ඊළඟ වාරිකය දෙන්න ඉලක්ක පහක් සපුරන්න..!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය පසුගියදා සාර්ථකව අවසන් විය. ඒ අනුව දෙපාර්ශවය රටේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබේ.

Oct 13, 2025 - 10:29
Oct 13, 2025 - 10:30
 68
ඊළඟ වාරිකය දෙන්න  ඉලක්ක පහක් සපුරන්න..!

රට සහ ආර්ථිකය හදන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉලක්ක පහක්...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය පසුගියදා සාර්ථකව අවසන් විය. ඒ අනුව දෙපාර්ශවය රටේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබේ.
මෙම එකඟතාවට අනුව, IMF විධායක මණ්ඩලයේ අනුමැතියෙන් පසු ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 347ක් පමණ වන ඊළඟ ණය වාරිකය හිමිවීමට නියමිතව ඇත. ඒ අනුව, විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ මෙතෙක් ලබා දෙන ලද මුළු මූල්‍ය ආධාර ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.04ක් පමණ දක්වා ඉහළ යනු ඇතැයි මහ බැංකු ආරංචි මාර්ග පවසයි.


පසුගිය මාසයේ 25 වනදා සිට දුත මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාව අවසානයේ පසුගිය 09 වැනිදා දූත මණ්ඩල ප්‍රධානී එවන් පපාජෝ(ර්)ජියෝ මහතා පැවසුවේ, "ණය වැඩසටහන යටතේ කාර්ය සාධනය ශක්තිමත් වී ඇති" බවයි. ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස ආර්ථික වර්ධනය අපේක්ෂිත මට්ටම් අභිබවා යෑම, උද්ධමනය ඉලක්කගත මට්ටම කරා ළඟා වීම, විදේශ සංචිත ගොඩනැගීම සහ රාජ්‍ය මූල්‍ය ආදායම් ඉහළ යෑම දැකගත හැකි බවයි.

  1. ආර්ථික වර්ධනය - 2025 පළමු අර්ධ වාර්ෂිකය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.8කින් වර්ධනය වී ඇති අතර, 2025 දී වර්ධනය ශක්තිමත්ව පවතිනු ඇතැයි IMF අපේක්ෂා කරයි.
  2. උද්ධමනය - නැවත ධනාත්මක තත්ත්වයට පැමිණ ඇති අතර, සැප්තැම්බර් මාසයේදී මිල මට්ටම්  1.5%කින් ඉහළ ගොස් ඇත.
  3. දළ නිල සංචිත - 2025 සැප්තැම්බර් අග වන විට ඇමෙරිකානු ‘‘ඩොලර් බිලියන 6.1ක්’’ දක්වා ළඟා වී ඇත.
  4. මූල්‍ය කාර්ය සාධනය - මෝටර් රථ ආනයනය සඳහා වන බදු ප්‍රධාන වශයෙන් හේතු කොට ගෙන 2025 පළමු අර්ධ වාර්ෂිකයේදී ශක්තිමත් වී තිබේ.

එහෙත රජය ඊලග ණය වාරිකයට හිමිකම් කීමට නම් ඉදිරියට කළ යුතු ප්‍රධාන ප්‍රතිසංස්කරණ 5 ගැන දූත පිරිස වැඩි අවධානය යොමුකර ඇත. ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම තහවුරු කිරීමට සහ කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට ප්‍රතිසංස්කරණ වැඩසටහන පවත්වාගෙන යෑම ඉතා වැදගත් බව IMF අවධාරණය කරයි. ප්‍රමුඛතාව දිය යුතු ප්‍රධාන අංශ 5ක් පහත පරිදි වේ.

1. පිරිවැය-ප්‍රතිසාධන බලශක්ති මිලකරණය සහ රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය.
පිරිවැය-ප්‍රතිසාධන බලශක්ති මිලකරණ ප්‍රතිපත්තිය අඛණ්ඩව පවත්වා ගැනීමේ අවශ්‍යතාව IMF යළි අවධාරණය කරයි. එය රාජ්‍ය ව්‍යවසායන්හි (SOEs) පාලනය ශක්තිමත් කිරීමට, මූල්‍ය ශක්‍යතාව තහවුරු කිරීමට සහ ණය අවදානම් අවම කිරීමට උපකාරී වනු ඇත. රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන්, රාජ්‍ය ප්‍රසම්පාදන සහ රාජ්‍ය වත්කම් කළමනාකරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන පනත් කෙටුම්පත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුකූල විය යුතුය.

2. මහ බැංකුවේ ස්වාධීනත්වය සුරැකීම.
අයවැය සඳහා මුදල් මූල්‍යකරණයෙන් වැළකී සිටීම ඇතුළුව, මහ බැංකුවේ ස්වාධීනත්වය අඛණ්ඩව ආරක්ෂා කිරීම ඉතා වැදගත් බව IMF අවධාරණය කරයි. මීට අමතරව, අක්‍රීය ණය ගනුදෙනු විසඳීම, රාජ්‍ය බැංකුවල පාලනය සහ අධීක්ෂණය ශක්තිමත් කිරීම සහ බංකොලොත්භාවය සහ විසඳුම් රාමුව වැඩිදියුණු කිරීම මූල්‍ය අංශයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට තීරණාත්මක වේ.

3. දූෂණ විරෝධී ක්‍රියාමාර්ගවලට ප්‍රමුඛත්වය දීම:
දූෂණ අවදානම් අවම කිරීම සඳහා ප්‍රසම්පාදන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම, AML/CFT (මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ) රාමුව ශක්තිමත් කිරීම සහ ඩිජිටල්කරණය ඇතුළු ආදායම් පරිපාලනයේ දූෂණ විරෝධී පියවරවලට ප්‍රමුඛත්වය දීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) බඳවා ගැනීම් කඩිනම් කිරීම සහ දූෂණ විරෝධී පනතට අනුකූලව කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරේ.

4. ණයහිමියන් සමඟ ණය ගිවිසුම් කඩිනමින් අවසන් කිරීම.
ඉතිරි නිල සහ වාණිජ ණයහිමියන් සමඟ ද්විපාර්ශ්වික ණය ගිවිසුම් අවසන් කිරීම වේගවත් කිරීමේ අවශ්‍යතාව IMF නැවත අවධාරණය කර ඇත. ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ ආයෝජකයින්ගේ විශ්වාසය වැඩි දියුණු කිරීම සඳහා මෙය ප්‍රධාන වේ.

5. දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි පිරිස ආරක්ෂා කිරීම.
දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි පිරිස ආරක්ෂා කිරීම සඳහා ප්‍රමුඛතාවක් දිය යුතු බව IMF පෙන්වා දෙයි. සමාජ සුබසාධන වියදම් ඉලක්ක කිරීම, එහි ප්‍රමාණවත් බව සහ ආවරණය වැඩිදියුණු කිරීම සඳහා සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ සැලැස්ම ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බව ද මෙහිදී අවධාරණය කර ඇත.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0