MAS ලංකාවෙන් ගලවයි..?

ශ්‍රී ලංකාවේ සුප්‍රකටම ව්‍යාපාරික පවුල් සමූහයක් වන අමලීන් පවුල් සමූහයට අයත් මාස් හෝල්ඩින්ග්ස් (MAS HOLDINGS) සමූහ ව්‍යාපාරයේ තවත් දැවැන්ත කර්මාන්ත ශාලා කීපයක් වසා දැමීමේ අවධානමක් මතුව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

Feb 22, 2026 - 21:00
 63
MAS ලංකාවෙන් ගලවයි..?

MAS

ලංකාවෙන් ගලවයි..?

ලාභ ශ්‍රමය, අඩු විදුලි පිරිවැය, 

අඩු බදු සොයා ඉන්දියාවට පියඹයි


ශ්‍රී ලංකාවේ සුප්‍රකටම ව්‍යාපාරික පවුල් සමූහයක් වන අමලීන් පවුල් සමූහයට අයත් මාස් හෝල්ඩින්ග්ස් (MAS HOLDINGS) සමූහ ව්‍යාපාරයේ තවත් දැවැන්ත කර්මාන්ත ශාලා කීපයක් වසා දැමීමේ අවධානමක් මතුව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. වීරවංශ මහතා එම අදහස ප්‍රකාශ කළේ ඊයේ (21) බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවති, ආසන සංවිධායකයින්ට පත්වීම් ලිපි බෙදා දීමේ උත්සවයකදී ඔවුන් අමතා විශේෂ අදහස් දැක්වීමක් කරමිනි.


“දැන් “MAS” එක වහලා යන්න හදනවා. ඇඟලුම් කර්මාන්ත ශාලාව ලංකාවේ තියෙන. අපිට සාමාන්‍යයෙන් ඇඟලුම්වලින් හම්බවෙන්නේ අවුරුදකට බිලියන් පහයි. ඕකෙන් බිලියන් දෙකක් විතර මාස් “MAS” කියන කම්පැනි ඒකෙන්. දැන් ඒකේ තුල්හිරිය ෆැක්ටරියක් ගැලෙව්වා සේවකසේවිකාවෝ 1400ක් විතර වැඩ කරන මිනිස්සු ඉන්න. දැන් ඒගොල්ලන්ට 38ක් තියෙනවා ෆැක්ටරි ලංකාවේ. ඒවා ක්‍රම ක්‍රමයෙන් ගලවලා ඉන්දියාවට යන්න හදනවා. ඇයි? ට්‍රම්ප් මහත්තයාගේ බදු නිසා. බදු අපිට 20%යි ඉන්දියාවට 18%යි. දැන් අද ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් දීලා ඒ ට්‍රම්ප් මහත්තයා ගහපු බදු වැරදියි කියලා. ඒකට කේන්ති ගිහිල්ලා ට්‍රම්ප්කාරයා අද අලුත් බද්දක් ගහලා. හැම රටටම අලුතෙන් තව 10%ක් ගහලා. එ් යකාට කේන්ති යන පාරට බදු ගහනවා.” 


වීරවංශ මහතා පෙන්වා දුන්නේ සේවකයින් 1400ක් සේවය කළ තුල්හිරිය MAS ෆැබ්රික් පාර්ක් කර්මාන්ත ශාලාව වසා ඇති බවයි. සමූහ ව්‍යාපාරයේ පිරිවැය අවම කර ගැනීමේ වැඩපිළිවෙළ යටතේ තවත් කර්මාන්ත ශාලා දෙකක් ලඟදීම වසා දැමීමට නියමිතව ඇතැයි MAS තතු දත් ආරංචි පවසයි.


ඒ අනුව වසා දැමීමට නියමිතව ඇත්තේ MAS Kreeda Methliya තුල්හිරිය කර්මාන්ත ශාලාව සහ උතුරේ වානවිල් ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති MAS Kreeda Vaanavil කර්මාන්ත ශාලාවයි.

මේ පිළිබඳව MAS මාස් හෝල්ඩින් අභ්‍යන්තරයෙන් මාධ්‍ය විසින් විමසා ඇති අතර ආරංචි මාර්ග හෙළි කළේ ලංකාවේ දැනට උද්ගතව පවතින ආර්ථික දරිද්‍රතාවය මත මෙවන් විශාල කර්මාන්ත ශාලා සමූහයක් නිෂ්පාදන වියදම වැඩිවීමේ ප්‍රවණතාවයන් දිනෙන් දින වැඩි වන්නට පටන් ගැනීම නිසා ලංකාවේ පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි. ඒ සඳහා පිළියමක් වශයෙන් අකමැත්තෙන් වුවත් “සේවක කප්පාදුවක්” කරන්නට ආයතනය සූදානම් බව පවසයි.


දැනට 96 000ක් පමණ සිටින සේවක සංඛ්‍යාව 70 000කට අඩු කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇති බව ආරංචි මාර්ග හෙළිකරයි... එහි ඉක්මන් ප්‍රතිඵලයක් ලෙස MAS සමූහ ව්‍යාපාරයට අයත් හොරණ MAS bodyline කර්මාන්ත ශාලාවේ සේවක කප්පාදුවක් සිදුකිරීමට මේ වන විට සැලසුම් කර ඇතැයිි ද කියැවේ.


ඇතැම් ෆැක්ටරි වසා දමන්නට හා සේවක සංඛයාව අඩු කිරීමට පාලනාධිකාරිය ගෙන ඇති තීරණය තුළ MAS සමූහ ව්‍යාපාරයේ සේවක සේවිකාවන් මේ වන විට දැඩි අසහනයට පත්ව ඇතැයි වාර්තා වේ.


සාමාන්‍යයෙන් MAS සමූහ ව්‍යාපාරය තුළ වෘත්තීය සමිති ව්‍යාපාර නොමැත. එබැවින් ඔවුන්ගේ සේවක ගැටලු ප්‍රශ්න හා දුක් ගැන විලිකියන්නට යම්කිසි සංවිධාන ගත ව්‍යුහයක් නොමැතිකම නිසාද මේ රැකියා අවධානම ඉදිරියේ සේවක සේවිකාවන් තවදුරටත් අසරණ වී ඇතැයි පැවසේ.


ඇතැම් සේවක පිරිස් මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිතයෙන් යම් යම් අදහස් දැක්වීම් ජාත්‍යන්තර මට්ටමින් ප්‍රකට කිරීමට ගන්නා ලද උත්සාහයන් තුළ ජාත්‍යන්තර වශයෙන් ලෝකප්‍රසිද්ධියට ලක්ව ඇති MAS සාඩම්බර නිමැවුම් සන්නාම වන “Victoria s Secret, Lululemon, Calvin Clein, Nike, Adldas, Tommy, Hilfiger” වැනි ඇඟලුම් සන්නාමයන් ලෝක පරිමාණ වශයෙන් සේවක අයිතිවාසිකම් හා මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර මැසිවිලිවලට මුහුණ පෑමේ අවදානමකට ලක්ව ඇතැයි ද කියැවෙයි.


MAS හෝල්ඩින්ග්ස් ආයතනයේ අභ්‍යන්තර තත්ත්වය එසේ වුවද  ඇතැම් දේශපාලඥයන් පවසන්නේ වර්තමානයේ ලංකාවේ පවතින අස්ථාවර ආර්ථික පරිහානිය හා වත්මන් රජය අකාර්යක්ෂම භාවය නිසා මේ වන විට මහා පරිමාණයේ කර්මාන්ත ශාලා හිමි ව්‍යාපාරිකයින් ඒවා පවත්වා ගැනීමේ දැඩි අපහසුතාවයකට මුහුණ පාමින් සිටින බවයි.


ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පසුගියදා පැවැති පුවත්පත් සාකච්ඡාවේදී පෙන්වා දුන්නේම රජයේ අකාර්යක්ෂම පාලන තණ්ත්‍රය නිසා  විදුලි පිරිවැය අධික වීම, සේවක සේවිකාවන්ගේ ජීවන වියදම අධික බැවින් පඩිනඩි හා ප්‍රතිලාභ වැඩි වැඩියෙන් ගෙවන්නට සිදුව තිබීම, ඇමරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තර මට්ටමේ බදු වැඩි කිරීම් නිසා කර්මාන්ත ශාලා ලංකාවේ පවත්වාගෙන යාම තුළ අවදානමක් ඇතිවීම මෙන්ම අනෙකුත් වියහියදම් දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් MAS සමාගම මීට වඩා පහසුවෙන් හා ලාභදායීව සේවක පිරිවැය, තාක්ෂණය හා ජලය විදුලිය වැනි පිරිවැය ද මෙරටට සාපේක්ෂව ඉතා අඩුඅගයක් ගන්නා බැවින් ෆැක්ටරි ඉදිකිරීම සඳහා ඉන්දියාව තෝරා ගෙන ඇති බවයි.


MAS හෝල්ඩින්ග්ස් මේ වන විට ලංකාවෙන් ගලවා ඉවත් කරන ලද කර්මාන්තශාලා ඉන්දියාව පකිස්ථානය බංග්ලාදේශය ඩුබායි රාජ්‍යය හා ජෝර්දානය ආදී රටවල ස්ථාපිත කරමින් පවතින බවයි...


ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වැනි ඇඟලුම් කර්මාන්තයට අත දිගහැර නිර්ලෝභීව අතහිත දුන් රාජ්‍යයන් තුළින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතියට යටත්ව කර්මාන්ත පටන් ගෙන අසීමිත බදු සහන හා පහසුකම් රිසිලෙස භුක්ති විඳිමින් පවත්වාගෙන යමින්, දියුණුවෙන් දියුණුවට පත් වූ මෙවන් MAS හෝල්ඩින්ග්ස් වැනි කර්මාන්ත ශ්‍රී ලංකාවට අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අමතක කොට වාසි සොයා නික්මයෑම, එම ආයතනය පවත්වාගෙන ගිය සාමාජීය කීර්තිනාමයට හා සන්නාම ගරුත්වයට විශාල කළු පැල්ලමක් බව මධ්‍යස්ථ නිරීක්ෂකයෝ පවසයි.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0