කෝටි 28ක අයුතු වත්කම් නිසා මහින්දගේ ආරක්ෂක නෙවිල් රිමාන්ඩ්

‘‘රුපියල් මිලියන 28කට අධික වත්කම් නීත්‍යානුකූල නොවන අයුරින් උපයා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු ආරක්ෂක නිලධාරියකු වූ නෙවිල් වන්නිආරච්චි මහතා ඔක්තෝබර් මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා පසුගිය 02දා නියෝග කළේය.

Oct 3, 2025 - 21:39
 4
කෝටි 28ක අයුතු වත්කම් නිසා  මහින්දගේ ආරක්ෂක නෙවිල් රිමාන්ඩ්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් පැය කිහිපයක ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරු, අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් කරුණු දක්වමින් කියා සිටියේ, 2014 ජූලි 24 වැනි දින ලැබුණු ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවයි.

කොමිසම අධිකරණය හමුවේ දැඩි ලෙස පෙන්වා දුන්නේ, සැකකරු පසුගිය වසර 07ක පමණ කාලයක් තිස්සේ විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබාදීම සහ කොමිසම හමුවේ පෙනී සිටීම අදාළ සැකතරු මග හැර ඇති බවයි. 2016 දෙසැම්බරයේ තොරතුරු ඉල්ලූ විට නිසි ප්‍රතිචාරයක් නොදැක්වූ අතර, දුරකථන ඇමතුම්වලට පවා පිළිතුරු දීමෙන් වැළකී ඇත. එක් ඇමතුමකට ඔහු තත්පර 52ක පිළිතුරක් පමණක් දී ඇත්තේ 'දැන් එන්න බැහැ' යනුවෙනි.

මේ වන විට සිදු කළ විමර්ශනවලට අනුව, සැකකරු තම නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 28ක් වැඩිපුර උපයාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
අද දින ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, සැකකරු සතුව ඇති බවට අනාවරණය වූ දේපළ පිළිබඳව ද අල්ලස් කොමිසම අධිකරණය දැනුවත් කළේය.

  • වලස්මුල්ල ප්‍රදේශයේ අක්කර තුනයි පර්චස් හතක විශාලත්වයකින් යුත්, ඉදිවෙමින් පවතින ඉන්ධන හලක්.
  • පල්ලෙකැලේ (රු. ලක්ෂ 45ක් පමණ වටිනා) සහ මහරගම නාවින්න (රු. ලක්ෂ 125ක් වටිනා) ප්‍රදේශවල නිවාස.
  • දෙමටගොඩ (රු. ලක්ෂ 16.50ක් වටිනා නිවසක්), තිස්සමහාරාම (පර්චස් 44ක හෝටලයක්) සහ මාදිවෙල (රු. ලක්ෂ 400ක් පමණ වටිනා ඉඩමක්).
  • බෙලිඅත්ත සහ වීරකැටිය ප්‍රදේශවල බදු පදනම මත ලබාගත් කඩසාප්පු මෙන්ම, ඥාතීන් සේවය කරන බස් රථ හා ටිපර් රථ ගණනාවක් ද මොහු සතු බව අනාවරණය වී ඇත.

අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ, සැකකරුගේ වාහනවල සේවය කරන්නේ ඔහුගේ ඥාතීන් බැවින්, ඔහුට ඇප ලබා දුනහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඉඩ ඇති බවයි. එම නිසා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර, රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අල්ලස් කොමිසමේ චෝදනා ප්‍රතික්ෂේප කළේය. ඔහු සඳහන් කළේ, සැකකරු විමර්ශනවලට අවශ්‍ය ‘‘දිවුරුම් ප්‍රකාශ හතක්’’ ලබා දී සහාය ලබා දී ඇති බවයි. තවද, මෙම විමර්ශනය වසර 11ක් තිස්සේ පැවැත්වුව ද, ඔහු සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නැති බව ද නීතිඥවරයා අවධාරණය කළේය.

එමෙන්ම, වත්කම් හා බැරකම් ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් මීට පෙර ගොනු කර තිබූ නඩු පහකට සැකකරු වරද පිළිගත් බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැවසුවේ, වත්කම් හා බැරකම් ප්‍රකාශ නොකිරීමට අදාළ පෙර නඩු සහ මෙම විමර්ශනය කරුණු දෙකක් බවයි.
විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන හෙයින්, සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, ඔහුව ඔක්තෝබර් 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය. එම දිනට විමර්ශනවල ප්‍රගතිය සහ සැකකරුගේ දේපළ පිළිබඳ සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේය.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0