නීතිපති මාධ්‍යවලට ඔරවයි...

පසුකාලීනව මෙම නඩුවේ විත්තිය වෙනුවෙන් ලංකාවේ ප්‍රවීණතම නීතිවේදීන් දොළොස් දෙනෙක් හා පැමිනිල්ල, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ලෙස ශ්‍රී ලංකාවේ සිටින අත්දැකීම් බහුල උගත් රූමත් තරුණ නීතිඥවරියක් තනිව උසාවියේ “හබවන” ආකාරයේ උණුසුම නිසා එම නඩුකරය කෙරෙහි සමාජයේ අවධානය වඩ වඩාත් යොමු විය. ජනමාධ්‍යවල උනන්දුව ඒ කෙරෙහි වැඩිපුර යොමු වන්නට වූයේද එ් නිසාය..

Mar 4, 2026 - 13:45
 46
නීතිපති  මාධ්‍යවලට  ඔරවයි...

නීතිපති 

මාධ්‍යවලට 

ඔරවයි...

ශිෂ්ටසම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී යුක්තිගරුක සමාජයක “ජනමාධ්‍යය” යනු බල සම්පන්න ආරක්ෂක පද්ධතියක් වැනිය. බොහෝ දෙනා මෙය විග්‍රහ කරන්නේ මාධ්‍යවේදියා සමාජයේ “මුරපල්ලාගේ රාජකාරිය” ඉටු කරනවා යයි කියා ය.


සමාජයට පිටස්තරින් අවැඩක් සිද්ධ වන්නේ නම් හෝ එම සමාජය නියමිත සම්මත ව්‍යූහයෙන් පිට පැන වෙන වෙනත් මූලධර්ම හා න්‍යායපත්‍රයන් මත ක්‍රියාත්මක වන්නේ නම් දිවා රැයේ නෙතු නොසලා ඒ දෙස බලා සිටින්නේද මාධ්‍යයි... එය රටට පෙන්වා දෙන්නේද මාධ්‍යයයි.


මාධ්‍ය නැති සමාජයක “වරදකට” වරදක් යැයි අර්ථ දක්වන්නට සේම, වැරදි නැති සමාජයක් පසසන්නට ද, එම සමාජයට “උත්තේජන” සපයන්නටද වෙන කිසිත් ආයතන ව්‍යූහයක් නැත. අන්න ඒ නිසා සමාජ ප්‍රගමනය කෙරෙහි “මාධ්‍යකරණය” ඉතා වැදගත් වේ...


මේ දිනවල කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ දිනපතා විභාග කෙරෙන හියුමන් ඉමියුනෝග්ලොබියුලින් (Human Immunoglobulin) සහ රිටක්සිමැබ් (Rituximab) ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුව ආරම්භයේදී අපේ රටේ ජනමාධ්‍යවල අවධානය ඒ කෙරෙහි තදින් යොමු වී තිබුණේ නැත...


එහෙත් පසුකාලීනව මෙම නඩුවේ විත්තිය වෙනුවෙන් ලංකාවේ ප්‍රවීණතම නීතිවේදීන් දොළොස් දෙනෙක් හා පැමිනිල්ල, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ලෙස ශ්‍රී ලංකාවේ සිටින අත්දැකීම් බහුල උගත් රූමත් තරුණ නීතිඥවරියක් තනිව උසාවියේ “හබවන” ආකාරයේ උණුසුම නිසා එම නඩුකරය කෙරෙහි සමාජයේ අවධානය වඩ වඩාත් යොමු විය. ජනමාධ්‍යවල උනන්දුව ඒ කෙරෙහි වැඩිපුර  යොමු වන්නට වූයේද එ් නිසාය..


අද වන විට මේ රටේ මාධ්‍ය ගණනාවක් එම නඩුකරයේ උණුසුම් පුවත් හා විස්තර සමාජයට වාර්තා කරන්නට පටන්ගෙන ඇත්තේය. දවසින් දවස එම නඩුකරය අහන්නට දකින්නට මාධ්‍යවේදීන් එන ප්‍රමාණය වැඩි වෙමින් පවතියි. ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ මෙම නඩුකරය විභාග වන ආකාරය පිළිබඳ නිරීක්ෂණද ජන මාධ්‍ය විටින් විට වාර්තාකරණයට ලක් කරයි. 


මෙම වාර්තාකරණයේදී ජනමාධ්‍ය විසින් අවධානය අවධානයට ලක් කළ එක් නිරීක්ෂණයක් වූයේ මේ නඩුකරය නියමිත අධි චෝදනා 13ට අදාළ නෛතික මාවතේ ගෙන යනවා වෙනුවට වෙන වෙනම ප්‍රස්තුත ඔස්සේ නඩුකරය ගෙනයමින් පැමිණිල්ල මෙහෙයවීමට නීතිපති දෙපාර්තමේන්තුව දරන උත්සාහයයි.


මෙම නඩුකරයට විෂය වන ඖෂධ වර්ග වන්නේ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් (Human Immunoglobulin) සහ රිටක්සිමැබ් (Rituximab) යන ඖෂධ දෙකයි. නඩුකරයට අදාළ ඖෂධ ගෙන්වන සමාගම වන්නේද “අයිසොලෙක් බයෝටෙක් ෆාමා”සමාගමයි. එහෙත් අවස්ථා ගණනාවකදීම “සැවරීට් ෆාමසෝටිකල්” වැනි සමාගම විසින් ගෙන්වන ලද මෙම නඩුවට අදාළ නැති වෙන වෙනත් ඖෂධ වර්ග හා එම ඖෂධ සමාගමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දු මෙම නඩුකරයේ සාක්ෂිකරුවන් මගින් උසාවියේ ලේඛන අතරට එක් කරන්නට උත්සාහා දරමින් විනිසුරු තුමන්ලාගේ අනවශ්‍ය අවධානයක් ලබාගන්නට උත්සාහ කරන්නේ ඇයි...


මාධ්‍ය මගින් පසුගිය දිනවල මේ පිළිබඳ බරපතළ ලෙස ප්‍රශ්න කරන අයුරු අපට මතකය... 


නීතිපති දෙපාර්තමේන්තුව මෙම නඩුකරයේ පැමිණිල්ල මෙහෙයවමින් විත්තියේ නීතිඥයින්ට හරස්වන ආකාරය පිළිබඳ ද නිරතුරුවම ප්‍රශ්න ඇති විය. විත්තියේ නීතිඥවරුන්ගේ චෝදනාව වූයේ තමන් සාක්ෂිකරුවන්ගෙන් නො අසනා ලද කාරණා ප්‍රශ්න ලෙස හුවා දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුව නැවත නැවත ප්‍රශ්න කරවීම පුරුද්දක් කරගෙන ඇති බවය...


පසුගිය තුන්වනදා මෙම කාරණාව සම්බන්ධයෙන් මහාධිකරණයේදී මහත් ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් මතු විය... ප්‍රශ්නය මතුකළ විත්තියේ නීතිඥ අසේල සේරසිංහ මහතා ;
“මම අහපු නැති හරස් ප්‍රශ්නත් මම ඇහුවා කියලා පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්තුමිය සාක්ෂිකරුගේන් අහනවා. පැමිණිල්ල කියන ජාතියේ ප්‍රශ්න මම සාක්ෂි කාරියගෙන් අහලා නෑ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය දිගින් දිගටම නැවත ප්‍රශ්නවලදී ප්‍රශ්න විමසන ආකාරය ගැන විරුද්ධයි. එතුමිය එලෙස ප්‍රශ්න ඇසීම විත්තියට කරන දැඩි අසාධාරණයක්....”


එවිට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය උත්තර දෙමින්... ;  
“විත්තියේ නීතිඥ මහත්මයා එහෙම සාක්ෂියක් සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න අසමින් ඇසුවත් මෙතන මාධ්‍ය ඉන්න නිසා ඒවා මාධ්‍යයේ පළ කරන්නයි මෙහෙම මගේ ප්‍රශ්න වලට නැවත නැවතත් විරුද්ධත්වය දක්වන්නේ...


මෙම අවස්ථාවේදී අටවෙනි විත්තිකාර කෙහෙලිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටින්න නීතිඥ නයන්ත විජේසුන්දර මහතා.. ;

“ජනමාධ්‍යවේදීන් කරන්නේ ඔවුන්ගේ කාර්යභාරය. ඔවුන් වාර්තාකරන්නේ අධිකරණය තුළ සිදුවන දේවල්... පැමිණිල්ලේ නීතිඥවරිය ජනමාධ්‍යවේදීන්ට සම්බන්ධ කරලා එහෙම කරුණු දැක්වීමම සුදුසු නෑ...”


මේ දෙබස තුළින් පෙනී ගියේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය, ජනමාධ්‍යයන් පැමිණ මෙම නඩුකරය වාර්තා කිරීම සම්බන්ධයෙන් සිය නොසතුට පළ කරමින් සිටින බව ය...


එසේම නීතිපති දෙපාර්තමේන්තුව නිතර නිතර සාක්‍ෂිකරුවන් මෙහෙයවීම හා ඔවුන්ට උපදෙස් දීම සම්බන්ධයෙන්ද එදින විනිසුරුතුමන්ලාගේ දැඩි අවධානය යොමු විය... දස වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතාගේ පෙන්වාදීම වූයේත් නීතිපති දෙපාර්තමේන්තුව සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කරන බවයි...

එම නිසා විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුතුමන්, ප්‍රියන්ත ලියනගේ මැතිතුමන් සාක්ෂි දීම සඳහා පැමිණ සිටි මහාචාර්යවරියට දිවා විවේක කාලයේදී නීතිපති දෙපාර්තමේන්තුව සමග කිසිදු සාකච්ඡාවක් සම්බන්ධතාවයක් නොපවත්වන ලෙස අවවාදයක්ද කරනු ලැබීම විශේෂ කරුණක් ලෙස මාධ්‍යවල අවධානයට ලක් විය...


මීට පෙර අවස්ථාවකදීත් විත්තියේ නීතිඥවරුන්ගේ චෝදනාව වූයේ යම් යම් සාක්ෂිකරුවන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණි නීතිඥවරියගේ මුහුණ දෙස නිතර නිතර බලමින් බිය මුසු හැඟීමකින් යුතුව සාක්ෂි ලබාදෙන බවයි. නීතිපති දෙපාර්තමේන්තුවේ බලපෑම ඒ තරම් ප්‍රබල බව එම නීතිඥයා මීට දින කිහිපයකට කලින් ගරුතර අධිකරණයේ ඔප්පු කර පෙන්වූවා අපට මතකය...


මෙම නඩුකරය ජන මාධ්‍යයන්හි අවධානය දිනෙන් දිනම වැඩිපුර යොමු කරගන්නා නඩුකරයක් වෙමින් පවතින බවසැබෑය. එය නීතියේ විධිනියාම අනුව  සිදුවන්නේ නම් එය කිසිවෙකුටත් ගැටළුවක් විය නොහැකිය. ජන මාධ්‍ය නිදහස වූ කලී ජනතාවගේ ඇත්ත දැන ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. ගරුතරයක් අධිකරණයද ඒ අයිතියට ගරු කරමින් යුක්තිය පසිඳවන බව එම අවස්ථාවේදී ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා කරන ලද මෙම ප්‍රකාශයෙන්ම පැහැදිලය

“තම අධිකරණය විසින් සලකා බලනුයේ අධිකරණය හමුවේ ඉදිරිපත් වන සාක්ෂි, ලේඛන හා දෙපාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත් කරනු ලබන කරුණු මිස “ජනමාධ්‍ය” හෝ වෙනත් පාර්ශ්ව නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන වෙනත් කරුණු නොවේ...” 


කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12  දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති “ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුවේදී” කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (3 වනදා) පැවසීය. 


එබැවින් නඩුකරයට පාදක වූ කරුණු මිස වෙනත් අනවශ්‍ය කරුණු ගැන අධිකරණය හමුවේදී කරුණු දැක්වීමට  පැමිණිල්ල මෙන්ම විත්ති පාර්ශ්වයද වග බලා ගතයුතු බවටද සභාපති විනිසුරුවරයා දෙපාර්ශවයේ නීතිඥවරුන්ට අවවාද කළේය. 


එම නඩුවේ 37 වන පැමිණිල්ලේ සාක්ෂිකාරිය ලෙස කැඳවා තිබූ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මියගෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය නැවත ප්‍රශ්න අසමින් ඉදිරිපත් කළ ප්‍රශ්නයක් පිළිබඳව දෙවන විත්තිකරු වෙනුවෙන්  පෙනී සිටි නීතීඥ අසේල සේරසිංහ මහතා විරුද්ධත්වය දැක්වීය. 


නීතිඥ අසේල සේරසිංහ මහතා  ; නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මම මෙම සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න  නඟනවා. මම මෙහෙම  ඇසුවා ඒකට ඇය උත්තර දුන්නේ කියලා මම අහපු  නැති හරස් ප්‍රශ්නත් මම ඇසුවා කියලා පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සාක්ෂිකාරියගෙන් ඇසුවා.  පැමිණිල්ල කියන ආකාරයේ ප්‍රශ්න මම සාක්ෂිකාරියගෙන් ඇසුවේ නෑ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය දිගින් දිගටම නැවත ප්‍රශ්නවලදී ප්‍රශ්න විමසන ආකාරය ගැන විරුද්ධයි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ එලෙස ප්‍රශ්න ඇසීම විත්තියට කරන දැඩි අසාධාරණයක්. 


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; විත්තියේ නීතිඥ මහත්තයා එහෙම සාක්ෂියක් සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න අසමින් ඇසුවත් මෙතන මාධ්‍ය ඉන්න නිසා ඒවා මාධ්‍යයේ පළ කරන්නයි මෙහෙම මගේ නැවත ප්‍රශ්න වලට විරුද්ධත්වය දක්වන්නේ. 


අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි, නීතිඥ නයන්ත විජේසුන්දර මහතා ; ජනමාධ්‍යවේදීන් කරන්නේ ඔවුන්ගේ කාර්යභාරය ඔවුන් වාර්තා කරන්නේ අධිකරණය තුළ සිදුවන දේවල් පැමිණිල්ලේ නීතිඥවරිය ජනමාධ්‍යවේදීන්ට සම්බන්ධ කරලා කරුණු දැක්වීම සුදුසු නෑ. 


නීතිඥ අසේල සේරසිංහ මහතා ;  හරි මීට පස්සේ කිසිම කරුණක් ගැන විරෝධතා නගන්නේ නෑ. පැමිණිල්ලේ නීතිඥවරියට ඕන විදිහටම කරුණු දක්වන්න ඉඩ දෙන්න. 

එම අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය හා විත්තියේ නීතිඥවරුන් ඇමතු සභාපති විනිසුරුවරයා පෙර කී කරුණු දැක්වීම සිදුකර එම අවවාදය කළේය.


දිවා විවේකය සඳහා අධිකරණ කටයුතු තාවකාලිකව නැවැත් වූ අවස්ථාවේ දී එම සාක්ෂිකාරියට පැමිණිල්ල සමග එනම් නීතිපති දෙපාර්තමේන්තුව සමග යළි අධිකරණ කටයුතු නැවත ආරම්භ කරනතුරු සම්බන්ධතාවයක් නොපවත්වන ලෙසටත් දිවා ආහාරය ගැනීම සඳහා පිටත්ව යන්නේ නම් අධිකරණ පොලිස් නිලධාරියා සමඟ පිටත් විය හැකි බවද විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා වැඩිදුරටත් සාක්ෂිකාරියට අවවාද කළේය. 


දස වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා එම අවවාදය කළේය. 


සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ශ්‍රී ලංකාවට ඖෂධ ප්‍රසම්පාදනය කිරීම සඳහා ගතවිය හැකි කාලය මාස කීපයක් හෝ සමහර විට වසර ගණනාවක් ගතවිය හැකි බව තුන්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසූ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය  චාන්දනී ගලප්පත්ති මහත්මිය කෙසේ නමුත් ඒ සඳහා ගතවිය හැකි කාලය සම්බන්ධයෙන් තමාට නිශ්චිතවම කිව නොහැකි බවද පැවසුවාය. 2022 ජූලි මස කැබිනට් මණ්ඩලය විසින් ගෙන තිබූ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඖෂධ ආනයනය කිරීමට අදාළව තමාට දැනුවත්භාවයක් නැතැයි ද පැවසූ මහාචාර්යවරිය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කිසිවකුත් ඖෂධ ප්‍රසම්පාදන කටයුතුවලට සම්බන්ධ නොවන බවද පැවසුවාය. 


නිසි ප්‍රමිතියෙන් යුත් ඖෂධ පවා ආනයනය කිරීමෙන් පසුව ඒවා නිසි උෂ්ණත්වය හා අනෙකුත් ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකර ගබඩාකොට තැබීමෙන් ද ඒවා භාවිත කරන රෝගීන්ට යම් යම් සංකූලතා ඇතිවිය හැකි බවද එහිදී පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසූ, එම සාක්ෂිකාරිය ඖෂධ භාවිතා කරන රෝගියාගේ පවතින අනෙකුත් කරුණුද එවැනි අසාත්මිකතාවලට හේතුවක් විය හැකි බවද පැවසුවාය. 

විත්තියේ නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා ; මහාචාර්යතුමිය මා ඔබට යෝජනා කළොත් අත කැසීම්, දහදිය දැමීම් වැනි සංකූලතා යම් ඖෂධයක් භාවිතා කරන රෝගියෙකුට ඇති වුනොත් එය සලකන්නේ අවම සංකූලතා ලෙසට යැයි කියලා. 


සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී.


විත්තියේ නීතිඥ හරේන්ද්‍ර භාණගල මහතා ; හියුමන් හිමියුනෝග්ලොභියුලීම් වැනි මානව සංඝටක උපයෝගී කරගෙන නිෂ්පාදනය කරන ජීව විද්‍යාත්මක ඖෂධ නිෂ්පාදනය කිරීම ගැන ලෝකයේ නීතිමය තත්ත්වය වෙනස් වී ඇති බව ඔබ දන්නවාද? යුරෝපය තුළ එවැනි නිෂ්පාදන තහනම් කර ඇති බව ඔබ දන්නවා යැයි මා යෝජනාා කළොත්?


සාක්ෂිකාරිය ; ඒක හරි 


හයවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; 2023 නම වන මස සිට ඔබතුමිය ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකාවක ලෙස කටයුතු කරනවා කීවා. ගුණාත්මක භාවයෙන් තොර ඖෂධ නිෂ්පාදනය කළොත් ඒවාට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව දන්නවාද?


සාක්ෂිකාරිය ; ඔව් 


විත්තියේ නීතිඥවරයා ; ඔබ සාක්ෂි දෙමින් කීවා 2023 වසරේ ජනවාරි මාසය තුළ දෙවරක් ඖෂධ නියාමන අධිකාරියේ ඔබ නියෝජනය කළ මෙක් කමිටුව (MEC) රැස්වුනා කියලා. ඒ කාලේ රට තුළ ලොකු ඖෂධ හිඟයක් තිබුණා. ඒ වගේම එය අප රට ආර්ථික අර්බුදයකට ලක්වී තිබූ කාලයක්. 


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ආර්ථික අර්බුදයක් පැවතුණා කියලා හරස් ප්‍රශ්න අහන්න බෑ. 


සභාපති විනිසුරුවරයා ; ඒක සරල විදිහට අහන්න.


විත්තියේ නීතිඥවරයා ; හරි මම මෙහෙම අහන්නම්. මම සදහන් කළ කාලේ ලංකාවේ දැඩි ඖෂධ හිඟයක් තිබූ බව මා යෝජනා කළොත් ඒ ගැන ඔබතුමිය දන්නවද? 


සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී. 


විත්තියේ නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට යම්කිසි ඖෂධයක් නිෂ්පාදනය කරන ඖෂධ නිෂ්පාදනාගාරයකට ගොස් පරීක්ෂා කිරීමේ අවසරය තිබෙනවා කියලා ඔබතුමිය කීවනේ. 2017 වසරේ සිට මේ දක්වා වූ කාලය තුළදී ලංකාවේ තිබෙන ඖෂධ නිෂ්පාදනාගාරයක් පරීක්ෂා කරන්න ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයෙක් නැත්නම් ජනාධිපති ලේකම්වරයෙක් සහභාගි වූ බව ඔබ දන්නවාද? එහෙම අත්දැකීමක් ඔබට තිබෙනවාද? 


(නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එම හරස් ප්‍රශ්නය නැගීම සම්බන්ධයෙන් විරුද්ධත්වය දක්වයි)


සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; නිසි කාලය ගැන සඳහන් කරලා ඒ ප්‍රශ්නය සරලව අහන්න. 


විත්තියේ නීතිඥවරයා ; එහෙම ජනාධිපති ලේකම්වරයෙක් ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සමග එවැනි ඖෂධ නිෂ්පාදනාගාරයක් පරීක්ෂා කරන්න ගිය බවට ඔබට අත්දැකීමක් හෝ දැනීමක් තිබෙනවාද?


සාක්ෂිකාරිය ; මම දන්නේ නැහැ.


විත්තියේ නීතිඥවරයා ; ඖෂධ සැපයුම් කරුවන් හා නිෂ්පාදනාගාර පිළිබඳව දත්ත ඖෂධ නියාමන අධිකාරිය සතුව තිබිය යුතු බව ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ සඳහන්නේ?


සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී 


විත්තියේ නීතිඥවරයා ; 2023 වසරේදී එම දත්ත පද්ධතිය විනාශ වූ බව ඔබ දැනුවත්ද? 


සාක්ෂිකාරිය ; මීඩියාවල එහෙම තොරතුරක් පළ වුණා. 2023 සැප්තැම්බර් මාසයට පෙර එහෙම සිදුවීමක් සිදුවූ බව දැනගත්තා. 


විත්තියේ නීතිඥ ; එම දත්ත පද්ධතිය විනාශවීම ගැන ඖෂධ නියාමන අධිකාරිය ගත්ත පියවර මොකක්ද? 


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මම ඒ ප්‍රශ්නය ගැන විරුද්ධයි.


විත්තියේ නීතිඥවරයා ; එහෙම කියන්නේ ඔබ තුමියනේ ඒක වැරදියි කියලා කියන්නේ ඔබ තුමියගේ එම දත්ත පද්ධතිය විනාශවීම ගැන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කරුණු පැහැදිලි කිරීමක් කළා කියලා මහාචාර්ය තුමිය දන්නවාද ? 


සාක්ෂිකාරිය ; මම ඒ ගැන දන්නේ නෑ. 


විත්තියේ නීතිඥවරයා ; 2022.05.24 වැනිදා පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ඔබතුමිය සහභාගි වුණාද? 


සාක්ෂිකාරිය ; ලේඛන දැක්කොත් කියන්න පුළුවන්. 


(මෙම අවස්ථාවේදී විත්තියේ නීතිඥවරයා එම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට අදාළ ලේඛන පෙන්වයි. එම සටහනේ 5 වන පිටුව එම නීතිඥවරයා විසින් 6වි 21 ලෙස ලකුණු කරයි ) 


නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; ඒක පැමිණිල්ලේ සාක්ෂියක් නෙවෙයි. විත්තියේ සාක්ෂියක් ලෙස එය ලකුණු කිරීම වැරදියි. 


විත්තියේ නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; එහෙම නම් විත්තියට එම ලේඛන පැමිණිල්ල විසින් දුන්නේ ඇයි? මේක හරිම අසාධාරණ කතාවක්. 


සභාපති විනිසුරුවරයා ; 2022.05.27 සටහන් තිබෙනවාද? 


විත්තියේ නීතිඥවරයා ; එහෙමයි ස්වාමීනී. මුල් ලේඛන ඔප්පු කිරීමේ භාරයට යටත්ව ලකුණු කිරීමට අවසර දෙන්න (අධිකරණ පැමිණිල්ලේ විරුද්ධත්වය ප්‍රතික්ෂේප කොට විත්තියට එම අවසරය දෙයි.)


විත්තියේ නීතිඥවරයා ; ඔබ තුමියට මතකද කල් ඉකුත් වූ “ජල භීතිකා රෝගයට” භාවිතා කරන ඖෂධයක් භාවිතා කිරීමට ඔබගේ කමිටුව අවසර ලබා දී තිබූ බව? 


සාක්ෂිකාරිය ; එකී රෝගය සඳහා භාවිතා කරන ඖෂධ තොග අවසන් වී තිබීම නිසාත් කුමක් හෝ එන්නතක් භාවිතා නොකලොත් රෝගියාගේ ජීවිතයට සිදුවිය හැකි හානිය සලකා රෝගියාගේ කැමැත්ත මත එම ඖෂධ භාවිතා කිරීමට අවසර ලබා දී තිබුණා. පනතේ කුමක් සඳහන් වුවත් “රෝගියාගේ හිතසුව පිණිස” කටයුතු කරන්න වෛද්‍යවරුන්ට සිදුවෙනවා. ජල භීතිකා රෝගය කියන්නේ නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණොත් මරණයට පත්වන රෝගයක්නේ. නමුත් පසුව අපි එම අනුමැතිය ඉවත් කළා. 


එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න මහතා ; යම් ඖෂධයක් ලංකාවට ගෙන්වීම සඳහා ලබා දී ඇති ලියාපදිංචිය අහෝසි වීමට මාස හයකට පෙර එය අලුත් කිරීම සඳහා අයදුම් කළ යුතුයි. එහෙම නොවුනොත් ඒ කියන්නේ, නිසි කාලයට අලුත් කිරීමක් නොකළොත් ලියාපදිංචිය අවලංගු ලෙසනේ සලකන්නේ? 


සාක්ෂිකාරිය ; එහෙම තමයි සලකන්නේ. 


විත්තියේ නීතිඥ අමිත ආරියරත්න මහතා ; ඖෂධ සැපයුම් කරුවන් හා ඊට අදාළ දත්ත ඖෂධ නියාමන අධිකාරියෙත් තිබිය යුතුයි කියලා. මා යෝජනා කරනවා.  


සාක්ෂිකාරිය ; එහෙම වෙන්න පුළුවන්. 


විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ  නීතිඥ චමින්ද අතුකෝරල මහතා  හා රහුල් ජයතිලක යන මහත්වරුන්ද එහිදී එම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදු කළ අතර පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විත්තියේ නීතිඥවරුන් නැගූ හරස් ප්‍රශ්න පිළිබඳ සාක්ෂිකාරියගෙන් නැවත ප්‍රශ්න ඇසීමේදී ඒවා සිය මතකය අනුව ලබා දුන් පුද්ගලික පිළිතුරු බවත්, සමහර ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙනු ලැබුවේ ඒවා නිසි ලෙස තේරුම් නොගෙන බවත් විටින් විට පැවසූ එම සාක්ෂිකාරිය සමහර හරස් ප්‍රශ්න පිළිබඳව තමන්ට නිසි අවබෝධයක් නොතිබූ බවද පැවසුවාය.


පැමිණිල්ලේ පළමු වන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ විශේෂඥ වෛද්‍ය ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ආනන්ද විජයවික්‍රම මහතාද සිය සාක්ෂිය ලබා දීම ඊයේ (03) පස්වරුවේ ආරම්භ කළේය. 


වැඩිදුර සාක්ෂි විභාගය හෙට (04) දක්වා කල් තැබිණි.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0