කාන්තාවන් නිරුවත් කර වීඩියෝගත කළ "රබර් කමාර්" රටින් පැන්නාද සැකයක්..?

උපස්ථායක සේවිකාවක් ලෙස ගෙන්වා ගත් තරුණ කාන්තාවක් බලහත්කාරයෙන් රඳවා තබාගෙන, ඇයව නිරුවත් කර ලිංගික අපචාර පිණිස යොමු කර ගනිමින් වීඩියෝගත කළේ යැයි කියන සුප්‍රකට ව්‍යාපාරික “ශෂ්නි කමාර්ඩීන්” SHAZNI KAMARDEEN නැමැත්තා මේ වනවිට අතුරුදහන්ව ඇතැයි වාර්තා වේ.

Jan 18, 2026 - 14:16
 228
කාන්තාවන් නිරුවත් කර  වීඩියෝගත කළ "රබර් කමාර්"  රටින් පැන්නාද සැකයක්..?

කාන්තාවන් නිරුවත් කර වීඩියෝගත කළ

"රබර් කමාර්" රටින් පැන්නාද සැකයක්..?


PRESTIGE කමාර්ඩීන් ආගිය අතක් නෑ...

උපස්ථායක සේවිකාවක් ලෙස ගෙන්වා ගත් තරුණ කාන්තාවක් බලහත්කාරයෙන් රඳවා තබාගෙන, ඇයව නිරුවත් කර ලිංගික අපචාර පිණිස යොමු කර ගනිමින් වීඩියෝගත කළේ යැයි කියන සුප්‍රකට ව්‍යාපාරික “ශෂ්නි කමාර්ඩීන්” SHAZNI KAMARDEEN නැමැත්තා මේ වනවිට අතුරුදහන්ව ඇතැයි වාර්තා වේ.


තම ආයතනයට පැමිණි සේවිකාවක් නිවසක රඳවා තබා ගනිමින් මරණීය තර්ජන එල්ල කරමින් බලහත්කාරයෙන් නිරුවත් කර, ලබාගන්නා ලදැයි කියන වීඩියෝ පටයක්, පහුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්විය. එම වීඩියෝ පටය සමග කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, එසේ බලහත්කාරයෙන් කාන්තාවන් වීඩියෝ ගත කළ පුද්ගලයා මේ රටේ සුප්‍රකට ව්‍යාපාරයක් වන “ප්‍රෙස්ටීජ් රබර්ස් ප්‍රයිවට් ලිමිටඩ්” PRESTIGE RUBBERS(PVT)LTD  ආයතන අධිපති “ෂශ්නි කමාර්ඩීන්” SHAZNI KAMARDEEN බව හඳුනාගෙන ඇත.


ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය ලහි ලහියේ ක්‍රියාකර ඇති නමුත්, ඒ වන විටත් ඔහු සැඟව ඇති බව පොලිසිය පවසයි. උසාවිය වෙතින් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන කොළඹ පිහිටි ඔහුගේ සුවිසල් නිවාස සහ කෑගල්ල ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික ස්ථාන හා කර්මාන්තශාලා පරීක්ෂාවට ලක් කර ඇතත් ඔහු පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොවූ බව කාන්තා හා ළමා කටයුතු පිළිබද කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති දර්ශිකා කුමාරි මහත්මිය පවසයි.


එම වීඩියෝ පටයේ, නිරුවත් කරනු ලබන කාන්තාවට අමතරව තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකුට සිටින බවත්, ඒ සියලුම දෙනා අත්අඩංගුවට ගෙන නිසි පරිදි කටඋත්තර හා ප්‍රකාශ ලබාගෙන අවසන් බවත්, ඊළඟ පියවර ලෙස ඇත්තේ සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීම බවත් පවසන නියෝජ්‍ය පොලිස්පතිනිය, එම ව්‍යාපාරිකයා හොර රහසේ රටින් පැන යාමට උත්සාහ දරුණු ඇතැයි විශ්වාසය මත ඔහු වෙත “සංචාරක තහංචියක්” පනවා ඒ බැව් සියලු ගුවන්තොටුපළවල් වෙත දන්වා යවා ඇති බවද පවසනු ලැබුවාය.


දෙමටගොඩ ප්‍රදේශයේ ස්ථාපිත “මෑන් පවර්" සේවක සේවිකාවන් සපයන සුප්‍රකට ආයතනයක් මගින් “ගිලනුන් සඳහා පුහුණු උපස්ථායිකාවන්” වශයෙන් අදාල අගතියට පත් කාන්තාව ගෙන ගොස් ව්‍යාපාරිකයාට භාරදී ඇත්තේ ශානිකා නැමති කාන්තාවකි. එම කාන්තාව ද තවත් සේවිකාවක්ද අදාළ ව්‍යාපාරිකයාගේ ආවතේවකරුවකු වන පුද්ගලයෙක්ද, මේ කියන වීඩියෝවේ පැහැදිලිව පෙන්නුම් කරන බැවින් ඒ සියලු දෙනා මේ වන විටත් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇතැයි පොලිසිය පවසයි. උපස්ථායිකා රැකියා මුවාවෙන් මීට පෙරත් මෙම ආයතනය හා සම්බන්ධීකාරක කාන්තාව  ව්‍යාපාරිකයාට කාන්තාවන් ගෙන ගොස් දී ඇත්දැයි කියා පොලිසිය පරීක්ෂණ පවත්වයි.


මෙම සිදුවීම පළමුවැන්න නොවන බවත්, මේ ආකාරයෙන් කාන්තාවන් ගෙන්වාගෙන විවිධ ලිංගික චර්යාවන්ට යොදා ගනිමින්, නිරුවත් කර ලබා ගන්නා වීඩියෝ පට තව තවත් කාන්තාවන් වෙත යැවීම මොහුගේ උමතු පුරුද්දක් හා විනෝදාංශයක් බව අනාවරණය වී තිබේ.


වීඩියෝවේ මත්පැන් හා විවිධ මත්ද්‍රව්‍ය ගෙන සිහි විකල් වූවකු ලෙස හැසිරෙන අදාළ ව්‍යාපාරිකයා, කාන්තාවට මරණීය තර්ජන එල්ල කරමින්, තමන් මීට පෙරත් මෙවැනි ඝාතනමය අපරාද සිදුකර ඇති බවට හෙතෙම වාචිකව සාක්ෂි සපයයි. 


කෙසේවෙතත් මේ පිළිබඳ පොලිසිය පරීක්ෂණ කරන බවත්,තොරතුරු වල රහස්‍ය භාවය මත මාධ්‍යවලට ලබාදීමට නොහැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිනී දර්ශිකා කුමාරි මහත්මිය පවසයි.


කුඩා දරුවන් තිදෙනෙකුගේ පියකු ද වන අදාළ ව්‍යාපාරිකයා මේ වන විට එම දරුවන්ගේ වගකීම් හා භාරකාරත්වය පැහැර හැර ඇති බවද කියැවෙයි. පොලිසිය ඉතා දැඩිව මේ පිළිබඳ අවධානයෙන් පරීක්ෂණ පවත්වන නිසා කොයිතරම් සැඟව සිටියත් අවසානයේ පොලිසියට බාර වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව පොලිසියේ මතයයි...


මෙම ව්‍යාපාරිකයා වත්මන් රජය  මෙහෙයවන මාලිමාවේ දේශපාලන බලවේග සමග යම් සබඳතාවක් පවත්වමින් පහුගිය මැතිවරණවලදී මූල්‍යමය අනුග්‍රහයක් දක්වා ඇතැයි, යම් යම් මූලාශ්‍ර මගින් තොරතුරු හෙළිවන බැවින් රාජ්‍ය අංශවලින් ඔහුට ආරක්ෂාවක් හිමිවේදැයි අප විමසා සිටියෙමු...


“එහෙම තොරතුරක් අපට දැනගන්න නැහැ. හැබැයි මේ පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණ මෙහෙයවන්නේ මම. මට නම් කිසිම ආකාරයකින් උඩින් හෝ යටින් හෝ දේශපාලන අධිකාරියෙන් මේ සම්බන්ධයෙන් කිසිත් බලපෑමක් ලැබී නෑ. ඔහුට රට පනින්න ඉඩක් නෑ. රට වටේම ආරක්ෂක ජාලාව එලලා ඉවරයි. කොයිතරම් සැඟව සිටියත් මේ පුද්ගලයාට නීතියට යටත්ව පොලිසියට බාරවීම හැර වෙනත් විකල්පයක් නෑ... ඔච්චරයි කියන්න තියෙන්නේ” කියමින් නියෝජ්‍ය පොලිස්පතිනි දර්ශිකා කුමාරි මහත්මිය අප හා කළ කතාබහ අවසන් කළාය. 


ඉතාම නුදුරු දිනෙක මේ සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් නීතිය වෙත භාරවනු ඇතැයි පොලිසියට හා අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ග හෙළිකර සිටියි.

What's Your Reaction?

Like Like 1
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0