NYSC තරුණ සහන නොනිමි මෙහෙවරක.

පසුගිය දිනවල මෙරටට බලපෑ දරුණු ගංවතුර, නාය යෑම් සහ අනෙකුත් ස්වභාවික විපත් හේතුවෙන් අසරණ වී සහන මධ්‍යස්ථානවල රැඳී සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා ජාතික තරුණ සේවා සභාව (NYSC) සිය යෞවන සමාජ ජාලය ඔස්සේ දැවැන්ත සහන වැඩසටහනක් දියත් කර තිබේ.

Dec 4, 2025 - 18:36
 47

NYSC තරුණ සහන 

නොනිමි මෙහෙවරක.

තරුණ සේවා සභාවෙන් ගංවතුර විපතට පත් වූවන්ට කඩිනම් සහන.

ට්‍රක්රථ 100කට අධික සංඛ්‍යාවක් දැනටමත් පිටත් කර අවසන්...

පසුගිය දිනවල මෙරටට බලපෑ දරුණු ගංවතුර, නාය යෑම් සහ අනෙකුත් ස්වභාවික විපත් හේතුවෙන් අසරණ වී සහන මධ්‍යස්ථානවල රැඳී සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා ජාතික තරුණ සේවා සභාව (NYSC) සිය යෞවන සමාජ ජාලය ඔස්සේ දැවැන්ත සහන වැඩසටහනක් දියත් කර තිබේ.

මෙම අභියෝගාත්මක තත්ත්වය හමුවේ, තරුණ සේවා සභාවේ නායකත්වය යටතේ ස්වාධීන රූපවාහිනියේ සහ තරුණ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ මඟ පෙන්වීමෙන් රටේ පරිත්‍යාගශීලී පොදු ජනතාව විශාල වශයෙන් එක්රැස් විය. ඔවුන් විසින් ගෙනවිත් මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානය වෙත භාරදුන් අතිවිශාල ආහාර තොග, පානීය ජලය, ඇඳුම් පැළඳුම්, විවිධ බෙහෙත් වර්ග ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැසක් මේ වනවිට ලැබී ඇති බව වාර්තා වේ.

සහන මෙහෙයුමේ විශේෂත්වය වන්නේ තරුණ සේවා සභාව හා අත්වැල් බැඳගත් විශාල තරුණ තරුණියන් පිරිසකගේ ශ්‍රමදායකත්වයයි. පසුගිය 28 වනදා සිට අද (04) දක්වාම දිවා රෑ නොබලා ඔවුන් විසින් මෙම අතිවිශාල අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොග වර්ගීකරණයට ලක්කරනු ලබයි. වර්ගීකරණයෙන් අනතුරුව එම ද්‍රව්‍ය කඩිනමින් යුධ හමුදාවේ හා අනෙකුත් ආපදා කළමනාකරණ සේවාවන්වල ට්‍රක් රථවලට පටවා රටේ පිටපළාත්වල විපතට පත් ජනතාව වෙත යැවීම සිදුවේ.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා සඳහන් කළේ, දැනටමත් සහන භාණ්ඩ රැගත් ට්‍රක් රථ 100 කටත් වඩා වැඩි ප්‍රමාණයක් කොළඹ අවතැන් වූ ජනතාව සිටින ස්ථානවලට මෙන්ම විපතට පත් දුර බැහැර ප්‍රදේශවලට පිටත් කර ඇති බවයි. තරුණ පරපුරේ ශක්තිය සහ කැපවීම විදහා දක්වන තරුණ සේවා සභාවේ මෙම කඩිනම් මානුෂීය මෙහෙයුම, විපතට පත් ජනතාවට සහන සැලසීමේ ජාතික ප්‍රයත්නයට විශාල ශක්තියක් වී ඇත.

ශ්‍යාමලී රත්නායක.
පින්තූර - සංජීව සමරරත්න.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 1