මෙහෙත් හරි වැස්ස - එහෙත් හෙම වෙන්ටැ හපොයි හරි වැස්ස - වෙලත් උතුරන්ට

ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරයි. මෙම පද්ධතිය අද (ඔක්තෝබර් 22) සවස් කාලයේදී උතුරු තමිල්නාඩු සහ දකුණු අන්ද්‍රා ප්‍රදේශ වෙරළ ආසන්නයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ බලාපොරොත්තුවක් ඇති අතර, මෙය දිවයිනේ කාලගුණ තත්ත්වයට බලපෑම් එල්ල කිරීමට හේතු වී තිබේ.

Oct 23, 2025 - 01:07
 45
මෙහෙත් හරි වැස්ස - එහෙත් හෙම වෙන්ටැ හපොයි හරි වැස්ස - වෙලත් උතුරන්ට

ශ්‍රී ලංකාවේ වැසි සහ ගංවතුර අවදානම ඉහළට...


අඩු පීඩන කලාපය වර්ධනය වෙමින් ඉන්දියාව දෙසට යයි...

දිස්ත්‍රික්ක 12ක පවුල් 2,351කට අයත් පුද්ගලයින් 9,392ක් පීඩාවට පත්වෙලා...


ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරයි. මෙම පද්ධතිය අද (ඔක්තෝබර් 22) සවස් කාලයේදී උතුරු තමිල්නාඩු සහ දකුණු අන්ද්‍රා ප්‍රදේශ වෙරළ ආසන්නයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ බලාපොරොත්තුවක් ඇති අතර, මෙය දිවයිනේ කාලගුණ තත්ත්වයට බලපෑම් එල්ල කිරීමට හේතු වී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ක පමණ තද වැසි බලාපොරොත්තු වේ. සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු මෙවැනි වැසි තත්ත්වයන් ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පැයකට කිලෝමීටර 30-40ක පමණ තද සුළං ඇති විය හැකි බවද සඳහන් වේ. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කිරීමට ජනතාවට උපදෙස් නිකුත් කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා පැවසුවේ, මෙම අඩු පීඩන තත්ත්වයේ බලපෑම ඔක්තෝබර් 28 පමණ දක්වා පැවතිය හැකි බවයි. ගංවතුර අවදානම පවතින ප්‍රදේශ අතර මහ ඔය ද්‍රෝණියේ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඇතුළත් වේ. දැදුරු ඔය ද්‍රෝණියේ වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රදේශවලද ගංවතුර තත්ත්වයන් ඇති විය හැකි අතර, දැදුරු ඔය ජලාශයෙන් තත්පරයට ඝණ අඩි 21,300ක ජලය මුදාහැරීම සිදුවෙමින් තිබේ. මීට අමතරව, රාජංගණය ජලාශයෙන් ඝණ අඩි 8,800ක ජලය මුදාහැරීම නිසා කලා ඔයෙහි පහත් බිම්වල ගංවතුර අවදානමක් පවතී. කැලණි ගංගා ද්‍රෝණියේ හංවැල්ල සහ ඉන් පහළ ප්‍රදේශවලද ඉදිරි දිනවල වැසි නිසා සැලකිලිමත් වීම අවශ්‍ය බව ඉංජිනේරු දිල්තාරා සඳහන් කළේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව, මෙම අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක පවුල් 2,351කට අයත් පුද්ගලයින් 9,392ක් පීඩාවට පත්ව ඇත. ජල පහරවලට හසුවීම් සහ පස්කඩි වැටීම් නිසා පුද්ගල මරණ 3ක් සහ තුවාල 1ක් වාර්තා වී ඇති අතර, නිවාස 377ක් අර්ධ වශයෙන් හානි වී තිබේ. බදුල්ල, ගාල්ල, මහනුවර, කැගල්ල, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක සඳහා නායයාම් අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබේ. ගංවතුර අවස්ථාවල ජල ක්‍රීඩා හෝ ඔරු පැදීම වැනි අවදානම් කටයුතුවලින් වැළකී සිටීමටත්, ගංගා ද්‍රෝණිවල පහළ මාර්ග භාවිතයේදී සැලකිලිමත් වීමටත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

ධීවරයින් සඳහා විශේෂ උපදෙස් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවලදී සැලකිලිමත් වීම අවශ්‍ය බවයි. සුළඟ නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව පැයකට කිලෝමීටර 25-35ක වේගයකින් හමා එන අතර, ගාල්ල සිට මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල විටින් විට පැයකට කිලෝමීටර 55-60ක තද සුළං ඇති විය හැකිය. ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම සහ කොළඹ හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවලද සුළඟ පැයකට කිලෝමීටර 50ක පමණ වේගයකට ඉහළ යා හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් බීබීසි සිංහල සේවයට පැවසුවේ, පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීද පැවතිය හැකි බවයි. "දැනට තියෙන කැළඹිලි ස්වභාවය අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා ඉන්දියාව දෙසට ගමන් කිරීමේ හැකියාව තමයි තියෙන්නේ. එහෙම වුණා ම ලංකාවේ නිරිත දිග කොටසේ වැස්ස වැඩි වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල ඉස්සරහ දවස් ටිකෙත් වැස්ස බලාපොරොත්තු වෙන්න පුළුවන්," යැයි ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, වැසි තත්ත්වයේ අඩුවීමක් ගැන දැනට නිශ්චිත අනාවැකි පළ කළ නොහැකි බවත්, පද්ධතියේ හැසිරීම අනුව එය වෙනස් විය හැකි බවත් ඔහු පැවසීය.

ජනතාවට ආපදා අවම කිරීම සඳහා සැලකිලිමත් වීමටත්, අවශ්‍ය පියවර ගැනීමටත් බලධාරීන් ඉල්ලා සිටී. මෙම තත්ත්වය ඔක්තෝබර් 28 පමණ දක්වා පැවතිය හැකි බැවින්, අඛණ්ඩව කාලගුණ තොරතුරු නිරීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය බව බලධාරීන් අවධාරණය කරයි.

What's Your Reaction?

Like Like 2
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0