මංමුලා වූ සමනලියට අජාන් බ්‍රහ්මවන්සෝ හිමියන්ගෙන් උත්තර
“දරුවනේ, ඔබට ඕනෑ තරම් බෞද්ධ පොත් වැසිකිළියට දාන්න පුළුවන්... ගිනි තියන්න පුළුවන්. බුදු පිළිම කඩන්න පුළුවන්... පන්සල් ගිනි තියන්න පුළුවන්... ඇයි හාමුදුරුවරු මරන්නත් පුළුවන්... හැබැයි, ඔබේ ඒ පහත් ක්‍රියාව නිසා... මා තුළ වැඩ සිටින බුදු රජාණන් වහන්සේගේ ධර්මය ෆ්ලෂ් කරලා දාන්න (Flush) මම ඔබට ඉඩ තියන්නෙ නෑ!”
මංමුලා වූ සමනලියට
අජාන් බ්‍රහ්මවන්සෝ හිමියන්ගෙන්
උත්තර...
සමනලී ෆොන්සේකා යනු මා දන්නා තරමින් රංගන ශිල්පිනියක මිස කිවිදියක නම් නොවේ. එහෙත් ඇය ලිව්වා යයි කියන එක්තරා කවියක් නිසා පසුගිය දිනවල අපේ සමාජයේ ලොකු ගාල ගෝට්ටියක් නම් ඇතිවී ඇවිලී නැතිවී ගියේය.
උක්ත කවියෙන් විවේචනයට ලක්ව තිබුණේ මේ රටේ ජනතාව 69%ගේ ආගමික ශාස්තෘවරයාණන් වූ බුදුන් වහන්සේගේ බුද්ධ චරිතයෙහි සිද්ධාර්ථ අවධියයි. සිද්ධාර්ථ කුමාර අවධියේ ඇතැම් ක්‍රියාකාරකම් හා එම පවතේ කියැවෙන ඇතැම් කරුණු විවේචනය කරමින් ඇය ලියා පළ කළා යැයි කියන කවිය නිසා “බෞද්ධයින්ගේ සිත් රිදි” ඇති බව පැහැදිලිය.
බැරි බැරි ගානේ කවි ලියන්නට හෝ නිදහසේ අදහස් ප්‍රකාශ කරන්නට ඇයට අයිතියක් ඇතැයි කියන මතය සම්බන්ධයෙන් අපට නම් කිසිත් විවේචනයක් නැත. ඒ අයිතිය ඇයට පමණක් නොව, මේ රටේ ජීවත් වන ඕනෑම පුරවැසියෙකුට පාවිච්චි කළ හැකි බව මාගේද මතයයි.
එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ තමා අනාගමික යැයි ආඩම්බරයෙන් හඳුන්වා දෙන ඇය, ඇගේ අනාචාරී ජීවිත කාලය පුරාම ඒ අයිතිය පාවිච්චි කර ඇත්තේ බුද්ධාගමට, බුද්ධ චරිතයට හා බෞද්ධ සංස්කෘතියට පහර දෙන්නට පමණක් වීමය.. ජේතවනාරාමය වැනි දැවැන්ත ස්ථූප සුදුසු වන්නේ කුණුකසල පුරවන්නටැයි ඈ වරෙක කියා ඇතැයි කියවේ.
එහෙත් ඇය කවරදාකවත් කතෝලිකයින්ගේ පුද පූජාවන්ට ලක්වන කිසිදු දේවස්ථානයක් කුණු පුරවන්නට යෝජනා කරන්නේ නැත. මුස්ලිම් බැතිමතින්ගේ වන්දනාමානයට ලක්වන කිසිදු ඉස්ලාම් දෙව්මැදුරකට අපහාස කරන්නේ නැත. හින්දුන්ගේ වන්දනාමානවලට පාත්‍රවන “නල්ලූර් දෙවොල” වන් කිසිදු පූජා භූමියක් නින්දාවට හෝ ගර්හාවට ලක් කරන්නේ නැත. එසේ නම් ඈ බෞද්ධයන්ට හා බෞද්ධයන්ගේ වන්දනාවන්ට මෙන්ම බෞද්ධ සංස්කෘතියට එරෙහි වන්නේ කවර හෝ හේතුවක් නිසා වන්නට ඇත...
ඒ සඳහා ඇයට වෙන කවර හේතුවක් තිබුණත් දෙදහස් පන්සිය වසරක් තිස්සේ මේ රටේ සුරැකිව පැවැති පිරිසුදු බුදු දහමට, බෞද්ධ දර්ශනයට, බෞද්ධ සංස්කෘතියට හා බෞද්ධ සාහිත්‍යයට ඇය වන් චිංචිමානවිකාවකට කළ හැකි බලපෑම කුමක්ද... සිත් රිදුනු බෞද්ධ බලවේග මේ සම්බන්ධයෙන් ඇය හෝ ඇය වෙනුවෙන් පෙනී සිටින බලවේග සමඟ කවර තර්ක විතර්ක කළත් කොපමණ වාද විවාදවලට එළඹුණත් නොවුණත්, අවසානයේ නිසැක ප්‍රතිඵලය මංමුලාවූ සමනලියගේ නියත පරාජය ම මිස වෙන කුමක්ද.
සත්තකින්ම මේවා සැබෑ බෞද්ධයින් විසින් දණිස්සෙන් උඩට වත් ගණන් ගත යුතු නැති අසාර්ථක, අවිද්‍යාත්මක, අතාර්කික, අකාර්යක්ෂම, අසංස්කෘතික ව්‍යාපෘතීන්ය. මේවා නිසා බෞද්ධයෝ කිසි ලෙසකත් කලබල විය යුතු නැත්තේය. පිස්සං කොටුවේ පිස්සෝ කලබල වූවාට දොස්තරලා කලබල නැත.
මේ කාරණාව සම්බන්ධයෙන් බෞද්ධයන් හැටියට අපට ඉමහත් ආදර්ශයක් හා පාඩමක් උගෙන ගත හැකි අපූරු කතාවක් පසුගිය දිනක මට අන්තර්ජාලය ඔස්සේ පැමිණි පණිවිඩයකින් කොපි කර එවා තිබුනේ ප්‍රියන්ත ඩිරෙක්ස් නම් මා විශ්වවිද්‍යාල මිතුරාය.. මෙතැන් පටන් ඔබේ හිත සුව පිණිස මා ඒ කතාව ඔබට කියමි...
ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන “අජාන් බ්‍රහ්මවන්සෝ” හිමියෝ පිරිසිදු ථෙරවාදී බුදු දහම යටතේ පැවිදි බව ලබා ඕස්ට්‍රේලියානු මහාද්වීපය තුළත් ලෝකයේත් බෞද්ධ භික්‍ෂුවක ලෙස ඉමහත් ගෞරවයක් හා ප්‍රසිද්ධියක් ලබා සිටින සුප්‍රකට භික්ෂූන් වහන්සේ නමකි. පිරිසිදු බුදු දහම හා භාවනායුයෝගී ක්‍රම සොයා උන්වහන්සේ ලංකාවට ද කීප වරක් ම වැඩම කර ඇති බවද කියති. නිරවුල් මනසකින් කටයුතු කරන බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකටත් වඩා, උන්වහන්සේ ලෝකයා හඳුනන්නේ යම් යම් ධර්ම කරුණු සම්බන්ධයෙන් දාර්ශනික මත පළ කරන ප්‍රසිද්ධ බෞද්ධ චින්තකයකු මෙන්ම භාවනානුයෝගී ක්‍රම පිළිබද විශාරදයකු හැටියටය...
කලකට පෙර ඇමෙරිකාවේ එක්තරා නාවුක හමුදා නිලධාරියෙක් “එක්තරා ආගමික දර්ශනයකට අයත්” යැයි කියන “ශුද්ධ වූ ග්‍රන්ථයක්” ප්‍රසිද්ධියේ ඉරා වැසිකිලියක කොමඩයට දමා (Flush) ප්ලෂ් කර හැරියේය. එම සිද්ධියත් සමඟම ලොව පුරා මහත් “ආගමික ආන්දෝලනයක්” ඇති විය. සිද්ධියට බඳුන් වූ ආගමේ පූජක ප්‍රසාදීන් වහන්සේලා ඇතුළු අනුගාමිකයෝ මහත්සේ කලබලයට පත්ව විවිධ අන්දමේ විරෝධතා දක්වන්නට වූහ.
ලොවපුරා විවිධ ජනමාධ්‍යවල මෙම සිද්ධිය ගැන ලොකු කතිකාවක් ඇති විය. ප්‍රසිද්ධ ආගමික නායකයින් හා රට රටවල්වල නායකයින් පවා මේ ගැන මත පළ කරන්නට වූහ. ආගම්වලට අපහාස කිරීම සම්බන්ධයෙන් ලොකු හාවක් හූවක් ලොවපුරාම පැතිර ගියේය. ලොව පුරා මාධ්‍යවේදීහු තම තමන්ගේ රටවල සිටින ආගමික නායකයන් හමුවෙමින් මෙසේ ප්‍රසිද්ධියේ ආගම්වලට අපහාස කිරීම ගැන උන්වහන්සේලාගේ මතය විමසන්නට වූහ.
මේ අවස්ථාවේ ඕස්ට්‍රේලියාවේ සිටින මාධ්‍යවේදිනියක් “අජාන් බ්‍රහ්මවන්සෝ” හිමියන්ටත් මේ පැනය යොමු කරන්නට කල්පනා කළාය. අජාන් බ්‍රහ්මවන්සෝ හිමියෝ අදාළ නාවික හමුදා නිලධාරියාට දැඩි ලෙස රිදෙන ආන්දෝලනාත්මක පිළිතුරක් දෙනු ඇතැයි මාධ්‍යවේදනිය කල්පනා කරන්නට ඇත.
“හාමුදුරුවනේ, කවුරු හරි කෙනෙක් බුදු දහම අඩංගු ධර්ම පුස්තකයක්, ත්‍රිපිටකය ඉරා ඔබේ වැසිකිළියට දමා ෆ්ලෂ් කළොත් (Flush), ඔබ මොකද කරන්නේ..?” ඇය ප්‍රශ්තුතයට මුල පිරුවේ එවන් ප්‍රශ්නයක් අසමිනි.
බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණේ උන්වහන්සේ ආවේගශීලී වෙයි, ඊට එරෙහිව දැඩිව දොස් කියනු ඇතැයි කියාය. නමුත් උන්වහන්සේ ඉතා සන්සුන්ව, මුවට නඟාගත් සිනහවකින් යුතුව මෙසේ පිළිතුරු දුන්නාහ.
“කෙනෙක් එහෙම කළොත් නේද.. ඒක හරිම නරක වැඩක්... අනවශ්‍ය කරදරයක්. ඇත්තටම මම මුලින්ම කරන්නේ පුලුවන් තරම් ඉක්මනට 'පයිප්ප බාස්' (Plumber) කෙනෙක්ට කතා කරන එක!” උන්වහන්සේගේ පිළිතුර ඉතා ඉවසිලි වන්ත මෙන්ම කල්පනාකාරී වූහ.
මාධ්‍යවේදිනිය පුදුමයට පත් වූවාය. “පයිප්ප බාස් හා ධර්ම ග්‍රන්ථය” අතර ඇති සම්බන්ධය කුමක්ද..? උන්වහන්සේට තමන් ඇසූ ප්‍රශ්නයේ බරපතළකම වැටහුණේ නැතිද...? එනිසා එම පිළිතුරින් සෑහීමට පත් නොවී ඇය නැවතත් එම ප්‍රශ්නයම අජාන් බ්‍රහ්මවන්සෝ හිමියන් වෙත යොමු කළාය...
“මොකද දරුවෝ, ත්‍රිපිටකය කියන්නේත් ලොකු පොතක් නේ... කඩදාසි ගොඩක්නේ... ඒක නිසා වැසිකිළිය අනිවාර්යයෙන්ම හිරවෙන්න පුළුවන්. ඊට පස්සේ මගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් කරද්දි ඒක මට ලොකු කරදරයක් වේවි. ඊට කලින් මම මගේ වැසිකිලිය සුද්ද කරගන්න ඕන නේද...?”
මේ පිළිතුර ඇසූ ඇයට සිනා පහළ විය. ලෝකයම ගිනිගෙන දඟලන ප්‍රශ්නයකට උන්වහන්සේගෙන් ලැබුණු ඒ සරල, හාස්‍යජනක එහෙත් ගැඹුරු පිළිතුර ගැන ඇය මවිත වුණාය. එහෙත් උන්වහන්සේ ඒ පිළිතුර තුළින් ලබා දී තිබුණේ ද පිරිසිදු බුද්ධ දේශනාවේ ඉවසීම හා පියවි සිහියෙන් කටයුතු කිරීම පිළිබඳ ගැඹුරු ආදර්ශයයි. උන්වහන්සේ එතැනින් නැවතුනේ නැත. උන්වහන්සේ බෞද්ධ දර්ශනයේ සැබෑ ගැඹුර ඇයට පැහැදිලි කර සිටියහ.
“දරුවනේ, ඔබට ඕනෑ තරම් බෞද්ධ පොත් වැසිකිළියට දාන්න පුළුවන්... ගිනි තියන්න පුළුවන්. බුදු පිළිම කඩන්න පුළුවන්... පන්සල් ගිනි තියන්න පුළුවන්... ඇයි හාමුදුරුවරු මරන්නත් පුළුවන්... හැබැයි, ඔබේ ඒ පහත් ක්‍රියාව නිසා... මා තුළ වැඩ සිටින බුදු රජාණන් වහන්සේගේ ධර්මය ෆ්ලෂ් කරලා දාන්න (Flush) මම ඔබට ඉඩ තියන්නෙ නෑ!”
“මගේ හිතේ තියෙන සමාව දීම (Forgiveness) දයාව, අනුකම්පාව සහ මා තුළ ඇති හිතේ සාමය කිසිවිටෙකත් මා ඔබට (Flush) කර දියකර හරින්න ඉඩ තබන්නෙ නෑ.”
අජාන් බ්‍රහ්මවන්සෝ හිමියන්ගේ මේ කතාව මා උපුටා ගත්තේ සමනලී ෆොන්සේකාට කිසිවක් කියන්නට නොවේ. ඇයගේ ක්‍රියා කලාපය නිසා හිත් රිදවාගෙන සමාජ මාධ්‍ය ඔස්සේ ඇය සමගත්, ඇය වෙනුවෙන් පෙනී සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් සමගත්, ඇය සේවය කරන වත්මන් රජයේ “ශ්‍රී ලන්කන් ඩේ” ක්‍රියාන්විතය සමගත් අනවශ්‍ය ලෙස කලබල ඇති කරගෙන ඔබේ සිතේ පවතින සාමය, සතුට, සහනය flash කර හරින්නට කාටවත් ඉඩ තබන්න එපා.... යන පනිවිඩය ඔබට ලබා දෙන්නටය.
බුලිත ප්‍රදීප් කුමාර.
What's Your Reaction?
Like
1
Dislike
0
Love
1
Funny
0
Angry
0
Sad
0
Wow
0

