රට බංකොළොත් වූ බව නොදැනසිටි භාණ්ඩාගාර ලේකම්වරයෙක්...

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ගෙන්වා රුපියල් කෝටි 14කට අධික මහජන මුදල්වංචා කළ බවට චෝදනා එල්ල කරමින් කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපති පවරා ඇති නඩුව, ඊයේත් (09) විභාගයට ගැනුණේ නීතිඥයන් සහ සාක්ෂිකරුවන් අතර ඇති වූ තියුණු සංවාදය හරි රසවත්ය. එමෙන්ම ඇතැම්විට හාස්‍යජනකය.

Feb 10, 2026 - 13:53
 66
රට බංකොළොත් වූ බව  නොදැනසිටි  භාණ්ඩාගාර ලේකම්වරයෙක්...

රට බංකොළොත් වූ බව

නොදැනසිටි

භාණ්ඩාගාර ලේකම්වරයෙක්...

ඒ වුණත් ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ

රජයේ අධීක්ෂණ නිලධාරියා..!


නීතිඥ රාහුල් ජයතිලක: "මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා ලෙසත්, ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ අධීක්ෂණ නිලධාරියා ලෙසත් කටයුතු කළ ඔබ මෙවන් සුවිශේෂී කරුණක් හෝ නොදන්නා බව දිවුරුම් පිට ප්‍රකාශ කිරීම පිළිගත හැකිද?"

සාක්ෂිකරු:  “ස්වාමීනි, මම දැන් විශ්‍රාම ගිහින් අවුරුදු දෙකක් විතර වෙනවා. මට ඒ ගැන හරියටම මතක නෑ.”

මෑත කාලීන ඉතිහාසයේ එක්තරා අවස්ථාවක ශ්‍රී ලංකාව විදේශ රටවලින් ලබාගත් ණය ගෙවා ගැනීමට හා පුනරාවර්තන වියදම් පවත්වාගෙන යාමට නොහැකිව රජය “බංකොලොත් භාවය” ප්‍රකාශයට පත් කළේය...


එම අවස්ථාවේදී ලොව කිසිම රටකින්, කිසිදු මූල්‍ය ආයතනයකින් ණය මුදලක් ලබා ගත නොහැකිව ඉන්ධන, ගෑස්, ඖෂධ වර්ග හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසිවක් ගෙන්වා ගත නොහැකිව අපේ රට අන්ත අසරණ භාවයට පත් පත්වූවා අපට මතකය... 


මේ ඛේදවාචකයට රට මුහුණ පෑ අවස්ථාව හා කවර හෝ හේතුවක් මත ඉන්දියාව මැදිහත්ව අපට උපකාර කිරීම අමතකව ගිය කෙනෙක් සොයා ගැනීම පහසු නොවේ....  


එහෙත් පසුගියදා (9 වැනිදා) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විමසමින් සිටි නඩු විවාදයක් අතරතුර එවන් පුද්ගලයෙක් හමුවූයේය. පුදුමයට කාරණාව වූයේ ඔහු එසේ මෙසේ අයකු නොවීමය. රජය බංකොළොත් භාවය ප්‍රකාශ කළාට පසු ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අපට මිලියන 1000ක ණයක් ලැබූ අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කළ පුද්ගලයා ඔහුය...


මුදල් අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්. එම්. පී. රත්නායක ගෙන් විත්තියේ නීතිඥ රාහුල් ජයතිලක නැගූ හරස් ප්‍රශ්න හමුවේ සාක්ෂිකරු පළ කළ අදහස් කාගේත් විමතියට හේතු විය.


නීතිඥ රාහුල් ජයතිලක: “අප රට විදේශ රටවලින් ලබාගත් ණය ගෙවීමට නොහැකි බංකොලොත් රටක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබූ බව ඔබ දන්නවාද?”


සාක්ෂිකරු: “මා ඒ ගැන දන්නේ නැහැ.”


නීතිඥ රාහුල් ජයතිලක:  “මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා ලෙසත්, ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ අධීක්ෂණ නිලධාරියා ලෙසත් කටයුතු කළ ඔබ මෙවන් සුවිශේෂී කරුණක් හෝ නොදන්නා බව දිවුරුම් පිට ප්‍රකාශ කිරීම පිළිගත හැකිද?”


සාක්ෂිකරු:  “ස්වාමීනි, මම දැන් විශ්‍රාම ගිහින් අවුරුදු දෙකක් විතර වෙනවා. මට ඒ ගැන හරියටම මතක නෑ.”


ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ගෙන්වා රුපියල් කෝටි 14කට අධික මහජන මුදල්වංචා කළ බවට චෝදනා එල්ල කරමින් කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපති පවරා ඇති නඩුව, ඊයේත් (09) විභාගයට ගැනුණේ නීතිඥයන් සහ සාක්ෂිකරුවන් අතර ඇති වූ තියුණු සංවාදය හරි රසවත්ය. එමෙන්ම ඇතැම්විට හාස්‍යජනකය.


නඩු විභාගයක් අතරතුර කෙරෙන සාක්ෂ විභාග වලදී හා හරස් ප්‍රශ්න ඇසීමේදී නඩුවලට ඉතාමත් අත්‍යවශ්‍ය වැදගත් කරුණු හෙළිදරව් වන්නේ විත්තිකරුවන් පමණක් නොව, සාක්ෂිකරුවන් විසින් ද ලබා දෙනු හදිසි උත්තර හා ප්‍රතිචාර අනුවය. 


කොයි තරම්ඉහළ පදවි තානාන්තර දැරූ නිලධාරියකුට වුවද උසාවියකදී විනිසුරු මඩුල්ලක් ඉදිරියේ උගත් නීතිඥවරුන් හරස් ප්‍රශ්න අසනවිට “අර්බුධවලට හා උභතෝකෝටික ගැටලුවලට” මුහුණ දෙන්නට සිදුවන අවස්ථා බහුලය. අදාළ නඩුව විභාගයට වැදගත් වන, ඉතාමත් තීරණාත්මක සාක්ෂි හා සාධක උසාවිය හමුවේ හෙළිදරව් වන්නේ එවන් අවස්ථාවලදීය. 


එවන් අවස්ථා මගහැරීමට සාක්ෂිකරුවන් විසින් විශ්වාස කළ නොහැකි ඇතැම් ප්‍රකාශ ලබා දුන්නත්, එම අවස්ථාවේදී උසාවියේ උගත් නීතිඥවරු දිගට හරහට අසනු ලබන හරස් ප්‍රශ්න හේතුවෙන් කිසිවෙකුටත් සත්‍යය සඟවා යටපත් කර තබා මගහැර යෑම පහසු නොවේ. එය වායුව පිරි රබර් බෝලයක් බලහත්කාරයෙන් දිය යට තබාගෙන සිටිනවා තරම් පහසු කාර්යයක් වන්නේද නැත.


මේ දිනවල කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින “හියුමන් ඉමියුනොග්ලොබියුලින්”ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවේ සාක්ෂි විභාගය අතිශයින් උණුසුම් මුහුණුවරක් ගෙන ඇත්තේය.


සාක්ෂි විභාගයේදී එක් පස්සෙකින් රජයේ නීතිඥයෝ හා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුවන් උසාවිය හමුවට ගෙන එමින් චූදිතයන්ට එරෙහිව තිබෙන සාක්‍ෂි හා කරුණු චෝදනාව තහවුරු කරන්නට උත්සාහ කරනු ලබන අතර, එම සාක්ෂි කොයි තරම් ප්‍රබල ද හා කාලෝචිතද කියා තහවුරු වන්නේ විත්තියේ නීතිඥයින් හමුවේ ඔවුන් අසරණ හා විපිලිසර නොවන තරමටය...


එහෙත් පසුගිය දිනවල විත්තියේ උගත් නීතිඥවරු හමුවේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සහ සාධක ඉදිරිපත්වන අයුරු අප බලා සිටියත් ඒවා මොනතරම් සාධනීයදැයි අපිට විනිශ්චයය ලබා දිය නොහැකිය.


එහෙත් අප කරන මෙම වාර්තාකරණයට අනුව උසාවියේ ඇසෙන ප්‍රශ්නවලින් හා ඒවාට සාක්ෂිකරුවන් ලබා දෙන උත්තරවලින් සත්‍යය කුමක් වන්නට ඇත්දැයි හැඟීමක් ඇති කරගන්නට පහසු වනවා ඇත.


මෙම නඩුවේ විත්තිකරුවන් 12 දෙනකු සිටින බව කියවෙයි. ඔවුන්ට එරෙහිව තිබෙන අධිචෝදනා ඔප්පු කිරීම සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් හාරසිය දෙනෙක් පමණ සාක්ෂිදීමට විනිසුරු මඩුල්ල හමුවේ සූදානම් බව ද කියැවේ. ඉදින් මේ නම් “එක හීනයෙන් එළිවන” නඩුවක් නම් නොවේ. 


මේ රටම උනන්දුවෙන් මේ දෙස බලා සිටින්නේ මෙම නඩුකරය ඒ තරම් සුවිශේෂීත්වයක් අපේ රටේ අධිකරණ ක්ෂේත්‍රය තුළ පවත්වාගෙන යන්නට සමත් වී ඇති නිසාය...


ඉකුත් නවවෙනිදා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ පරිශ්‍රයේදී සිදු වූ එම සාක්ෂි විභාගයේ ඇත්ත ඇති තතු මෙලෙස කියවන්නට ඔබටත් හැකිය.


නඩු වාර්තාව (09/02/2026)

 

2020.01.08 වැනිදා අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අනුව ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා රජයට ලබාදීමට ගිවිසුම් ගත වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 1000ක ණය මුදල ලබා ගැනීමට අදාළ කටයුතු සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස තමාව පත්කළ බවත් එකල අප රට විදේශ රටවලින් ලබාගත් ණය ගෙවීමට නොහැකි බංකොලොත් රටක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර විදේශ නය ගෙවීම් තාවකාලිකව අත්හිටවූ බවක් තමා නොදන්නේ යැයි මුදල් අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්. එම්. පී.  රත්නායක මහතා  විත්තියේ නීතිඥ රහුල් ජයතිලක මහතා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.


 ලෝකයේ සියලුම රටවල් පාහේ ශ්‍රී ලංකාවට කිසිදු නය මුදලක් ලබාදීම ප්‍රතික්ෂේප කොට තිබියදී ශ්‍රී ලංකාවට එවැනි ණය මුදලක් දීමට එකඟ වූ එකම රට ඉන්දියාව නොවන්නේ දැයි  නමවන විත්තිකාර වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක මහතා හරස් ප්‍රශ්න නගමින් එම සාක්ෂිකරුට යෝජනා කළ අතර හැම රටක්ම එලෙස ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කළ බවට විත්තිය කරන යෝජනාවට පිළිතුරු දිය හැක්කේ අදාල ලේඛන පරිශීලනය කිරීමෙන් අනතුරුව බවත් ඒ බව සැබෑ ලෙසම දැනගත හැක්කේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් වන්නේ යයිද එම සාක්ෂිකරු පැවසීය. 


එකී ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ ප්‍රධාන අධීක්ෂණ නිලධාරියා ලෙසත් මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා ලෙසත් කටයුතු කළ සාක්ෂිකරු එවන් සුවිශේෂී කරුණු හෝ නොදැන සිටින බවට හා ඒ පිළිබඳව නිශ්චිතව නොදන්නා බවට ගරු අධිකරණය හමුවේ දිවුරුම් පිට සාක්ෂි දෙමින් ප්‍රකාශ කර සිටීම පිළිගත හැක්කේ දැයි විත්තියේ නීතිඥවරයා එම සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.


සාක්ෂිකරු ;  ස්වාමීනි, මම දැන් විශ්‍රාම ගිහින් අවුරුදු දෙකක් විතර වෙනවා. මට ඒ ගැන හරියටම මතක නෑ.


විත්තියේ නීතිඥ ;  ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබූ එකී ණය මුදල ලබා ගැනීමේ කාලය දීර්ඝ කිරීමට කිසිම බලධාරියකු සමග සාකච්ඡාවක් තිබුනේ නෑ කියලා මම ඔබට යෝජනා කරනවා.


සාක්ෂිකරු ; මම එම යෝජනාව ප්‍රතික්ෂේප කරනවා.


විත්තියේ නීතිඥ ; ඒ බව සනාථ කරන්න අවශ්‍ය ලේඛන කිසිවක් ඔබ අධිකරණයට ඉදිරිපත් කරලා නෑ. කවුද එම සාකච්ඡාව කළේ. එම කාලය දීර්ඝ කර ගැනීම සඳහා 2022 සැප්තැම්බර් ඔක්තෝබර් මාස වලදී කළ බව මම යෝජනා කළොත් ඔබ පිළිගන්නවාද?


සාක්‍ෂිකරු ; හරියටම දින මතක නෑ. විදේශ සම්පත් දෙපාර්තමේන්තුව තමයි එම සාකච්ඡා කළේ.

 
විත්තියේ නීතිඥ ; රහුල් ජයතිලක මහතා ; විදේශ සම්පත් දෙපාර්තමේන්තුව එවැනි ඉල්ලීමක් කරන්න ඇත්තේ එකී ණය මුදලින් සම්පූර්ණයෙන්ම වඩාත්  ඵලදායී ලෙස ප්‍රයෝජන ගැනීමේ අරමුණින් නේද ?

 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සාක්ෂිකරුගේ කටට උත්තරය දීල ඔව් නේද ? නෑ නේද ? කියලා හරස් ප්‍රශ්න අහන්න බෑ.

 
නීතිඥ රහුල් ජයතිලක මහතා; ඔබතුමිය කියන්න ඕන නෑ. එතුමා ඒකට උත්තර දෙයි ඔව් නම් ඔව් කියයි. නැතිනම් නෑ කියයි.


සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; කිව්වේ නෑ නේද වගේ? හැඟෙන ලෙස ප්‍රශ්න අහන්න බෑ.


දස වන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ  ප්‍රියන්ත නාවාන මහතා ;


ලංකා රජය සහ ඉන්දියානු රජය අතර ඇති කරගත් ණය ගිවිසුමේ සඳහන් වන්නේ ඇමරිකානු ඩොලර් වලින් එම ණය ආපසු ගෙවිය යුතුයි කියලනේ?


සාක්ෂිකරු ; ඒක හරියට මතක නෑ.


ජනාධිපති නීතිඥවරයා ; ණය මුදලේ උපයෝජනය අවසන් වූ පසු උපයෝජන හා උපයෝජිත මුදල ලෙස සටහන් වෙන්නේ ඇමරිකානු ඩොලර් වලින්නේ. දෙරට අතර ඇති කරගත් ගිවිසුම අනුව එකී ණය මුදල බැංකුගත වී තිබුණේ ඉන්දියානු රාජ්‍ය බැංකුවේ නේද?


සාක්ෂිකරු ; ඔව්


ජනාධිපති නීතිඥවරයා ; නේබර් ෆස්ට් ( අසල්වැසියාට ප්‍රමුඛතාවය ) කියන සංකල්පය මත ඉන්දියාව එම අර්බුදකාරී අවස්ථාවේදී අපේ රටට උදව් කළා. ඔබ නිකුත් කළ ලිපිවල සඳහන් කොට තිබුණා  ක්‍රයිසීස්  කියන ඉංග්‍රීසි වචනය. ක්‍රයිසීස් කියන ඉංග්‍රීසි වචනයේ  තේරුම මොකක්ද ?


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ ප්‍රශ්නය සාක්ෂිකරුගෙන් අහනවාට මම විරුද්ධයි. මොහු මෙම නඩුවේ සාක්ෂිකරුවෙක් වුණාට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විශාරදයෙක් නෙමෙයිනේ.  අද පත්තරයක තිබුණා. මේ සාක්ෂිකරුගේ සාක්ෂි හෑල්ලුවට, අවතක්සේරුවට ලක්වන ආකාරයේ ප්‍රවෘත්තියක්.


ජනාධිපති නීතිඥවරයා ; ඔබ අදාළ සම්බන්ධීකරණ කමිටුවේ ප්‍රධානියා එමෙන්ම මුදල් අමාත්‍යාංශයේ අතිරේක  භාණ්ඩාගාර ලේකම් ලෙස  කටයුතු කළ දැන උගත් ඒ පිළිබඳව දැනුමක් තියෙන අයෙක්.


සාක්ෂිකරු ; මම අදහස් කලේ crisis  කියන වචනයෙන් ආර්ථික ගැටලු කියන එකයි.


ජනාධිපති නීතිඥවරයා ; crisis කියන්නේ අර්බුදයක් කියන එක නේද?


සාක්ෂිකරු ;  එහෙම විග්‍රහ කරන්නත් පුළුවන්


එහිදී හයවන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා පැමිණිල්ලේ 182 වන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ එම සාක්ෂිකරුගෙන්, හරස් ප්‍රශ්න ඇසීම සිදු කළේය.


නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; එකී ණය යෝජනා ක්‍රමය යටතේ හදිසි අවශ්‍යතාවක් ලෙස ඖෂධ මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200ක් මුලින් වෙන් කර තිබුණා. පසුව එම මුදල් ඇමරිකානු ඩොලර් 360 දක්වා වැඩිකර තිබුණා නේද? ඔබට ඒ පිළිබඳව අවබෝධයක් තිබෙනවාද?


සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී


විත්තියේ නීතිඥ ; 2023.03.31 වැනි දින අවසන් වීමට නියමිතව තිබූ ඉන්දියාව හා ලංකා රජය අතර  ඇති කරගත් ගිවිසුමේ කාලය 2024.03.31 දක්වා දීර්ඝ කිරීමක් සිදුවුණා කියලා මා යෝජනා කළොත් ඔබ පිළිගන්නවාද ?


සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී


විත්තියේ නීතිඥවරයා ; ඒ ගිවිසුම් කාලය සම්පූර්ණයෙන්ම අවසන් වන විට ඉන්දියානු ණය යෝජනා ක්‍රමයෙන් කොපමණ මුදලක් සම්පූර්ණයෙන්ම උපයෝජනය වෙලා තිබුණාද ? කොපමණ මුදලක් ඉතිරිවීී තිබුණාද?


සාක්ෂිකරු ; ඇමරිකානු ඩොලර් 522ක් ඉතිරිවී තිබුණා.   


නඩු විභාගය ආරම්භ කිරීමට පෙර හතරවන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ  ඝණකාධිකාරීවරයා ලෙස කටයුතු කළ මරක්කල මානගේ නිරාන් ධනංජය මහතා හා පස්වන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ තොග පාලක ලෙස සේවය කළ සුජිත් වසන්ත කුමාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක සේරසිංහ මහතා එම විත්තිකරුවන් වෙනුවෙන් කරුණු දැක්වීමක් සිදු කිරීමට විනිසුරු මඩුල්ලෙන් අවසර ඉල්ලා සිටියේ.


ජ්‍යෙෂ්ඨ නීතිඥ අශෝක සේරසිංහ මහතා ;  ස්වාමීනි, මෙම විත්තිකරුවන් දෙදෙනාම රජයේ සේවකයන් ඔවුනට එරෙහිව සිදු කළ අභ්‍යන්තර විගණන පරීක්‍ෂණවලින් හා විනය පරීක්‍ෂණවලින් අනතුරුව ඔවුන්ව යළි සේවයේ පිහිටවලා තියෙන්නේ. පස්වන විත්තිකරු මේ වන විට කරාපිටිය මූලික රෝහලේ ඖෂධ වේදියෙක් ලෙස රාජකාරි කරනවා. ඔහුගේ බිරිඳ ගැබිණි මවක්. ඇය ඉතා සංකූලතා සහිත රෝග තත්ත්වවලින් පෙළෙන කාන්තාවක්. ඔවුන් දෙදෙනා පමණයි නිවසේ ජීවත් වන්නේ. බිරිඳට දැඩි ලෙස අසනීප වන අවස්ථාවලදී මගේ සේවාදායකයාට නිසි වෙලාවට මෙම අධිකරණයට පැමිණීමට නොහැකි වෙනවා. එමෙන්ම ඔහු අධිකරණයට පැමිණි බව සනාථ කරන්න රාජකාරී කරන ස්ථානයට පැමිණීමේ සහතික ඉදිරිපත් කරන්න සිදුවෙනවා. ඒ නිසා ඉල්ලුම් කළ විට අදාල සහතික විත්තිකරුවන්ට ලබා දෙන ලෙස රෙජිස්ටාර්වරියට නියෝගයක් කරන ලෙස ඉල්ලා සිටිනවා 


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ;  නීතිපතිවරයා අධි චෝදනා පත්‍ර ගොනුකොට මහාධිකරණයක් හමුවේ. නඩු පැවරූ පසු කුමන තරාතිරමේ රජයේ සේවකයෙකුට වුවත් යළි රාජකාරි කරන්න බෑ. ආයතන සංග්‍රහය අනුව එහෙම රාජකාරි කරන්න බෑ. ඒ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් විමසා සතියක කාලයක් ඇතුලත ඔබතුමාගේ අධිකරණයට වාර්තා කිරීමට පියවර ගන්නම්.


අධිකරණය ; ඉල්ලුම් කළ විට කාර්ය සටහන් ලබා ගැනීමට විත්තිකරුවන්ට අවසර තිබෙනවා.


ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සපයා රජයට අයත් රුපියල් කෝටි 14කට අධික මුදලක් ව්‍යපහරණය කිරීම ඇතුළු අධි චෝදනා දහතුනක් යටතේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය අද (10 ) දක්වා කල් තැබීමට ප්‍රියන්ත ලියනගේ , විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ  විනිසුරු මඩුල්ල නියෝග කළේය.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0