සංජීව ඝාතනයට උදව්කළැයි කියන නීතිඥවරියට රැඳවුම් නියෝග ඉල්ලයි...
සංජීව ඝාතනයට උදව්කළ
නීතිඥවරියට රැඳවුම් නියෝග ඉල්ලයි...
පරීක්ෂණ තව දුරටත්...
ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල ලබාදුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් නීතිඥවරියක වන තමරා කුමාරි අබේරත්න මහත්මිය තවදුරටත් දින 90ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. අද (31) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ CID උප පොලිස් පරීක්ෂක ප්‍රේම කුමාර මහතා මෙම ඉල්ලීම ඉදිරිපත් කළේය.
සැකකාර නීතිඥවරිය වෙඩික්කරුට ඝාතනය ක්‍රියාත්මක කිරීමට උපකාරී වූ බවට සාක්ෂි හමුව ඇති බවත්, ඇය විසින් ටයි පටි දෙකක්, නීතිඥ වාහන ලාංඡන ස්ටිකරයක්, දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය යන ග්‍රන්ථ දෙකක් මෙන්ම නීතිඥ හැඳුනුම්පතක් සකස් කිරීමට අවශ්‍ය ඡායාරූප සැකකාර පාර්ශවය වෙත ලබාදුන් බවට තොරතුරු හෙළිිව ඇතැයි CID නිලධාරියා අධිකරණයට දන්වා සිටියේය.සැකකාරියගේ ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන විශ්ලේෂණය කෙරෙමින් පවතින අතර, ඇය ප්‍රධාන සැකකරු කෙහෙල්බද්දර පද්මේ මහතා සමඟ දීර්ඝකාලීන සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. ඒ පිළිබදව වැඩිදුර පරීක්ෂණ සදහා කාලය අවශ්‍ය බව පොලීසියේ ඉල්ලීම වී තිබේ.
මීට අමතරව, පද්මේ මහතා සමඟ විදේශ රටවල සම්බන්ධතා පවත්වා ඇති බවට සැක කෙරෙන රංගන ශිල්පිනියන් පස්දෙනකු CIDය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්, මුදල් විශුද්ධිකරණය හෝ අවි ආනයනය වැනි අපරාධමය ක්‍රියාකාරකම්වලට සම්බන්ධදැයි විමර්ශන සිදුකරන බවත් නිලධාරියා සඳහන් කළේය.
පද්මේ මහතාගේ ප්‍රකාශය මත සොයාගත් මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් ගාල්ල ප්‍රදේශයේ සිදුවූ අපරාධ සමඟ සම්බන්ධදැයි තහවුරු කිරීමට රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. විමර්ශන ප්‍රගතිය නොවැම්බර් 07 වැනිදා ඉදිරිපත් කරන ලෙසද අධිකරණය නියෝග කළේය.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
1
Sad
0
Wow
0

