මාස 8කට පසු ආනයනකරුවන් සහ ගැනුම්කරුවන්ගේ උනන්දුව අඩුවීමෙන් වෙළෙඳපොළේ වෙනසක්...

වසර පහකට පමණ පසු අවසර ලබා දුන් වාහන ආනයනය හේතුවෙන් ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ පැවති වාහන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ තත්ත්වය මේ වන විට වෙනස් වෙමින් පවතින බව වාර්තා වේ. වාහන ආනයනය සඳහා අවසර ලබා දී මාස 8කට ආසන්න කාලයක් ගත වී ඇති අතර, මේ වන විට ගැනුම්කරුවන්ගේ උනන්දුව අඩුවීම සහ ජපානයේ වෙන්දේසි මිල අඩු වීම හේතුවෙන් වාහන මිල ගණන් යම් ප්‍රමාණයකින් පහත වැටී ඇති බව වාහන ආනයනකරුවෝ පෙන්වා දෙති.

Oct 6, 2025 - 14:02
Oct 6, 2025 - 14:32
 98
මාස 8කට පසු ආනයනකරුවන් සහ ගැනුම්කරුවන්ගේ උනන්දුව අඩුවීමෙන් වෙළෙඳපොළේ වෙනසක්...
  • වාහන මිල පහළට වැටෙයි.!

  • ලක්ෂ 15ක් දක්වා වාහන මිල පහළට.!

  • මේ තමයි වාහන ගන්න සුදුසුම අවස්ථාව?

  • මාස තුනේ කොන්දේසිය සපුරන්න දැන් බැරිවෙයි.!

  • 2025 පළමු මාස 8 තුළ වාහන ආනයන වියදම ඩොලර් මිලියන 918ක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාහන අපනයන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාවට අනුව, 2025 වසරේ පළමු මාස 8 තුළදී වාහන ආනයනය සඳහා වැය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 918ක් බව සඳහන් වේ. පුද්ගලික සහ වාණිජ වාහන ඇතුළුව, අගෝස්තු මාසය තුළදී පමණක් ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 249ක් බව එම වාර්තාවේ දැක්වේ.
වාහන ආනයනකරුවන් පෙන්වා දෙන්නේ වෙළෙඳපොළේ පැවති අධික ඉල්ලුම මේ වන විට අඩු වී ඇති බවත්, එය මිල පහළ යාමට ප්‍රධාන හේතුවක් බවත් ය.

වාහන ආනයනකරුවෙකු වන සමීර වීරවර්ණ මහතා (බීබීසී සිංහල සේවයේ වාර්තාවකට අනුව) අදහස් දක්වමින් කියා සිටියේ, රුපියල් ලක්ෂ 100 ක මිලට අලෙවි වූ වාහනවල මිල රුපියල් ලක්ෂ 5ක් පමණ අඩු වී ඇති බවය. රුපියල් ලක්ෂ 200 ක මිල පරාසයේ පැවති වාහනවල මිල රුපියල් ලක්ෂ 10 - 15 ත් අතර අගයකින් අඩු වී ඇති බවය.

"අවුරුදු 05කට පස්සේ තමයි ලංකාවේ මාර්කට් එක ඕපන් වුණේ. ඒ වෙලාවේ ලොකු රික්තයක් තිබුණා වාහනවලට. දැන් ඒක අඩු වෙලා තියෙන්නේ. මේ නිසා වාහන මිලේ යම් අඩුවක් වෙලා තියෙනවා" ඔහු පැහැදිලි කළේය.

මේ අතර ආනයනකරුවන් පොදුවේ පෙන්වා දෙන්නේ, විශේෂයෙන්ම ණය පහසුකම් ලබා ගැනීම රටේ ආර්ථික තත්ත්වය අනුව දැරිය නොහැකි වීම හේතුවෙන් රජයේ සේවකයින් වැනි කොටස්වල ගැනුම්කරුවන්ගේ උනන්දුව අඩු වී ඇති බවයි. "දැන් මාස දෙකක වගේ ඉඳලා වාහන යන්නේ ගොඩක් අඩුවෙන්. මිනිස්සු වාහන ගන්න එච්චර උනන්දුවක් නැහැ" ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර, මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, ආනයනය කරන ලද වාහන රේගු සටහන්කරයේ (CUSDEC) දිනයේ සිට දින 90ක් ඇතුළත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු බවට කොන්දේසියක් පනවා තිබේ.
වෙළෙඳපොළේ ඉල්ලුම අඩුවීම හේතුවෙන් දින 90 තුළ වාහන අලෙවි කර ගැනුම්කරුගේ නමට ලියාපදිංචි කිරීමට ඇති අපහසුතාව ආනයනකරුවන්ට ගැටලුවක් වී ඇත. දින 90 ඉක්මවූ වාහන සඳහා 3%ක දඩ මුදලක් අය කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා තහවුරු කළේය.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පවසන්නේ, වාහන මිල ගණන්වල සාමාන්‍ය ලෙස ඉහළ පහළ යාමක් පෙන්නුම් කරන බැවින් වාහනයක් මිල දී ගැනීමට පාරිභෝගිකයින්ට මෙය 'හොඳ අවස්ථාවක්' බවයි.
කෙසේ වෙතත්, වාහන මිල දී ගැනීමට අපේක්ෂාවෙන් සිටින පාරිභෝගිකයෝ තවදුරටත් මිල පහළ යනු ඇතැයි අපේක්ෂා කරති. ගැනුම්කරුවන් පවසන්නේ "තව ටික කාලයක් යද්දී නම් අපිට මීට වඩා අඩු ගාණකට වාහනයක් ගන්න පුළුවන් වෙයි කියල බලාපොරොත්තුවක් තියෙනවා" යනුවෙනි. රජයේ රැකියා කරන බොහෝදෙනා ද තවත් මිල පහළ යාමක් සිදුවුවහොත් පාවිච්චි කළ වාහනයක් මිල දී ගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටිති.

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0