ආවේ කොටු කරන්න... අන්තිමේ සාක්කිය කොටු‍වෙයි...

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගයයේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙසින් සහභාගි වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් ඒකකයේ ප්‍රධාන තොග පාලකවරයා නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කර ඇත්තේ පැමිණිල්ලේ චෝදනා සනාථ කිරීම සඳහා වුවත් වර්තමානයේ ඔහු වෙතින් ලැබෙන සාක්ෂි තුළින් විත්තියට නොව, පැමිණිල්ලටම අවාසිදායක පසුබිමක් නිර්මාණය වී ඇතැයි අලුත්කඩේ උසාවි ආරංචි මාර්ග සඳහන් කරයි.

Jun 18, 2026 - 23:23
 43
ආවේ කොටු කරන්න...  අන්තිමේ සාක්කිය කොටු‍වෙයි...

2026 ජුනි මස 17 වැනිදා 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගය


ආවේ කොටු කරන්න...

අන්තිමේ සාක්කිය කොටු‍වෙයි...


විත්තියේ තියුණු හරස් ප්‍රශ්න හමුවේ 


ප්‍රධාන තොග පාලක අසරණව නිරුත්තර වෙයි...

අධිකරණ වාර්තාකරු.


ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩු විභාගයයේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙසින් සහභාගි වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් ඒකකයේ ප්‍රධාන තොග පාලකවරයා නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කර ඇත්තේ පැමිණිල්ලේ චෝදනා සනාථ කිරීම සඳහා වුවත් වර්තමානයේ ඔහු වෙතින් ලැබෙන සාක්ෂි තුළින්  විත්තියට නොව, පැමිණිල්ලටම අවාසිදායක පසුබිමක් නිර්මාණය වී ඇතැයි අලුත්කඩේ උසාවි ආරංචි මාර්ග සඳහන් කරයි.


නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේඛ සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවියගේ මෙහෙයවීම යටතේ මෙම සාක්ෂිකරු ඉදිරිපත් කෙරුණත් ඊයේ (17) වනදා විත්තියේ අති දක්ෂ නීතිඥවරුන් වන ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන, නීතීඥ නයන්ත විජේසේකර නීතිඥ ඉසුරු ජයවර්ධන  යන මහත්වරුන්ගේ හරස් ප්‍රශ්න හමුවේ ප්‍රධාන තොග පාලක නිලධාරී එච්. එම්. ඩී. එන්. බණ්ඩාර මහතා මුළුමනින්ම පරාජයට පත් පත්වී ව්‍යාකූල ලෙස පරස්පර සාක්ෂි ඉදිරිපත් කරනු ලැබුවේ යැයි මහාධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි..


නිසි ප්‍රමිතියෙන් තොර “හියුමන් ඉමියුනොග්ලෝබියුලීන්” සහ “රිටොක්සිමැබ්” නමැති ප්‍රතිදේහ එන්නත් ඖෂධ කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා, රජයට රුපියල් කෝටි 14 කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා 13 ක් යටතේ පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේදී මේ දිනවල පැවැත්වෙමින් තිබේ. ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාගය සිදු කෙරෙන අතර, එදින මෙම නඩුකරයේ 7 වන දිනටත් සාක්ෂි ලබා දීම පිණිස මෙම සාක්ෂිකරු පැමිණ සිටියේය.  


කොන්දේසි සහිත ගැනුම් ඇණවුම් සහ CID ප්‍රශ්න කිරීම්

මෙහිදී විත්ති පාර්ශවයේ නීතිඥවරුන් විසින් සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීමේදී අනාවරණය වූයේ පැ 310 දරන ගැනුම් ඇණවුම් ප්‍රකාරව අදාළ ඖෂධය ලබා ගැනීමට අදාළව කොන්දේසි 12 ක් ඇතුළත් කර තිබූ බවත්, ටෙන්ඩරය ලබාගත් සැපයුම්කරු ඒ අනුව කටයුතු කිරීමට බැඳී සිටි බවත්ය. ඒ අනුව, ජනවාරි 13 වන දිනැති 135759 දරන ගැනුම් ඇණවුම පරිදි ‘හියුමන් ඉමියුනොග්ලෝබියුලීන්’ (IV 5g - 6g) සහ පැ 253 B ලේඛනයට අනුව 2023 වසරේදී ‘රිටොක්සිමැබ්’ (500mg 50ml) වයල් සැපයිය යුතුව තිබූ බව සාක්ෂිකරු පිළිගත්තේය.


ඖෂධ සැපයීම සඳහා සැපයුම්කරුවන් 41 දෙනෙකුට ඇණවුම් භාරදී තිබුණද, සාක්ෂිකරු විසින් අධ්‍යක්ෂවරයා වෙත යොමු කළ ලේඛන අදාළ වූයේ අනු අංක 1 සහ 2 යටතේ තිබූ රිටොක්සිමැබ් හා හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් යන ඖෂධ දෙකට පමණක් බවත්, සෙසු සැපයුම් අවස්ථා 39 පිළිබඳව මින් පෙර ඔහුගෙන් කිසිදු පාර්ශවයක් ප්‍රශ්න කර නොමැති බවත් මෙහිදී හෙළි විය.


තවදුරටත් සාක්ෂි දුන් ප්‍රධාන තොග පාලක නිලධාරියා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) තමන්ගෙන් මේ පිළිබඳව ප්‍රථම වරට ප්‍රකාශයක් සටහන් කරගත්තේ 2024 මැයි 28 වනදා බව පැවසීය. එම අවස්ථාව වන විටත් නඩුවේ දසවන චූදිතයා මාස තුනකට පෙර අත්අඩංගුවට ගෙන සිටි බව තමන් දින වකවානු වශයෙන් මතක නැතත්, බොහොමයක් චූදිතයන් මැයි 28 දිනට පෙර අත්අඩංගුවට පත්ව සිටි බව තමන් දැන සිටි බව ඔහු සඳහන් කළේය. එමෙන්ම 2024 අගෝස්තු මාසයේදීද ඇතුළුව තමන්ගෙන් ප්‍රකාශ තුනක් පමණ ලබාගත් බවත්, 2022 සැප්තැම්බර් 22 දින පැවති තොග තත්ත්වයන් පිළිබඳව මින් පෙර ප්‍රශ්න කර නොතිබූ බැවින්, ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමට මුල් වරට අවස්ථාව ලැබුණේ මෙම මහාධිකරණ භූමියේදී බවත් සාක්ෂිකරු කියා සිටියේය.


තාක්ෂණික දත්ත සහ රජයේ රස පරීක්ෂකවරයාගේ මැදිහත්වීම

නඩු විභාගයේදී වඩාත් අවධානයට ලක්වූයේ පැමිණිල්ල පාර්ශවයෙන් අධිකරණයේ විශාල දර්ශන තලයක් (Screen) මත දත්ත පෙන්වමින් සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කර තිබූ අවස්ථාවයි. විත්ති පාර්ශවයේ නීතිඥවරයා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ, එම වගුවේ අඩංගු දත්ත තමන් දුටුවේ ජීවිතයේ පළමු වතාවට බවයි. එය සී.ඩී. (CD) පටයක අඩංගු දත්ත සමූහයක් විය හැකි බව පිළිගත් ඔහු, එම සී.ඩී. පටය සැකසීමට තමන් කිසිසේත් මැදිහත් නොවූ බව අවධාරණය කළේය.


එමෙන්ම රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෛද්‍ය සැපයුම් අංශයේ පරිගණක ඒකකයට පැමිණි බව පරිගණක අංශයෙන් දැනගන්නට ලැබුණද, ඔවුන් තමන් හමුවීමට හෝ තොරතුරු විමසීමට නොපැමිණි බවත්, දත්ත සකස් කිරීම සම්බන්ධයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කිසිදු පරීක්ෂණයක් සිදු නොකළ බවත් හෙළි කළේය. ඒ අනුව, එදා අධිකරණයේ විශාල දර්ශන තලයක පෙන්වූ දත්ත, එදින දුටු අවස්ථාව හැර වෙනත් කිසිදු ආකාරයකින් තමන් නොදන්නා බව සාක්ෂිකරු විවෘත අධිකරණයේදී පිළිගත්තේය.


ඖෂධ කළමනාකරණ අත්පොත සහ කැබිනට් සංදේශ

අනතුරුව අටවන චූදිතයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසේකර මහතා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය. එහිදී සාක්ෂිකරුගේ අවධානය පැ 298 ලෙස සලකුණු කර තිබූ "Drug Manual" හෙවත් "ඖෂධ කළමනාකරණ අත්පොත" වෙත යොමු කෙරිණි. රාජ්‍ය ආයතන ඖෂධ කළමනාකරණය සඳහා භාවිතා කරන නිල මාර්ගෝපදේශ සංග්‍රහය මෙය බව පිළිගත් සාක්ෂිකරු, එහි සංස්කාරක මණ්ඩලය (Editorial Board) ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය සැපයීම් අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ (තාක්ෂණ හා සැපයීම්) සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ඖෂධවේදියා කටයුතු කර ඇති බවත්, ඔවුන් සියලු දෙනා වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් බවත් පැවසීය. මෙම අත්පොතේ 5 වන පරිච්ඡේදයට අනුව තොග තබා ගැනීම මාස 1 සිට 2 දක්වා විය යුතු බවත්, එදා සිටම ඖෂධ කළමනාකරණය සිදු කරන්නේ මෙම අත්පොතට බැඳෙමින් බවත් හෙළි විය.


මෙහිදී පැ 304 ලේඛනය පෙන්වූ අවස්ථාවේදී එය තමන් විසින් සකස් කරන ලද එකක් බවත්, එහි එවකට අධ්‍යක්ෂවරයාව සිටි වෛද්‍ය චන්දන විජේසිංහ මහතාගේ අත්සන ඇති බවත් සාක්ෂිකරු කියා සිටියේය. රැස්වීම්වලදී දත්ත පැහැදිලි කර ගැනීමට කිසිදු බාධාවක් නොතිබුණද, වෛද්‍ය චන්දන විජේසිංහ මහතා ඒ පිළිබඳව කිසිවක් විමසා නොතිබූ බවද හෙළි විය.


එසේම, 2022 සැප්තැම්බර් 26 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශයක සිංහල පිටපත (පැ 158) පෙන්වූ අවස්ථාවේදී, එහි තුන්වන පිටුවේ ඇති අත්සන තමන්ගේ බව සාක්ෂිකරු පිළිගත්තේය. එම අත්සන තමන් යෙදුවේ 2024 මැයි 28 වනදා සී.අයි.ඩී. යට ප්‍රකාශයක් දීමට ගිය අවස්ථාවේදී ඔවුන් පෙන්වා දුන් විට බව ඔහු පැවසීය. මූලික සාක්ෂි විභාගයේදී තමන් අමාත්‍ය මණ්ඩල සංදේශ පිළිබඳව දැනුවත් නැති බව පැවසුවේ තමන් කැබිනට් සංදේශ සකස් නොකරන බැවින් යැයි පැහැදිලි කළ සාක්ෂිකරු, පැ 304 ලේඛනයේ දත්ත සහ මෙම කැබිනට් සංදේශයේ ඇමිණුමක් වූ පැ 163 ලේඛනයේ දත්ත එක හා සමාන බව පිළිගත්තේය.


ඖෂධ හිඟය සහ තොග මට්ටම්වල පරස්පරතා

තුන්වන චූදිතයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරමින්, ඖෂධයක ගුණාත්මකභාවය සහ අනුමැතිය මෙන්ම W0R සහතික නිකුත් කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මඟින් බවත්, වෛද්‍ය සැපයුම් අංශය (MSD) මූලික වශයෙන් කරන්නේ තොග භාර ගැනීම, එක්රැස් කිරීම සහ කළමනාකරණය බවත් සාක්ෂිකරු ලවා තහවුරු කරගත්තේය.


2022 වසරේදී වෛද්‍ය සැපයුම් අංශයේ තත්ත්ව පාලන අංශයේ සහකාර අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු සිටි අතර, රිටොක්සිමැබ් ඖෂධය අයත් වූ අංක 7 අංශයේ සහකාර අධ්‍යක්ෂවරිය ලෙස චාන්දනී වන්නිආරච්චි මහත්මිය කටයුතු කර තිබුණි. එහි තොග පාලකවරයා වූයේ ප්‍රියන්ත දීපාල් කස්තුරිසිංහ මහතාය.


2022 ඔක්තෝබර් වන විට මෙරට පැවති බරපතළ ඖෂධ හිඟය පිළිබඳවද මෙහිදී කරුණු රැසක් අනාවරණය විය. 10V62 ලේඛනයට අනුව 2022 ඔක්තෝබර් 10 වන දින වන විටත් රිටොක්සිමැබ් ඖෂධයේ වෛද්‍ය සැපයුම් අංශයේ (MSD) තොග මට්ටම ‘ශූන්‍ය’ (0) වී තිබුණි. එහි ජාතික අවශ්‍යතාවය ඒකක 750ක් වූ අතර විවිධ රෝහල් සහ ආයතන සතුව තිබුණේ ඒකක 165ක් පමණි. තවත් අත්‍යවශ්‍ය ඖෂධයක මාසික අවශ්‍යතාවය 75ක් වුවද MSD තොගය ශුන්‍ය වී තිබුණි.


විවිධ ලේඛනවල තොග සංඛ්‍යාවන් අතර පරස්පරතා පැවතීම පිළිබඳව නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී, සාක්ෂිකරු පැහැදිලි කළේ දත්ත ලබා ගන්නා වේලාව අනුව එම වෙනස්කම් සිදුවන බවයි. "ප්‍රොන්ටො" (Pronto) පරිගණක පද්ධතියේ දත්ත එකම දිනයක් තුළ වුවද නිරන්තරයෙන් වෙනස් විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.


තවද, හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් ඇණවුමකට අදාළව ඒකක 49,750 ක් ලැබීමට තිබූ නමුත්, විවිධ වකවානුවලදී කොටස් වශයෙන් ලැබී තිබුණේ ඒකක 28,056 ක් පමණක් බවත්, ඉතිරි ඒකක 21,694 ක ප්‍රමාණය පද්ධතියේ ‘පෙන්ඩින්’ (Pending) ලෙස සටහන්ව තිබූ බවත් ගණන් හිලව් ඉදිරිපත් කරමින් තහවුරු කෙරිණි. මෙලෙස ඉහළ නිලධාරීන් ලබාදෙන නියෝග ක්‍රියාත්මක කිරීමට පහළ නිලධාරීන් බැඳී සිටින බවත්, එසේ නොකළහොත් විනය ක්‍රියාමාර්ග ගත හැකි බවත් සාක්ෂිකරු වැඩිදුරටත් පැවසීය.


නඩු විභාගය තවදුරටත් හරස් ප්‍රශ්න විමසීම සඳහා

පසුදින (18) පූර්වාහ්න 10.00 දක්වා කල් තැබිණි.


නිසි ප්‍රමිතියෙන් තොර “හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් සහ රිටොක්සිමැබ්” ප්‍රතිදේහ එන්නත් ඖෂධ කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයට රුපියල් කෝටි 14 කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා 13 ක් යටතේ එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 කට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුකරය මේ දිනවල ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාගයට ගැනෙයි.

කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී පසුගිය 17 වනදා බාල බෙහෙත් මිලදී ගැනීම පිළිබඳ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ, 7 වන දිනටත් සාක්ෂි ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් ඒකකයේ ප්‍රධාන තොග පාලන නිලධාරි එච්. එම්. ඩී. එන්. බණ්ඩාර මහතාගෙන් විත්තියේ නීතීඥ ප්‍රියන්න නාවාන මහතා සාක්ෂි විභාගය අරඹනු ලැබීය.

නීතිඥ: පැ 310 ගැනුම් ඇණවුම් ඖෂධය ලබා ගැනීමට අදාළ කොන්දේසි දොළහක් ඇතුළත් කර තිබෙනවා.

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: ටෙන්ඩරය ලබාගත් සැපයුම්කරු ඒ අනුව කටයුතු කළ යුතු වුණා.

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: අදාළ සැපයුම්කරු විසින් ඒ අනුව ජනවාරි 13 දිනැති 135759 දරන ගැනුම් ඇණවුම් ප්‍රකාරව හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් IV 5g - 6g සැපයිය යුතු ඖෂධ වූ බව ගැනුම් ඇණවුම් අනුව කිව හැකිද?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: පැ 253 B වෙත අවධානය යොමු කරන්න. 2023 රිටොක්සිමැබ් 500mg 50ml වයල් සැපයිය යුතුව තිබූ එකක්...

සාක්ෂිකරු: ඔව්, ඒ ගතයුතුම ඇණවුමක්.

නීතිඥ: සැපයුම්කරුවන් 41 දෙනෙකුට ඖෂධ සැපයීම සඳහා ඇණවුම් භාරදී තිබූ බව කියනවා. ඔබ අධ්‍යක්ෂකට යොමු කළ පැ 310 හා පැ 253 B අදාළ වන්නේ ඒ අනුව අනු අංක 1 හා 2 වන රිටොක්සිමැබ් හා හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් යන ඖෂධ දෙකට පමණයි.

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: ඒ දෙකත් කොන්දේසි සහිතව?

සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: අනු අංක 1 - 2 හැරුණාම ඉතිරි තොග සැපයුම් අවස්ථා තිස් නමයට අදාළව ප්‍රශ්න කළාද ඔබෙන්?

සාක්ෂිකරු: නැහැ.

නීතිඥ: විත්තියෙනුත් නැහැ?

සාක්ෂිකරු: නැහැ ස්වාමීනී.

නීතිඥ: ඒ වගේම සී. අයි. ඩී. ය මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළේ 2024 මැයි 28 වෙනිදා?

සාක්ෂිකරු: එසේය ස්වාමීනී.

නීතිඥ: ඔබේ ප්‍රකාශය ගන්නා විටත් ඔබ ප්‍රධාන තොග නිලධාරී?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: ඔබේ ප්‍රකාශය ගන්නා අවස්ථාව වන විටත් දස වන චූදිත ඊට මාස තුනකට පෙර අත්අඩංගුවට අරගෙන තිබූ බව ඔබ දන්නවාද?

සාක්ෂිකරු: දින වකවානු මතක නැහැ.

නීතිඥ: බොහොමයක් චූදිතයන් මැයි 28ට පෙර අත්අඩංගුවට පත්ව තිබූ බව දන්නවාද?

සාක්ෂිකරු: අත්අඩංගුවට පත්ව සිටි බව දැන සිටියා ස්වාමීනී.

නීතිඥ: 2024 මැයි 28 සී.අයි.ඩී. යට ප්‍රකාශයක් දුන් බව කීවා. එම ප්‍රකාශ 2024 අගෝස්තු 1 වැනිදා හා 24 වැනිදා ලබා ගත් බව මතකද?

සාක්ෂිකරු: ඔය ආසන්න කාල සීමාවේදී ප්‍රකාශ තුනක් ලබාගත් බව මතකයි.

නීතිඥ: 2022/09/22 වන විට පැවති තොග තත්ත්වය ප්‍රශ්න කළේ නැද්ද?

සාක්ෂිකරු: නැහැ.

නීතිඥ: ඒ අනුව ඊට අදාළ කරුණු කියන්න ලැබුණේ මුල් වරටද?

සාක්ෂිකරු: මේ අධිකරණයේදී තමයි දීර්ඝ විමසීමක් කරන්නේ.

නීතිඥ: පැ 293 හි තොග නොලැබුණු අවස්ථා ඊට පසු අවස්ථාවක පෙන්ඩින් (Pending) ලෙස පෙන්නුම් කරනවා නේද? අයිතමයක් කොටස් වශයෙන් ලැබී තිබුණත් ඉතිරි කොටස ලැබෙන තුරු පෙන්ඩින් නේද?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: ඔබගෙන් මේ තොග සම්බන්ධයෙන් පැමිණිල්ල මතින් දර්ශන තලයක් මත දත්ත පෙන්වා ප්‍රශ්න කළා නේද?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: එම දත්ත සහිත වගුව දැක්කේ පළවෙනි වතාවටද?

සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: සී ඩී පටයක අන්තර්ගත දත්ත සමූහයක් ඒ?

සාක්ෂිකරු: වෙන්න ඇති ස්වාමීනී.

නීතිඥ: ඔබ එම සී ඩී පටය සකසන්න මැදිහත් වුණේ නැද්ද?

සාක්ෂිකරු: නැහැ ස්වාමීනී.

නීතිඥ: ඔබට මතකද දෙපාර්තමේන්තුවට ආණ්ඩුවේ රස පරීක්ෂක ආවා?

සාක්ෂිකරු: පරිගණක අංශයෙන් දැනගන්න ලැබුණා.

නීතිඥ: ඔවුන් සම්මුඛ වුණේ නැද්ද?

සාක්ෂිකරු: නැහැ.

නීතිඥ: තොරතුරු විමසුවෙත් නැද්ද?

සාක්ෂිකරු: නැහැ.

නීතිඥ: දත්ත සකස් කිරීම ගැන රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කළාද?

සාක්ෂිකරු: නැහැ ස්වාමීනී.

නීතිඥ: ඒ අනුව මේ අධිකරණයේ විශාල දර්ශන තලයක සාක්ෂි දුන්නේ, එය එදා දුටු අවස්ථාව හැර වෙනත් ඒ දත්ත ගැන දන්නේ නැතිවද?

සාක්ෂිකරු: නැහැ, දන්නේ නැහැ.

(අටවන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නයන්ත විජේසේකර මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම අරඹයි)

නීතිඥ: ඔබ සාක්ෂි දෙද්දී ඔබේ අවධානය යොමු කළා. පැ 298 ලෙසින් සලකුණු කළ drug manual එකට. ඒකට සිංහලෙන් කියන්නේ මොකක්ද?

සාක්ෂිකරු: ඖෂධ කළමනාකරණ අත්පොත.

නීතිඥ: ඔය අත්පොත තමයි ඖෂධ කළමනාකරණ විෂය වෙනුවෙන් රාජ්‍ය ආයතන භාවිතා කරන මාර්ගෝපදේශ සංග්‍රහය?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: එහි රෝමන් ඉලක්කම් VI පිටුව බලන්න. එහි එඩිටෝරියල් බෝර්ඩ් (Editorial Board) කියා සඳහන් කර තිබෙනවා.

සාක්ෂිකරු: ඔව්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යක්ෂ වෛද්‍ය සැපයීම්, නියෝජ්‍ය අධ්‍යක්ෂ (තාක්ෂණ හා සැපයීම්) සහ ප්‍රධාන ඖෂධවේදී (සෞඛ්‍ය අමාත්‍යාංශය) යන නිලධාරීන් විසින් මෙය සාකච්ඡා කර තිබෙන්නේ.

නීතිඥ: ඔබ දැන් කී නිලධාරීන් තමයි මේ මැනුවල් (Manual) එක හදලා තියෙන්නේ. තවත් නම් කීපයක් තියෙනවා මේකට සහභාගි වුණ අය?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: ඔවුන් වෛද්‍ය ක්ෂේත්‍රයේ අය?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: පහ පරිච්ඡේදයේ තිබෙනවා 1 to 2 months කියලා. ඒ තොග තබා ගැනීම ගැනයි.

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: තමුන්ලා බැඳිලා ඉන්නවා මේ අත්පොත අනුව ඖෂධ කළමනාකරණයට?

සාක්ෂිකරු: එහෙම තමයි එදා සිට කරගෙන එන්නේ.

නීතිඥ: ඔබ ප්‍රධාන තොග නිලධාරී?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

(පැ 304 ලේඛනයට අවධානය යොමු කරවයි)

නීතිඥ: මේක හැදුවේ ඔබ?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: එහි අත්සනක් තිබෙනවා වෛද්‍ය චන්දන විජේසිංහගේ. ඔහු තමයි එවකට අධ්‍යක්ෂ?

සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: ඔබ සම්බන්ධ වන රැස්වීම්වලදී දත්ත ලබාදීම ගැන ඔබෙන් පැහැදිලි කර ගැනීම් කරගෙන ඇති. වැඩිදුර විස්තර ඕන නම් ඒවත් අහලා ඇති?

සාක්ෂිකරු: කරුණු විමසලා තියෙනවා.

නීතිඥ: ඔබ මේ පැ 304 ලේඛනයේ දත්ත ගැන පැහැදිලි කර ගන්න අවශ්‍යතාවක් තිබුණා නම් ඊට බාධා තිබුණාද?

සාක්ෂිකරු: නැහැ ස්වාමීනී.

නීතිඥ: වෛද්‍ය චන්දන විජේසිංහ ඇහුවෙත් නැද්ද?

සාක්ෂිකරු: නැහැ.

නීතිඥ: සී. අයි. ඩී විමර්ශන වලට සහාය දක්වන්න මැයි 28 ප්‍රකාශයක් දුන්නා?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: පැ 304 ඔබේ අත්සන තිබෙනවාද?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: 2022/09/26 අමාත්‍ය මණ්ඩල සංදේශයක සිංහල පිටපත පැ 158 ලෙස ලකුණු කර තිබෙනවා.

සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: මේ සංදේශයේ තුන පිටුව පෙරළන්න. ඔතන ඔබේ අත්සන තිබෙනවා.

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: මේ අත්සන 28/05/2024 සී.අයි.ඩී.යට ප්‍රකාශය ලබාදෙන්න ගිය අවස්ථාවේ පෙන්වා දුන් විට අත්සන් කළ එකක්?

සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: මේ අමාත්‍ය මණ්ඩල සංදේශයක්?

සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: පැ 304 ලේඛනය ඔවුන් පෙන්වද්දී ඔබ කියා සිටියා පැ 163 කියන්නේ ඒකේ ඇමිණුම් අංක 1 බව?

සාක්ෂිකරු: මම එහෙම සඳහන් කළ බව මතක නැහැ. සාරාංශ සටහන පෙන්වුවා, කැබිනට් සංදේශයත් පෙන්නුවා.

නීතිඥ: ඇත්ත කියන්න පැකිලෙන්න එපා. ඒ කියන්නේ තමන් හඳුනා ගත්තා අමාත්‍ය මණ්ඩල සංදේශය ඇමිණුමක් හැටියට?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: මූලික සාක්ෂිවලදී ඔබ කිව්වා අමාත්‍ය මණ්ඩල සංදේශ ගැන දැනුවත් නැහැ කියලා?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී, මම අමාත්‍ය මණ්ඩල සංදේශ කරන්නේ නැහැ.

නීතිඥ: පැ 163 හි තැනක තියෙනවා විස්තරය හා සාධාරණීකරණය කියලා?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: පැ 304 ලේඛනයේ දත්ත හා පැ 163 හි දත්ත සමානයි නේද?

සාක්ෂිකරු: සමානයි.

නීතිඥ: ඔබේ අත්සන ඇති තුන පිටුවේ "අපේක්ෂිත අනුමැතිය" කියලා හතරවන කොටසක් තියෙනවා නේද?

සාක්ෂිකරු: තියෙනවා ස්වාමීනී.

නීතිඥ: 4 - 1 හි සහ 4 - 2 හි අනුමැතිය ඉල්ලා තියෙනවා?

සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: 2022/09/22 දින තිබුණු රැස්වීම ගැන ඔබට මතකයක් තියෙනවානේ?

(57 ගොනුවේ ඇති 302 - ආ පෙන්වයි)

නීතිඥ: මේ රැස්වීමට සහභාගි වුණ එක් අයෙක් එවකට ලේකම් චන්ද්‍රගුප්ත?

සාක්ෂිකරු: ඔව්, SPC සභාපතිවරයා, සාමාන්‍යාධිකාරීවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එහෙමත් ආවා.

නීතිඥ: චන්දන විජේසිංහ මහතා ආවාද?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: පැ 282 කියන ලේඛනයේ පළමු පිටුව බලන්න.

සාක්ෂිකරු: 2022/09/26 සෞඛ්‍ය අමාත්‍යවරයාට ලියන ලද්දක්.

නීතිඥ: ඔක්තෝම්බරය එන්නේ සැප්තැම්බරයට පස්සේ?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: ඔබෙන් ඊයේ ප්‍රශ්න කරද්දී කීවේ සැප්තැම්බරයේ රැස්වීම සංවිධානය කළා කියලයි.

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: ඒ රැස්වීමේ සටහන 10V63 කියලා 10 වන විත්තිකරුගේ නීතිඥ ප්‍රශ්න කළා?

සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: 10V63 මීටින් මිනිට්ස් (Meeting minutes) සටහන්වල ඔබේ නමක් තියෙනවා.

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: ඔබ කිව්වා මතක නැහැ කියලා?

සාක්ෂිකරු: මට මතක නැහැ.

නීතිඥ: ඔබට රැස්වීමට ගියාද නැද්ද කියලාවත් මතක නැහැ?

සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: 10V 53 බලන්න. ඒත් රැස්වීමක මිනිට්ස්. ඔබ ඔය රැස්වීමේ මිනිට්ස් දකින්නේ පළමු වතාවටයි?

සාක්ෂිකරු: ඔව්.

(තෙවන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි)

නීතිඥ: ඖෂධයක ගුණාත්මකභාවය සහතික කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියයි.

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී, ගුණාත්මකභාවය හා අනුමැතිය.

නීතිඥ: W0R සහතික නිකුත් කරන්නේත් එතනින්ද?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: එම ආයතනයෙත් ඖෂධවේදීන් ඉන්නවාද?

සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: MSD එක මූලික වශයෙන් තොග භාර ගැනීම, එක්රැස් කිරීම හා කළමනාකරණය කරනවා.

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: MSD ව්‍යුහය විස්තර කළ හැකිද?

සාක්ෂිකරු: නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂවරු, ඔවුන් යටතේ ගණකාධිකාරීවරු, තොග පාලකවරු ඉන්නවා. ඊට පහළින් අනෙක් කාර්ය මණ්ඩල ඉන්නවා.

නීතිඥ: තත්ත්ව පාලන අංශයේ සහකාර අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් ඉන්නවා?

සාක්ෂිකරු: 2022 දී 2 යි.

නීතිඥ: ඖෂධ අංශයේ 2 යි?

සාක්ෂිකරු: 2022 දී සොලමන්ස් මහත්මිය හා වන්නිආරච්චි මහත්මිය.

නීතිඥ: රිටොක්සිමැබ් අයත් වන්නේ කුමන සහකාර අධ්‍යක්ෂවරයාටද?

සාක්ෂිකරු: අංක 7 දරන අංශයේ.

නීතිඥ: ඒ කියන්නේ චාන්දනී වන්නිආරච්චි මහත්මිය?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: තොග පාලක කවුද?

සාක්ෂිකරු: ප්‍රියන්ත දීපාල් කස්තුරිසිංහ.

නීතිඥ: වන්නිආරච්චි කියන්නේ 173 ලේඛනය අත්සන් කළ කෙනා?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: චෝදනා පත්‍ර අංක 163 යටතේ ඇය සාක්ෂිකාරියක ලෙස නම් කර ඇති බව දන්නවාද?

සාක්ෂිකරු: නැහැ ස්වාමීනී.

නීතිඥ: තොග පාලන අංශ ප්‍රධානී ලෙස ඔබ 10V63 හි සඳහන් රැස්වීමට සහභාගි වී තිබුණා?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: මෙවැනි රැස්වීමකදී ඔබට කතා කරන්න වෙනවා?

සාක්ෂිකරු: ප්‍රශ්න ඇහුවොත් උත්තර දෙනවා.

නීතිඥ: ඔබ මේ 10V53 හි සඳහන් රැස්වීමට සහභාගී වන්නේ කවුරුන් ලෙසද?

සාක්ෂිකරු: ප්‍රධාන තොග පාලන නිලධාරී ලෙස.

නීතිඥ: මේ ලේඛනයේ ඔබට යම් උපදෙසක් ලබා දී තිබේද?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී, ඖෂධ ක්‍රියාවලිය තුළ ඉහළ නිලධාරීන් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට පහළ නිලධාරීන් බැඳී සිටිනවා.

නීතිඥ: එවැනි උපදෙස් අනුව ක්‍රියා නොකළොත් විනයානුකූල ක්‍රියාමාර්ග ගත හැකිද?

සාක්ෂිකරු: පුළුවන් ස්වාමීනී.

නීතිඥ: ඖෂධ 182 ට අමතරව ADB, WB, UNOPS වැනි ආයතන වලිනුත් ඖෂධ ඉල්ලුම් කළාද?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: පැ 10V62 ලේඛනයේ අනු අංක 62 යටතේ ඇත්තේ කුමන ඖෂධයද?

සාක්ෂිකරු: රිටොක්සිමැබ්.

නීතිඥ: එය 2022 ඔක්තෝබර් 10 දිනයටත් පෙන්වන්නේ ශූන්‍ය බවද?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: ජාතික අවශ්‍යතාවය කොපමණද?

සාක්ෂිකරු: 750 යි ස්වාමීනී.

නීතිඥ: 2022/10/03 දිනට කොපමණ තිබුණාද?

සාක්ෂිකරු: ඒකක 145 ක්.

නීතිඥ: 10V61 අයිතම අංක 73 මාසික අවශ්‍යතාව කොපමණද?

සාක්ෂිකරු: 75 යි ස්වාමීනී.

නීතිඥ: MSD තොගය?

සාක්ෂිකරු: 0 යි.

නීතිඥ: ආයතනවල කොපමණ තිබුණාද?

සාක්ෂිකරු: 165 ක්.

නීතිඥ: ඔබ සඳහන් කළේ ඔක්තෝම්බර් තුන දිනට ඊමේල් පණිවිඩවල තොරතුරුද?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: පැ 244 ලේඛනය ප්‍රකාරව 10/3 දිනට තොග මට්ටම කීයද?

සාක්ෂිකරු: 145 යි.

නීතිඥ: අයිතම අංක 159 යටතේ ඔක්තෝම්බර් 6 දින කොපමණ තොග තිබුණාද?

සාක්ෂිකරු: 138 ක්.

නීතිඥ: 10V62 ලේඛනයේ අනු අංක 72 ට අවධානය යොමු කරන්න. එහි රිටොක්සිමැබ් කොපමණ තිබේද?

සාක්ෂිකරු: ශුන්‍යයි.

නීතිඥ: ආයතන වල කොපමණද?

සාක්ෂිකරු: 165 යි.

නීතිඥ: ජාතික තලයේ සංඛ්‍යා ගැන ලේඛන දෙකෙහි සංඛ්‍යා දෙකක් ඇයි?

සාක්ෂිකරු: දත්ත ලබා ගන්නා වෙලාව අනුව ඒ වෙනස සිදුවෙනවා. ප්‍රොන්ටො (Pronto) පද්ධතියේ දත්ත එක දිනක් තුළ වෙනස් විය හැකියි.

නීතිඥ: 2022/10/11 දිනත්, 12 හා 13 වන දිනත් අයිතම අංක 108 යටතේ තොග ප්‍රමාණය බලන්න. 13 වැනිදා 98 ක්. ඔක්තෝම්බර් 10 වනතුරු MSD තොගයක් ලැබුණේ නැහැ කියලා සඳහන් කළ හැකිද?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: පැ 270 ලේඛනයට ලැබුණු උපදෙස් පරිදි ඕඩර් ලිස්ට් (Order list) එකේ අයිතම 182 ට අදාළව ඇණවුම් ක්‍රියාත්මක කළා. හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් වෙනුවෙන් තොග පාලන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළාද?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: පැ 305, 306, 307 ලේඛන ලකුණු කළා මතකද?

සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: 306 ලේඛනයට අවධානය යොමු කරන්න.

සාක්ෂිකරු: 1 හා 2 ඇතුළු සහකාර අධ්‍යක්ෂවරු සහ සැපයුම්කරුවන්.

නීතිඥ: EO1 ලියුම V අංකයට පැරලල් (Parallel) තව අංකයක් තිබෙනවා. EO1 award එකට අනුව V කැටගරි (Category) එකක් දෙන්න කියලද මේ කියන්නේ?

සාක්ෂිකරු: ඔව්, award letter එකට අනුව.

නීතිඥ: පැ 293 ලේඛනය අනුව 00019 ඕඩර් ලිස්ට් එකට සැප්තැම්බර් 23 දිනට 49,750 ක් ලැබෙන්න තිබෙනවා. 2023/01/11 දිනට එම ඇණවුම් ලැබීමට තිබෙන බවට පස්වන චූදිත 21,694 ක් පෙන්ඩින් (Pending) ඇතැයි සඳහන් කර තිබෙනවා.

සාක්ෂිකරු: ඔව්, එහි අදහස ඒකක 28,056 ක් එම කාල පරතරය තුළ ලැබී ඇති බවයි.

නීතිඥ: (1V36 ලේඛනය සාක්ෂිකරුට පෙන්වයි) මෙයට අනුව නම්?

සාක්ෂිකරු: හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් 2021/spc/M/V/P/0019 ඇණවුම.

නීතිඥ: මෙම ලේඛනය අනුව 2021 සැප්තැම්බර් 16 දිනට 9,500 ක් ලැබී තිබෙනවා.

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: 9/16 දිනෙන් පසු ඖෂධ ලැබී තිබෙන්නේ කවදාද?

සාක්ෂිකරු: මේ ඇණවුමට යළි ඖෂධ ලැබෙන්නේ 10/20 දිනයි. එදින 9,500 ක් ලැබිලා.

නීතිඥ: 2022/11/25 දිනට කොපමණ ලැබිලාද?

සාක්ෂිකරු: 12,596 ක් ලැබිලා.

නීතිඥ: දෙසැම්බර් දාසය දිනට කොපමණ ලැබිලාද?

සාක්ෂිකරු: 6,260 යි.

නීතිඥ: 10/20 දින ලැබුණු 9,500 හා නොවැම්බර් 25 ලැබුණු 12,596 (වාර්තාවේ දෙසැම්බර් 25 ලෙසද සඳහන් වේ) සහ ජනවාරි 10 දින ලැබුණු 6,260 අනුව එකතුව කොපමණ ලැබිලාද?

සාක්ෂිකරු: 28,056 ක්.

නීතිඥ: සැප්තැම්බර් 23 සිට මේ ඇණවුම දක්වා ඖෂධ ඒකක 49,750 ක් ලැබීමට නියමිතව තිබුණා.

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: ඔබ එකතුව ලෙස සඳහන් කළ 28,056 අනුව, 49,750 න් තව කොපමණ අඩුද?

සාක්ෂිකරු: 21,694 ක් (වාර්තාවේ 23/94 ලෙස සදොස්ව ඇත).

නීතිඥ: පැ 308 හි සඳහන් වන්නේ ඒ බව නොවේද?

සාක්ෂිකරු: ඔව්, මේක ලැබී තිබෙන ඇණවුමක්.

නීතිඥ: 308 සටහන යටතේ 308 - 1 ලෙස ලකුණු කර ඇති 2022/spc/S/R/P/0076 ඇණවුම ක්‍රියාත්මක මට්ටමේ තිබුණේ නැහැ?

සාක්ෂිකරු: ඒක ICL යටතේ තිබුණ ඇණවුමක්.

නීතිඥ: මෙම X ඕඩරය (Order) කැන්සල් වී ඇති බව ඔබ දන්නවාද?

සාක්ෂිකරු: මම දන්නේ නැහැ.

නීතිඥ: X ඕඩර් තියෙන්නේ ICL ඒවා නේද?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: (2V 36 A වෙත සාක්ෂිකරුගේ අවධානය යොමු කරවයි) 000576 ඇණවුම 11/11 වනතුරු ලැබී නැහැ. පහළින් ඇති 000102 දරන ඇණවුමත් 11/11 වනතුරු ලැබී නැහැ?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී. මේ කරුණු ගැන සටහන් කර, තොග පාලක නිලධාරිනී වන 3 වන චූදිතත් සටහන් තබලා.

නීතිඥ: එම ලේඛනයේ උඩින්ම සටහන් කර තිබෙනවා?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: ඇය වෙත ලැබුණු තොරතුරු අධ්‍යක්ෂ වෙත සටහන් යොදමින් විමසලා තිබෙනවා නේද?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.

නීතිඥ: එහි ඉහළට තරු ලකුණින් පෙන්වන්නේ කුමක්ද?

සාක්ෂිකරු: 00643 - 22,500 ක් ලෙස සඳහන් වී තිබීමයි.

(නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා තවදුරටත් හරස් ප්‍රශ්න ඇසීමට නියමිතය. නඩු විභාගය 18 වනදා පෙරවරු 10. 00 දක්වා කල් තැබිණ.)

What's Your Reaction?

Like Like 0
Dislike Dislike 0
Love Love 0
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 0