අවවාද අභියෝග විරෝධතා ඔස්සේ ඇදී ගිය කෙහෙළිය “ඖෂධ” නඩුවේ සාක්ෂි විභාගය...

ජනාධිපති නීතිඥවරයෙක් කියා තිබුණේ මේ ආකාරයට එක් පාර්ශවයකට පමණක් හිරිහර වන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ බලය පාවිච්චි කරමින් කටයුතු කරන ගරු නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය පළමුවෙන්ම පෙරපාසල් මට්ටමට ගොස් ඉගෙනගෙන පැමිණිය යුතු බවයි. මේ ආකාරයෙන්ම නඩු කටයුතුවලට පැමිණිල්ලට පක්ෂපාතී වන අයුරින් නීතිපති දෙපාර්තමේන්තුව මැදිහත්වීම යුක්ති ධර්මයේ අපක්ෂ පාතිත්වයට දැඩි බලපෑමක් යැයි මාධ්‍යවේදීන් විමසන අවස්ථාවේදී නඩුවට මැදිහත් ජ්‍යෙෂ්ඨ නීතිඥයින් කීපදෙනෙක්ම කරුණු දක්වා තිබීම වැදගත්ය.

Jan 30, 2026 - 12:05
Jan 30, 2026 - 12:20
 51
අවවාද අභියෝග විරෝධතා ඔස්සේ ඇදී ගිය කෙහෙළිය “ඖෂධ” නඩුවේ සාක්ෂි විභාගය...

කෙහෙලියගේ (ඉමියුනොග්ලොබියුලින්) නඩුවේ 

අලුත්ම තත්ත්වය හැමදාම කියවන්න

අවවාද අභියෝග විරෝධතා

ඔස්සේ ඇදී ගිය

කෙහෙළිය “ඖෂධ” නඩුවේ

සාක්ෂි විභාගය... 

මොන්ටිසෝරි ගිහින් 

ඉගෙන ගෙන එන්න...


ජනාධිපති නීතීඥ ප්‍රියන්ත නාවානගෙන් 
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගමට අවවාදයක්.

මෙතන කාටවත් දොස් කියමින් 

දේශන පවත්වන්න ඉඩ දෙන්න බෑ... 


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගමගෙන් 
ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවානට අභියෝගයක්

අපේ රටේ දේශපාලන අධිකාරිය පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටී දැන් බොහෝ කල්ය. පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ දේශපාලනඥයෝ 225 දෙනාම පන්නා දැමිය යුතු යැයි වරෙක ජනතාව තීන්දු කළේ ඒ නිසා වන්නට ඇත.


දේශපාලනඥයාට උඩගෙඩි දෙන, දේශපාලනඥයා නොමග යවන මේ රටේ රාජ්‍ය සේවයේ නිලධාරී පැලැන්තිය කෙරෙහි ද “මහජන විශ්වාසය” බිඳවැටෙන්නට ඇති හේතු කාරණා බොහෝ ය. දේශපාලනඥයෝ අවුරුදු පහෙන් පහට “මහජන චන්දයෙන්” මාරු වී යති. අලුත් අය පැමිණෙති. එහෙත් නිලධාරීන් අවුරුදු 30ක් 40ක් විශ්‍රාම ගන්නා තුරුම ඒ ඒ නිලතලවලය. ටයි එකේ පාට පමණක් මාරු කර පරණ දේශපාලනඥයා අතහැර අලුත් දේශපාලඥයා සමග වැඩ කිරීමේ විධික්‍රමය කලාවක් නම්, ඔවුන් ඒ කලාවේ “පිකාසෝ”ලා ය.


එහෙත් මහජන විශ්වාසය තවමත් නොනැසී පවතින එකම ආයතන පද්ධතිය මේ රටේ “අධිකරණය” බව නොකිව මනා ය. මේ රටේ ලොකු කුඩා සෑම සමාජ පංතියකම, සෑම තරාතිරමකම පුරවැසියෙකුට යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා යා හැකි එකම ස්ථානය හා යාන්ත්‍රණය අධිකරණයයි. සියල්ල නීතියට යටින් පවතින යුගයක අධිකරණ කෙරෙහි මහජන විශ්වාසය තව තවත් වැඩිවෙමින් පවතින අයුරු එක් පැත්තකින් පෙනේ...


එවන් තත්ත්වයක් යටතේ වුවත් අධිකරණ ක්ෂේත්‍රයේ මෑත කාලීනව පෙන්නුම් කෙරෙන්නට පටන්ගෙන ඇති යම් යම් “ප්‍රවණතා” කෙරෙහි මහජනතාවගේ කෙසේ වුවත්, මේ රටේ නීතීඥ ප්‍රජාවේ විමතිය හා කුකුස පළවන්නට පටන්ගෙන තිබීම කණගාටුදායකය. ඒ වූ කලි මේ රටේ බරපතල දේශපාලන නඩු කටයුතුවලදී “නීතිපති දෙපාර්තමේන්තුවේ බලය පෙන්වීමේ” ක්‍රියාකලාපයයි.


පසුගිය සතියේ නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය කෙරෙහි මේ ආකාරයට නීතිඥ ප්‍රජාවේ සහ පොදු ජනතාවගේ අවධානය යොමු වූ විශේෂ නඩු කටයුතු දෙකක් කොළඹ අලුත් කඩේ උසාවි සංකීර්ණයේ ස්ථාන දෙකක පැවැත්වී තිබුණි. එකක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා ඉදිරියේ සාකච්ඡාවට ගැනුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්දෝලනාත්මක එංගලන්ත සංචාරය පිළිබඳ නඩු කටයුත්තයි. 


අනෙක ප්‍රමිතියෙන් තොර ඉමියුගෝග්ලොබියුලීන් එන්නත් කුප්පි 6195 සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයූම් අංශයට සපයා රුපියල් කෝටි 14 කට අධික මුදලක් වංක ලෙස ව්‍යාසහරණය කිරීම ඊට ආධාර අනුබලදීම ඇතුළු අධි චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා, කොළඹ ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විමර්ශනයට ලක් වූ නඩු කටයුත්තයි.


මෙම නඩු කටයුතු දෙකෙහිදීම නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරුන් දෙදෙනා මැදිහත් වී එක් පාර්ශවයකට පමණක් බලපෑම් කරමින් අනෙක් පාර්ශවය ආරක්ෂා කරමින් කටයුතු කළ ආකාරය නීති විශාරදයින්ගේ මෙන්ම පොදුවේ මහජනතාවගේ අවධානයට ලක් විය. නීතිපති දෙපාර්තමේන්තුව නඩු කටයුතුවලට ඉදිරිපත් කරන්නේ රජයේ නීතිඥවරුන්ය. එබැවින් උසාවියේදී ඔවුන් යම් ස්වාධීනත්වයක් ආරක්ෂා කරමින්, විභාග වන නඩු කටයුත්තට බාධා නොකර, පැත්තක් නොගෙන සිටිය යුතු යැයි උසාවියේ නඩු කටයුතුවලට මැදිහත් වන නීතිඥ ප්‍රජාව පවසයි. 


වික්‍රමසිංහට එරෙහි නඩුවේ දී මෙසේ අවධානයට ලක් වූ සොලිස්ටර් ජනරාල්වරයා වූයේ අතිරේක සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාය. කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට එරෙහි නඩුවේදී මේ ආකාරයෙන්ම විශේෂ අවධානයට ලක් වූයේ නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයා වූයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවියයි.


අප නිතිපතා අවධානය යොමු කරන කෙහෙලිය නඩුවේ පැමිණිල්ලේ 213 වන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රසම්පාදන) ලෙස කටයුතුු කළ යුනුස් ලෙබ්බේ මොහොමද්දු නවවි මහතා ඊයේ 29 වැනිදා පස්වන වතාවටත් සාක්ෂි ලබා දෙමින් සිටියේය. එම  අවස්ථාවේදී විත්තියේ ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා එක්තරා ලේඛනයක් ඉදිරිපත් කරමින් සාක්ෂි ලබාගන්නට උත්සාහ කළ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තු සොලිස්ටර් ජෙනරාල්වරියගේ මැදිහත්වීම සම්බන්ධයෙන් විත්තියේ නීතීඥවරු දැඩි විරෝධයක් එල්ල කර තිබිණි...


ජනාධිපති  නීතිඥවරයෙක් කියා තිබුණේ මේ ආකාරයට එක් පාර්ශවයකට පමණක් හිරිහර වන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ බලය පාවිච්චි කරමින් කටයුතු කරන ගරු නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය පළමුවෙන්ම පෙරපාසල් මට්ටමට ගොස් ඉගෙනගෙන පැමිණිය යුතු බවයි. මේ ආකාරයෙන්ම නඩු කටයුතුවලට පැමිණිල්ලට පක්ෂපාතී වන අයුරින් නීතිපති දෙපාර්තමේන්තුව මැදිහත්වීම යුක්ති ධර්මයේ අපක්ෂ පාතිත්වයට දැඩි බලපෑමක් යැයි මාධ්‍යවේදීන් විමසන අවස්ථාවේදී නඩුවට මැදිහත් ජ්‍යෙෂ්ඨ නීතිඥයින් කීපදෙනෙක්ම කරුණු දක්වා තිබීම වැදගත්ය.


නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිවරයා හා අනෙකුත් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරුන් අතර මත ගැටුමක් පවතින බව මේ දිනවල සමාජයේ යම් මතයක් තහවුරු වෙමින් පවතී. නීතිපතිවරයා සම්බන්ධයෙන් රාජ්‍ය අංශවල මැදිහත්වීමෙන් මේ දිනවල කෙරෙන චෝදනාවන්හිද නිමක් නැත.  නඩු කටයුතුවලදී ඔහු පෙන්නුම් කරන  ස්වාධීනත්වය සම්බන්ධයෙන් නීතිඥ ප්‍රජාව තුළ යම් විශේෂ ගෞරවයක් ද පවතින බව කියැවේ.   ඔහු නීතියට වැඩ කරන අයෙකු වීම ගැන රාජ්‍ය අංශවල කණස්සල්ලක් පවතින බවද කියති. 


ඔහු යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන අනෙකුත් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරුන් සම්බන්ධයෙන් සමාජ මතය කුමක්දැයි විමසා බැලිය යුතුය. කෙහෙළිය නඩු කටයුත්තේදී නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම කැපී පෙනෙන ආකාරයෙන් සිදුවීම පිළිබඳ සාක්‍ෂි ගණනාවක් ම සුගිය 29 වනදා ත්‍රි පුද්ගල මහාධිකරණය ඉදිරියේ පැවැති නඩු විභාගයේදී හෙළිදරව් වන බවට පහත නඩු වාර්තාව සාක්ෂි සපයයි.


ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥයෙකු මේ අවස්ථාවේදී අධිකරණයේ දී දක්වන ලද මෙම අදහස අප වඩාත් සැලකිලිලෙන් විමසා බැලිය යුතුය.


“කුමන චෝදනාවක් යටතේ නඩු පැවරුවත් සෑම විත්තිකරුවෙකුටම සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමේ අයිතිය තියෙනවා. සාධාරණ නඩු විභාගයක් පැවැත්වූවාට මදි. සාධාරණ අයුරින් නඩු විභාගය පැවැත්වෙන බවටත් සියලු පාර්ශ්ව තුළ විශ්වාසයක් ඇතිවන අයුරින් ක්‍රියාකළ යුතුයි. ඒ වගේම සාධාරණ නඩු විභාගයක් පවත්වා වරදකරු කරන තුරු සෑම විත්තිකරුවෙකුටම නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය හිමියි. නීතිපතිවරයාට එක හැන්දකිනුයි විත්තියට එක හැන්දකිනුයි බෙදීම නොකළ යුත්තේයි, ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ඊයේ (29)  කොළඹ ස්ථිර ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී පැවසීය. 


ඔබතුමන්ලාගේ ගරු අධිකරණය මෙම ලේඛනය පැමිණිල්ලේ සාක්ෂියක් ලෙස අධිකරණය හමුවේ ලකුණු කිරීමට අවසර දී තිබෙන්නේ නීතිපතිවරයාට විවර කර දුන් ඒ පාරේම විත්තියටත් ගමන් කරන්න පුළුවන්, පැමිණිල්ල විරුද්ධ වුනා කියලා විත්තියට ඒ පාර වසා නොදැමිය යුතු යැයිද ජනාධිපති නීතිඥවරයා ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීර සූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම් ලද ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී පැවසීය. 


ප්‍රමිතියෙන් තොර ඉමියුගෝග්ලොබියුලීන් එන්නත් කුප්පි 6195 සෞඛ්‍ය අමාත්‍ය අංශයේ වෛද්‍ය සැපයූම් අංශයට සපයා රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යාස හරණය කිරීම ඊට ආධාර අනුබලදීම ඇතුළු අධි චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ ඊයේ (29) කොළඹ ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවිණි.  


එම නඩුවේ පැමිණිල්ලේ 213 වන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රසම්පාදන ලෙස කටයුතුු කළ යුනුස් ලෙබ්බේ  මොහොමද්දු නවවි මහතා දහවන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ  හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක මහතා   වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය. 


විත්තියේ ජනාධිපති නීතිඥවරයා විසින් විත්ති කූඩුවේ සිටි පැමිණිල්ලේ සාක්ෂිකරු වෙත ලේඛනයක් ඉදිරිපත් කර ඒ පිළිබඳව දැනුවත්භාවයක් ඇතිදැයි ඔහුගෙන් ප්‍රශ්න කර සිටි අතර එම ලේඛනය පිළිබඳව එතරම් දැනුවත් භාවයක් නොමැති බව සාක්‍ෂිකරු පැවසූ අතර එම අවස්ථාවේදී විත්තියේ නීතිඥවරයා නැවත ප්‍රශ්නයක් ඇසීමට උත්සාහ කළ විට පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය එම ලේඛනය එම සාක්ෂිකරු මගින් විත්තියේ සාක්ෂියක් ලෙස  ලකුණු කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් දැක්වීය. 


ජනාධිපති නීතීඥ ප්‍රියන්ත නාවාන මහතා ; ස්වාමීනි මේ ලේඛනයේ පැමිණිල්ලට ලකුණු කිරීමට ඔබතුමන්ලාගේ ගරු අධිකරණය අවසර ලබාදීලා තියෙනවා. 


නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; පැ 54 හා පැ 55 යන මෙම ලේඛන පැමිණිල්ල අධිකරණය හමුවේ ලකුණු කරන විට අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පැමිණිල්ලට විරෝධතා මතු කළා. මේක දසවන විත්තිකරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරයෙකු ලෙස පත්කිරීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශයක හා කැබිනට් මණ්ඩලයේ තීරණයකි. ඒ නිසා ඉදිරියේදී කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා මෙම අධිකරණයට පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස ගෙන්වා මේ ලේඛණය පැමිණිල්ලේ සාක්ෂියක් ලෙස නම් කිරීමට පැමිණිල්ල අපේක්ෂා කරනවා. විත්තියේ උගත් නීතිඥ මහතා ඒක මේ සාක්ෂිකරුට ඉදිරිපත් කළ පසු ඔහු අපේක්ෂා කළ පිළිතුර සාක්ෂිකරුගෙන් නොලැබීම නිසා දේශනයක් ලෙසින් දොස්තබනවා. විත්තියට එහෙම කරන්න ඉඩ දෙන්න බැහැ. මේ සම්බන්ධයෙන් දසවන විත්තිකරුට අවවාද කරන ලෙස ඉල්ලා සිටිනවා. 

ජනාධිපති නීතිඥවරයා ; විත්තිකරුට අවවාද කරලා වැඩක් නැහැ. මම ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ වී 10 වී ලෙස මම එම ලේඛනය ලකුණු කළා. ඔප්පු කිරීමේ භාරයට යටත්ව එම ලේඛනය ලකුණු කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. 


අධිකරණය ;

වි 10 වි ලෙස කළ යෝජනාවට පැමිණිල්ල විරෝධතා ඉදිරිපත් කර ඇත්තේ  එම ලේඛනය ඉදිරිපත් කිරීම ගැන නොව එය ඉදිරිපත් කළ ආකාරය ගැනයි. එම ලේඛනය සාක්ෂිකරුට හඳුනාගන්න පුළුවන් නම් විතරක් එය විත්තියේ සාක්ෂියක් ලෙස ලකුණු කරන්න පුළුවන්. ලේඛන ලකුණු කළ යුත්තේ කුමන සාක්ෂිකරු මගින්ද කියලා පෙර තීන්දු මගින් පෙන්වා දී තියෙනවා. මෙම සාක්ෂිකරු මගින් මෙම ලේඛනය ලකුණු කළ හැකි බවට තහවුරු කරගෙන මෙම ලේඛනය ඔහු වෙත ඉදිරිපත් කර ඇති නිසා මෙම ලේඛනය ලකුණු කිරීම ප්‍රතික්ෂේප කිරීමට අධිකරණයට නොහැකියි. 


ජනාධිපති නීතිඥවරයා ; නවාවි මහත්මයා  විත්තිකාර රත්නායක මහතා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ බවත් එම රාජ්‍ය අමාත්‍යාංශය අහෝසි කිරීමෙන් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමාන්‍ය රාජකාරීවල නියැලී සිටි බවත් ඔබතුමා දන්නවාද? 


සාක්ෂිකරු ;  එහෙමයි ස්වාමීනී 


විත්තියේ නීතිඥ ; එම විත්තිකරු පෙර සඳහන් කළ ඖෂධ ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කළ බවත් ඔබතුමා දන්නවාද? 


සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී 


විත්තියේ නීතිඥ ; ඔහු අධි ශ්‍රේණියේ පරිපාලන නිලධාරියෙක් බව ඔබ දන්නවාද? 


සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී. 


විත්තියේ ජනාධිපති නීතිඥවරයා විවිධ ලේඛන ඉදිරිපත් කර පැමිණිල්ලේ සාක්‍ෂිකරු මගින් සිය සේවාදායකයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජකාරී කළ කාලසීමාව තුළ දැරූ තනතුරු හා ඉටුකළ රාජකාරි මෙන්ම ඔහු පත් කරනු ලැබූ තනතුරු පිළිබඳ සනාථ කිරීමට උත්සාහ දැරීය. 


එම අවස්ථාවකදී නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ඇමතු ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ; 

“මට තේරුම් ගන්න බෑ ඔබ මට මෙලෙස දිගින් දිගටම බාධා කරන්නේ ඇයි කියලා. මට කියන්න සිද්ධ වෙනවා කනගාටුවෙන් හරි ඔබතුමියට නැවත පෙර පාසල් (මොන්ටිසෝරි) ගිහිල්ලා ඉගෙනගන්න කියලා” යයිි පැවසීය. 


අධිකරණයේ අවසරය හා නියෝගය මත ප්‍රශ්නගත ඖෂධ 66 මිළදී ගැනීමට අදාල ලේඛන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් මගින් ගෙන්වා ගත් විත්තියේ නීතිඥවරයා ඉන් එක් ඖෂධයක් මිලදී ගැනීමට අදාල ලිපි ගොණුව සාක්‍ෂිකරු වෙත ඉදිරිපත් කොට එකී ඖෂධය හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිලදී ගැනීමට අනුමත කළ තාක්ෂණ කමිටුවේ සාමාජිකයන් තිදෙනාගෙන් කීදෙනෙකු මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස සිටින්නේ දැයි පවසා  සිටියේය. 


සාක්ෂිකරු ; 10 වන විත්තිකාර සමන් රත්නායක මහතා විත්තිකරුවෙක් ලෙස සිටිනවා. 


 විත්තියේ නීතිඥ ; එම ඖෂධය මිලදී ගැනීමේ ක්‍රියාවලියේ යම් වරදක් වී ඇත්නම් එම ඖෂධය අනුමත කළ කමිටු සාමාජිකයන් තිදෙනාම එම වගකීමෙන් බැඳෙනවා නේද මහත්මයා.


සාක්ෂිකරු ; ඔව් පොදු වගකීම හැම කෙනෙක්ටම පැවරෙනවා. 


29 වැනිදා සුපුරුදු පරිදි එම නඩුව කැඳවූ අවස්ථාවේදී මේ වනවිට අධිකරණය මගහැර සිටින  9 වන විත්තිකාර  ප්‍රශ්න ගත ඖෂධ මිලදී ගැනීමේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කළ වෛද්‍ය බුත්පිටිය ලේකම්ලාගේ දොන් ජයනාත් මහතා හැර සෙසු විත්තිකරුවන් 11 දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ. අටවන විත්තිකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා  රෝගී තත්ත්වයකින් පසුවීම නිසා ඔහුව රෝද පුටුවක තබා විවෘත අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබිණි. 


දිවා ආහාර විවේකයෙන් පසුව පස්වරු 2.15 ට පමණ නැවත නඩුව කැඳවූ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා හැර සෙසු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ. 


වෛද්‍ය නිර්දේශ අනුව එම විත්තිකරුට දිවා ආහාර විවේකයට අමතරව තවත් පැයක කාලයක් ඔහුට අධිකරණයට නොපැමිණ සිටීමට තම අධිකරණය විසින් අවසර ලබාදී ඇති බැවින් ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ නියෝජනයක් තිබෙන බැවින් ඔහුගේ අයිතිවාසිකම්වලට අගතියක් නොවන පරිදි නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට අධිකරණය අවසර දුන්නේය. 


එකී අවසරය ප්‍රකාරව පැමිණිල්ලේ 213 වන සාක්‍ෂිකරුගෙන් දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ලේඛන ඉදිරිපත් කරමින් හරස් ප්‍රශ්න අසනු ලැබීය. 


විත්තියේ නීතිඥවරයා යම් යම් ලේඛන එම සාක්ෂිකරු වෙත ඉදිරිපත් කරමින් ඒ සම්බන්ධයෙන් විමසා සිටි අතර එම සාක්ෂිකරු නිශ්චිත පිළිතුර ලබා දීමට පසු බසින බව නිරීක්ෂණය කළ විත්තියේ නීතිඥවරයා ; 


ඔබතුමාට ඊයේ (28) අධිකරණය යම් අවවාදයක් කළ නිසාද අද යම් ආතතියකින් සාක්ෂි දෙන බවයි මට නම් පෙනෙන්නේ. ඒකට පසුබිම මොකක්ද කියලා මම දන්නේ නෑ. නවාවි මහත්මයා  කරුණාකර එය 2022.08.12 දරන ලිපිය කියවලා බලලා කියන්න ඕකේ තියෙන්නේ යම්කිසි “පත් කිරීමක්” ගැන නේද කියන එක. 


විත්තියේ නීතිඥවරයා ඉදිරිපත් කළ එම ලේඛනය  ඔප්පු කිරීමේ භාරයට යටත්ව සාක්‍ෂිකරු මගින් ලකුණු කිරීමට අධිකරණය අවසර දෙයි. 


සාක්ෂිකරු ; ඔව් ඒක වෛද්‍ය සමන් රත්නායක මහතා පත්කිරීමට අදාල ලිපියක් 


හයවන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා; 


“මෙම සාක්ෂිකරුගේ සාක්ෂිය පිළිබඳව බරපතල ගැටලුවක් තිබෙනවා. එකම ගොනුවේ තිබෙන ලිපි දෙකක් ගැන ඔහු දරන්නේ මත දෙකක් ඒ නිසා එම ගොනුව  අධිකරණයට කැඳවන ලෙස ඉල්ලා සිටිනවා.”


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහා ගම මෙනෙවිය ; ඒ ගොනුව පැමිණිල්ලේ නඩු භාණ්ඩයක් (මෙම අවස්ථාවේදී විනිසුරු මඩුල්ල විනාඩි කිහිපයක් එකිනෙකා සමග සාකච්ඡා කරනු දක්නට ලැබිණි.) 


සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ;  පැ 56 දරන ගොනුවේ මේ ලිපිය තිබෙනවාද? 


නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; නෑ ස්වාමීනී 


විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; මේ 10වන  විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න අසන අවස්ථාව. හයවන විත්තිකරුගේ ඉල්ලීම ඔහු හරස් ප්‍රශ්න ඇසූ අවස්ථාවේදී ඉදිරිපත් කළේ නෑ. මේ අවස්ථාවේදී එම විත්තිකරු කරන ලද ඉල්ලීමට අවසර දෙන්න බැහැ. 


ජනාධිපති නීතිඥවරයා ; 10 වන විත්තිකරු තනතුරකට පත් කිරීමට අදාල ලේඛනයක් ඉදිරිපත් කොට එය රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් දස වන විත්තිකරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කර ඇති ලිපියක් නොවන්නේ දැයි  සාක්‍ෂිකරුගෙන් අසා සිටියේය. එම ලේඛනය ඔප්පු කිරීමේ භාරයට යටත්ව විත්තියේ සාක්ෂියක් ලෙස (වි 11 ලෙස) ලකුණු කිරීමට අවසර ලබාදෙන ලෙසටද විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. 


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ ලිපියේ තියෙන්නේ මෙම සාක්ෂිකරු කරන ලද කාර්යයක් හෝ ඔහුගේ කර්තව්‍යය යටතේ තිබූ ලිපියක් නෙවෙයි මේක. 


ජනාධිපති නීතිඥවරයා ; මෙච්චර දවස් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් සාක්ෂි දුන්නේ ඔවුන් දන්නා කරුණු ගැන මිස ඔවුන් සිදුකළ කාර්යයන් ගැනම නෙමෙයි. දහවන සාක්ෂිකරු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවය කළ බව මෙම සාක්ෂිකරු දන්නවා.  එහෙම දන්න සාක්ෂිකරුවෙකුගෙන් ඒ ගැන අහන එකටත්  උගත් නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය විරුද්ධ වනවා නම් මම මේ නඩු කටයුත්තෙන් අයින් වෙන්නම්. 


ලක්මිණි ගිරිහාගම මෙනවිය ; මම කියන්නේ මේක මේ සාක්ෂිකරු ලවා ආදේශ කර ගත හැකි දෙයක් නෙමෙයි කියලයි. 


විත්තියේ නීතිඥවරයා ; මේ ලේඛන දැන් මගේ සේවා දායකයා ළඟ නෑ. මේ ලේඛන ශ්‍රී ලංකා ජනරජය භාරයේ තිබෙන ලේඛන මේ චූදිතයන්ට අධි චෝදනා ගොනු කරලා තියෙන්නෙත් ශ්‍රී ලංකා ජනරජය මේ ලේඛන නීත්‍යානුකූලව ඉදිරිපත් කරන්න මගේ සේවාදායකයාට පුළුවන් 

 

මෙම නඩුවේ සාක්ෂි විමසීම තවදුරටත් සිදු කෙරෙන අතර එය 30 වැනි දා දක්වා කල් තැබෙමින් 29 වනදා සාක්ෂි විභාගය අවසන් විය. 
  

What's Your Reaction?

Like Like 2
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0