හේමරතන හිමියෝ 22 වෙනිදා අනුරාධපුර මහේස්ත්‍රාත් හමුවට
බාල වයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම සහ ස්ත්‍රී දුෂණයක් සිදු කිරීමේ චෝදනා යටතේ අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර, දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සැකකාර අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ලබන 22 වනදා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
හේමරතන හිමියෝ
22 වෙනිදා
අනුරාධපුර මහේස්ත්‍රාත් හමුවට
දැරිය විකිණූ මවටත් ඇප නෑ..
බාල වයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම සහ ස්ත්‍රී දුෂණයක් සිදු කිරීමේ චෝදනා යටතේ අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර, දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සැකකාර අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ලබන 22 වනදා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 12 වනදා අත්අඩංගුවට පත් සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ව පෞද්ගලික රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවන්නටත්, උන්වහන්සේගේ අසනීප තත්ත්වයන් පිළිබඳ අධිකරණය වෙත නිවැරදි කරුණු වාර්තා කරන්නට විශේෂ වෛද්‍ය පරීක්ෂණ කීපයකට බඳුන් කරන්නටත් කොටුව මහේස්ත්‍රාත්වරයා මීට පෙර බන්ධනාගාරයට නියෝගයක් ලබා දී තිබිණි. සැකකාර හේමරත්න හිමියෝ කොළඹ මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ ඒ අනුවය.
මේ අතර පල්ලේගම හේමරතන හිමියන්ට තම බාල වයස්කාර දියණිය බරපතල ලිංගික අපයෝජනයක් සඳහා චේතනාන්විතව මුදලට ලබා දුන්නේ යැයි කියන චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතකර සිටින, වින්ඳිත දැරියගේ මවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ ප්‍රදීප් දිසානායක අධිකරණයේ පෙනී සිටිමින් ඇය ඇපමත මුදා හරින ලෙස ඉල්ලා සිටියත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරමින්, 22 වෙනිදා දක්වා ඇයවද රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
මැයි 15 වනදා මෙම සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නිට්ටඹුව පොලිසිය මෙම සිද්ධියට අදාළ විමර්ශන මේ වනවිට අවසන්ව ඇති බව දන්වා සිටියේය.
එබැවින් අදාළ විමර්ශනවලට අදාළ සියලු විස්තර නීතිපති උපදෙස් සඳහා යවා ඇති බව අධිකරණයට දැනුම් දුන් නිට්ටඹුව පොලිසිය සැකකාර පල්ලේගම හේමරතන හිමියන් කොටුව මහේස්ත්‍රාත්වරයාගේ උපදෙස් පරිදි කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද දන්වා සිටියේය.
කොටුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝග පරිදි පවත්වන ලද වෛද්‍ය පරීක්‍ෂණවලින් ලබාගත් වාර්තාවක් කොළඹ මැගසින් බන්ධනාගාර අධිකාරීවරයා විසින් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි ප්‍රසාද් ප්‍රේමතිලක මහතා වෙත එවා තිබූ අතර අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා එම වාර්තා අනුරාධපුර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර සිටියේය. සැකකාර හිමිනම තවදුරටත් කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය පරීක්‍ෂණවලට බදුන් වෙමින් ප්‍රතිකාර ලබන බවද දන්වා සිටියේය.
මෙහිදී පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් වූ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා පෙන්වා දුන්නේ මෙම අවස්ථාවේ සැකකාර හේමරතන හිමියන් වෙනුවෙන් අද දින ඇප ඉල්ලීමක් සිදු නොකරන බවය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය සිදු කරන විමර්ශන මන්දගාමීව සිදුකෙරෙන බව යෝජනා කරමින් ජනාධිපති නීතිඥවරයා මෙම විමර්ශන කඩිනම් කරන්නැයි පොලිසියට නියෝග කරන ලෙස ද ඉල්ලා සිටියේය.
පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන සමග ගම්පහ කොට්ඨාශ පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා විනිෂියා ප්‍රේමරත්න සහ නිට්ටඹුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා වසුන්දරා ගුණරත්න පෙනී සිටියහ. අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර සහ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නඩු කටයුතු මෙහෙයුම් නිලධාරී උපපොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද ද ඊට සහය වූහ.
සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස සමග ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් වන රංජිත් රාජකරුණා, සජීව ගුණරත්න, මහේෂ් කොටුවැල්ල, චාන්දනී හටන්ගල, හේමන්ත ගමගේ, ආරියරත්න වික්‍රමආරච්චි, ධනුෂ්ක දහම්පත්, රේණුකා වික්‍රමාරච්චි, මදාරා විජේසිංහ සහ ජයලත් අබේසිංහ, සුරංග මොහොටිටි සහ අමිල කොලොන්නආරච්චි යන නීතිඥවරුන් 20 දෙනෙක් පමණ පෙනී සිටියහ. වින්දිත දැරියගේ මව වෙනුවෙන් නිතීඥ ප්‍රදීප් දිසානායක පෙනී සිටියේ ය.
දූෂණයට ලක්වූ බව කියන බාලවයස්කාර වින්දිත දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් කිසිදු නීතීඥවරයෙකු හෝ වෙනත් කිසිදු බාහිර පාර්ශ්වයක් පෙනී සිටියේ නැත.
පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට ඇත්තේ 1995 අංක 22 දරන දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 365 (ආ) (2) (ආ) වගන්තිය ප්‍රකාරව බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජන සිදුකිරීම සහ 1995 අංක 22 දරන දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 364 (2)(ඉ) වගන්තිය ප්‍රකාරව බාලවයස්කාර දැරියකට ස්ත්‍රී දූෂණයක් සිදුකිරීමේ චෝදනා යටතේ ය. මේ අතර, බාලවයස්කාර වින්දිත දැරියගේ මවට එරෙහිව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට ඇත්තේ, 2006 අංක 16 දරන දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 360 (ඇ)(1)(අ) වගන්තිය ප්‍රකාරව, තැනැත්තන් වෙළෙඳාම් කිරීම සහ පළමු සැකකාර පල්ලේගම හේමරත්න හිමියන්ට ඉහත චෝදනා සඳහා ආධාර අනුබල දීම යටතේ ය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් නිවේදනයක්
මේ අතර, 'මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙම සිදුවීම වාර්තා වූ දිනයේ සිට නියාමන කටයුතු සිදු කරමින් සිටින අතර ඉදිරියට ද මෙම බාලවයස්කාර දැරියගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි සහ ඇයට යුක්තිය ඉටුවන පරිදි මෙම විමර්ශන කටයුතු සිදුවනවා දැයි නියාමනය කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී ළමයාගේ උපරිම යහපත වෙනුවෙන් සුදුසු පියවර ගැනීමට සූදානම්' බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනය කර තිබේ.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

