තරුණ නීතීඥවරියට විනිසුරුගෙන් අවවාදයක්...

රටේ එවකට පැවැති මූල්‍ය අර්බුදය නිසා ඇතිවී තිබූ ඖෂධ හිඟයට පිළියමක් ලෙස ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ ලැබුණ මුදලින් ඖෂධ මිලදී ගැනීම කඩිනම් කිරීම සඳහා එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මෙන්ම පෞද්ගලික සැපයුම්කරුවන්ගේ සහභාගිත්වයෙන් 2022.09.22 වැනිදා පැවැති සාකච්ඡාවට ලැබුණ ආරාධනයක් මත තමා සහභාගි වුවත් එහිදී ගනු ලැබූ තීරණවලට තමා කිසිදු දායකත්වයක් නොදැක්වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ශිරාණි චන්ද්‍රිකා වික්‍රමසිංහ මහත්මිය ඊයේ (24) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී සාක්ෂි දෙමින් පැවසුවාය.

Mar 25, 2026 - 18:25
Mar 27, 2026 - 11:31
 117
තරුණ නීතීඥවරියට විනිසුරුගෙන් අවවාදයක්...


2026 මාර්තු 24 වනදා 
ප්‍රමිතියෙන් තොර එන්නත් නඩු විභාගය.

සිට් ඩවුන්... සිට් ඩවුන්...

තරුණ නීතීඥවරියට

විනිසුරුගෙන් අවවාදයක්...

ම‍ට මකත නෑ... මම දන්නේ නෑ..

න්‍යාය යළිත් කරලියට...

ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ; උතුමාණෙනි මෙම සාක්ෂිකාරියට පෙර සාක්ෂි ලබා දුන් සාක්ෂියකට අදාළවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම සාක්ෂිකාරියගෙන් නැවත හරස් ප්‍රශ්න නගනවා.

(නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ජනාධිපති නීතිඥවරයාගේ කරුණු දැක්වීමට බාධා කරමින් අදහස් ප්‍රකාශ කිරීම සිදුකරයි)

 

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; ඉඩ දෙන්න... ඉඩ දෙන්න... එතුමාට බාධා කරන්න එපා.  මෙතන මාධ්‍යවේදීනුත් ඉන්නවා.

 

ජනාධිපති නීතිඥවරයා ; නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඇගේ තනතුරටත් නොගැලපෙන ලෙස අධිකරණය හමුවේ හැසිරෙනවා. 

(නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අසුනින් නැගිට නැවතත් බාධා කරමින් අදහස් දැක්වීම සිදුකරයි) 

සභාපති විනිසුරු ; සිට් ඩවුන්... සිට් ඩවුන්...

 

ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ; පැමිණිල්ල මෙම සාක්ෂිකාරියගෙන් අසත්‍ය ප්‍රකාශ ලබාගන්න උත්සාහහ කරනවා. නැවත ප්‍රශ්න අහන්න පටන් ගත් අවස්ථාවේදී සිටම අවස්ථා කීපයකදීම එහෙම අසත්‍ය ප්‍රකාශ ලබාගන්න ඇය උත්සාහ කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේකට ඉඩදෙන්න එපා ස්වාමීනී.

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; එතුමා කරුණු දක්වන්නේ අධිකරණයටමයි අපි ඒක බලා ගන්නම්. ඔබතුමිය වාඩිවෙන්න. වාඩිවෙන්න. 


අධිකරණ වාර්තාකරු.

2022 වසර වන විට අපේ රට මුහුණ පා තිබුණේ බරපතල මූල්‍ය අර්බුදයකටය. ඉන්ධන ගෑස් ප්‍රමුඛ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය ඇතුළුව විදේශ රටවලින් ඩොලර් ගෙවා ආනයනය කරනු ලබන බඩු භාණ්ඩ හා අනෙකුත් සේවාවන් ලබා ගැනීම බරපතල ගැටලුවක්ව තිබූ කාලවකවානුවක් අපට මතක තිබේ.

කවුරුන් කෙසේ කීවත් ඒ ගැටළුව මගහැරී ගියේ ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ ඩොලර් බිලියනයක් ඉක්මවූ වටිනාකමක් සහිත වැඩපිළිවෙලක් ලබාදීමට ඉන්දියාව මැදිහත් වූ නිසා බව අමතක කළ යුතු නැත...

ඒ දුෂ්කර අවස්ථාවේ එවන් අනූපමේය උපකාරයක් ලබා දෙන්නට අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාව මැදිහත් වූවත් ඒ හා බැඳුණු යම් යම් කොන්දේසි මත අපේ රටේ නිර්මාණය වූ අලුත් ප්‍රශ්න හා අර්බුද අදටත් අවසානයක් නැති බව පැහැදිලිය..

ඉන්දියානු ණය ආධාර යටතේ අපේ අප වෙත ලැබුණු ඖෂධ ණය ආධාර සහනය එවන් අදටත් නිමාවක් දක්නට නැති බැරෑරුම් ප්‍රශ්න ගණනාවක මූලාරම්භයයි.

එම ආධාර ක්‍රමය යටතේ ලබාගන්නා ඖෂධ හා අනිකුත් පහසුකම් ලබා ගැනීමේදී අප අනුගමනය කළ යුතු අනිවාර්ය කොන්දේසි පිළිබඳ නිර්දේශ රාශියක් ද තිබිණි. ලබාගත යුතු රට හෝ සමාගම් පිළිබඳ නිර්දේශ තිබිණි. ලබා ගන්නා ප්‍රමාණ පිළිබඳ ද නිර්දේශ තිබිණි. එපමණක් ද නොව, මේ මේ කාල වකවානුවලට යටත්ව ලබාගත යුතු යැයි, කොන්දේසි ද තිබූ බැවින්  ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ අපේ රටට ඖෂධ හා වෙනත් සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම එදා ඒ ඉක්මනට, ඒ ඒ කාලවකවානු යටත්ව හිතන තරම් ලෙහෙසි පහසු කාර්යභාරයක් වූයේ නැත...

වර්තමානයේ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ මේ දිනවල දිනපතා විභාග කෙරෙන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුකරයේ මූලාරම්භය එකී ණය ආධාර ක්‍රමය යටතේ අප රටට බලපවත්වන්නා වූ එම දැඩි කොන්දේසිමය ක්‍රියාදාමය නිසා ඇතිවූ ප්‍රශ්නයක් බව ඇතැමුන්ගේ මතයයි...

එම ණය ආධාර ක්‍රමය ශ්‍රී ලංකා රජය හා ඉන්දියානු තානාපති කාර්යාලය අතර නිසි පරිදි කොන්දේසි වලට අනුකූලව නියමිත කාල වකවානු නොඉක්මවා ක්‍රියාත්මක වන්නේ ද කියා සොයා බලන්නට  දෙරට අතර සම්බන්ධීකරණ කමිටුවක් ද තිබූ බව අපට මතකය. එම කමිටුවේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වන තවත් අනුකමිටු තුනක් තිබිණි. වර්තමානයේ මෙම නඩුකරයේ සාක්ෂි දෙනු ලබන සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ශිරාණි චන්ද්‍රිකා වික්‍රමසිංහ මහත්මිය  එම අනුකමිටු තුනෙන් එකක් වන “ඖෂධ අනු කමිටුවේ” සභාපතිනියයි.

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ඖෂධ ආනයනයේදී රජය උත්සාහ ගෙන තිබුණේ හැකි පමණ ගැටලු ඇති නොවන සේ ඉන්දියානු රජයේ කොන්දේසි සපුරාලමින්, නියමිත කාලවකවානුවලට ඖෂධ ඇනවුම් පෙළගස්වා ගැනීමටය. එහෙත් එහිදී එම ප්‍රසම්පාදන කටයුතු වලට හා අනෙකුත් තීරණ ගැනීමේ කටයුතුවලට තාක්ෂණික හා විද්වත් කමිටු වලින් සහභාගී වූ රජයේ උසස් නිලධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් උපරිමයෙන් උත්සාහ ගෙන ඇත්තේ හොඳ දේ ප්‍රමිති ගත දේ සාකච්ඡා කර ගෙන්වා ගැනීමටය. ඇතැම් විට නිලධාරීන් දේශපාලන අධිකාරිය අතර පරස්පරතා මතුවන්නට වූයේ එම අවස්ථාවේදීය...

මෙම නඩුවේ 203 වන සාක්ෂි කාරිය ලෙස පසුගිය දින 5ක ම ගරු අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන් වෛද්‍ය ශිරාණි චන්ද්‍රිකා වික්‍රමසිංහ මහත්මිය අකුරටම රාජකාරිය ඉටු කරන, ඇත්ත ඇති සැටියෙන් දකින  සහ එයම කියන මෙන්ම ඒ වෙනුවෙන් පෙනී සිටින කීර්තිමත් නිලධාරිනියක ලෙස ප්‍රකටය...

ඇය සාක්ෂි ලබාදීමට පැමිණි මුල් දිනයේ සහ දෙවන දිනයේ පෙන්නුම් කළ ඇයගේ ආවේනික අදීනත්වය තුළ දැඩි ලෙස කලබලයට පත්වීී සිටියේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිපති දෙපාර්තමේන්තුවයි. 

එහෙත් මෙවන් නඩුකරයක දීර්ඝ ලෙස සාක්ෂි දීමේදී සහ නීතීඥයින් විශාල පිරිසකගේ හරස් ප්‍රශ්න ඇසීම් වලට උත්තර දීමේදී හෙම්බත් වූ වියපත් රාජ්‍ය නිලධාරිනියකගේ ස්වාභාවික කලකිරීම දැන් දැන් ඇය කෙරෙන් පලවන බව නිරීක්ෂණය විය. එබැවින් සාක්ෂි විභාගයේ ඇගේ අවසානභාගයේ උත්තර වල වැඩිපුර වූයේ සුපුරුදු තාක්ෂණික හා විද්‍යාත්මක උත්තර වෙනුවට “මට මතක නෑ, මම දන්නේ නෑ, මට අදාල නෑ, මම දැනගෙන හිටියේ” ආදී වූ ඇගබේරා ගැනීමේ න්‍යායට අදාළ පුශ්න මගහැරීමේ උත්තර වීම නිරීක්ෂණය විය...

එම තත්ත්වය මත පැමිණිලි පාර්ශවයේ උගත් නීතිඥවරිය මඳ අස්වැසිල්ලක පසු වෙමින් අවශ්‍ය වන අවස්ථාවලදී පමණක් මැදිහත් වෙමින් නිහඬව සිටින බවත් විත්තියේ පාර්ශ්ව දොළහක උගත් නීතිඥයින්ගේ “කප්පරක් හරස් ප්‍රශ්නවලට” තවදුරටත් සාක්‍ෂි ලබාදීමට සිදුවන බව පැහැදිලි විය...

පසුගිය දිනක එම තත්ත්වය වචන කීපයකින් විග්‍රහ කළ විත්තියේ නීතිඥ නුවන් ජයවර්ධන, විනිසුරුවන් විසින් සාක්‍ෂිකාරයගෙන් හරස් ප්‍රශ්න විමසීමට අවශ්‍ය කාලය කොපමණදැයි ඇසූ අවස්ථාවේ අපූරු කතාවක් කියා සිටියේය...

“මෙතුමිය අර මුල් දවසේ සාක්ෂි දුන් ආකාරයට නම් මට ගතවන්නේ පැය භාගයයි. හැබැයි ඇය දැන් සාක්ෂි දෙන විදියට නම් පැය දෙකක්වත් යයි” කියාය.

එම වගත් මෙසේය...

රටේ එවකට පැවැති මූල්‍ය අර්බුදය නිසා ඇතිවී තිබූ ඖෂධ හිඟයට පිළියමක් ලෙස ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ  ලැබුණ මුදලින් ඖෂධ මිලදී ගැනීම කඩිනම් කිරීම සඳහා එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මෙන්ම පෞද්ගලික සැපයුම්කරුවන්ගේ සහභාගිත්වයෙන් 2022.09.22 වැනිදා පැවැති සාකච්ඡාවට ලැබුණ ආරාධනයක් මත තමා සහභාගි වුවත් එහිදී ගනු ලැබූ තීරණවලට තමා කිසිදු දායකත්වයක් නොදැක්වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ශිරාණි චන්ද්‍රිකා වික්‍රමසිංහ මහත්මිය ඊයේ (24) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී සාක්ෂි දෙමින් පැවසුවාය. 

එම රැස්වීමේදී, ඉන්දියානු ණය ආධාර ක්‍රමය භාවිතා කරමින් ඖෂධ ආනයනය කිරීමේ ක්‍රියාවලියේ කාර්යය පටිපාටියේ යම් යම් අඩුපාඩු පවතින බවත් ඒවාට කඩිනම් විසඳුම් ලබා දී ඖෂධ ආනයනය විධිමත්ව හා කඩිනමින් සිදුකිරීමට පෞද්ගලික අංශයට හෝ වැඩි මුදල් ප්‍රමාණයක් වෙන්කර හෝ නියමිත කාලය ඉක්මයාමට පෙර ඖෂධ ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ඉදිරිපත් කර තිබූ කැබිනට් සංදේශය පිළිබඳව අවබෝධයක් ඇතිදැයි අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපතිි නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සාක්ෂිකාරියගෙන් විමසා සිටියේය. 

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ; ඔබේ සාක්ෂි දීමට කැඳවීමට හේතුව වන්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සිදුකළ ඖෂධ ප්‍රසම්පාදනයට අදාළ කරුණුයි. 

සාක්ෂිකාරිය ; එහෙමයි 

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ; ඇයි එහෙම ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට හේතුව? රටේ පැවැති ඩොලර් හිඟයට පිළියමක් ලෙස 2022 වසරේදී, එම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සිදුවූ බව මම ඔබට යෝජනා කරනවා. 

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී 

ජනාධිපති නීතිඥ ; ඖෂධ ගෙන්වීමේ සාමාන්‍ය ක්‍රියාවලියට ඔබ්බට ගොස් කඩිනමින් ඖෂධ මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණයක් අනුව කටයුතු කරමින් සිටි බව ඔබ දන්නවාද? 

සාක්ෂිකාරිය ; මම ඒ ගැන දන්නේ නෑ. මම දන්නේ නැති දෙයක් නිසා ඒ ගැන පිළිතුරු දෙන්න අමාරුයි. 

ජනාධිපති නීතිඥවරයා ; ඔබ සී අයි ඩී එකට ප්‍රකාශ දුන්නේ ඔබ දන්න දේවල් ගැන කියලනේ ඔබ කියලා තිබුණේ. ඔබ එම ප්‍රකාශවලදී කියලා තියෙනවා නම්  ඖෂධ ප්‍රදානය කමිටුවක් හෝ අනුකමිටුවක් ඖෂධ ප්‍රසම්පාදනයට අදාළව කටයුතු කළේ නෑ කියලා. ඒක හරිද? 

සාක්ෂිකාරිය ; මට  ප්‍රශ්නය පැහැදිලි නෑ. 

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ; භාණ්ඩ මිලදී ගැනීම් ගැන යම් ප්‍රමාදයක් තිබූ බව ඔබ පිළිගන්නවාද? 

සාක්ෂිකාරිය ; අපේ ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සෑහෙන දිගයි. 

ජනාධිපති නීතිඥවරයා ; පැ 66 ලේඛනය මහා භාණ්ඩාගාර අතිරේක ලේකම්වරයා එවපු ලිපියක් බව ඔබ දන්නවාද? 

සාක්ෂිකාරිය ; ඒක බලන්න ඕනා ස්වාමීනී. (සාක්ෂිකාරියට පැ 66 ලේඛනය පෙන්වයි. )

ජනාධිපති නීතිඥවරයා ; එම ලිපිය මගින් පැහැදිලිව දන්වා  තිබෙනවා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී ප්‍රමාදයක් තිබෙනවා, එය වළක්වන්න කටයුතු කරන්න කියලා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට වෙන්කළ මුදල් ඖෂධ මිලදී ගැනීම සඳහා භාවිතා වීම අඩුවක් තිබෙන නිසා එය වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්න කියලත් එහි සඳහන් වෙනවා නේද? 

සාක්ෂිකාරිය ; එහෙම නෙවෙයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට වෙන්කළ ඩොලර් මිලියන 34 ක මුදල සම්පූර්ණයෙන්ම පුද්ගලික අංශයට දෙන්න කියලයි එහි තිබෙන්නේ. 

ජනාධිපති නීතිඥවරයා ; කැබිනට් මණ්ඩලය ගත්තු තීරණය ක්‍රියාත්මක කළ යුත්තේ  කව්ද කියලත් එහි සඳහන් වෙනවා නේද? 

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී 

ජනාධිපති නීතිඥවරයා ; ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හිඟ ඖෂධ මිලදී ගැනීමට, එනම් ඒ සමග තිබෙන ලැයිස්තුවේ සඳහන් ඖෂධ මිලදී ගැනීමට නේද එම සාකච්ඡාව පවත්වා තිබෙන්නේ? 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; හිඟ බෙහෙත් ලැයිස්තුවක් ගැන එහි සඳහන් නෑ...

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ; ඒ ඖෂධ ලැයිස්තුව ඕකට අමුණා තියෙන්නේ මාස තුනකට අවශ්‍ය බෙහෙත් ලබා ගැනීමට පියවර ගන්නා ලෙසත්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව බයි බැක් (buy back) ක්‍රමය යටතේ ඒවා මිලදී ගන්නා සහතිකයක් එයට ඇතුළත් නේද? 

සාක්ෂිකාරිය ; මේ සටහන පළමු වතාවට මම දැක්කේ අදයි. මේ ගැන මට මතක නැහැ. 

ජනාධිපති නීතිඥවරයා ; අමතක වෙන නිසා නේද සටහන් තබා ගන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දන්වා  තිබෙනවා ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව සකස් කරන ලෙසටත් ඖෂධ පුද්ගලික අංශයෙන් මිලදී ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමටත් එමඟින් උපදෙස් දීලා තිබෙනවා නේද? 

සාක්ෂිකාරිය ; මම තීරණ ගන්නේ නැහැ. කැබිනට් පේපර් හදන්න මගේ සම්බන්ධතාවයක් නෑ.

ජනාධිපති නීතිඥවරයා ; ඔබ එම රැස්වීමට ගියාට පැත්තකට වෙලා නිකන් බලාගෙන හිටියාද? ඔබ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ අනුකමිටුවේ සභාපතිවරිය ලෙස නේද එම රැස්වීමට සහභාගි වුණේ. ඔබ සක්‍රීය තනතුරට අදාළව නේද ඒකට සහභාගී වුණේ? 

සාක්ෂිකාරිය ; මම අනුකමිටුවේ සභාපතිනිය ලෙස මගේ වගකීම ඉටුකළා. ආරාධනා කරපු නිසා  ගියා. එහිදී ගත්තු තීරණ තමයි ඔය ඇතුලත් කරලා  තිබෙන්නේ. 

ජනාධිපති නීතිඥවරයා ; සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ විෂය පථය කුමක්ද? එතුමා එම රැස්වීමට සහභාගි වුණානේ? 

සාක්ෂිකාරිය ; මම දන්නා පරිදි අපේ අධීක්ෂණ නිලධාරියා ඔහු. එහිදී එතුමාගේ ලොකු දායකත්වයක් අවශ්‍ය වුණේ නැහැ. 

ජනාධිපති නීතිඥවරයා ; එම සාකච්ඡාවෙන් පසු කැබිනට් පත්‍රිකාවක් ගොනුකළ බව ඔබ දන්නවාද?

සාක්ෂිකාරිය ; මම දන්නේ නෑ. 

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12කට එරෙහිව ගොනුකර ඇති එම නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී පැවැත්විණි. 

හයවන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙනුවෙන් පෙනී සිටි. නීතිඥ සත්‍යජිත් මුණසිංහ මහතා එම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය. 

නීතිඥ සත්‍යජිත් මුණසිංහ මහතා ; ඖෂධ සැපයුම්කරු හෝ ආනයනකරු විසින්ද ඊට අදාළ ලේඛන ඔබගේ අනුකමිටුවට ඉදිරිපත් කළ යුත්තේ? 

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් සිදු කරන සැපයීම්වලදී එම ආයතනය විසින් ඊට  අදාළ ලේඛන ඉදිරිපත් කළ යුතුයි. 

හත්වන විත්තිකාර වෛද්‍ය සැපයුම් ඒකකයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ධර්මසිරි රත්න කුමාර හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනුෂ් රන්දෙනිය මහතා එම සාක්‍ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය. 

නීතිඥ දිනුෂ් රන්දෙනිය මහතා ; ඔබතුමිය හත්වන විත්තිකරු රාජකාරී නිවාඩු ලබා සිටියදී වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයේ රාජකාරී ආවරණය කළ නිසා ඒ පිළිබඳව අවබෝධයක් ඇතිනේ? 

සාක්ෂිකාරිය ; අධ්‍යක්ෂවරයාට තරම් දැනුමක් නෑ. නමුත් යම් අවබෝධයක් තිබෙනවා. 

විත්තියේ නීතිඥවරයා ; ඉන්දියානු ණය යෝජනා ක්‍රමයට අදාල ඖෂධ අනුකමිටුවේ සභාපතිණිය ලෙස ඔබතුමිය කටයුතු කරන විට හත්වන විත්තිකරුගෙන් ඔබට ලිපියක් ලැබුණානේ? 

සාක්ෂිකාරිය ; එවා තිබෙන්න පුළුවන් දැක්කොත් අඳුර ගන්න පුළුවන්. මෙම ලිපියට මම පිළිතුරු යවා තිබෙනවා. 

සභාපති විනිසුරුවරයා ; එම ලිපිය සාක්ෂිකාරියට බලන්න දෙන්න. මුල් ලේඛනය තිබෙනවාද කියලා අහන්න (සාක්ෂිකාරියට එම ලිපිය ඉදිරිපත් කරයි) 

සාක්ෂිකාරිය ; මේකේ මගේ අත්සන තිබෙනවා. (විත්තියේ නීතිඥවරයා එම ලිපිය 7 වි 1 ලෙස ලකුණු කරයි.) 

විත්තියේ නීතිඥ ; ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංකාවට ඖෂධ ආනයනය කිරීමට අදාල දින වෙනස්වීම මත 2023.01.31 වන දිනට පෙර ඖෂධ ගෙන්වා ගැනීම පිළිබඳවනේ ඉන් කරුණු ඉල්ලා තිබෙන්නේ ? 

සාක්ෂිකාරිය ; ඔව් 2022 සැප්තැම්බර් මාසය වන විට කාලය ඉකුත් වීමට තිබුණේ. මාස හතරක පමණ කාලයක් නිසා 2023 ජනවාරි 31 වන දිනට පෙර ඖෂධ ආනයනය කිරීමට හැකිනම් පමණක් ඉන්වොයිස් පත්‍ර ඉදිරිපත් කරන්න කියලයි ඉන් පැහැදිලි කර තිබෙන්නේ. මාස හතරකින් ඖෂධ ආනයනය කිරීමට අපහසුයි. නමුත් සමහර අවස්ථාවලදී සති දෙකක් තුළත් හදිසි ඖෂධ ආනයනය කිරීම් සිදුවන අවස්ථා තිබෙනවා. 

නීතිඥ දිනුෂ් රන්දෙනිය මහතා ; ජනවාරි 31 වැනිදාට පෙර ඖෂධ ආනයනය කරන්න බැරි නම් ඉන්වොයිස් බාරගන්න එපා කියලා එම ලිපියේ සඳහන් කර තිබෙනවාද? 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මම ඒ ප්‍රශ්නයට විරුද්ධයි.

විත්තියේ නීතිඥ ; ඊට පසු ඔබ ඒ ලිපිය පිළිබඳව සොයා බැලුවාද? පසු විපරමක් කලාද? 

සාක්ෂිකාරිය ; මට මතක නෑ 

විත්තියේ නීතිඥ ; ඔබට වගකීමක් තිබෙනවා නේද ඔබ ඉදිරිපත් කළ ලිපියට ගත් පියවර පිළිබඳව සොයා බලන්න? 

සාක්ෂිකාරිය ; මට මතක නෑ පසු විපරමක් කළාද කියලා. 

විත්තියේ නීතිඥ ; මා ඔබට යෝජනා කරනවා, ඔබ ඔබගේ වගකීම ඉටුකර නැති බවට.

සාක්ෂිකාරිය ; මම මගේ වගකීම උපරිමයෙන් ඉටුකර තිබෙනවා. 

විත්තියේ නීතිඥ ; පැ 190 ලිපිය මගින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා කියා තිබෙන්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ආනයනයට අදාළ ඉල්ලුම්පත්‍ර ඒ වන විටත් ලැබෙමින් පවතින නිසා එම සංස්ථාව වෙනුවෙන් වෙන් කළ මුදල් භාවිතා කළ හැකි ප්‍රමාණය නිශ්චිතව කියන්න අපහසුයි කියන කාරණය නේද? 

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී 

විත්තියේ නීතිඥ ; එලෙස ඇනවුම් කරන්නේ වසරක කාලයකට ප්‍රමාණවත් ඖෂධ කියා මා යෝජනා කළොත් ඔබ පිළිගන්නවාද? 

සාක්ෂිකාරිය ; වසරකටද දෙකකටද කියන කාරණය මට අදාල නෑ. නොදන්න නිසා මට ඒකට හරියටම පිළිතුරු දෙන්න බෑ. 

විත්තියේ නීතිඥ ; ඒවා හදිසි මිලදී ගැනීම් කීවොත් ඔබ පිළිගන්නවාද? 

සාක්ෂිකාරිය ; පිළිගන්නවා 

මෙම අවස්ථාවේ දී එම සාක්ෂිකාරිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට 2024.01.29 වැනිදා දෙවන වරට ලබා දුන් සාක්ෂිය පිළිබඳව සාක්ෂිකාරියගෙන් නැවත හරස් ප්‍රශ්න ඇසීමට විනිසුරු මඩුල්ල විත්තියට අවස්ථාව ලබා දුන්නේය. 

විත්තියේ නීතිඥ අසේල සේරසිංහ මහතා ; ඔබගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2024.01.29 වැනිදා ප්‍රකාශ සටහන් කර ගත්තෙත් ඉන්දියානු ණය යෝජනා ක්‍රමයට අදාළ ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියට අදාළවනේ. ඔබ එදින ඊට අදාල ගැනීම් සටහන් සී අයි ඩී එකට දුන්නාද?  

සාක්ෂිකාරිය ; ඔව්... මට ඒ ගැන පැහැදිලි කිරීමක් කිරීමට අවශ්‍යයි. සී අයි ඩීය මගෙන් ගැනීම් සටහන් ඉල්ලපු නිසා මම ප්‍රධාන සම්බන්ධීකරණ කාර්යාලයට දුරකථනයෙන් කතා කතා කර ලබාගත් තොරතුරු මත සකස් කළ ගැනීම් සටහන් තමයිි දුන්නේ. ඒ නිසා මට එම සටහන් ගැන පිළිතුරු දෙන්න පුළුවන් ටිකක් ගැන විතරයි. සම්බන්ධීකරණ කාර්යාලය තමයි වැඩිදුර තොරතුරු දන්නේ. 

විත්තියේ නීතිඥ ; ඔබ ඒ ගැන සී අයි ඩී යට කීවාද ? 

සාක්ෂිකාරිය ; මගෙන් ඒ ගැන ඇහැව්වේ නෑ. චාර්ට් එක විතරයි ඉල්ලුවේ. 

විත්තියේ නීතිඥ ; ඔබ ඔය සාක්ෂි දෙන්නේ, ඖෂධ අනු කමිටුවේ සභාපතිනිය ලෙස නේද? 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මම ඒ ප්‍රශ්නයට විරුද්ධයි 

සභාපති විනිසුරු ; දන්නවද නැතිද කියලනේ ඇහුවේ. 

විත්තියේ නීතිඥ අසේල සේරසිංහ මහතා ; ඒක මගේ විෂය පථය නෙමෙයි මට මතක නෑ කියලා කියන්නේ ඔබ එම තනතුරේ රාජකාරී කළ වසර දෙකට අදාල රාජකාරියේ සමහර දේවල් නිශ්චිතවම දැන් මතක නෑ කියන එකද? 

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී 

නම වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි, නීතිඥ රහුල් ජයතිලක මහතා ; 2024.01.29 වැනිදා, සී අයි ඩී යට ඔබ ලබා දුන්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ආනයනයට අදාළවනේ ? ඔබගේ අනුකමිටුවෙන් ප්‍රසම්පාදන කටයුතු සිදු කරන්නේ නෑ. ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අදාල ලේඛන සැපයුම්කරු විසින් ඉදිරිපත් කළ යුතු බවට ඊට පෙර ඔබ ලබා දුන් ප්‍රකාශයේ තිබෙනවා. ඒක හරිද කියලා සී අයි ඩීය ඔබගෙන් අසා තිබෙනවා.  ඔබ පිළිගෙන තිබෙනවා ඒක නිවැරදි බවට. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මම එම ප්‍රශ්නයට විරුද්ධයි 

විත්තියේ නීතිඥ ; ඔබ සී අයි ඩී යට කිසිදු අවබෝධයකින් තොරව සැපයුම්කරුවන් සම්බන්ධයෙන් ඔවුන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දී ඇති බව මා යෝජනා කරනවා. 

සාක්ෂිකාරිය ; මම ඒක පිළිගන්නේ නෑ 

විත්තියේ නීතිඥ ; පෙර සකස් කරගෙන පැමිණි සටහන් අනුව ඔබ සී අයි ඩී යට ප්‍රකාශ ලබාදී ඇති බව මා යෝජනා කරනවා.

සාක්ෂිකාරිය ; නෑ මම එය පිළිගන්නේ නෑ. 

විනිසුරු විරාජ් වීරසූරිය මහතා ; ඔබ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ප්‍රසම්පාදන කටයුතු වලට සම්බන්ධ වී තිබෙනවාද? 

සාක්ෂිකාරිය ; දැනට මාස දෙකකට පමණ පෙර සිට මම එකී ප්‍රසම්පාදන කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කරනවා. 

විනිසුරු විරාජ් වීරසූරිය මහතා ;  පැ 179 සිට පැ 208 දක්වා වූ 2022.03.24 සිට 2023.02.03 දක්වා වූ ඖෂධ අනුකමිටු සටහන් පිළිබඳව ඔබ සාක්ෂි දුන්නා. ඒවායේ මුල් ලේඛන තිබෙනවාද? 

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී ඒවායේ මුල් පිටපත් ගොනුවල තිබෙනවා ඡායාස්ථ පිටපත් මගින් තමයි මම සාක්ෂි දුන්නේ. 

මෙම අවස්ථාවේ දී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විත්තියේ නීතිඥවරුන් විසින් ඇය මාර්ගයෙන් අධිකරණය හමුවේ විත්තියේ සාක්ෂි ලෙස ඉදිරිපත් කරන ලද ලේඛන සම්බන්ධයෙන් හා ඔවුන් අසන ලද හරස් ප්‍රශ්න සම්බන්ධයෙන් සාක්ෂිකාරියගෙන් නැවත ප්‍රශ්න ඇසීම ආරම්භ කළාය. 

තමන් විත්තියේ නීතිඥවරුන් විසින් අසන ලද සමහර හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙනු  ලැබුවේ සිය පෞද්ගලික දැනුම අනුව බවත් සමහර අවස්ථාවලදී හරස් ප්‍රශ්න නිසියාකාරව තේරුම් නොගෙන පිළිතුරු ලබාදුන් බවත් සාක්ෂිකාරිය එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ නැවත ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසුවාය. එමෙන්ම සමහර අවස්ථාවලදී සිය මතකය අනුව තමා හරස් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් බවද සාක්‍ෂිකාරිය අධිකරණය හමුවේ සත්‍ය ප්‍රකාශ කරන බවට ප්‍රතිඥා දෙමින් හයවන දිනටත් සාක්ෂි දෙමින් පැවසුවාය 

නීතිඥ අසේල සේරසිංහ මහතා ; මගේ උගත් මිතුරිය නැවත ප්‍රශ්න නැගීමේ දී මම හරස් ප්‍රශ්න නොඅසන ලද කරුණු සම්බන්ධයෙන්ද සාක්ෂිකාරියගෙන් නැවත ප්‍රශ්න නගමින් කීප වරක්ම විමසුවා. මම කැමති නෑ පැමිණිල්ලට බාධා කරන්න. පැමිණිල්ලට අවශ්‍ය ප්‍රශ්නයක් නැගීමේ අයිතිය තිබෙන එක ඇත්ත. නමුත් එය නියමිත රාමුව තුළ සිට කළ යුතුයි. 

වෛද්‍ය සැපයුම් අංශයේ පවත්වාගෙන යා යුතු අපේක්ෂිත ඖෂධ තොග පිළිබඳව සාක්ෂිකාරිය විත්තියෙන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙනු ලැබුයේ නිශ්චිත දැනුමක් මත දැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී සාක්ෂිකාරියගෙන් නැවත ප්‍රශ්නයක් ඇසුවාය. 

සාක්ෂිකාරිය ; ස්වාමීනි, තොග හා ඇස්තමේන්තු යන වචන දෙක පටලවාගෙනයි. මම එම හරස් ප්‍රශ්නවලට පිළිතුරු දීලා තියෙන්නේ. ඒ අවස්ථාවේ තිබූ මගේ දැනුමේ හැටියටයි. එහෙම කීවේ. 

සභාපති විනිසුරුවරයා ; තොග ප්‍රමාණය වැඩි කරලා කියන්න පදනම මොකක්ද ? 

සාක්ෂිකාරිය ; මම අවබෝධ කරගත් ආකාරයටයි සාක්ෂි දුන්නේ. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විත්තිය නැගූ හරස් ප්‍රශ්නයකට අදාළව ලබාදුන් සාක්ෂියක් ඉස්මතු කරමින් නැවත ප්‍රශ්නයක් නැගූ විට තමා ලබා දුන් එකී පිළිතුරු නිවැරදිද යන බව නිශ්චිතවම නොදන්නා බවත් තමා තේරුම් ගත් ආකාරයට පිළිතුරු දුන් බවත් සාක්ෂිකාරිය පැවසුවාය. 

දස වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ; නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය නැවත ප්‍රශ්න නගන ආකාරය ඉතාමත් වැරදියි.

මෙම අවස්ථාවේ දී සාක්ෂිකාරිය අධිකරණ ශාලාවෙන් පිටතට යැව් විනිසුරු මඩුල්ල ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වීමට ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතාට අවසර ලබා දුන්නේය. 

ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ; උතුමාණෙනි මෙම සාක්ෂිකාරියට පෙර සාක්ෂි ලබා දුන් සාක්ෂියකට අදාළවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම සාක්ෂිකාරියගෙන් නැවත හරස් ප්‍රශ්න නගනවා. (නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ජනාධිපති නීතිඥවරයාගේ කරුණු දැක්වීමට බාධා කරමින් අදහස් ප්‍රකාශ කිරීම සිදුකරයි) 

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; ඉඩ දෙන්න ඉඩ දෙන්න එතුමාට බාධා කරන්න එපා.  මෙතන මාධ්‍යවේදීනුත් ඉන්නවා. 

ජනාධිපති නීතිඥවරයා ; නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඇගේ තනතුරටත් නොගැලපෙන ලෙස අධිකරණය හමුවේ හැසිරෙනවා. 

(නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අසුනින් නැගිට නැවතත් බාධා කරමින් අදහස් දැක්වීම සිදුකරයි) 

සභාපති විනිසුරු; සිට් ඩවුන් සිට් ඩවුන් 

ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ; පැමිණිල්ල මෙම සාක්ෂිකාරියගෙන් අසත්‍ය ප්‍රකාශ ලබාගන්න උත්සාහහ කරනවා. නැවත ප්‍රශ්න අහන්න පටන් ගත් අවස්ථාවේදී සිටම අවස්ථා කීපයකදීම එහෙම අසත්‍ය ප්‍රකාශ ලබාගන්න ඇය උත්සාහ  කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේකට ඉඩදෙන්න එපා ස්වාමීනී.

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; එතුමා කරුණු දක්වන්නේ අධිකරණයටමයි අපි ඒක බලා ගන්නම්. ඔබතුමිය වාඩිවෙන්න වාඩිවෙන්න. 

අධිකරණ ශාලාවෙන් පිටතට යැව් සාක්‍ෂිකාරිය නැවත විවෘත අධිකරණය හමුවට කැඳවා දිවුරුම් ලබාගෙන නැවත ප්‍රශ්න ඇසීමට විනිසුරු මඩුල්ල පැමිණිල්ලට අවසර දුන්නේය.

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; එතුමියගෙන් විත්තිය ඇසුවා ඔබ 2024.01.29 වැනිදා දෙවන වරට සී අයි ඩී යට ලබා දුන් ප්‍රකාශය ගැන. එහි සඳහන් වෙනවා එදින 12.45ට ප්‍රකාශ සටහන් කිරීම ආරම්භ කොට 12.30 අත්සන් තබා ඇති බව.

(මෙම අවස්ථාවේදී සාක්ෂිකාරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් එම ප්‍රකාශය පෙන්වා නැවත ප්‍රශ්න ඇසීමට නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය කළ ඉල්ලීම විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කළේය) 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබට මතකද එම ප්‍රකාශයට අත්සන් තැබූ වෙලාව ගැන. ඔබ අත්සන් තැබුවේ ප්‍රකාශය අවසානයේදීද? අත්සන් තැබීම විතරද ඔබ කළේ?

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී මම අවධානය යොමු කළේ මට ලබා දුන් ප්‍රකාශයේ අන්තර්ගතය ගැන විතරයි. මම ඒක කියවා බැලුවා. ඊට පසු අත්සන තැබුවා. නමුත් අත්සන් තැබූ වෙලාව ගැන මතක නෑ. වෙලාව ගැන මම අවධානයක් යොමු කළේ නෑ. 

වැඩිදුර සාක්ෂි විභාගය ලබන 26 වැනිදා පෙරවරු 10.00 දක්වා කල්තැබූ අතර වැඩිදුර නැවත ප්‍රශ්න ඇසීම සඳහා හත්වන දිනටත් එම සාක්ෂිකාරියට අධිකරණය හමුවේ. පෙනී සිටින ලෙසට විනිසුරු මඩුල්ල අවවාද කළේය.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0