බානගල - අසේල අවුස්සයි ලක්මිණි එරෙහි වෙයි...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන මෙම බාල ඖෂධ (හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටක්සිමැබ්) නඩුවේ හරස් ප්‍රශ්න ඇසීමේදී ඉතා සංකීර්ණ, උපායමාර්ගික සහ ආයතනික වගකීම් පැහැර හැරීම් මතු කරන ප්‍රවණතා රැසක් දක්නට ලැබේ. විත්ති පාර්ශවයේ නීතිඥවරුන් වන හරේන්ද්‍ර බානගල සහ අසේල සේරසිංහ යන මහත්වරුන් කළ හරස් ප්‍රශ්න කිරීම්, සාක්ෂිකරුගේ පිළිතුරු සහ ඊට රජයේ නීතිඥ ලක්මිනී ගිරිහාගම මහත්මිය දැක්වූ විරෝධතා තුළින් මෙම නඩුවේ හැරවුම් ලක්ෂ්‍යයන් කිහිපයක් හඳුනාගත හැකිය.

Jun 14, 2026 - 14:55
 51
බානගල - අසේල අවුස්සයි  ලක්මිණි එරෙහි වෙයි...

2026 ජුනි මස 10 වැනිදා 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය.‍‍


බානගල - අසේල අවුස්සයි

ලක්මිණි එරෙහි වෙයි...

බාල බෙහෙත් නඩුවේ පද්ධතිමය අසාර්ථකත්වය

 
සහ උපායමාර්ගික ගැටුම් හෙළිදරව් වෙයි...

අධිකරණ වාරතාකරු


ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන මෙම බාල ඖෂධ (හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටක්සිමැබ්) නඩුවේ හරස් ප්‍රශ්න ඇසීමේදී ඉතා සංකීර්ණ, උපායමාර්ගික සහ ආයතනික වගකීම් පැහැර හැරීම් මතු කරන ප්‍රවණතා රැසක් දක්නට ලැබේ. විත්ති පාර්ශවයේ නීතිඥවරුන් වන හරේන්ද්‍ර බානගල සහ අසේල සේරසිංහ යන මහත්වරුන් කළ හරස් ප්‍රශ්න කිරීම්, සාක්ෂිකරුගේ පිළිතුරු සහ ඊට රජයේ නීතිඥ ලක්මිනී ගිරිහාගම මහත්මිය දැක්වූ විරෝධතා තුළින් මෙම නඩුවේ හැරවුම් ලක්ෂ්‍යයන් කිහිපයක් හඳුනාගත හැකිය.


පළමු චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතාගේ මූලික අරමුණ වී ඇත්තේ ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්න ඇතිවීම “සාමාන්‍ය දෛනික සංසිද්ධියක්” බව පෙන්වා දෙමින්, මෙම සිදුවීම පිටුපස ඇති සාපරාධී ස්වභාවය ලිහිල් කිරීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම් විරහිතභාවය ඔප්පු කිරීමයි.


“Quality Issue” සාමාන්‍යකරණය කිරීම: 
"සෙලජන් ලයිෆ් සයන්ස්" සමාගම සැපයූ ඖෂධයේ තත්ත්ව පාලන ගැටලු මතු වීම දෛනිකව සිදුවන සාමාන්‍ය දෙයක් බව සාක්ෂිකරු ලවා පිළිගැනීමට නීතිඥවරයා සමත් විය. එමඟින් විත්තිය උත්සාහ කරන්නේ මෙය හිතාමතා කළ වංචාවකට වඩා පද්ධතියේ පවතින දුර්වලතාවයක් බව පෙන්වීමටයි.


Raw Materials" (අමුද්‍රව්‍ය) පිළිබඳ තර්කය:
 "හයිඩ්‍රේට්" සහ "සෝඩියම් ඩ්‍රයි හයිඩ්‍රජන්" වැනි ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්න කරමින්, ඒවා නිමි ඖෂධ නොව රෝහල් තුළ මුසු කරන අමුද්‍රව්‍ය (Raw Materials) බව පෙන්වීමට නීතිඥවරයා උත්සාහ කළේය. මෙහි අරමුණ වන්නට ඇත්තේ චෝදනාවට ලක්ව ඇති ද්‍රව්‍ය “නිමි ඖෂධ” ගණයට නොවැටෙන බව පෙන්වා තාක්ෂණිකව නිදහස් වීමේ මඟක් පෑදීමයි.


සංකූලතා හෝ මරණ වාර්තා නොවීම:
 අදාළ ඖෂධ භාවිතයෙන් කිසිදු මරණයක් හෝ බරපතළ සංකූලතාවක් (අත කැසීම, බඩ දැවිල්ල හැර) සිදුව නොමැති බව මතු කිරීම මඟින්, මෙමඟින් සිදු වූවා යැයි කියන සායනික හානියේ බරපතළකම අවම කිරීමට විත්තිය දැඩි උත්සාහයක නිරත විය.


නීතිඥ අසේල සේරසිංහ මහතාගේ උපායමාර්ගය: 
ඉහළ කළමනාකාරිත්වයේ වගකීම මතු කිරීම දෙවැනි චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතාගේ ප්‍රහාරය එල්ල වූයේ “ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඉහළ නිලධාරීන්ගේ මැදිහත්වීම” සහ “පද්ධතිමය අනුමැතීන්” වෙතයි.


හදිසි ප්‍රසම්පාදන කමිටු වගකීම:
මෙම ඖෂධ තෝරාගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුවකින් බවත්, SPC සභාපති නීතිඥ සරත් ලියනගේ වැනි ඉහළ නිලධාරීන් ඊට සම්බන්ධ බවත් මතු කිරීම ඉතා වැදගත් ප්‍රවණතාවකි. එමඟින් චූදිතයන්ට පමණක් නොව, සමස්ත රාජ්‍ය තන්ත්‍රයටම මෙහි වගකීම පැවරීමට විත්තිය ක්‍රියා කළේය.


හිටපු අධ්‍යක්ෂ (වෛද්‍ය කපිල වික්‍රමනායක) ගේ භූමිකාව:
2022 ජනවාරි මසින් පසු වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විදේශගත වූ බවත්, 2023 ඔක්තෝබර් මස NMRA දැනුම්දීම මත ඖෂධ භාවිතයෙන් ඉවත් කිරීමට (Withdraw/Withhold) කටයුතු කළේද ඔහු බවත් පෙන්වා දීම හරහා, තම සේවාදායකයා (දෙවැනි චූදිතයා) නීත්‍යානුකූල රාමුව තුළ පමණක් ක්‍රියා කර ඇති බව තහවුරු කිරීමට සේරසිංහ මහතා උත්සාහ කළේය.


භාණ්ඩ භාරගැනීමේ ලේඛන සහ මුද්‍රා (Box Seals): 
ඉන්වොයිස් පත්‍රවල තබා ඇති මුද්‍රා සහ MSD එකේ පහළ කාමරයේ සිදුවන පරිගණකගත කිරීමේ ක්‍රියාවලිය විස්තර කිරීම මඟින් භාණ්ඩ භාරගැනීම තනි පුද්ගලයකුගේ තීරණයක් නොව, ආයතනික සාමූහික ක්‍රියාවලියක් (Consignment Inspection) බව ඔප්පු කිරීමට විත්තිය ක්‍රියා කළේය.


සාක්ෂිකරු "දන්නේ නෑ, මතක නෑ" කියමින් මඟහැරීමට දැරූ උත්සාහය
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ (MSD) ප්‍රධාන තොග පාලකවරයා වන සාක්ෂිකරු, නඩුවේ තීරණාත්මක සාක්ෂි ඉදිරියේ දැඩි ලෙස අසරණ වූ බවත්, වගකීමෙන් මිදීම සඳහා "දන්නේ නැත" සහ "මතක නැත" යන පිළිතුරු සන්නාහයක් කරගත් බවත් පැහැදිලිව පෙනේ.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ප්‍රකාශ ලබා නොදීම: 
සෙලජන් ලයිෆ් සයන්ස් සමාගම ගැන CID යට ප්‍රකාශයක් නොදුන්නේ මන්දැයි ඇසූ විට, ඔහු පද්ධතිය සහ NMRA එක පිට වගකීම පවරා මඟහැරියේය. නීතිඥ බානගල මහතා කෙලින්ම ඔහුට “වගකීම් විරහිත රාජ්‍ය නිලධාරියෙක්” සහ “ප්‍රශ්න මඟහරින නිලධාරියෙක්” ලෙස චෝදනා කළේ එබැවිනි.


තොග පැවතීම සහ පුද්ගලයන් හඳුනාගැනීම: 
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් තොග MSD එක තුළ කොපමණ තිබුණාදැයි ඇසූ විට “විශ්වාස නැහැ, හොයලා බැලුවේ නැහැ, මතක නැහැ” යනුවෙන් පැවසීම රාජ්‍ය තොග පාලකයෙකුගේ භූමිකාව දැඩි ලෙස ප්‍රශ්න කරන්නකි. එමෙන්ම තමා සමඟ වැඩ කළ සහකාර අධ්‍යක්ෂ හැර අන් අයගේ නම් මතක නැති බව පැවසීම සහ 500ක් පමණ සිටින නිසා ප්‍රදීප මදුසංක වැනි අය නමින් නොදන්නා බව පැවසීම සිතාමතාම තොරතුරු වසන් කිරීමක් බව පෙනේ.


මරණ සහ සංකූලතා පිළිබඳ නොදැනුවත්කම:
බාල ඖෂධ නිසා මරණ හෝ අතුරු ආබාධ සිදු වූවාද යන්න “තත්ත්ව පාලන අංශය දන්නවා ඇති, මම දන්නේ නැහැ” කීම හරහා තමා ඖෂධ බෙදාහැරීමේ ප්‍රධානියා වුවද, ඉන් සිදුවන සායනික විපාක ගැන කිසිදු වගවීමක් නැති බව ඔහු ප්‍රදර්ශනය කළේය.


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම 
මහත්මිය “ යමක් සැඟවීමට” උත්සාහ කළාද..?

නඩු විභාගය පුරාම විත්ති පාර්ශවයේ නීතිඥවරුන් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ලිපි ලේඛන සහ ඉහළ නිලධාරීන්ගේ නියෝග ඉදිරිපත් කරද්දී, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම මහත්මිය “නිරන්තරයෙන් විරෝධතා (Objections) පළ කිරීම” කැපී පෙනෙන ලක්ෂණයකි.


“නඩුවේ විෂය පථය පටු කිරීම සහ රාජ්‍ය වගකීම සීමා කිරීම: 
විත්ති පාර්ශවය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ලිපි, හදිසි ප්‍රසම්පාදන කමිටු තීරණ සහ SPC සභාපතිවරයාගේ මැදිහත්වීම් (පැ 264 සහ පැ 71 ලේඛන) අධිකරණය හමුවට කැඳවීමට උත්සාහ කිරීම පැමිණිල්ලේ නඩුවට බාධාවක් විය හැකිය. ගිරිහාගම මහත්මිය සීමා කිරීමට උත්සාහ කරන්නේ “මෙම වංචාව පහළ මට්ටමේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ සාපරාධී කුමන්ත්‍රණයක් පමණක් නොව, සමස්ත සෞඛ්‍ය අමාත්‍යාංශ පද්ධතියේම ඉහළ අනුමැතිය ඇතිව සිදු වූවක්” යන කරුණයි. 


පැමිණිල්ලේ අරමුණ වනුයේ දැනට චූදිතයන් කර ඇති පුද්ගලයන්ට එරෙහිව ඇති සාක්ෂි පමණක් මෙහෙයවීම වන අතර, විත්තියේ ලේඛනගත සාක්ෂි නිසා චූදිතයන්ගේ සාපරාධී චේතනාව (Mens Rea) බිඳවැටීමේ අවදානමක් පවතින බැවින් ඇය ඊට විරෝධය පායි.


නව ප්‍රවණතා සහ විශේෂතා පිළිබඳ සාරාංශය
මෙම නඩු විභාගයෙන් මතු වන වඩාත්ම කණගාටුදායක සහ විශේෂිතම කරුණ වන්නේ “2023 වසර වන විටත් ශ්‍රී ලංකාවේ ඖෂධවල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා අංගසම්පූර්ණ රසායනාගාර පහසුකම් NMQAL (ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ රසායනාගාරය) සතුව නොතිබූ බව” සාක්ෂිකරු විසින් විවෘත අධිකරණයේදී පිළිගැනීමයි.


පද්ධතිමය දුර්වලතා: රටට ගෙන්වන ඖෂධ සම්පූර්ණ පරීක්ෂණයකට ලක් කිරීමට තාක්ෂණික පහසුකම් රාජ්‍ය රසායනාගාර සතුව නැත.


ආයතනික වගවීම: MSD නිලධාරීන් භාණ්ඩ භාරගන්නේ ලිපි ලේඛන සහ පරිගණක පද්ධතිය මත පමණක් විශ්වාසය තබාය. භෞතික පරීක්ෂාව අවම මට්ටමක පවතී.


විත්තියේ උපාය: මරණ සිදු නොවීම සහ “Withhold” (රඳවා ගැනීම) වැනි තාක්ෂණික පියවර කලින්ම ගෙන තිබීම හරහා චෝදනාවල බරපතළකම ලිහිල් කිරීම.


පැමිණිල්ලේ උපාය: වංචාවේ වගකීම ඉහළ නිලධාරීන් වෙත හෝ සමස්ත පද්ධතිය වෙත පැතිරී යාම වැළැක්වීම සඳහා විත්තියේ ලේඛනගත සාක්ෂිවලට විරෝධය පෑම.


ඉදිරි හරස් ප්‍රශ්න කිරීම් තුළදී මෙම ලේඛනගත සාක්ෂි තවදුරටත් විශ්ලේෂණය වන විට නඩුවේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයන් රැසක් බලාපොරොත්තු විය හැකිය.

නිසි ප්‍රමිතියෙන් තොර “හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් සහ රිටොක්සිමැබ්” ප්‍රතිදේහ එන්නත් ඖෂධ කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයට රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා 13 ක් යටතේ එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 කට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුකරය මේ දිනවල ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාගයට ගැනුණි.


11 වනදා බාල ඖෂධ නඩුකරයේ සාක්ෂි විභාගය.


බාල ඖෂධ ගෙන්වීම පිළිබඳ නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඊයේ (11) කැඳවනු ලැබූ අවස්ථාවේ පළමු වන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර බානගල සාක්ෂිකාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ  වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලක එම් එච් ඩී එන් බණ්ඩාරගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

නීතිඥ ; ඖෂධයක තත්ත්වය පිළිබඳ ඔබ පොදු සටහනක් තියෙනවා, ඖෂධයක තත්ත්වය පිළිබඳව එහි යම් සමාගමක් ලබා දුන් ඖෂධ ගැන ප්‍රශ්න මතුව ඇතැයි සඳහන්.

සාක්ෂිකරු ; “සෙලජන් ලයිෆ් සයන්ස්” කියලා සමාගමක් ගැන ස්වාමීනී. සැපයුම්කරුවකු ලබා දුන් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ගැන “Quality issue” එකක් තියෙනවා කියලයි කිව්වේ. 

නීතිඥ ; මේ සමාගම දන්නවද?

සාක්ෂිකරු ; ඖෂධ සමාගමක් කියලා අහල තියෙනවා.

නීතිඥ ; මතක නැද්ද ඒකෙන් ගෙනා ඖෂධ ගැන ප්‍රශ්න ඇති වුණා..?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී.

නීතිඥ ; ඔබ කියන විදිහට ඖෂධ ගැන ප්‍රශ්න දෛනිකව වාර්තා වන නිසා එය සාමාන්‍ය දෙයක්..?

සාක්ෂිකරු ; ඔව් එවැනි සිද්ධි වාර්තා වෙනවා.

නීතිඥ ; කෙසේ නමුත් එවැනි දේ වාර්තා වීම සාමාන්‍යයි ද?

සාක්ෂිකරු ; අපි ක්‍රමයක් හදලා තියෙනවා. ඒ ඔස්සේ වාර්තා ගන්නවා.

නීතිඥ ; ඔබ මේ සමාගම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන්නාද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී.

නීතිඥ ; තියෙන ක්‍රමවේදය තුළ ගැටලු මතු වුණත් වාර්තා කිරීමේ ක්‍රමවේදයක් තිබේ. මේ නඩුකරය හැරුණු විට තවත් ඒවා වාර්තා වී තිබෙනවාද?

සාක්ෂිකරු ; තත්ත්ව පාලන අංශය ඔස්සේ NMRA එකට වාර්තා වෙනවා.

නීතිඥ ; ඔබ පිළිගන්නවා NMRA හරහා වාර්තා ලැබෙන නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා නොදුන් බව.

නීතිඥ ; MSD එකේ පද්ධතියට ඖෂධ නිකුත් කරලා තියෙනවා. ඒ ගැන දැනුම් දීමක් කර තියෙනවා. ඔබට මතක නැද්ද?

සාක්ෂිකරු ; නැහැ මම කලේ නැහැ ස්වාමීනි. මම පුද්ගලිකව දන්නේ නැහැ. ඒ අය හොයලා බලලා ඖෂධයට අදාල ක්‍රියාමාර්ගයක් ගන්න ඇති. 

නීතිඥ ; ඔබ වගකීම් විරහිත රාජ්‍ය නිලධාරියෙක් බව මම කියනවා.

සාක්ෂිකරු ; මම ඒක ප්‍රතික්ෂේප කරනවා.

නීතිඥ ; මම අසනු ලබන ප්‍රශ්නය මග අරිමින් පිළිතුරු දෙන රාජ්‍ය නිලධාරියෙක්..?

සාක්ෂිකරු ; එහෙම නැහැ ස්වාමීනී.

නීතිඥ ; භාණ්ඩ භාර ගැනීමේදී සලකා බලන ලේඛන ඇහුවා..? මේ 307 ලේඛනයේ අංක 1 යටතේ ඇත්තේ කුමක්ද?

සාක්ෂිකරු ; proper sertificate සහතිකය.

නීතිඥ ; yes යනුවෙන් ලියා මුද්‍රා තබන්නේ කොතනද..?

සාක්ෂිකරු ; ඉන්වොයිස් පත්‍රය මත.

නීතිඥ ; අදාළ මුද්‍රාව තබා YES කියා තිබුණොත්..? 

සාක්ෂිකරු ; ඒ කියන්නේ බෙහෙත් ලබාදී තිබෙනවා.

නීතිඥ ; ඔබ ආයතනයට ඖෂධ භාර ගන්න කවුන්ටර කීයක් තියෙනවද?

සාක්ෂිකරු ; අදාළ තොග පාලන අංශය දැනුවත් කළ යුතුයි. ඉන්පසු ඉන්වොයිස් පත්‍රය රැගෙන විත් තොග පාලක නිලධාරීන්ට භාරදිය යුතුයි.

නීතිඥ ; තොගය පරීක්ෂා කර කාගේ භාරයටද ගන්නේ ?

සාක්ෂිකරු ; ගබඩාවට ස්වාමීනී.

නීතිඥ ; ගබඩාවට භාර  ගන්නේ තොග පාලන නිලධාරීන් ඉදිරිපිටද?

සාක්ෂිකරු ; වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩාව තුළට ගෙන යනවා

නීතිඥ ; සැපයුම්කරුට ගබඩාවට යා හැකිද?

සාක්ෂිකරු ; සැපයුම්කරු තමයි ස්වාමීනී ගබඩාවට ගෙනත් භාර දෙන්නේ..?

නීතිඥ ; භාණ්ඩ භාරගන්න නිලධාරීන් ඉන්වොයිසිය ඇතුළු අදාල ලේඛන පරීක්ෂා කර සෑහීමකට පත්වුණාම නම් භාර ගන්නවා.? 

සාක්ෂිකරු ; එය එකවර සිදුවන ක්‍රියාදාමයක් ස්වාමීනි.

නීතිඥ; තොග පාලන නිලධාරීන් භාරගත්ත සිද්ධිය ඉවරයි..?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.

නීතිඥ ; ඔබේ වෛද්‍ය සැපයීම් අංශය තොග භාර ගැනීම ඖෂධ නිකුත් කිරීම ආදී කරුණු ඉටු කරනවා. ඖෂධ කොපමණ ප්‍රමාණයක් ගන්නවද? ශල්‍ය අයිතමක් ගන්නවද?

සාක්ෂිකරු ; ඖෂධ 300 ගණනක්, ශල්‍ය අයිතම 4000 ක් පමණ... 

නීතිඥ ; වෛද්‍ය සැපයුම් ඒකකය ඒවා නිපදවනවද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී.

නීතිඥ ; පැ 210 I හි පිටු අංක 250 හ 1 වෂයෙන් ලකුණු කළ ඖෂධ ලැයිස්තුවක් තියෙනවද? ඖෂධ 104 ක් ගැන ප්‍රශ්න කළා නේද ඔබගෙන්?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.

නීතිඥ ; Row Materials ගැනත් ප්‍රශ්න කළා නේද? ඔබ දුන් පිළිතුර “රෝ මැටීරියල්” ගන්නේ නැහැ කියන එක. ඖෂධ නිෂ්පාදනයට නේද රෝ මැටීරියල් ගන්නේ. මේ “හයිඩ්‍රේට්” වර්ගය අමුද්‍රව්‍යයක් ලෙස නම් කර ඇත්තේ ඇයි?

සාක්ෂිකරු ; බාහිරව රෝගීන් වෙත ලබාදෙන්න අමුද්‍රව්‍ය කීපයක් එක් කර හදන සංයෝගයක්. එයින් සකසන්නේ දියරයක්. එය බාහිර මෙඩිකේෂන් එකක්.

නීතිඥ ; ඒ කියන්නේ මේ අයිතම දෙක භාවිතා කර හදන්නේ ඖෂධයක්..?

සාක්ෂිකරු ; බාහිරව ගන්න සංයෝග බෙහෙත් ලෙස සලකන්නේ නැහැ. 

නීතිඥ ; එය කුමක් සමගද මුසු කරන්නේ?

සාක්ෂිකරු ; මනුෆැක්චරීන් නෙමෙයි. රෝහල තුළදී දිස්පෙන්සර් මුසු කරගන්න එකක් 

නීතිඥ : ඔබ මේ රෝ මැටීරියල් කියලා ලඝු කර පෙන්වනවා..? 

සාක්ෂිකරු ; මේක ඖෂධයක් නෙවෙයි. සම්මත ක්‍රියාවලියක්

නීතිඥ ; ඒක කොහෙද තියෙන්නේ?

සාක්ෂිකරු ; ඒක ලෝකය පිළිගත් සම්මතයක්.

නීතිඥ ; ඔය කියන අයිතම පිළිගත්ත එකක් සේ සලකනවද? 

සාක්ෂිකරු ; ඖෂධ සමාලෝචන කමිටුව තුළ පිළිගන්නවා.

නීතිඥ ; මම යෝජනා කරනවා කරනවා, එහෙම එකක් නෑ කියලා..?

සාක්ෂිකරු ; තියෙනවා ස්වාමීනී.

නීතිඥ ; ඔබ කියන්නේ ඖෂධයක් ගැන..?

සාක්ෂිකරු ; සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මේක රෝ මැටීරියල් එකක්.

නීතිඥ ; “සෝඩියම් සිට්‍රේට්” කියලා ඖෂධයක් තියෙනවද ?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.

නීතිඥ ; ඔබේ “තියරිය” අනුව ඒකත් රෝ මැටීරියල්..?

සාක්ෂිකරු ; ඒක සෘජුව ලබාදෙන දෙයක්.

නීතිඥ ; ඔබ සාක්ෂි දෙද්දි “රිටක්සිමැබ්” බාර නොගත් බව කීවා

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී.

නීතිඥ ; අදාල විෂය භාර නිලධාරියා භාර ගන්නවද?

සාක්ෂිකරු ; බාරගන්නවා ස්වාමීනී.

නීතිඥ ; කවුද බාරගන්නේ..? 

සාක්ෂිකරු ; ප්‍රියන්ත කස්තුරි.

නීතිඥ ; ඖෂධය භාර ගැනීමේදී තැබූ මිනිට්  ඔබට පෙන්වා ප්‍රශ්න කළේ නැහැ..? 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.

නීතිඥ ; රිටක්සිමැබ් භාරදීම ගැන ලේඛන ලැබුනේ නැහැ කිව්වේ..?

සාක්ෂිකරු ; MSD එකට දුන් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් රෝහල් පද්ධතිය වෙත ලබා දී තිබුණා. MSD එක තුළ යම් ප්‍රමාණයක් තිබුණා.

නීතිඥ ; හොඳටම විශ්වාසයි?

සාක්ෂිකරු ; ඔව්, කීයක් තිබුණද කියලා විශ්වාස නැහැ.

නීතිඥ ; මතක නැද්ද? තිබුනද? නැද්ද?

සාක්ෂිකරු ; මම හොයලා බලලා නැහැ...

නීතිඥ ; ඔක්කොම දැම්මද නැද්ද කියල මතක නැද්ද?

සාක්ෂිකරු ; මතක නෑ.

නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් බාරගත්තෙ කවුද?

සාක්ෂිකරු ; කණ්ඩායමක් ගියා.

නීතිඥ ; නම් වශයෙන් කියන්න බැරිද?

සාක්ෂිකරු ; මාත් එක්ක වැඩ කළ අය සහකාර අධ්‍යක්ෂ තුමා මතකයි. අනෙක් අයගේ නම් මතක නෑ. 

නීතිඥ ; ඖෂධ මුද්‍රා කරන්න බාරගන්නේ නිලධාරීන්ද? තොග බාරගන්නේ කොහොමද මුද්‍රා පිටින්?

සාක්ෂිකරු ; තොග මුද්‍රා තියන්නේ එකම අය

නීතිඥ ; ......... ගෙදර ප්‍රදීප මදුසංක කියලා කෙනෙක් දන්නවද?

සාක්ෂිකරු ; 500 ක් විතර ඉන්නවා. මට නමින් කියන්න දන්නේ නැහැ. අපි නිලධාරීන්

නීතිඥ ; යම් ඖෂධයක් Withdrow කරද්දී රඳවා ගන්නා ආකාරය කුමක්ද? 

සාක්ෂිකරු ; පුද්ගලිකව එහෙම අවශ්‍ය වී නැහැ.

නීතිඥ ; ඖෂධ ඉවත් කිරීමේ ක්‍රියාවලිය ආයතනික ක්‍රියාවලියක් ඔස්සේ ක්‍රියාත්මක වෙනවද?

සාක්ෂිකරු ; ඔව් ඖෂධ අපහරණ ක්‍රියාවලිය drag manual එකේ තියෙනවා

නීතිඥ ; ඉවත් කළ ඖෂධ රඳවා තැබිය යුතු කොතනද කියලාත් කියලා තියෙනවද?

සාක්ෂිකරු ; Expiry  stock ගැන එහි සදහන්. මොකක් හරි හේතුවක් නිසා භාවිතයෙන් ඉවත් කළ ඖෂධ ගැන වැඩ කළ යුතු  ඩ්‍රග් මැනුවල් එකෙන්....  

නීතිඥ ; වෙනත් ස්ථානයක තැන්පත් කරලා තියන්න කියලා ඒකෙ තියෙනවද?

සාක්ෂිකරු ; බලල කියන්න පුළුවන්...

නීතිඥ ; 95 ගොනුවේ 1 v 30 ලෙස ලේඛනයක් යොදා තිබුණා. 1 v 30 හි 103 - 105 මේ ගොනුවේ එම ලේඛනය දැකිය හැකිද?

සාක්ෂිකරු ; නැහැ.
 
නීතිඥ ; අමුද්‍රව්‍ය ලෙස “සෝඩියම් ඩ්‍රයි හයිඩ්‍රජන්” ගැන මම සඳහන් කළා. “අයිසොලෙස් බයෝ ෆාමා” මගින් එය ලබා දුන් බව ඔබ දන්නවද? 

සාක්ෂිකරු ; මම ඒක දන්නේ නැහැ. ඒක පරිගණක පද්ධතිය තුළ සටහන් වෙන කාරණයක්. 

නීතිඥ ; එහෙම තැන්පත් වෙන්නේ සපයන ලැයිස්තුව බව දන්නවද මේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් වලින් කිසිදු මරණයක් සිදුව නැති බව..? 

සාක්ෂිකරු ; තත්ත්ව පාලන අංශය දන්නවා ඇති.

නීතිඥ ; ඔබ දන්නවද?

සාක්ෂිකරු ; නැහැ මම දන්නේ නැහැ.

නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් වලින් අත කැසීම, බඩ දැවිල්ල වගේ සංකූලතා ඇතිවුණා කියලා දන්නවද? 

සාක්ෂිකරු ; මම දන්නේ නැහැ.

නීතිඥ ; මේ රිටක්සිමැබ් වලින් කිසිදු සංකූලතාවක් ඇති වෙලා නැහැ කියලා දන්නවද? 

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී.

නීතිඥ ; රිටක්සිමැබ් වලින් කිසිදු මරණයක් සිදුව නැතැයි දන්නවද?

සාක්ෂිකරු ; මම දන්නේ නැහැ.

(දෙවැනි චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.)

නීතිඥ  ; වෛද්‍ය සැපයුම් අංශයේ DDG කවුද?

සාක්ෂිකරු ; කවුරුවත් හිටියේ නැහැ.

නීතිඥ ; අධ්‍යක්ෂවරුන් හිටියා නේද ?

සාක්ෂිකරු ; එසේය ස්වාමීනී.

නීතිඥ ; ඔබ වෛද්‍ය කපිල වික්‍රමනායක එක්ක වැඩ කරලා තියෙනවද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.

නීතිඥ ; ඔහු ආවේ 2022 දි ජනවාරි 3න් පසු ඔහු එහි අධ්‍යක්ෂ ලෙස රාජකාරී නොකළ බව දන්නවද?  

සාක්ෂිකරු ; විදේශගත වුණා.

නීතිඥ ; එක්සත් රාජධානියේ ස්කොට්ලන්ඩ් හි වැඩිදුර අධ්‍යාපනය හා පුහුණුව සඳහා ඔහුට අමාත්‍යාංශයෙන් අවසර ලැබුණ නිසා  ඔහු එහි ගියා..?

සාක්ෂිකරු ; 2022 ජනවාරි මුල සිට වෙනත් නිලධාරීන් වැඩ බැලුවේ.

නීතිඥ ; මෙම නඩුවට අදාලව මහත්මයාගෙන් ප්‍රශ්න කළා. ඖෂධ ලැයිස්තු ගැන ඔබ දන්නවද? ඒ භාණ්ඩ සැප්තැම්බර් ඔක්තෝම්බර් ප්‍රසම්පාදනයන් සිදු කර තිබෙනවා කියලා..? 

නීතීඥ ; ඖෂධ 180 ගණනක් ඒකට යොමු කළා නේද? ඉන්පසු සෞඛ්‍ය අමාත්‍යාංශය NMRA යටතේ ප්‍රසම්පාදනය වෙලා තියෙන බව දන්නවද? 

(නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම විරෝධය පළ පළ කරයි. ඒ අවස්ථාවේ නීතිඥ අසේල වීරසිංහට සහාය පිණිස තවත් නීතිඥවරු කිහිප දෙනෙක් නැගී සිටිති.) 

සභාපති විනිසුරු ; දෙවැනි චූදිත වෙනුවෙන් නීතිඥවරු කීදෙනෙක් පෙනී සිටිනවාද? 

(යළි හරස් ප්‍රශ්න ආරම්භවේ) 

නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් හා රිටක්සිමැබ්  ගැන යම් ප්‍රසම්පාදනයක් තෝරාගෙන තිබුණා..? 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී.

නීතිඥ ; එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අංශයෙන් කරලා තියෙන්නේ? එහිදී හදිසි ප්‍රසම්පාදන කමිටුවක් තමයි මේ ඖෂධය සඳහා ටෙන්ඩර් පිරිනැමුවේ.

සාක්ෂිකරු ; ඒකට කමිටුවක් පවත්වාගෙන ගියා.

නීතිඥ ; spc සභාපති නීතිඥ සරත් ලියනගේ එහි සාමාජිකයෙක් බව ඔබ දන්නවාද?

සාක්ෂිකරු ; ඒ ගැන දන්නෙත් නැහැ.

නීතිඥ ; ඔබේ වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දීමක් ලැබෙන්න ඕන ඉදිරි කටයුතු සඳහා..?

සාක්ෂිකරු ; දැනුම් දුන්නා. 

නීතිඥ ; ඒ දැනුම් දීම ලේකම්වරයාගේ 2022 ඔක්තෝම්බරයේදී වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මහතාට දැනුම් දුන්නා කියා මම යෝජනා කරනවා.

සාක්ෂිකරු ; එහෙම ලිපියක් පෙන්නුවොත් තමයි කියන්න පුළුවන්.

නීතිඥ ; ඕඩර් ලිස්ට් සහ පර්චස් ඕඩර් දාන්න ඕන MSD එකෙන්..? 

සාක්ෂිකරු ; ඔව්.

නීතිඥ ; එම දැනුම් දීම හඳුනාගත හැකිද බලන්න..?

(පැ 264 ලේඛනය ඉදිරිපත් කරයි)

නීතිඥ ; මේ ගොනුව 72..? 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී. 

නීතිඥ ; මෙම ප්‍රසම්පාදනයට අදාල යොමු අංකය බලන්න. මෙම ප්‍රසංපාදනයෙන් පසු පර්චස් ඕඩර් ලබා දී තිබෙනවා නේද?

(නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විරෝධය පළ කරයි)

නීතිඥ ; ඔබ සී අයි ඩී යට තුන් වරක් කට උත්තර දීලා තියෙනවා. රිටක්සිමැබ් භාර ගැනීමට අදාළ කස්තුරි සිංහ යන අය 163 සාක්ෂිකරු කියා මම යෝජනා කරනවා.

සාක්ෂිකරු ; මම දන්නේ නැහැ.

නීතිඥ ; ඔබ ඒ ගැන නොදන්නේ ඇයිද?

සාක්ෂිකරු ; මම දන්නේ නැහැ.

නීතිඥ ; රිටක්සිමැබ් ඖෂධය අයත් සහකාර අධ්‍යක්ෂවරිය චාන්දනී වන්නිආරච්චිද? 

සාක්ෂිකරු ; ඔව්.

නීතිඥ ; එම තැනැත්තිය මෙම පැමිණිල්ලේ 173 වන සාක්ෂිකාරියයි.

සාක්ෂිකරු ; ඔව්.

නීතිඥ ; 1 V 28 M 1 V 29 යන ලේඛන පරීක්ෂා කර මේ ලේඛන නිකුත් කළේ වෛද්‍ය කපිල වික්‍රමනායක කියලා දන්නවද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.

නීතිඥ ; ජනවාරි තුන දින NMRA එකෙන් කළ දැනුම් දීම අනුව දෙවැනි චූදිත ක්‍රියාත්මක වුණා. ඔහු සියලු රෝහල්වලට දැනුම් දුන්නා..?

සාක්ෂිකරු ; කළ යුතු දේ කළා.

නීතිඥ ; වෛද්‍ය කපිල වික්‍රම නායක එම ඖෂධ භාවිතයෙන් ඉවත්කිරීමට NMRA දැනුම් දීම මත කටයුතු කළා. එය දන්වා 2023/10/16 දිනැතිව ලිපියක් යැව්වා. ඒකත් ඔබට පිටපත් කර තිබෙනවා..? 

සාක්ෂිකරු ; එහි අංකය MSD / 9 / special / 2023/1 ලෙස දැනුම් දී තිබෙනවා.

නීතිඥ ; මෙහි සියලු නිෂ්පාදන ලැබී තිබුණා. 2 V 32 ලෙස එම ලේඛන ලකුණු කරේ..?

විනිසුරු ; ඒ මොකක්ද ඒ?

සාක්ෂිකරු ; ඒ විදියටම තොග තිබුණට ඒවා භාවිතා කළේ නෑ ස්වාමීනි. ඒවා Withdraw  කරලා තිබුණේ. දැන් Withhold කරලා තියෙනවා. 

නීතිඥ ; අයිසොලෙස් බයෝ ෆාමා සියලු සැපයුම් withhold කරලා තියෙන්නේ. ඒවා භෞතිකව පරීක්ෂා කළාද?

නීතිඥ ; ඖෂධ තත්ත්ව පරීක්ෂාව පනත යටතේ ඇත්තේ NMQAL එකට. එහි ඕනෑම ඖෂධයක් බැලිය හැකිද? 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.

නීතිඥ ; අංග සම්පූර්ණ රසායනාගාරයක් සියලු පහසුකම් සහිතව 2023 වෙද්දිත් තිබුණෙ නැහැ. 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී 2023 වෙද්දිත් සම්පූර්ණ පරීක්ෂණයක් කරන්න තැනක් නෑ. 

නීතිඥ ; MSD එකට දිනපතා ඖෂධ, ශල්‍ය උපකරණ ලැබෙනවා. විශාල කාර්ය මණ්ඩලයක් එහි කාර්යක්ෂමව කාර්යබහුලව කටයුතු කරනවා..?

සාක්ෂිකරු ; ඔව්. 

නීතිඥ ; කාටද පුළුවන්? රසායනාගාරයෙන් මෙහි පැමිණ සාක්ෂි දෙන්න?

සාක්ෂිකරු ; කෞශල්‍යා විජේසිංහ මහත්මිය. 

නීතිඥ ; ඇය ඒ පර්යේෂණාගාරයේ 2023 වැඩ කළාද?

සාක්ෂිකරු ; මට මතක ඇය ඒ වන විට තොග පාලන අංශයේ සිටියේ.

නීතිඥ ; මෙම නඩුවට අදාළ ඖෂධය MSD එකට ලැබුණු බව මැයි 25 දින ඊමේල් පණිවුඩයකින් යොමු කර තිබුණා. 

සාක්ෂිකරු ; ඒ ගැන තොග පාලන අංශය පරීක්ෂාවක් කර තිබුණා.

නීතිඥ ;  නමුත් මහත්මයා දන්නවද නඩුවට අදාල ඖෂධ දෙකේ තත්ත්වය. තොග පාලන ඩියුටි ලැයිස්තුව දැක්ක නේද?  පැ 71 ලේඛනයේ කොටු මුද්‍රා හඳුනාගත්තා නේද? 2 V 34 එහි A කියන අදාල තොගය පාලක හා සහකාර අධ්‍යක්ෂකගේ සටහන පෙන්නුවා. මේ ඉන්වොයිස් පත්‍රය දෙපැත්තේ මුද්‍රා කීපයක් තබා තිබුණා. එහි භාණ්ඩ භාර ගන්නා බවට තබන මුද්‍රාත් තබා තිබුණා. එහි ඇති බොක්ස් සීල් පේළිය කුමක්ද කියා විස්තර කරන්න 

සාක්ෂිකරු ; පළමුව තියෙන්නේ තොග පාලන අංශයේ මුද්‍රාව. එය තබන්නේ තොග අංශයේද නිලධාරී හා සහකාර අධ්‍යක්ෂකවරයා. 

නීතිඥ ; මේ වෙලාවේ භාණ්ඩ තොගය තිබුණේ කොහෙද?

සාක්ෂිකරු ; ඒවන විටත් ගබඩාවට ඇවිත් නැහැ.

නීතිඥ ; කන්සයින්මන්ට්ස් ඉන්ස්පෙක්ෂන් කෙරෙන්නේ කොතැනද?

සාක්ෂිකරු ; MSD එකේ පහළ තියෙන කාමරයක.

නීතිඥ ; කවුද එතන ඉන්නේ? 

සාක්ෂිකරු ; MSD එකේ සෞඛ්‍ය සැපයුම් සහකාරවරයෙකු, ඔවුන් භාණ්ඩ තොගය පරිගණකගත  කරනවා. 

නීතිඥ ; එහි මුද්‍රාව තමයි ඒ තිබෙන්නේ..?

සාක්ෂිකරු ; ඔව්.

නීතිඥ ; ඒ වැඩේට පලපුරුදු අයද එතැන ඉන්නේ?

සාක්ෂිකරු ; ඔව් .

සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම අද (12) දක්වා කල් තැබිණි

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0