනු ලබන ඖෂධ වර්ගත් තිබෙනවා. 


නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; ඖෂධයක් ආනයනය කිරීමට අවසර ලබාදීමට පෙර සලකා බලන වෙනත් විශේෂ කරුණුු මොනවාද? 


සාක්ෂිකාරිය ; ඒක අත්‍යවශ්‍ය ඖෂධයක්ද? එම ඖෂධය අපේ රටට මාසයක භාවිතය සඳහා කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද? මේ දක්වා තිබෙන තොග ප්‍රමාණය හා ඇනවුම් කර ඇති තොග ප්‍රමාණය වගේ කරුණුත් සොයා බලනවා.  ඊට අමතරව එම ඖෂධයේ උප්පැන්න සහතිකය අපේ භාෂාවෙන් කියනවා නම් ඖෂධයේ උප්පැන්න සහතිකය ගැන අපි සොයා බලනවා. එම ඖෂධය එරටේ නිෂ්පාදනය කරන්න බලධාරීන් සත්‍ය වශයෙන්ම අවසර ලබාදීලා තියෙනවාද? කියන එක. ඒවා එම රටේ වෙළඳ පොලේ අලෙවි කරන්න එරට බලධාරීන් අවසර දීලා තියෙනවාද කියන සහතික කළ යුතුයි.  


ආනයනකරුත් මෙන්ම අපනයනකරුත් වෙනත් රටවල අලෙවි කරන්න ලබා දී තිබෙන සහතිකයට අපේ රටට ඖෂධ ගෙන්වන්න අවසර දෙන්නේ නෑ. එම ඖෂධය අපේ රටේ අලෙවි කිරීමට අපේ රටට නිකුත් කළ සහතිකයක් ඇත්නම් විතරයි ඒවා රටට ගෙන්වන්න අවසර දෙන්නේ. එකී නිෂ්පාදනය වෙනත් රටවලට අලෙවි කර ඇති බවට නිකුත් කරන සහතිකය පමණක් මදි. මේ සියලු තොරතුරු සහතික ඖෂධ ආනයනයකරු, ඖෂධ නියාමන අධිකාරියට ලබාදීමට බැඳී සිටිනවා. 


නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; තවත් මොනවාද සොයා බලන්නේ?  


සාක්ෂිකාරිය ; ඖෂධයේ ලේඛනය සපයා තිබෙන දත්තවලට සමානද කියන එක.  ඒ වගේම එම ඖෂධය භාවිතා කිරීමට අදාළ නිර්දේශත් දැඩි ලෙස සොයා බලනවා.


නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; ඔබ කීවා නේ ! ඖෂධය ආනයනකරුවකු. ඉදිරිපත් කරන එක් ඉල්ලුම් පත්‍රයක් අඩංගු ලිපි ගොණුවක සාමාන්‍යයෙන් ලේඛන 350 ක් විතර අඩංගුයි කියලා? සාමාන්‍යයෙන් එවැනි ගොනුවක් පරීක්ෂා කරලා අදාළ නිර්දේශය දෙන්න කොපමණ කාලයක් විතර ගතවෙනවාද? 


සාක්ෂිකාරිය  ; සමහර අවස්ථාවල එවැනි වෙළුම් 25-30 කට අධික වන අවස්ථා තිබෙනවා. වැඩ කරන දින තුන්සීයක් ඇතුළත එම ඇගයීම් කටයුතු කරන්න පුළුවන්. ඖෂධ ආනයනය කිරීමට අදාලව ඖෂධ නියාමන අධිකාරිය අඛණ්ඩව නියාමනය කරනවා. ඒවා නිසි උෂ්ණත්වය යටතේ වරායට හෝ ගුවන්තොටුපළට රැගෙන එනවාද ?  ඊට පසු ඒවා එකී උෂ්ණත්වය යටතේම ගබඩා වෙත ප්‍රවාහනයනය කරනවාද? එම ගබඩාවල නිසි ක්‍රමවේදය යටතේ ගබඩාකොට තිබෙනවාද කියා නියාමනය කරනවා. ගබඩා බලපත්‍රයක් ගැනීම ගබඩාකොට තැබීම මෙන්ම ප්‍රවාහනය කිරීමටත් නිසි   බලපත්‍රයක් තිබිය යුතුයි. එකී ඖෂධ ආනයනය කළ අවස්ථාවේ සිට රෝගියාට ලබාදෙන අවස්ථාව වනතුරු අපි නියාමනය කරනවා. 


නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; ඖෂධයේ ආයු කාලයත් බලපානවා නේද? ඒ ගැනත් නියාමනය කරනවා නේද? ඖෂධ ආනයනකරු ඒ සඳහා ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කළ යුත්තේ කාගේ ආවරණ ලිපියක් යටතේද? 


සාක්ෂිකාරිය ; සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා එම ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කළ යුතුයි. එවැනි අයදුම් පත් ඖෂධ නියාමන අධිකාරියට භාරදිය යුතුයි. ඊට පසු තමා තාක්ෂණ කමිටු ඒවා සලකා බලන්නේ. 


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකු ඊයේ (10) දිනයේත්, විවෘත අධිකරණය හමුවේ පෙනී සිටි අතර නම වන විත්තිකරු නොමැතිව එම නඩු විභාගය පැවැත්වේ. නඩු විභාගය ආරම්භ කරන අවස්ථාවේදී අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහුට එරෙහිව වෙනත් මහාධිකරණයක් හමුවේ ගොනුකර ඇති නඩුවක් කැඳවීම සිදුවන නිසා එම අධිකරණය හමුවේ පෙනී සිටින බව ඔහු වෙනුවෙන් පෙනී සිටි. නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. කෙසේ නමුත් පෙරවරු 10.30 ට පමණ වන විට ඔහුව විවෘත අධිකරණය හමුවට රැගෙන ඒම සිදු කරන ලදී.


වැඩිදුර විභාගය අද (11) දක්වා කල් තැබිණි.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0