වැලිගං ගිය වැලිගම සභාපති...
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර අද (22) නන්නාඳුනන වෙඩික්කරුවෙකුගේ ප්‍රහාරයකට ලක්ව මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්විය.
ඝාතකයා මරා දැම්මේ
මිදිගම ලසාද - වැලිගම සභාපතිද...
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර අද (22) නන්නාඳුනන වෙඩික්කරුවෙකුගේ ප්‍රහාරයකට ලක්ව මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්විය.
සභාපතිවරයා බදාදා මහජන දිනය පවත්වමින් සිටියදී අදාළ වෙඩික්කරු ප්‍රාදේශීය සභාවෙන් සේවාවක් ඉටු කර ගැනීමට පැමිණි අයෙකු සේ පැමිණ සඟවාගෙන ආ කුඩා ගිනි අවියකින් පෙ: ව: 10 31ට මෙම වෙඩි තැබීම කර පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
ඝාතනයට පැමිණි වෙඩික්කරු සාමාන්‍ය පරිදි තවත් අයෙකු හා යතුරු පැදියකින් පැමිණ ආරක්ෂක අංශයක හෝ වෙනත් කිසිදු අයෙකුගේ බාධාවකින් තොරව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිල කාමරයට ඇතුළු වී මුහුණට මුහුණ මෙම වෙඩිතැබීම කර යළි සැණෙකින් එළියට පැමිණ තමන් පැමිණි යතුරුපැදියෙන්ම පලායන අයුරු ආරක්ෂිත කැමරා කීපයකම සටහන්ව ඇත. මෙහිදී නිරීක්‍ෂණය වන විශේෂම කාරණාව වන්නේ ප්‍රාදේශීය සභාවට ඇතුළු වන ගේට්ටුවේ සිටම ආයතනයේ සභාපතිවරයාගේ නිල කාමරය තෙක් මීටර් 20ක පමණ දුරක් ඇතත් පොලිසියේ හෝ ආයතනික ආරක්ෂක අංශයක කිසිදු ආරක්ෂාවක් මේ මොහොත වන විට සභාපතිවරයා වෙත සැලසී නොතිබූ බවයි.
එහෙත් නන්නාඳුනන තුවක්කුකරුවෙකු මෙසේ පැමිණ මෙම ඝාතනය සිදුකර ඇත්තේ පසුගිය අගෝස්තු 9 වැනිදා, ''තමන්ට මරණ තර්ජන ඇතැයි කියමින්'' මරණයට පත් සභාපතිවරයා පොලිස්පතිවරයා වෙත ලිඛිතව වාර්තාවක් ඉදිරිපත් කරමින් තමන් වෙත ''විධිමත් ආරක්ෂාවක්'' සපයා දෙනමෙන් ඉල්ලීමක් කර තිබෙන පසුබිමක ය.
ලසන්ත වික්‍රමසේකර එම ලිපියෙන් මිදීගම රුවන් හෙවත් ''රුවන් ජයසේකර'' නමැති පාතාල කල්ලි නායකයෙකුගෙන් තමන් වෙත ඒ වන වනවිට මරණීය තර්ජන එළවී ඇති යයි දන්වා තිබූ බව වාර්තා වෙයි. ඒ පිළිබඳ ක්‍රියාත්මක වූ පොලිසිය පවසා ඇත්තේ එම වකවානුව වන විටදී සභාපතිවරයාට එවන් තර්ජනයක් නොතිබූ බවයි. එහෙත් ඔහු විවිධ ස්ථානවල සැඟවී සිටිමින් ප්‍රාදේශීය සභාවේ කටයුතුවලට සහභාගී වන බව වාර්තාකර ඇත.
පසුකාලීනව වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වන නීතිඥ තාරක නානායක්කාරගේ නිවසට වෙඩි තැබීමක් කර ඇත්තේද උක්ත සභාපති ''ලසන්ත වික්‍රමසේකර'' බව චෝදනා එල්ල වී ඇතත් එයද වික්‍රමසේකරගේ විරුද්ධවාදියෙකු ඔහුව සැක කරවන්නට යෙදූ උපායක් බව පසුව පොලිසිය හඳුනාගෙන ඇත.
පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායමත් සමගි ජන බලවේගයේ කණ්ඩායමත් දෙකම ප්‍රාදේශීය සභාවේ තනිව බලය පිහිටුවීමට නොහැකි තත්ත්වයකට පත්වූහ. ජුනි 27 වනදා සභාපති තෝරන්නට පළාත් පාලන ආයතනය රැස් වූ අවස්ථාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක් හා මන්ත්‍රීවරයෙක් අතුරුදහන් වීමේ සිද්ධියක් නිසා එදා සභාපති තේරීම කඩාකප්පල් විය.
අනතුරුව ජූලි 24 වනදා යළි රැස්වූ ප්‍රාදේශීය සභාව සභාපති තේරීමට නාම යෝජනා කැඳවනු ලැබීය. එහිදී ජාතික ජන බලවේගයෙන් චින්තක හේවාපතිරණගේ නම යෝජනා වූ අතර සමගි ජන බලවේගයෙන් ලසන්ත වික්‍රමසේකර ඉදිරිපත් වී තිබිණි. රටේ බොහෝ තැන්වලදී මෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේදිත් ''රහස් ඡන්දයක් පවත්වන්නට'' ජාතික ජන බලවේගය උත්සාහ කළත් එහිදී ප්‍රබලව ඊට විරුද්ධව නැගුණු හඬ නිසා මන්ත්‍රීවරුන්ගේ විවෘත ඡන්දයකින් අනතුරුව සභාපතිවරයා ලෙස ලසන්ත වික්‍රමසේකර තේරී පත්වූයේ ද අර්බුද, අභියෝග හා එදිරිවාදිකම් රාශියක් මධ්‍යයේය.
වෙඩි තැබීම සිදුවූ ඔක්තෝබර් 22 වැනිදාව පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයක් බැවින් සිද්ධිය වූ සැණින් ඒ පිළිබඳව තතු පාර්ලිමේන්තුව වෙතටද වාර්තා වී තිබිණි. විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තම පක්ෂයේ වැලිගම ප්‍රාදේශීය සහාවේ සභාපතිවරයාට මේ අවස්ථාවේ වෙඩි තැබීමකට ලක් කර ඇතැයි ප්‍රශ්න මතු කරද්දි ආණ්ඩු පක්ෂයෙන් ඔහුට බරපතල ලෙස බාධා එල්ල විය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස එම තත්ත්වය සැහැල්ලුවට ගනිමින් කියා සිටියේ සිද්ධිය පිළිබඳ පොලිසිය විමර්ශන පවත්වනු ඇති බවයි.
සභාපතිවරයාගේ මියගිය පුවත වාර්තා වෙද්දී නැවතත් විපක්ෂ නායක සජිත්, චතුර ගලප්පත්ති, චාමර සම්පත් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් මේ ගැන ප්‍රශ්න කරමින් මේ රටේ ''ජනතාවගේ ජාතික ආරක්ෂාව'' කුමක්දැයි ප්‍රශ්න කර සිටියහ.
ඊට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආනන්ද විජයපාල පෙන්වා දුන්නේ ඝාතනයට ලක් වූවා යැයි කියන ප්‍රාදේශීය සභා සභාපතිවරයා ''පාතාල කල්ලි ක්‍රියාකාරිකයකු'' ලෙස ඝාතනයට ලක්වූවා මිස ''මහජන නියෝජිතයකු ලෙස'' ඝාතනය කිරීමක් ලෙස සැලකිය යුතු නැති බවයි. ඝාතන සිද්ධිය වාර්තා වූ මොහොතේම පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ආයතනයක් තුළ සිටිමින් මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිවයුතු අමාත්‍යවරයා සිද්ධිය පිළිබඳ නිසියාකාර පරීක්ෂණයක් පවා පටන්ගෙන නොතිබූ අවස්ථාවක එසේ ''පූර්ව නිගමන ලබාදීම'' සම්බන්ධයෙන් ආරක්‍ෂාව පිළිබඳ ස්වාධීන නිරීක්ෂකයෝ මවිතය පළකරයි.
ආනන්ද විජයපාල මහතා සිදුකළ ප්‍රකාශය මෙසේ ය.
"මේ සිදුවීම හරහා රටේ මහජන ආරක්ෂාවට කිසිදු තර්ජනයක් සිද්ධ වෙලා නැහැ. මේ රටේ සංවිධානාත්මක අපරාධකරුවන් ඉන්නවා. ඔවුන් සතුව ආයුධ තිබෙනවා. ඔවුන් අතර ගැටුමක් තිබෙනවා. අපරාධකරුවන් අතර ගැටුම් තිබෙනවා. ඔවුන් ආයුධ සන්නද්ධව සිටිනවා. ඔවුන් අතර ගැටුම් සිද්ධ වෙනවා.
අද දින සිදුවීමත් මම මේ සභාවට කියන්න කැමතියි, වැලිගම සභාපති තුමා ලසන්න වික්‍රමසේකර නොහොත් වැලිගම ලසා, මහජන නියෝජිතයෙක් බවට පත් වුණාට මෙයා පාතාල අපරාධකරුවෙක්. මොහුට නඩු 6 ක් තිබෙනවා. මාතර මහාධිකරණයේ නඩු දෙකක් තිබෙනවා. කුරුණෑගල මහාධිකරණයේ නඩු දෙකක් තිබෙනවා. ගාල්ල අධිකරණයේ නඩුවක් තිබෙනවා. සිර දඩුවම් ලබා තිබෙනවා. අත්හිටවූ සිරදඩුවම් මතයි ඔහු ඉදලා තියෙන්නේ. ඔහු පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධයි.
මේ වනවිට ඉන්දුනීසියාවේ ඉදලා සිට රැගෙන ආ අපරාධකරුවන් කිහිපදෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ ප්‍රකාශ හරහා මොහු (සභාපතිවරයා) සතුව අවි ආයුධ තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේවා සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙනවා.
මත් ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයා ගත් බවට අධිකරණයේ නඩුවක් තිබෙනවා. පාතාලයේ අපරාධකරුවන් අතර පසුගිය කාලයේ ආරවුල් පැවතියා. ඒ් අපරාධකරුවන් අතර ආරවුලක් මේක, පාතල අපරාධකරුවන් එකිනෙකා තමන් සතුව තියෙන ආයුධ, තමන් අතර තියන ආරවුල්, මේ විදිහට මිනිස් ඝාතන බවට පරිවර්ථනය කර ගන්නවා. මේකත් ඒ් හා සමාන සිදුවීමක්."
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ කැබිනට් තීන්දු දන්වන පුවත්පත් සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් කරුණු විමසා සිටි අතර වෙනත් අවස්ථාවල එවන් ප්‍රශ්නයක් පිළිබඳ එක එල්ලේ උත්තර සපයන ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඒ පිළිබඳ පිළිතුරු සැපයීමේ අවස්ථාව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් මහතා වෙත නිහඬවම භාර කළේය.
ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ කණ්ඩායම් හවරක් යොදවා විමර්ශන ආරම්භ කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
මිය යන අවස්ථාවේ 38වන වියේ වූ ලසන්ත වික්‍රමසේකර සභාපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් පරීක්‍ෂණ පවත්වන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක මාතා විසින් පවත්වනු ලැබීය.
What's Your Reaction?
Like
1
Dislike
1
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

