විජිත හේරත් කළ දේ විමල් හෙළි කරලා..!

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමේ ඉදිරිපත් කෙරුණු යෝජනාවට රජය විරුද්ධත්වය ප්‍රකාශ නොකර බෙදීමක් ඉල්ලා ඡන්ද විමසීමකට නොගොස්, එය ඒකමතිකව සම්මත වීමට ඉඩ හැරීම තුළින් වක්‍රාකාරයෙන් එම යෝජනාවට එකඟ වීමක් සිදුකර ඇතැයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.

Oct 9, 2025 - 09:36
 76
විජිත හේරත් කළ දේ විමල් හෙළි කරලා..!
  • ජිනීවා සමුළුවේදී ''දේශද්‍රෝහී ආණ්ඩුව'' රට පාවාදෙයි...
  • පළාත් සභා මැතිවරණ පවත්වන්න ජිනීවාවලින් නිර්දේශයක්...
  • ලබන අප්‍රේල් මාසයට පෙර පළාත් සභා මැතිවරණයක්...

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමේ ඉදිරිපත් කෙරුණු යෝජනාවට රජය විරුද්ධත්වය ප්‍රකාශ නොකර බෙදීමක් ඉල්ලා ඡන්ද විමසීමකට නොගොස්, එය ඒකමතිකව සම්මත වීමට ඉඩ හැරීම තුළින් වක්‍රාකාරයෙන් එම යෝජනාවට එකඟ වීමක් සිදුකර ඇතැයි ජාතික නිදහස් පෙරමුණ පවසයි. 

ජිනීවා සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකාවේ නියෝජිතයින් පිරිස රජය වෙනුවෙන් කළ කතාවේදී ''මානව හිමිකම් කොමිසන් සභාවේ වාර්තාවේ සඳහන් බොහෝ කරුණු තමන් පිළිගන්නා බවත්, ''ජාත්‍යන්තර පරීක්ෂණයක් පිළිබඳව'' තමන් එකඟ නොවෙන බව පෙන්වමින් "ප්‍රතික්ෂේප" කළද එය නිශ්චිතවම  ඡන්ද විමසීමකට නොගොස් ''යෝජනාව ඒකමතිකව පිළිගැනීමක් බව වන බවට ඔවුහු චෝදනා කරති.

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද  (08) පස්වරුවේ බත්තරමුල්ල සිය පක්ෂ කාර්යාලයේ පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් මෙම අදහස් ප්‍රකාශ කළේ මෙසේය. 

‘‘එතකොට අපි තේරුම් ගන්න ඕනා ‘‘ලංකාවේ සිදු වුණායයි කියන මානව හිමිකම් උල්ලංගනය කිරීම එහෙම නැත්නම් යුධාපරාධ චෝදනා එහෙම නැත්නම් මානවපරාධ චෝදනා ඒවා පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයකට අපි ඒකග නෑ‘‘ කියලා නිත්‍ය නියෝජිතියා කියන ගමන් ඊට අදාළව දේශීය වශයෙන් අවශ්‍ය කරන ‘‘පරීක්ෂණය සිදු කිරීම සඳහා සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවන්න‘‘ (ඒකත් ජිනීවා මානව හිමිකම් කොමිසමේ නිර්දේශයක් නියමයක්) සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවන්න. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩු පැවැරීම වෙනුවට මේ වෙනුවෙන්ම පිහිටුවන ලද නඩු පැවරීම සඳහා පිහිටුවණු ලබන ‘‘ස්වාධීන අභිචෝධක කාර්යාලය‘‘ පිහිටුවන්න (ඒකත් ජිනීවා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්ගේ වාර්තාවේ සඳහන් නිර්දේශයක් නිගමනයක් විධානයක්) ඒ වගේම අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය දැනට එක්තරා දුරකට අකර්මන්‍ය වී තිබෙනවා, එය පණගන්වන්න, සක්‍රිය කරන්න. (ඒකත් මානව හිමිකම් කොමිසමේ සභාපති වාර්තාවේ සඳහන් නියමයක්). එතකොට මේ සියල්ලටම ශ්‍රී ලංකාවේ ජිනීවා නිත්‍ය නියෝජිතයා ඔහුගේ එම අදහස් දැක්වීමේදී එකඟ වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මෙතන පාවිච්චි වෙන්නේ ‘‘විරුද්ධ වෙනවා‘‘ කියන එක නෙවෙයි ‘‘ප්‍රතික්ෂේප කරනවා‘‘ කියන එක. ‘‘ඔපෝස් කියන එක නෙවෙයි රිජෙක්ට්‘‘ කියන එක.’’

''විජිත හේරත් කියන නල්ලමලේ තොත්ත බබා. විදේශ ඇමති තොත්ත බබාට කොන්ද පණ නෑ. මේ ආණ්ඩුවට කොන්ද පණ නෑ. විරුද්ධව ඡන්දයක් ඉල්ලන්න. බෙදීමක් ඉල්ලලා මේ රටට කවදත් සහයෝගය ලබා දුන්නු රටවල, මිත්‍ර රටවල සහයෝගය ලබාගන්න. ඒ මිත්‍ර රටවලටත් සිද්ධ වුණා මේ මහා දුෂ්ට වෑයමට මුනිවත රකිමින් ඔහේ  බලාගෙන ඉන්න.'' විමල් වීරවංශ තවදුරටත් කීවේය.

රජය විසින් ''සත්‍ය සෙවීමේ කොමිසම'', ''ස්වාධීන අභිචෝධක කාර්යාලය'' හා අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (O.M.P.) සක්‍රිය කිරීමට එකඟ වන බවට නිත්‍ය නියෝජිතයා ජිනීවාහිදී ප්‍රකාශ කර ඇත. ජානිපෙ අවධාරණය කරන්නේ මෙම දේශීය යාන්ත්‍රණ සියල්ල ජිනීවා නිර්දේශයන් වන අතර, ඒවා ක්‍රියාත්මක කිරීමෙන් යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව ''ව්‍යාජ සාක්ෂි මත පදනම්ව'' අපේ ආරක්ෂක හමුදා විරුවන් වරදකරුවන් කිරීමට ආණ්ඩුවම ඉඩ සලසන බවයි. මෙය මුලින්මනින්ම රට පාවාදීමේ දුෂ්ඨ ක්‍රියාවලියක් හා ''රණවිරුවන් බිලිදීමක් ලෙස ජනිපෙ  නායකයා අනාවරණය කළේය.

ඒකමතිකව සම්මත වූ මෙම යෝජනාවේ ප්‍රධාන නිර්දේශයක් ලෙස ''උතුරු නැගෙනහිරට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති සියලු බලතල ක්‍රියාත්මක කිරීමට පළාත් සභා මැතිවරණය පැවැත්වීම'' ඇතුළත් වන බව ජානිපෙ පෙන්වා දෙයි.  ආණ්ඩුව ලබන වසරේ අප්‍රේල් මාසයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වන බවද විමල් හෙලි කළේය. 

මැතිවරණය පැවැත්වීමෙන් පසු ''පොලිස් බලතල'' සහ ''ඉඩම් බලතල'' ඇතුළු අනෙකුත් බලතලද ක්‍රියාත්මක වීමට ඉඩ හැරීම, පළාත් සභා මගින් ''ප්‍රඥප්ති'' සම්පාදනය කරගැනීමට සහ එම ප්‍රඥප්තිවලට අත්සන් කරන ''රූකඩ ආණ්ඩුකාරවරයෙක්'' පත් කිරීම තුළින් රට ''පරමාධිපත්‍ය බලය බෙදුණු'' රාජ්‍යයක් බවට පත්වීමෙන්, අවසානයේදී ''වෙනම පාලන ඒකකයක්'' වෙත ගමන් කිරීමට ‘‘ඊලාම් මාවත’’ එළිපෙහෙළි වන බව ජානිපෙ අනතුරු අඟවයි.

ජාතික නිදහස් පෙරමුණ මෙම සමස්ත ක්‍රියාදාමය ''රාජ්‍ය විරෝධී, රාජද්‍රෝහී සහ දේශද්‍රෝහී'' ක්‍රියාවක් ලෙස හඳුන්වමින්, රටේ පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි ආණ්ඩුවකට තවදුරටත් රටේ ඉරණම තීරණය කිරීමට ඉඩ නොදී, ඊට එරෙහිව ක්‍රියාත්මක විය යුතු බවයි. නිහඬව සිටින විපක්ෂයද, මෙම ''දුෂ්ට මෙහෙයුමට කරගහපු "තක්කඩි විපක්ෂයක්" බවට පත්වෙමින් සිටින බවට ඔවුහු චෝදනා කරති..

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0