“Rebuilding Sri Lanka”
කළමනාකරණ කමිටුව පත්කිරීම නීති විරෝධීයි...
නව ජනතා පෙරමුණෙන් ජනපතිට සංදේශයක්.
නව ජනතා පෙරමුණ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මහතා අද දින ජනාධිපති ලේකම්තුමන්ට සංදේශයක් බාර දෙමින් ජනාධිපතිවරයා විසින් “දිට්වා” සුළි කුණාටුවෙන් රටට සිදුවු අතිවිශාල හානියෙන් පසු අප රට නැවත ගොඩනගා ගැනීම සඳහා “Rebuilding Sri Lanka” කළමනාකරණ කමිටුව පත්කිරීම නීති විරෝධි බව ප්‍රකාශ කරන ලදී. එම සංදේශය භාරදීමෙන් අනතුරුව මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් උපතිස්ස කුමාරතුංග මහතා එම පත්කිරීම නීති විරෝදී වන්නේ කෙසේදැයි පැහැදිළි කළේය.
“දිට්වා” සුළි කුණාටුවෙන් රටට සිදුවු අතිවිශාල හානියෙන් පසු අප රට නැවත ගොඩනගා ගැනීම සඳහා රජය විසින් Rebuilding Sri Lanka නමින් අරමුදලක් ඇති කරන ලදී. නමුත් මෙවැනි ව්‍යසනයක දී 2005 අංක 13 දරණ “ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනතට” යටත්ව ව්‍යසන වැලැක්වීමට හා ලිහිල් කිරීමට මෙන්ම අදාල වැඩසටහන් ආරම්භ කීරිම සහ සහන පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ කටයුතු සැළසුම්කරණය මුළුමනින්ම අයත් වන්නේ “ව්‍යසන කළමනාකරණය සඳහා වු ජාතික සභාවට”ය.
ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත උල්ලංඝණය කරමින් ඊට පරිබාහිරව Rebuilding Sri Lanka අරමුදල පිහිටුවීම නීති වීරෝධි බව ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.
2005 අංක 13 දරණ පනතේ 16 සිට 18 දක්වා වගන්තිවල ඉතා පැහැදිලිවම සඳහන් වන්නේ අරමුදල් එකතු කිරීම සහ පවත්වා ගෙන යාමේ බලය ඇත්තේ එම “ව්‍යසන කළමනාකරණය සඳහා වු ජාතික සභාවට” බවයි. තවද පනතේ 18 වන වගන්තිය අනුව අදාල අරමුදල් විගණනය කළ යුතු බවට නියමයක් ද ඇත.
ඒ අනුව ව්‍යසන කළමනාකරණයට හා පුනරුත්ථාපනය සඳහා රජය වෙනුවෙන් අරමුදල් එකතු කිරීමට සහා පරිපාලනය කිරීමට නෛතික බලයක් Rebuilding Sri Lanka අරමුදලට නොමැති බව උපතිස්ස කුමාරතුංග මහතා ප්‍රකාශ කර සිටියේය.
තවද ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස මෙම අරමුදල පිහිටුවා ඇති අතර එහි සාමාජිකයින් ලෙස මෙරට ප්‍රබල ව්‍යාපාරිකයින් පිරිසක් පත් කිරීමද අරමුදලේ විනිවිදභාවය (Transperancy) හා වගවීම (Accountability) පිළිබඳව ගැටළුකාරී තත්ත්වයක් උද්ගත කරනු ඇති බව උපතිස්ස කුමාරතුංග මහතාගේ අදහස විය. එහි සාමාජිකයින් ලෙස,
1. බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ්
2. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම
3. ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව
4. විදේශ කටයුතු විදේශ රැකියා සහා සංචාරක අමාත්‍යාංශයේ යුරෝපීය සහා උතුරු ඇමරිකාව සඳහා අධ්‍යක්ෂ ජනරාල්
සුගීෂ්වර ගුණරත්න
5. හේලිස් සමුහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ
6. ජෝන් කීල්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්
7. එයිට්කන් ස්පෙන්ස් උප සභාපති පරාක්‍රම දිසානායක
8. බ්‍රැන්ඩෙක්ස් සමුහයේ ප්‍රධාන විධායක නිළධාරි අෂ්රොෆ් ඔමාර්
9. LoLC විධායක සභාපති ඉෂාර නානායක්කාර ඇතුළු පිරිසක් පත් කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව Rebuilding Sri Lanka අරමුදලේ වගකීම් ලෙස
අරමුදල ඵලදායි ලෙස කළමනාකරණ කිරීම
අවශ්‍යතා තක්සේරු කිරීම
පුමුඛතා සැකසීම
අරමුදල් වෙන් කිරීම
අනුමත ප්‍රතිසාධන කටයුතු සඳහා මුදල් නිකුත් කිරීම දැක්විය හැක.
ඒ අනුව ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනතේ වගකීම් හා Rebuilding Sri Lanka අරමුදලේ වගකීම් අතර ගැටුමක් ඇතිවන අතර එය යහපාලන මූලධර්ම (Good Governence) අමු අමුවේ උල්ලංඝණය කීරිමක් බව උපතිස්ස කුමාරතුංග මහතා තරයේ ප්‍රකාශකර සිටියේ ය. විශේෂයෙන්ම රටේ උත්තරීතර ආයතනය වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද පනතක් ආණ්ඩුව විසින් අමු අමුවේ බරපතල ලෙස උල්ලංඝණය කළ බව ද හේ ප්‍රකාශ කර සිටියේය.
අදාල පනත යටතේ පිහිටුවා ඇති ව්‍යසන කළමනාකරණය සඳහා වු ජාතික සභාවට මෙම ආපදා කළමනාකරණය බාර ව ඇත. මෙහි සභාපති ධූරය නිල බලයෙන් ජනාධිපතිවරයාට හිමිවන අතර අගමැතිවරයාට උප සභාපති ධූරය නිල බලයෙන් හිමිවේ. විපක්ෂ නායක වරයා ද මෙම ජාතික සභාවේ සමාජිකයෙකු වන අතර ඔහු විසින් නම් කරන තවත් නියෝජිතයින් පස් දෙනකු ද මෙම සභාවට ඇතුලත් වේ. ඔවුන්ට අමතරව ආපදාවක දී වැදගත් වන,
මහාමාර්ග
විදුලිබලය
පොලිසිය
ඉඩම්
ධීවර ඇතුළු විෂයන් 20 කට අදාල විෂය භාර අමාත්‍යවරුද මෙම ජාතික සභාව නියෝජනය කරනු ලබයි.
ඒ අනුව Rebuilding Sri Lanka අරමුදලට පත් කළ ව්‍යාපාරිකයින්ගේ යම් යම් ක්‍රියාකාරකම් පිළිබඳව දැනටමත් අවස්ථා කිහිපයක දී ගැටථකාරි තත්ත්වයක් ඇති වු බවද මෙම අවස්ථාවේ දී ද ඔවුන් තමන්ගේ ව්‍යාපාරික අරමුණු සාක්ශාත් කර ගැනීම සඳහා මෙම අරමුදල අවභාවිතා කළ හැකි බව අප තරයේ විශ්වාස කරමුයි උපතිස්ස කුමාරතුංග මහතා පක්ෂයේ මතය ඉදිරිපත් කළේය. විශේෂයෙන්ම ඉදිරියේ දී ආපදාවට ලක් වු නිවාස හා වෙනත් යටිතල පහසුකම් සම්බන්ධ කොන්ත්‍රාත් ඉදිරියේ දී මෙම ව්‍යාපාරිකයින් තම හිතවත් ඉදිකිරීම් සමාගම්වලට ප්‍රදානය කිරීම සඳහා පෞද්ගලික නැබුරුතාවයෙන් කටයුතු කරනු ඇති බව ද තවදුරටත් අපි විශ්වාස කරන බව උපතිස්ස කුමාරතුංග මහතා ප්‍රකාශ කර සිටියේය.
එබැවින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වග කියනු නොලබන මෙවැනි ව්‍යාපාරිකයින් මෙම Rebuilding Sri Lanka අරමුදල කළමනාකරණය කිරීමට පත් කිරීම නීති විරෝධි බව ද හේ පෙන්වා දුන්නේය.
එම නිසා මේ සම්බන්ධව ඔබතුමන් විසින් නිවරදි නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයන් ගෙන කටයුතු කරන ලෙසත් මෙම පිරිසගේ වත්කම් බැරකම් රටට හෙළි කරන ලෙසත් නව ජනතා පෙරමුණ වන අප විසින් ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින බව උපතිස්ස කුමාරතුංග මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.