රනිල්ට ආයෙත් - වැඩ වරදී ද.?

රාජ්‍ය ආයතනයක් පවත්වාගෙන යෑමට පිළිගත හැකි නියමිත තක්සේරුවට වඩා “වැඩි මුදලක්” ගෙවා පුද්ගලික ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගෙන ඇතැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන “අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව” (CIABOC) නුදුරේම ප්‍රශ්න කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැඳවනු ඇතැයි තතු දත් ආරංචි මාර්ග පවසයි. පහුගිය යහපාලන ආණ්ඩුව සමයේ සිදුවූවා යැයි කියන මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද පසුගියදා මෙම කොමිසම හමුවට කැඳවා ප්‍රශ්න කර ඇත.

Nov 17, 2025 - 16:56
 45
රනිල්ට ආයෙත් -  වැඩ වරදී ද.?


රනිල්ට ආයෙත් -  වැඩ වරදී ද.?

සබීතාපායේ ගනුදෙනුවට රනිල් කැඳවන ලකුණු. 

රාජ්‍ය ආයතනයක් පවත්වාගෙන යෑමට පිළිගත හැකි නියමිත තක්සේරුවට වඩා “වැඩි මුදලක්” ගෙවා පුද්ගලික ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගෙන ඇතැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන “අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව” (CIABOC) නුදුරේම ප්‍රශ්න කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැඳවනු ඇතැයි තතු දත් ආරංචි මාර්ග පවසයි. පහුගිය යහපාලන ආණ්ඩුව සමයේ සිදුවූවා යැයි කියන මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද පසුගියදා මෙම කොමිසම හමුවට කැඳවා ප්‍රශ්න කර ඇත. 

මෛත්‍රීපාල සිරිසේනගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් මත ලබාගත් තොරතුරු අනුව මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාව නිකුත් කර ඇත්තේ අදාළ සිද්ධියේ විෂයපථය භාර අමාත්‍යවරයා වන කෘෂිකර්ම අමාත්‍යවරයා නොව, අග්‍රාමාත්‍ය ධූරය දැරූ රනිල් වික්‍රමසිංහ බව හෙළිවී ඇතැයි කියැවේ. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැඳවුවහොත් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමටද බොහෝ දුරට ඉඩකඩ ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිකර සිටියි. 

යහපාලන ආණ්ඩු සමයේ ආරම්භ වූ "ආංශික කාරක සභා" පවත්වාගෙන යෑම සඳහා පාර්ලිමේන්තුවට ඉතාමත්ම සමීපයේ පිහිටි ඉඩකඩ සහිත ගොඩනැගිල්ලක අවශ්‍යතාවය මතුවී ඇත. පාර්ලිමේන්තු පරිශ්‍රයට නුදුරින් පිහිටා ඇති රජයේ ගොඩනැගිලි ගණනාවක්ම මේ සම්බන්ධයෙන් යෝජනා වූවත්, එවකට පාර්ලිමේන්තුවේ මහ ලේකම්ව සිටි ධම්මික  දසනායකගේ නිර්දේශය අනුව මේ සඳහා සුදුසුම ස්ථානය ලෙස තෝරාගෙන ඇත්තේ එවකට "කෘෂිකර්ම අමාත්‍යාංශය හා ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව" පවත්වාගෙන ගියා රජමල්වත්ත රජයේ කාර්යාල සංකීර්ණයේ ඉහත කී කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ලයි. 

ඔහුගේ අදහස වී ඇත්තේ පාර්ලිමේන්තුවෙන් විනාඩි තුනක් හතරක් ඇතුළත තම නිලධාරින් ගෙන්වීමටත් ආපසුයි යැවීමටත් කාර්යක්ෂමතාවය ඇති සුදුසුම ස්ථානය මේ ගොඩනැගිලි පරිශ්‍රය බවයි.

ඒ අනුව එම ස්ථානයේ පැවැති කෘෂිකර්ම අමාත්‍යාංශය හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවත්වාගෙන යෑමට සුදුසු ගොඩනැගිල්ලක් කුලී පදනම මත ඉතා ඉක්මනින් ලබාදීමේ පොරොන්දුව පිට එවකට කෘෂිකර්ම ඇමතිවරයාව සිටි දුමින්ද දිසානායක ආංශික කාරක සභා සඳහා එම ගොඩනැගිලි පරිශ්‍රය ලබාදීමට එකග වී ඇතැයි කියවෙයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑමට ගොඩනැගිල්ලක් සෙවීමේ දී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ යෝජනාව හා නිර්දේශය වී ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේ පිහිටි, වර්තමානයේ "සබීතාපාය" නමින් හඳුන්වන ඩී. එස්. ජයසිංහ ව්‍යාපාර සමූහයට අයත් අංග සම්පූර්ණ නූතන සුඛෝපභෝගී ගොඩනැගිලි සංකීර්ණය මේ සඳහා ලබාගත හැකි බවය. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විසින්ම ගනුදෙනුවට අදාළ කැබිනට් පත්‍රිකාද සකස්කර ඉදිරිපත් කර ඇති බව කියවේ.

කෙසේ වෙතත් පසුකාලීනව චෝදනාව පැමිණ ඇත්තේ රජයේ තක්සේරුගත මුදලට වඩා අධික මුදලක් මෙම ගොඩනැගිල්ලේ “වර්ග අඩියක්” වෙත ගෙවමින් අගමැතිවරයාගේ මැදිහත්වීමෙන් රජය මෙම ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවත්වාගෙන යාම සඳහා ලබාගෙන ඇති බවයි. 

පසුකාලීනව අදාළ ඇමතිවරයාට මේ සම්බන්ධයෙන් නැගෙන ලද චෝදනාවලදී ඔහු නිහඩව සිටියත් පසුගිය දිනවල අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිසන් සභාව විසින් කරන ලද පරීක්ෂණවලදී මෙම තොරතුරු හෙළිවී ඇත. හිටපු අමාත්‍යවරයාත් අදාළ නිලධාරිනුත් හිටපු ජනාධිපතිවරයාත් පරීක්ෂණ හමුවේ ලබා දී ඇතැයි කියන තොරතුරු මත එවකට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නුදුරු දිනකම අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත වග උත්තර බැඳීමට කැඳවනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.  

මෙහි චෝදනාව යොමු වී ඇත්තේ රජයේ තක්සේරුගත වටිනාකම් ඉක්මවමින්, වඩා වැඩිපුර ගෙවමින් අදාළ ගොඩනැගිල්ල රජය විසින් කුලියට ගෙන ඇති බවටයි. එසේ වෙතත් නවීන පන්නයේ සුඛෝපභෝගී පහසුකම්වලින් අනූන අලුත් ගොඩනැගිල්ලක් බැවින්, මෙම ගොඩනැගිල්ලේ වර්ග අඩියක වටිනාකම රජයේ තක්සේරුගත මුදලට වඩා වැඩි වී තිබීමට සාධාරණ හේතු ඇතැයි පවසන පාර්ශවයන්ද මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් මීට වඩා ප්‍රගතිශීලී ස්ථාවරයක සිට අදහස් පල කරන බව වාර්තා වේ. 

වර්තමානයේ මේ ගොඩනැගිලි සංකීර්ණය තුළ ළමුන් විශාල සංඛ්‍යාවකට විදේශීය විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දෙමින් "ලෝකප්‍රකට විදේශීය විශ්වවිද්‍යාලයක්" තම සේවාවන් පවත්වාගෙන යන්නේ එකී ගොඩනැගිල්ලේ පවතින සුඛෝපභෝගී භාවය හා නූතන අධි තාක්ෂණික පහසුකම් මත බවද වාර්තා වී තිබේ.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0