ලක්මිණි වංගුවක් ගැහුවාද...
මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ප්‍රමිතියෙන් තොර ‘හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්’ ඖෂධය රාජ්‍ය රෝහල් පද්ධතියට සැපයීම තුළින් රුපියල් කෝටි 14 කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධ නඩු විභාගයේදී තීරණාත්මක හැරවුමක් සනිටුහන් කරමින්, පසුකාලීනව නිකුත් වූ දෙවැනි කැබිනට් පත්‍රිකාව හා චක්‍රලේඛය අනුව කටයුතු කිරීමට නිලධාරීන්ට නීත්‍යානුකූල අවකාශයක් තිබූ බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ සභාපති විනිසුරුවරයා පසුගිය (15) අවධාරණය කළේය.
2026 ජූලි මස 15 වැනිදා
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය.
ලක්මිණි
වංගුවක් ගැහුවාද...
"දෙවැනි කැබිනට් පත්‍රිකාව’ අනුව ක්‍රියා
කිරීමට බාධාවක් නෑ.."
සභාපති විනිසුරු ප්‍රකාශ කරයි!
පැමිණිල්ලේ මඟහැරීම් මැද විත්ති පාර්ශ්වයේ
ස්ථාවරය අධිකරණය ඉස්මතු කරයි.
අධිකරණ වාර්තාකරු
මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ප්‍රමිතියෙන් තොර ‘හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්’ ඖෂධය රාජ්‍ය රෝහල් පද්ධතියට සැපයීම තුළින් රුපියල් කෝටි 14 කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධ නඩු විභාගයේදී තීරණාත්මක හැරවුමක් සනිටුහන් කරමින්, පසුකාලීනව නිකුත් වූ දෙවැනි කැබිනට් පත්‍රිකාව හා චක්‍රලේඛය අනුව කටයුතු කිරීමට නිලධාරීන්ට නීත්‍යානුකූල අවකාශයක් තිබූ බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ සභාපති විනිසුරුවරයා පසුගිය (15) අවධාරණය කළේය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති මෙම නඩුව ඊයේ යළි කැඳවූ අවස්ථාවේදී, පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය සහ දෙවැනි විත්තිකාර වෛද්‍ය සැපයුම් ඒකකයේ (MSD) හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අසේල සේරසිංහ මහතා අතර ඇති වූ දැඩි නීතිමය සංවාදයකින් පසු විනිසුරුවරයා මේ බව ප්‍රකාශ කළේය.
නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වන වෛද්‍ය සැපයුම් ඒකකයේ හිටපු ප්‍රධාන ගණකාධිකාරී සවින්ද කුරේ මහතාගෙන් විත්ති පාර්ශ්වයේ නීතිඥ අසේල සේරසිංහ මහතා හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කරමින්, මෙරට පැවති දැඩි ඖෂධ හිඟය හමුවේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය (Indian Credit Line) හෝ වෙනත් බාහිර අරමුදල් උපයෝගී කර ගනිමින් ඖෂධ මිලදී ගැනීමට රජය අවසර දී තිබූ බව පෙන්වා දුන්නේය. 2020 නොවැම්බර් මාසයේදී නිකුත් වූ කැබිනට් පත්‍රිකාවකින් පසු, සැපයුම්කරුවන්ගේ දුෂ්කරතා මඟහැරවීම සඳහා තවත් විශේෂ කැබිනට් අනුමැතියක් සහ චක්‍රලේඛයක් නිකුත් කර තිබූ බව විත්ති පාර්ශ්වය අධිකරණය හමුවේ තර්ක කළේය.
කෙසේ වෙතත්, පැමිණිල්ල පාර්ශ්වයෙන් කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මෙම කරුණ සභාගත වීමට ඉඩ නොදී, එය මඟහැරීමට හෝ යටපත් කිරීමට දැඩි උත්සාහයක නිරත වූවාය. විත්ති පාර්ශ්වයේ නීතිඥවරයා කැබිනට් පත්‍රිකා දෙකක් පැවති බවත්, ඒ අනුව ක්‍රියා කිරීමට නිලධාරීන්ට ප්‍රතිපත්තිමය අනුමැතියක් තිබූ බවත් ප්‍රකාශ කරන විට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඊට සිය දැඩි විරෝධය පළ කළාය.
එහෙත් පැමිණිල්ලේ එම විරෝධය සහ කරුණු මඟහැරීමේ උත්සාහය නිශ්ප්‍රභ කරමින් ක්‍රියා කළ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ සභාපති විනිසුරුවරයා, මෙම නඩුවට අදාළ සන්දර්භය තුළ චක්‍රලේඛ දෙකක් පවතින බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන බව ඉස්මතු කළේය. නීතිමය මූලධර්ම ප්‍රකාරව චක්‍රලේඛ හෝ නියෝග දෙකක් පවතින අවස්ථාවක, වලංගු වන්නේ සහ නිලධාරීන් අනුගමනය කළ යුත්තේ පසුව නිකුත් වූ චක්‍රලේඛය බව විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව, ඉන්දියානු ණය යෝජනා ක්‍රමයෙන් හෝ වෙනත් ඕනෑම අරමුදලක් භාවිත කරමින් හදිසි ඖෂධ මිලදී ගැනීම් සිදු කිරීම සඳහා දෙවැනි කැබිනට් පත්‍රිකාව මඟින් පැහැදිලිවම ප්‍රතිපාදන සලසා දී ඇති බැවින්, නිලධාරීන්ට ඒ අනුව ක්‍රියා කිරීමට පූර්ණ නෛතික අයිතියක් තිබූ බව විනිසුරුවරයා තීන්දු කළේය. මෙමඟින් විත්තිකාර නිලධාරීන් ක්‍රියා කර ඇත්තේ රජයේ ඉහළම ප්‍රතිපත්තිමය තීරණවලට අනුකූලව බව විත්ති පාර්ශ්වය මතු කළ ස්ථාවරය අධිකරණය හමුවේ තහවුරු විය.
මීට අමතරව, අදාළ විශේෂ මිලදී ගැනීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2022 නොවැම්බර් 22 දින අනුමැතිය ලබා දෙන අවස්ථාව වන විට, දෙවැනි චූදිත වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා උසස් අධ්‍යාපනය සඳහා මෙරටින් බැහැරව ඇමරිකා එක්සත් ජනපදයේ පසුවූ බවද සාක්ෂිකරු පිළිගත්තේය. එමෙන්ම රුපියල් මිලියන 40 කට වඩා වැඩි සියලුම මහා පරිමාණ ගෙවීම් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ අමාත්‍යාංශ ලේකම්වරයා නීත්‍යානුකූලව අනුමැතිය ලබා දී ඇති බවත්, වෛද්‍ය සැපයුම් ඒකකය (MSD) ක්‍රියා කර ඇත්තේ තමන්ට පැවරුණු මූල්‍ය රෙගුලාසිමය බලතල ප්‍රකාරව බවත් සාක්ෂි විමසීමේදී අනාවරණය විය. නඩු විභාගය තවදුරටත් පැවැත්වේ.
15 වැනිදා නඩු වාර්තාව
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පුද්ගලයන් දොළොස් දෙනෙකුට එරෙහිව ව්‍යාජ ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දී රුපියල් කෝටි දාහතරකට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා 14 ක් යටතේ නීතිපතිවරයා විසින් පවරන ලද නඩුව පසුගිය 15 වැනිදා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ යළි විභාගයට ගැනිණි.
එහිදී තවදුරටත් සාක්ෂිය සඳහා කැඳවා තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ හිටපු ප්‍රධාන ගණකාධිකාරී සහ ඖෂධ සංස්ථාවේ වැඩ බලන සාමාන්‍යාධිකාරී සවින්ද කුරේ මහතාය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් සාක්ෂිකරු මෙසේද කියා සිටියේය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: පැ 386/5 පරිදි 2023/09/01 දින අනුමැතිය ලැබුණා කිව්වනේ. ඒ අනුව රුපියල් මිලියන 44 ක් ගෙවීමට ලේඛන (Schedules) හැදුවද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි, එය 26 වැනි පිටුවට ඇතුළත්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: මේ ගෙවීම් ලේඛනය (Payment Schedule) අනුව පැ 349 වවුචරයට ඔබේ අවධානය යොමු කරන්න. ඔබේ පැ 397 ලේඛනය සහ ගොනුවේ 349 වවුචරය භාවිතා කර තිබෙනවා. ඒ අනුව 346 හැඳිනිය හැකිද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පැ 350 ට අවධානය යොමු කරන්න. එය සහතික කළාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පැ 350 සඳහා අමුණා එවන ලද 2V 35, 2V 39 ලේඛන හඳුනාගත හැකිද?
ඔව්, පුළුවන් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පැ 346 A අදාළ කර ගෙවීම් කරන්න පුළුවන්ද?
සාක්‍ෂිකරු: පුළුවන්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: මෙම ගෙවීමට චෙක්පතක් නිකුත් කළාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 399 ට අවධානය යොමු කරන්න (පිටු අංක 55).
සාක්‍ෂිකරු: එයට මුදල් ගෙවන අවස්ථාවේ එම වවුචරය ගිණුම් අංශයට ලැබිලා තිබුණා. නමුත් ගෙවීම් කරලා නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පැ 363 බලන්න. එහි ඔබේ අත්සන තිබේද?
සාක්‍ෂිකරු: නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:** පැ 396 හි සංඛ්‍යාවක් ඇතුළත් වෙලා තියෙනවා. එය ජුනි හයවැනිදා ලැබිලා තිබෙන්නේ.
සාක්‍ෂිකරු: පැ 329-7 සටහන අනුව ඔව්.
දෙවන වගඋත්තරකාර වෛද්‍ය සැපයුම් ඒකකයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.
නීතිඥවරයා: දැනටත් ඔබ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන ගණකාධිකාරීවරයාද?
සාක්‍ෂිකරු: නැත ස්වාමීනි, දැන් මම ගබඩා අංශයේ ප්‍රධාන ගණකාධිකාරීවරයායි.
නීතිඥවරයා: ඔබ වෛද්‍ය සැපයුම් ඒකකයේ (MSD) කටයුතු කළේ කවර කාලයකදී ද?
සාක්‍ෂිකරු: 2020 වසරේ අවසානයේ සිට 2024 දක්වා.
නීතිඥවරයා: ඔබ මෙම තනතුරට සුදුසුකම් සපුරා තිබෙනවාද?
සාක්‍ෂිකරු: වරලත් ගණකාධිකාරී ආයතනයේ මධ්‍යම මට්ටම (Intermediate Level) සමත්ව එහි බැඳුණා. ඒ අනුව විවෘත විභාගයෙන් සමත්ව ගණකාධිකාරී පත්වීම් ලැබුවා. පශ්චාත් උපාධියක්ද ලබා තිබෙනවා.
නීතිඥවරයා: කුමක්ද එම පශ්චාත් උපාධිය?
සාක්‍ෂිකරු: ව්‍යාපාර කළමනාකරණ උපාධිය ස්වාමීනි (MBA).
නීතිඥවරයා: රාජ්‍ය සේවා ධුරාවලිය සඳහා වන විභාගවලට පෙනී සිටියාද?
සාක්‍ෂිකරු: ඔව් ස්වාමීනි, කාර්යක්ෂමතා කඩයිම් විභාගයට පෙනී සිටියා.
නීතිඥවරයා: ඔබ නීති රෙගුලාසි අධ්‍යයනය කර තිබෙනවා නේද?
සාක්‍ෂිකරු: එසේය ස්වාමීනි, ප්‍රධාන වශයෙන් මුදල් රෙගුලාසි (FR).
නීතිඥවරයා: ඔබ දෙවැනි චූදිත වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා හඳුනනවාද?
සාක්‍ෂිකරු: ඔව්.
නීතිඥවරයා: ඔබ MSD එකට පැමිණියේ කොයි කාලෙද?
සාක්‍ෂිකරු: 2020 වසරේ අන්තිමේදී.
නීතිඥවරයා: ඊට පෙර කොහේද සේවය කළේ?
සාක්‍ෂිකරු: මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රත්නපුර මහ රෝහල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයීම් අංශයේ ගණකාධිකාරී ලෙස සහ 2018-2020 කාලයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ.
නීතිඥවරයා: 2023 වසරේ MSD හි සිටියදී ඔබේ ධුරාවලි ස්ථානය කුමක්ද?
සාක්‍ෂිකරු: ගණකාධිකාරී සේවා විභාගය සමත්ව සංක්‍රාන්ති කාලයක ඉන්න වුණා. 2015 දී 1 වැනි පන්තියට (Class 1) එන්න පුළුවන් වුණා. 2 වැනි පන්තියේ සිට 1 වැනි පන්තියට දින කිහිපයකින් එන්න ලැබුණා. තනතුර ලැබුණේ 2018 දී.
නීතිඥවරයා: වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා 2022 ජනවාරියේ වැඩිදුර අධ්‍යාපනය සඳහා එක්සත් ජනපදයට ගියා නේද?
සාක්ෂිකරු: ඔව්, ඔහු විදේශගත වූ බව දන්නවා.
නීතිඥවරයා: ඔහු පුහුණුව අවසන් කර 2022 වසරේදී (මුල් පිටපතෙහි 2020 ලෙස වැරදියට සඳහන්ව ඇත) ආපසු පැමිණි බව දන්නවාද?
සාක්‍ෂිකරු: ආපසු පැමිණි බව දන්නවා, නමුත් දින වකවානු හරියටම දන්නේ නැහැ.
නීතිඥවරයා: 2022 ජනවාරි 03 සිට දෙසැම්බර් 15 දක්වා වෙනත් මහත්වරු තමයි අධ්‍යක්ෂවරු ලෙස කටයුතු කළේ?
සාක්‍ෂිකරු: ඔව්.
නීතිඥවරයා: 2023 දී යම් රාජකාරි ක්‍රියාවලීන් ගැන ඔබ පැහැදිලි කිරීම් කළා?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥවරයා: ගණකාධිකාරීවරයකු ලෙස සාමාන්‍ය ක්‍රියාවලිය තමයි ඒ පැහැදිලි කරගත්තේ?
සාක්‍ෂිකරු: ඔව්.
නීතිඥවරයා: 2020 - 2021 කාලයේ ඔබ රාජකාරි කළෙත් ඔය විදිහටම වෙන්න ඇති?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥවරයා: 2023 වසරේ ඔබ වවුචර් හා ගෙවීම් ගැන කතා කළා නේද?
සාක්ෂිකරු: ඔව්.
සාක්‍ෂිකරු: එහි ලැබෙන භාණ්ඩ සඳහා ගෙවීම් ප්‍රධාන ගණකාධිකාරී හරහා සිදුවුණා?
සාක්‍ෂිකරු: ඔව්.
සාක්‍ෂිකරු: භාණ්ඩ භාරගැනීම් සඳහා වෙනම නිලධාරීන් ඉන්නවාද?
සාක්‍ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥවරයා: නිසි පරිදි ගබඩා ගත කළාය කියන එක තහවුරු කරගත යුතුයි. ඒ සඳහා තමයි GRN (Goods Received Note) නිකුත් කරන්නේ?
සාක්‍ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥවරයා: එය සැකසෙන්නේ භාණ්ඩ ගබඩා ගත කළ ස්ථානයේදියි. GRN මඟින් භාණ්ඩ නිසි ලෙස තැන්පත් වූ බවට තහවුරුව දෙනවා නේද?
සාක්ෂිකරු: ඔව්.
නීතිඥවරයා: ඊට අමතරව ඉන්වොයිසියක් ලැබෙනවා?
සාක්‍ෂිකරු: ඔව් ස්වාමීනි.
**නීතිඥවරයා:** භාණ්ඩ MSD එකට භාරගැනීම එකක්; ඒවාට ගෙවීම් කටයුතු කිරීම තව කාරණයක්. සෑම ගෙවීමකටම වවුචර් පත්‍රයක් සෑදිය යුතුයි. ඒවා පොදු ආකෘති පත්‍රයන් නේද?
සාක්ෂිකරු: ඔව්.
නීතිඥවරයා: එය සකස් කරන්න, පරීක්ෂා කරන්න, නිර්දේශ කරන්න සහ අනුමත කරන්න ඕනෑ?
සාක්‍ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥවරයා: අනුමත කිරීමේ නිලධාරීන් කවුද? ඔවුන්ට අනුමත කළ හැකි මුදල් ප්‍රමාණය කොපමණද?
සාක්‍ෂිකරු: රුපියල් මිලියන 25 ට අඩු නම් අධ්‍යක්ෂවරයා, මිලියන 25 - 40 අතර නම් නියෝජ්‍ය
අධ්‍යක්ෂවරයා, මිලියන 40 ට වැඩි නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් හෝ අමාත්‍යාංශ ලේකම්වරයායි.
නීතිඥවරයා: (74 ගොනුවේ පැ 313 මුල් ලේඛනය සාක්ෂිකරුට පෙන්වයි) ඔබ අත්සන් කර ඇති මෙම
ලේඛනය සම්බන්ධයෙන් කටයුතු කළ අයගේ තොරතුරු කියන්න.
සාක්‍ෂිකරු: මම ප්‍රධාන ගණකාධිකාරී (CAMSD) ලෙස අත්සන් කළා. සෞඛ්‍ය ලේකම්ගේ අනුමැතිය දක්වා එහි අත්සන් කර තිබෙනවා. මට පෙර ගිණුම් සැපයුම් අංශය අත්සන් කර තිබුණා.
නීතිඥවරයා: ඔබ අවිධිමත් ලේඛනයක් ඉහළ නිලධාරීන්ට යවන්නේ නැහැ නේද?
සාක්‍ෂිකරු: වැඩිදුර විස්තර අවශ්‍ය නම් ඉහළට යවලා අහගන්නවා ස්වාමීනි.
නීතිඥවරයා: යම් විශේෂිත කරුණක් ඇත්නම් එය යවා අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය ඉල්ලා ගන්න පුළුවන්. මෙම ලේඛනයේ දිනය 2022-11-22. ඒ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විදේශගතවී සිටි කාලය නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥවරයා: එහි සෞඛ්‍ය ලේකම් අනුමත කළ කරුණු තුනක් තිබෙනවා. පළමුවැන්න ගෙවීම් - ICL හෝ වෙනත් මූලාශ්‍ර. තුන්වැන්න, ගැනුම් ඇණවුම් නිකුත් කරන මිලදී ගැනීමේ ගිවිසුම් හා කාර්ය සහාය සුරක්ෂාව (Performance Bond) නොමැතිව ගැනුම් ඇණවුම් ලබා ගැනීමට අනුමැතිය දී තිබීම?
සාක්‍ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥවරයා: 2023 වසරේදී ඔබේ රාජකාරී කටයුතුවලට අදාළව යම් කටයුතු තිබුණා. 92 ගොනුවේ පැ 391 කෙරෙහි ඔබේ අවධානය යොමු කළා නේද?
සාක්ෂිකරු: ඔව්, එය ප්‍රධාන කළමනාකාර සහායක විසින් එවනු ලැබූ එකක්.
නීතිඥවරයා: එහි නිර්දේශ හා අනුමැතිය ඉල්ලා තිබුණා. පැ 391 මඟින් ඉල්ලීම් නිර්දේශ කර ඉහළට දන්වා තිබුණා. අවසන් වශයෙන් අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය ලැබුණා නේද?
සාක්ෂිකරු: ඔව්.
නීතිඥවරයා: 90 ගොනුවේ වවුචර් පත් රාශියක් තිබෙනවා නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥවරයා: එහෙම වෙලාවක කාටද වාර්තා කරන්නේ?
සාක්‍ෂිකරු: සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට.
නීතිඥවරයා: එහි 'හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්' ඖෂධය පිළිබඳ වවුචර් තිබුණා කියා මා යෝජනා කරනවා?
සාක්‍ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥවරයා: තවත් වවුචර් හතරක් 93 ගොනුවේ ඔබේ අවධානයට යොමු වුණා. එහි පැ 344 හි ඉන්වොයිස් පත්‍ර 4 ක් තිබෙනවා. මේවා සැපයුම්කරුවන්ට ලබා දුන් ඒවාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥවරයා: 343 කියන්නේ ඔබ සහතික කළ එකක්. එහි චෙක්පත මුදා හැර තිබෙනවා. 349 කියන්නෙත් එවැනි එකක්?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥවරයා: 343, 343 AI, 341 A, 346 A යන ඒවාත් එහෙමයි. ඒ සියල්ලම මුදල් රෙගුලාසි ප්‍රකාරව සහතික කළ ඒවා නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥවරයා: ඒවා 'රිටක්සිමැබ්' (Rituximab) ඖෂධයට අදාළ ඒවා කියා මම යෝජනා කරනවා?
සාක්ෂිකරු: එය පමණක් නෙවෙයි, ඖෂධ විශාල සංඛ්‍යාවක් සම්බන්ධයෙන් භාණ්ඩ භාරගෙන ගෙවීම් කර තිබෙනවා.
නීතිඥවරයා: මේ EOI ක්‍රම දෙකම අනුවයි. 92 ගොනුවේ පැ 391 අනුමැතිය අරන්, මිලදී ගත් ඖෂධ 158 ක් වෙනුවෙන් ගෙවීම් සඳහා ඔය යටතේ 'හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්' හා 'රිටක්සිමැබ්' ආදිය සඳහා ගෙවීම් කළා?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥවරයා: 64 ගොනුවේ 2V 39 ලේඛනය බලන්න.
සාක්ෂිකරු: මේක ගැන මට පැහැදිලි විස්තරයක් කළ නොහැකියි.
නීතිඥවරයා: එහි වෛද්‍ය ජී. විජේසූරිය මහතාගේ අත්සන හා මුද්‍රාව තිබෙනවා නේද?
සාක්ෂිකරු: එහි 1 සිට 45 දක්වා ලැයිස්තුවක් තිබෙනවා.
නීතිඥවරයා: මෙම 2V 39 ලේඛනයේ GRN, වවුචර් ආදී තොරතුරු තිබෙනවා. මේ ඖෂධ 45 ම ගත්තම, ඒ ගෙවීම්ද ඔබ පැහැදිලි කළ ගෙවීම්ම විය යුතුයි නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥවරයා: සමහර ගෙවීම්වලට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය ගත යුතුයි නේද? එවැනි වවුචරයක් දැක්කොත් හඳුනාගන්න පුළුවන්ද?
සාක්ෂිකරු: මුල් පිටපත දැක්කොත් පුළුවන්.
(මෙහිදී නීතිඥවරයා මුල් පිටපත පෙන්වයි)
ඔව්, මෙහි අංකය 0000000271, පොරොත්තු ලේඛන අංකය 3453.
නීතිඥවරයා: ඔය ඉන්වොයිස් එකට අදාළ ලේඛනය 2V 39 හි අංක 24 ද කියලා බලන්න.
සාක්ෂිකරු: ඔව්.
නීතිඥවරයා: එතකොට 2V 39 වගේ අවස්ථා ගණනාවක් තිබිය හැකියි?
සාක්ෂිකරු: 64 ලේඛනයේ සංඛ්‍යා ගණනාවක් තිබෙනවා. සමස්ත අගය ගත්තම මිලියන 40 කට වඩා වැඩි ප්‍රමාණයක් නිරීක්ෂණය වෙනවා.
නීතිඥවරයා: අනුමැතියකින් තොරව වවුචර් යවන්නේ නැහැ නේද? එය මුදල් රෙගුලාසිවලට පටහැනි බව මම යෝජනා කරනවා?
සාක්ෂිකරු: එය MSD එකට ලබා දී තිබූ බලයක්.
නීතිඥවරයා: 2V 39 හි තියෙන වවුචරය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට යොමු කරන වවුචර් තිබෙනවා?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි, අංක 0000670182 දරන වවුචරය, වටිනාකම මිලියන 742 ක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ සඳහා අත්සන් කරලා තියෙනවා.
නීතිඥවරයා: මෙයට අවසාන අනුමැතිය ලෙස 2V 39 ලැයිස්තුවේ ගෙවීම් අනුමත කර තිබෙනවා. ඒ කියන්නේ එකම ක්‍රමවේදයකටයි කරලා තියෙන්නේ?
සාක්ෂිකරු: ඔව්.
නීතිඥවරයා: ඔබට අවබෝධයක් තිබේද ICL (Indian Credit Line) ක්‍රමය ගැන?
සාක්ෂිකරු: එය ආරම්භ කළ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් විදේශීය සැපයුම්කරුවන්ගෙන් තොරතුරු ලැබුණා.
නීතිඥවරයා: ඉන්දියානු සැපයුම්කරුවන්ගෙන් සෘජුව මිලදී ගැනීමේ පහසුකම් ලැබුණා. එම මුදල බැංකුවේ තැන්පත් කළ හැකියි. නමුත් මේ ගොනුවට සම්බන්ධ තැනැත්තා ක්‍රියා කර තිබෙන බව පෙනෙනවා?
සාක්ෂිකරු: කොහොම කළත් සැපයුම්කරුට චෙක්පතකින් ගෙවනවා. ප්‍රමුඛතා ගෙවීම් (Priority Payments) සඳහා ඉල්ලුම් කළ අයත් සිටියා.
නීතිඥවරයා: ඒ ගැන ලියුම් එවන අයත් ඇති?
සාක්ෂිකරු: ඔව්.
නීතිඥවරයා: වෙන සැපයුම්කරුවන් වුවත් එහෙමයි නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥවරයා: අත්තිකාරම් මුදල් ලබා ගැනීමට චෙක්පත් නිකුත් කළ හැකිද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥවරයා: ICL හා වෙනත් අරමුදල් මඟින් ඖෂධ සපයා ගැනීමට අවස්ථාව තිබූ බව මම යෝජනා කරනවා?
සාක්ෂිකරු: මම ඒ කැබිනට් පත්‍රිකාව බලන්න ඕනෑ.
නීතිඥවරයා: ඒක දැකලා තියෙනවාද?
සාක්ෂිකරු: ඒක පරීක්ෂා කර බලා පිළිතුරක් දිය යුතුයි.
නීතිඥවරයා: 2020 නොවැම්බර් මාසයේදී ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබූ බව මම යෝජනා කරනවා?
සාක්ෂිකරු: පරීක්ෂා කිරීමකින් අනතුරුව පිළිතුරු ලබාදිය හැකියි.
නීතිඥවරයා: සැපයුම්කරුවන්ට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා අවම කරන චක්‍රලේඛ තිබුණාද?
සාක්ෂිකරු: එහෙම මතකයක් නැහැ.
මෙම අවස්ථාවේදී, කැබිනට් පත්‍රිකා දෙකක් පවතින බවට නීතිඥ අසේල සේරසිංහ මහතා කළ ප්‍රකාශයට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය දැඩි විරෝධය පළ කළාය.
එහිදී සභාපති විනිසුරුවරයා කියා සිටියේ, අදාළ කරුණ සම්බන්ධයෙන් චක්‍රලේඛ දෙකක් පවතින බැවින්, පසුව නිකුත් වූ චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කිරීමේ හැකියාව පවතින බවයි.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමයෙන් (ICL) හෝ වෙනත් අරමුදල්වලින් ඖෂධ මිලදී ගැනීම් සිදු කිරීම සම්බන්ධයෙන් දෙවැනි කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිව සඳහන් කර ඇති බැවින්, ඒ අනුව ක්‍රියා කිරීමට බාධාවක් නොමැති බව විනිසුරුවරයා මෙහිදී පැහැදිලි කළේය.
නඩු විභාගය අද දිනටත් කල් තැබිණි. අද දිනයේද මෙම සාක්ෂිකරුගෙන් තවදුරටත් සාක්ෂි විමසීමට නියමිතය.
What's Your Reaction?
Like
0
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

