සුද්දන්ගේ සාප්පුවක් පුංචි මිනිසුන්ගේ නගරයක් බවට පරිවර්තනය කළ විප්ලවීය මිනිසෙකුගේ කතාව...
සුප්‍රකට කාගිල්ස් සුපිරි වෙළඳ සැල් ජාලයේ හිමිකරු රංජිත් පේජ් කියලා කිව්වම අපි නං හිතන්නේ ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ. ඉස්සර සුද්දෝ පටන් ගත්ත, සුද්දන්ගෙන් පස්සේ අපේ රටේ ඉහළම ව්‍යාපාරිකයෝ පිරිසක් පරිපාලනය භාරගත්ත, ඉහළම පෙලේ සල්ලිකාර නම්බුකාර පැලැන්තියක් විතරක් ආව ගිය, කාගිල්ස් සාප්පු මේ රටේ උස් පහත් තරාතිරමකින් තොර සෑම අයෙකුටම, සෑම පුරවැසියෙකුටම ගොඩ වෙන්න පුළුවන් සුපර් මාකැට්ටුවක් බවට පත් කළේ ඔහු. ඒ කිව්වේ රංජිත්...
දිරියෙන් ලොව ජයගත් මිනිස්සු....
සන්තුස සරත් සමරනායක.
සුප්‍රකට කාගිල්ස් සුපිරි වෙළඳ සැල් ජාලයේ හිමිකරු රංජිත් පේජ් කියලා කිව්වම අපි නං හිතන්නේ ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ. ඉස්සර සුද්දෝ පටන් ගත්ත, සුද්දන්ගෙන් පස්සේ අපේ රටේ ඉහළම ව්‍යාපාරිකයෝ පිරිසක් පරිපාලනය භාරගත්ත, ඉහළම පෙලේ සල්ලිකාර නම්බුකාර පැලැන්තියක් විතරක් ආව ගිය, කාගිල්ස් සාප්පු මේ රටේ උස් පහත් තරාතිරමකින් තොර සෑම අයෙකුටම, සෑම පුරවැසියෙකුටම ගොඩ වෙන්න පුළුවන් සුපර් මාකැට්ටුවක් බවට පත් කළේ ඔහු. ඒ කිව්වේ රංජිත්...
ඒක මොනතරම් විප්ලවීය මොනතරම් පෙරලිකාර වැඩක්ද කියලා ඔබ මොහොතකට හිතන්න... ඒක කරන්න ඔහුට හැකි වුණේම ඔහු තුළ තිබුණ පෙරළිකාර ව්‍යාපාරික අදහස් නිසා... දඩබ්බර අදහස් කියලා කිව්වොත් වැරදි නැහැ.
රංජිත් කොහොමටත් පුංචි කාලෙ ඉඳන්ම දඩබ්බර චරිතයක්. ඔහු මුළු පවුලටම හිටිය නාහෙට නාහන හිතුවක්කාරයා නිසා තාත්තා වුණත් පුංචි කාලෙම ඔහුව අත ඇරලා දැම්මයි කියලා කියන්නේ...
පේජ්ලා කිව්වම කවුරුත් හිතුවේ මේ අය යුරෝපීය මූලයක් සහිත පවුලක් කියලා. ඒත් පේජ්ලා පරම්පරාවෙන්ම උප්පත්තියෙන්ම ලාංකිකයෝ. උපන්නේ යාපනයේ. පිය පරම්පරාවේ මුලත් යාපනේ. පේජ් කියන්නේ රංජිත් ගේ තාත්තගෙත් සීයට. එයා ක්‍රිස්තියානි ආගම වැළඳ ගන්න විට පල්ලියෙන් ලබාදීපු නාමය තමයි ''පේජ්''. ලංකාවේ පේජ් පෙළපත ඇරඹුනේ එහෙම...
පස්සේ පේජ්ලගේ තාත්තගේ තාත්තලා ව්‍යාපාරික කටයුතුවලට කොළඹ ඇවිත්...
රංජිත්ගේ පියා ඇල්බට් පේජ්. ඉගෙන ගෙන තියෙන්නේ කොළඹ ආනන්දයේ. පස්සේ කාලේ වෘත්තියෙන් එකවුන්ටන් කෙනෙක් වෙලා. එයාට දරුවො ඔක්කොම අට දෙනයි. පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ ගෝල්ෆේස් පිට්ටනියට පයින් ඇවිදින දුරක කොල්ලුපිටියේ. දරුවෝ අට දෙනෙකුගෙන් යුතු පවුලේ හත් වෙනියා තමයි රංජිත්.
රංජිත් ගේ සහෝදර සහෝදරියන් ඔක්කොම ඉගෙන ගෙන ලොකු ලොකු රස්සාවල් සොයාගත්තා. වැඩි දෙනෙක් තාත්තා වගේ එකවුන්ටන්ලා. අද නං ඒ ඔක්කොම රට රටවල්වල. හැබැයි රංජිත් හිතුවක්කාරයා නිසා ඉගෙන ගැනීමත් ටිකක් පරක්කු කරලා.
කොහොම හරි කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයට රංජිත් ඇතුළු වෙලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු කළා. සැලකිය යුතු කාලයක් ඇක්වයිනාස් විද්‍යාලෙත් ඉගෙනගෙන. අමුම අමු කොළඹයෙක් විදියට හැදුණු වැඩුණු රංජිත් පේජ් නාගරික දඩබ්බරයෙක්. තාත්තට කැමති විදිහට ට්‍රැක් එකට දාගන්නම බැරිවුණ දරුවෙක්. සමහර දවස්වල තාත්තා තරවටු කරනකොට රංජිත් කමිසය ගලවලා වීසිකරලා ගෝල්ෆේස් පිට්ටනියට දුවනවා. තාත්තා ටික දුරක් පස්සේ ගිහිල්ලා හති වැටුනම අත ඇරලා දාලා ගෙදර එනවා කියලයි ඉතිහාසය දන්න අය කියන්නේ.
රංජිත් එහෙම කරන්නේ සමහර විට එවකට ප්‍රකට ව්‍යාපාරිකයෙක් වුණු ඇල්බට් පේජ්ට ලැජ්ජ කරන්නත් වෙන්න ඇති...
යාපනයෙන් කොළඹට ආපු පේජ්ලා ඒ වෙනකොට කොළඹ ලොකුම ව්‍යාපාරික පැලැන්තියක්. විශේෂයෙන්ම සිනමා කර්මාන්තයේ දැවැන්තයෝ. සිලොන් තියටර්ස් සමාගම අයිති වෙලා වෙලා තියෙන්නෙත් ඒගොල්ලටනේ. ඒගොල්ලන්ගේ අයිතියට කොළඹ සිනමාහල් එහෙමත් තිබුණා. සිනමාවේත් දැවැන්තයෝ...
එහෙම වුණාට රංජිත්ගේ තාත්තා ඇල්බට් පේජ් සුද්දගෙ කාගිල්ස් සාප්පුවේ තමයි වැඩ කළේ. ඒකෙ චාටඩ් එකවුන්ටන් විදියට කලේ භාරදූර රස්සාවක්.
කාගිල්ස් සමාගමේ මුල ඇමරිකාවේ කාගිල්ස් සාප්පුව බව නොදන්නා කෙනෙක් නැහැ. ඔන්න සුදු මහත්තුරු 1948 දී ලංකාවට නිදහස දීලා යනකොට ඒ බොහෝ ව්‍යාපාර කරපු ව්‍යාපාරිකයොත් තමන්ගේ වත්කම් විකුණලා එක්කෝ පවරලා යන්නම ගියා. රංජිත්ගේ තාත්තා ඇල්බට් ඒ වෙනකොට එකවුන්ටන් කෙනෙක් විදියට එතන නිකන්ම ඉඳලා නෑ. එයා ඒ වෙනකොටත් කාගිල්ස් සමාගමේ කොටස් පුළුවන් තරම් මිලයට ගෙනතිබුණා. 1949 දේශීය ව්‍යාපාරිකයන් අතට විදේශීය කාගිල්ස් සමාගම පත්වුණේ එහෙම.
ඔන්න ඔය අතරේ පාසල් අධ්‍යාපනය නිම කරලා ලොකු මහත් වුණ රංජිත් පේජ්ටත් රස්සාවක් කරන්න වුවමනා වුණා. ඒත් තාත්තලාගේ පවුලේ සමාගමක රැකියාව කරන්න රංජිත්ට ඉඩක් ලැබුණේ නෑ. රංජිත් වගේ දඩබ්බරයෙක් විශ්වාස කරලා ආයතනයක වගකීමක් බාර දෙන්න ලොකු පේජ්, ඒ කිව්වේ ඇල්බට් පේජ් කැමති උනේ නෑ.
පුංචි කාලෙ ඉඳලම හොඳ අධිෂ්ඨාන ශක්තියක් තිබුණු රංජිත් පේජ් ගෙදරින් කකා බිබී නිකමෙක් වගේ සිය භද්‍ර යව්වනය ගත කරන්න කැමතිවෙලා නැහැ. ඔහුට මොකක් හෝ රස්සාවක් ඕනේ වුණා.
ඒ වුණත් ඇල්බට් පේජ්ගේ පුතා රංජිත් පේජ්ට, තාත්තා රස්සාවක් දෙන්නේ නැත්නම් වෙන රස්සාවක් දෙන මිනිහා කවුද... රස්සාවක් ගන්න පේජ් නාමය ඔහුට ලොකු බාධාවක් වුණා. ඊළඟට ඔහු හමුවුණේ සිය පවුලේ හිතවතෙකු වන කෝනල් පෙරේරා. කෝනල් මේ තරුණ කොලු ගැටයට එක්තරා අභියෝගාත්මක රස්සාවක් හොයලා දුන්නා....
ඒ අනුව ඔහු කළ මුල්ම රස්සාව මොකක්ද දන්නවද... කටුනායක ගුවන් තොටුපළට සුද්දෝ එනකොට ඔවුන්ට "වෙල්කම් බෝඩ්" අල්ලන් ඉන්න එක. ඊට පස්සේ ඒ මගීන්ගේ බඩු බෑග් උස්සාගෙන වාහන ළඟට ගෙනත් දෙන එක. සඳළුතලේ ජීවත්වුණු සුකුමාර රංජිත් පේජ්ට ඒකත් මරු අත්දැකීම. හැබැයි රංජිත් ඒ රස්සාව කලේ සතුටින්. රුපියල් 300ක වැටුපක් ලැබුණා. ඊට අමතරව කාගෙන් හරි ටිප් එක ලෙස ලැබෙන "සන්තෝසම්" මුදල මාසික වැටුප ඉක්මවා ගියා.
ඒත් රංජිත්ගෙ මේ රස්සාව පේජ් පවුලේ වැඩිහිටියන්ට ලජ්ජාවට කාරණාවක් වුණා. මේ දඩබ්බර හිතුවක්කාර කොල්ලගේ වැඩ පේජ් පවුලේ ගෞරවයට හානියක් කියලා වැඩිහිටියෝ ඇල්බට් පේජ්ට චෝදනා කළා. ඇත්ත තමයි, පේජ්ලා එහෙම සමාජයේ පල්ලෙහාට වැටෙන්න ඕන මිනිස්සු නම් නෙවෙයි.
ඔය චෝදනාවෙන් කොටසක් කෝනල් පෙරේරටත් ගියා. අන්තිමේ කෝනෙල් පෙරේරා තමන්ට අයිති කෝනල් ඇන්ඩ් කම්පැණි එකේ රංජිත්ට "සේල්ස්මන්" තනතුරක් ලබා දුන්නා. ඔහොම ටික කලක් ඔය රස්සාව කරමින් අත්දැකීම් ලබාගත්ත රංජිත් පේජ් ඊළඟට කළේ "අලෙවිකරණය" ගැන ඉගෙන ගන්න විදේශගත වුන එක. ඔහුගේ අධ්‍යයන මාතෘකාව වුණේ සුපිරිවෙළද සැල් කලමනාකරණය. ඒ කිව්වේ supermarket management ගැන.
ඔය අතරේ රංජිත් පේජ් විවාහ වෙලයි හිටියේ. ඔහුට ඔහුගේ පෙම්වතිය රෝෂණාරා හමුවුණේ ඇක්වයිනාස් එකේ ඉගෙන ගන්නා කාලේ. රෝෂනාරාත් රංජිත්ටම කැපෙන තරුණිය. දෙන්න වැඩි කල් නොගොස්ම විවාහ වුණා.
රංජිත් පිටරට ගිහින් ඉගෙන ගෙන ආපු සුපර් මාකට් ආකෘතිය ඒ දෙන්නා එකතුවෙලා අත්හදා බලන්න උත්සහහ කළා. කොම්පඤ්ඤ වීදියේ ස්ටේපල් පාරේ ගොඩනැගිල්ලක ඔවුන් සිය මුල්ම සුපර් මාකැට්ටුව ආරම්භ කළා. තරුණ පේජ් සිය බිරිඳ සමඟ මේ සඳහා ගොඩක් මහන්සි වුණා. මුළු සුපර් මාකට් එකේම වැඩ කළේ ඒ දෙන්නා විතරයි. සුපර් මාකට් ව්‍යාපාරයේ ප්‍රවණතා වගේම හුඟක් අඩුපාඩු හඳුනාගත්තා. හැබැයි ඔවුන්ට ඒ වැඩේ ලේසි වුණේ නැහැ. සමහරවිට පාඩුත් සිද්ධ වුණා. ඒත් ඔහුට උප්පත්තියෙන් උරුම වෙලා තිබුණේ ඇදහිය නොහැකි තරමේ ආත්ම ශක්තියක්.
පවුලේ උදවියගෙන් බැනුම් අහ අහා වුණත් අපහාස විඳ විඳ වුණත් රංජිත් සුපර් මාකට් ආකෘතිය පටන් ගත්ත එක අත්හැරියේ නෑ... ඔහු පස්සේ කාලෙ කිව්වේ ඒක තමයි සාරථකත්වයේ රහස කියලා. පටන් ගත්ත වැඩක් අතර මැද අත්හැරලා දාන්නේ නැතුව අඩුපාඩු හදාගෙන ඉදිරියට යන එක... ඔව්... ඔහු ඒක කළා.
මේ අතරේ ලොකු පේජ් හෙවත් ඇල්බට් පේජ්ටත් වෙන විකල්පයක් නෑ. රංජිත්ට වැඩිමල් සහෝදර සහෝදරියෝ ඔක්කොම ඉගෙන ගෙන විදේශගත වෙලා ගිහින්. කාගිල්ස් ව්‍යාපාරය බාර දෙන්න ඉතිරි වෙලා හිටියේ රංජිත් විතරමයි. ඉතින් ඒක ඔහුට නොදී කොහොමද..?
රංජිත් බාරගත්තාට පසු ටිකෙන් ටික මේ කාගිල්ස් සාප්පු ආකෘතිය සුපර් මාකට් ආකෘතිය දක්වා පරිවර්තනය කරන්න පටන් ගත්තා. හැම ප්‍රධාන නගරයකම පාහේ කාගිල්ස් සුපර් මාකැට්ටුවක් පටන් ගන්න සැලසුම් කළා. ඒක ලේසි අභියෝගයක් නෙවෙයි. මහා විශාල ආයෝජනයක්. ඒත් ඔහු ඒක පටන් ගත්තා.
සුද්දගෙ කාලේ 1800 ගණන්වල පටන් ගත්ත කාගිල්ස් සාප්පු සුපර්මාකට් බවට පරිවර්තනය කරද්දී ඔහුට එක වෙනසක් දැනෙන්න පටන් ගත්තා.
කාගිල්ස් සාප්පුවලට එන්න පුරුදු වෙලා හිටියේ එක්තරා පැලැන්තියක මිනිස්සු විතරයි. අපේ රටේ සාමාන්‍ය පොදු බහුතර ජනතාව සිටියේ කාගිල්ස් සංස්කෘතියෙන් බොහෝ පිට ඈත... වැඩිදෙනා කඩෙන් පොළෙන් බඩු ගත්ත මිනිස්සු.
ඒකට එක හේතුවක් තමයි කාගිල්ස් බඩුවල මිල. කාගිල්ස් එකේ තියෙන්නේ හොඳම බඩු කියලා විශ්වාසයක් මිනිස්සු අතර තිබුණා වගේම ඒවායේ මිලත් අනිත් තැන්වලට වඩා අධිකයි කියලා මතයකුත් සමාජයේ තිබුණා.
අනිත් අතට කාගිල්ස් සාප්පුව තියෙන්නේ අපට නොවෙයි ලොකු මිනිස්සුන්ට කියලා මතයකුත් සාමාන්‍ය ජනතාව තුළ තිබුණා. එක අතකින් ඒක ඔවුන් ඇති කරගෙන තිබූ කීර්තියක්. මිල අධික කීර්තිමත් කාගිල්ස් සාප්පුව තිබුනේ ලොකු මිනිස්සුන්ට යන්න එන්න කියන මතය බිඳින්න ලේසි නෑ...
රංජිත්ට ඕන වුණේ ඒ මතය බිඳින්න. බඩු මිල ටිකක් අඩු කරලා පහසු කරලා පුංචි මිනිස්සුන්ටත් ඇතුල් වෙන්න පුළුවන් විදියට ආයතන ජාලය නවීකරණය කළොත් අළෙවිය වැඩිකර ගත හැකි බව ඔහු කල්පනා කළා. කල්පනා කළා විතරක් නෙවෙයි. ඒ වෙනුවෙන් වැඩකළා. මැණිං මාකට්ටුව පැත්තෙ ගිහිල්ලා එළවළු පළතුරු ගෙනල්ලා මස් මාළු ගෙනල්ලා ඒවා ජනතාවට පහසු මිලට පිරිසිදුවට ගන්න පුළුවන් පරිසරයක් හැදුවා. වියදම අධිකයි. ඒ වගේම තමයි වැඩේ සාර්ථක වන පාටක් පෙනුනෙම නැහැ. පස්සේ රන්ජිත්ට මේ කාගිල්ස් වෙළදාම එපාම වෙලා ගියා.
ඊට පස්සේ ඔහු කල්පනා කළේ සිලොන් තියටර්ස් සමාගමට නව පනක් දීල චිත්‍රපට කර්මාන්තය යළි නඟා සිටුවන්න. චිත්‍රපට කීපයක් නිෂ්පාදනයනය කරන්න. ඕකට රංජිත් පේජ්ටත් පුංචි කාලෙ ඉඳලම තිබුනේ එසේ මෙසේ චිත්‍රපටි පිස්සුවක් නම් නෙවෙයි...
1980 දශකයේ අගභාගය දේශපාලනමය වශයෙනුත් රට ස්ථාවරත්වයක් පෙන්නුම් කළේ නැහැ. එක පැත්තකින් උතුරේ කලබල. ඒ මදිවට දකුණත් ගිනිකබලක් වගේ ඇවිලෙන්න අරගෙන. 88/89 භීෂණය තුළ බිස්නස් කියන එකත් අස්ථාවර වෙන්න පටන් ගත්තා. ඒවා ටිකෙන් ටික සමනය වුනේ ඩී.බී විජේතුංග මහත්තයා මේ රටේ පාලනය භාර ගත්තට පස්සේ.
එම පසුබිම යටතේ 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය රටේ බලය ලබා ගත්තා. ඔය වෙලාවෙත් චිත්‍රපටි කර්මාන්තයට තරමක් හොඳ වාතාවරණයක් රටේ ඇතිවුණ බව කියනවා. චිත්‍රපටි කර්මාන්තයේ නිරත සමාගම් හුස්මක් අරගෙන නැවත වැඩ ආරම්භ කරන්න කල්පනා කළා.
සිනමාව පැත්තේ ගොඩක් වගකීම් බාරගත්තේ සනත් ගුණතිලක කියන ප්‍රවීණ කලාකරුවා. සිනමා කර්මාන්තයේ නිරත වන සමාගම් හා ව්‍යාපාරිකයින් ගෙන්නලා මේක නගා සිටවන්නේ කොහොමද කියලා කතාබහ කරන්න ඔහු කතිකාවක් ආරම්භ කරලා තිබුණා. දවසක් ඔය වගේ කතිකාවක් වෙලාවක රංජිත් පේජ් එතෙන්ට ගියේ තමන්ගේ සමාගම තුළිනුත් චිත්‍රපටයක් දෙකක් නිෂ්පාදනය කරන්න මේක හොඳ අවස්ථාවක් වෙයි කියලා හිතාගෙන.
ඔය කතාබහට සනත් දේශපාලඥයෝ කීපදෙනෙකුටත් එන්න කියලා තිබුණා. එක්කෙනෙක් සරත් අමුණුගම. අනිත් එක්කෙනා මංගල සමරවීර. ඊළඟ එක්කෙනා තමයි එස් බී දිසානායක.
ඔය අවස්ථාවේදී එස් බී දිසානායක රංජිත් පේජ් සමග ලොකු කතාබහකට වැටුනා. එස් බී කියන්නෙත් පුදුමාකාර විදියෙ අලුත් අදහස් සහිත අලුත් විදියට හිතන කෙනෙක්...
රංජිත් තමන්ට අවශ්‍ය සුපර් මාකට් මොඩල් එක හා පොදු ජනතාව ඊට සහභාගි කරවා ගැනීමේ කන්සෙප්ට් එක එස් බී ඉදිරියේ විස්තර කළා.
"මට ඕන හොඳම දේ පුළුවන් තරම් ලාභෙට මිනිස්සුන්ට දෙන්න. කාගිල්ස් සුපර් මාකට් එක පුළුවන් තරම් පොදු ජනතාවට කිට්ටු කරන්න..."
"ඇසුරුම් කරපු කෑම බීම ඇරුනම වෙන මොනවද මිනිස්සුන්ට දෙන අලුත් අයිටම්..."
"හොඳම තත්ත්වයේ නැවුම් එළවළු සහ පලතුරු එක්ක මස් මාළු, සෞඛ්‍යාරක්ෂිතව..."
"බඩු ලාබෙට දෙන්න නම් උඹලා බඩු ලාබෙට ගන්නත් එපාය... කොහෙන්ද දැනට ගන්නේ..."
"දැනට ගන්නෙ නම් පිටකොටුවෙ මැණින් මාකට් එකෙන්.."
"එහෙම බෑ... එකම බඩුවෙන් එතකොට තුන්ගොල්ලක් උපයනවා. ගොවියා, අතර මැදි වෙළෙන්දන් හා අලෙවිකරු. එහෙම නෙවෙයි... අළෙවිකරුට කෙලින්ම ගොවියත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නම් අතරමැදියා ලබන අනිසි ලාභය අඩුකරලා පාරිභෝගිකයන්ට ලාභ මිලට බඩු දෙන්න පුළුවන් අලෙවිකරුත් ලාභයක් තියාගෙන...." එස් බී එහෙම කියනකොට ප්‍රායෝගිකව ඕක කොරන්නෙ කොහොමද කියලා හිතලයි රංජිත් පේජ් හිනාවුනේ...
"උඹ වරෙන් හඟුරන්කෙත. මං උඹලට ගොවියො හඳුන්වලා දෙන්නම්. උඹලට තියෙන්නේ ඒ බඩු එකතු කරල කෙලින්ම කොළඹට ගෙනත් සුපර් මාකට් වලට දාන්න...." එස් බී කාටත් කතා කළේ උබ බන් බොලන් කියලා. හිතවත්කමට.
ඔය කතාව එදා එතනින් ඉවර වුණා. රංජිත් පේජ් හඟුරන්කෙත යන්නත් දවසක් සූදානම් කළා. එස් බී ඒ පැත්තෙන් ගොවියන්ව සංවිධානය කළා. එවකට ලංකාවේ හිටපු හොඳම මාකටින් බුලට් එකක් වන ආචාර්ය සුනිල් ජයන්ත නවරත්නටත් එදාට එන්න කිව්වා. දැන් වැඩේ ලෑස්ති.
ඒ වුණාට රංජිත් පේජ් මේ ගමන ගියේ විනෝද ගමනක් යනවා වගේ හිත හදාගෙන. වැඩි බරක් දාන්නේ නැතුව කොට කලිසමකුත් ඇඳගෙන සැහැල්ලුවෙන් ගමන ගියේ අඩුම තරමින් චිත්‍රපටියකට හොඳ ලෝකේෂන් එකක්වත් බලාගන්න පුලුවන් නේද කියලා හිතාගෙන. ඒත් එතෙන්ට ගියාම තත්ත්වය ටිකක් වෙනස්. ගොවියො සීයක් විතර එකතුවෙලා. එස් බීත් ඇවිත්. ඔන්න සාකච්ඡාව ආරම්භ කළා...
ගොවියෝ අඩුමිලට අතරමැදියෝ එළවළු අරන් යන එක ගැන කතා කළා. දුක් විඳින ගොවියෝ නොයෙකුත් අඳෝනා නගන්න උනා. සමහර කිරි ගොවියො තමන්ට තිබෙන දුෂ්කරතා ගැන කිව්වා.
"වතුර බෝතලේ රුපියල් 60යි. කිරි බෝතලේ ගන්නෙ රුපියල් 30යි..."
"ඉතින් ඒකට මං මක් කරන්නද. රජය එපාය ඒක බලා ගන්න..." පේජ් එස් බීට කිව්වා.
"ඒ කිව්වේ කිරි එකතු කිරීම ගැන හිතනවනම්.... මෙතන ඒකටත් ඉඩක් තියෙනවා කියලා..." එස් බී පැහැදිලි කළා.
"හරි ඉතින් මම කොහේද මේ එළවළු එකතු කරලා ගබඩා කරගන්නේ..."
එස් බී ඒකට පරණ පොහොර ගබඩාවක් අස් කරලා කාගිල්ස් එකට බදු දුන්නා... එදා හිටියෙ අන්න එහෙම තීන්දු අරන් කෙලින් වැඩ කරන මිනිස්සු. රජයේ පොහොර ගබඩාවක් පුද්ගලික සමාගමකට දීලා රජයට පාඩු කළා කියලා අල්ලස් කොමිසමේ නඩු දාන්න තරම් ගොබ්බ ආකල්ප එදා සමාජයේ තිබුණේ නෑ. ඒක නිසා එදා ඒ මිනිස්සු එහෙම තීන්දු ගත්තා.
ඔන්න ඉතින් රංජිත් පේජ් එදා කොළඹ ආවේ චිත්‍රපටියකට ලොකේෂන් හොයාගෙන නම් නෙවෙයි. බිස්නස් එක අලුත් කරගන්න තියෙන හොඳම පාරක් හොයාගෙන.
පේජ් ඊට පස්සේ හඟුරන්කෙත වැඩේ නියමෙටම කළා. මුලින් මුලින් ටිකක් පාඩුයි. විශාල ලොරියක් දිනපතා හගුරන්කෙත ගියාට ඒකෙ ආවේ එළවළු පොඩ්ඩයි. ටික දිනක් යනකොට මේ ස්ථාවර මිලට සාධාරණ වෙළඳාමට ගොවියෝ පුරුදු වෙන්න ගත්තා. ගොවියෝ අස්වැන්න අඩුවක් නැතුව පරිස්සමින් පේජ්ලට ගෙනත් දීලා පාඩුවක් නැතුව ආදායමක් ගත්තා.
රංජිත් පේජ් සෞඛ්‍යාරක්ෂිතව නැවුම් එළවලු පලතුරු නාස්තියකින් තොරව කොළඹ ගෙනල්ලා ලාභෙට ජනතාවට විකුණන්න ගත්තා. ඔන්න ඔහොමයි කාගිල්ස් එකේ සුපිරි වෙළදාම එන්න එන්නම ජනතාව අතර තහවුරු වුණේ...
අන්න ඒකට ගැලපෙන්න පේජ් ඉතාම ලස්සන සංකල්ප තෝරගත්තා....
ඔහු මුලින්ම පටන් ගත්තේ ජනතාවගේ ඔලුවල තියන ආකල්ප වෙනස් කරන්න. කාගිල්ස් එක තවදුරටත් ටයි කෝට් අඳින පළඳින ඉහළ පැලැන්තියේ සාප්පුව නොවේ කියන අදහස ජනතාවට දෙන්න. ඊට පස්සේ "අඩුම මිලට බඩු".,."ලෝවස්ට් ප්‍රයිස්" කියන සංකල්ප ජනගත කරන්න. ''හදවතින්ම ශ්‍රී ලාංකිකයි'' කියන සංකල්පයත් එකක්. ඒ තුළින් ජනතාවට අඩුම මිලට බඩු දෙමින් කාගිල්ස් එකට එන පාරිභෝගිකයන් ප්‍රමාණය දෙගුණ තෙගුණ කරගත්තා. ඒක කාලයාගේ ඇවෑමෙන් රංජිත් පේජ්ට අමාරු උනේ නෑ....
ඔන්න ඔහොම ටික කලක් යනකොට "ගෙදර යන ගමන්" කියලා සංකල්පයකුත් එක්ක කාගිල්ස් "food city" කියන සංකල්පය ජනගත කරන්න පේජ්ට පුළුවන් වුණා. ඇත්තම කියනවනම් මිනිස්සු වැඩ ඇරිලා ගෙදර යන ගමන් ගෙදරට අවශ්‍ය අඩුම කුඩුම තමන්ගේ හිතේ හැටියට තෝරා ගෙන යන්න පෙළඹුණා. පුංචි මිනිස්සු උණත් ඇවිල්ලා එදා රෑට ගෙදර උයන්න උවමනා බී ලූණු ගෙඩි දෙක, අමු මිරිස් කරල් තුන හතර, දෙහි ගෙඩිය, පොල් ගෙඩිය හාල් කිලෝව කිරි බෝතලේ විතරක් නෙවෙයි, පැනඩෝල් පෙත්ත බෙහෙත් ටික උනත් එකම වහලක් යටින් තමන්ගේ හිතේ හැටියට තෝරගෙන යන්න පෙලඹිලා හිටියා. ලූනු ගෙඩියක් අමු මිරිස් කරලා තක්කාලි ගෙඩියක් හිතේ හැටියට තෝරා ගන්නවට වෙළඳ සේවකයෝ කවුරුවත්ම විරුද්ධ උනේ නෑ. ජනතාවට එතනින් විශාල ලාභයක් ලැබෙන්න පටන් ගත්තා...
පොළට ගිහින් අමු මිරිස් සීයක් ලූනු පන්සීයක් ගත්තොත් තැලිච්ච පොඩි වෙච්ච නරක් වෙච්ච ඒවත් එක්කයි කිරන්නේ. හැබැයි ෆුඩ් සිටියේ අපිට අමු මිරිස් සීයට තියෙන කරල් ගාන තෝරලා හොඳම එකෙන් ගන්න බාධාවක් නෑ. අල ලූනු එළවළු පරිප්පු පලතුරු ඒ හැම දෙයක්ම එහෙමයි. ඉතින් කොයි මිනිහද කාගිල්ස් ෆුඩ් සිටි එකක් ළඟ තියෙද්දි ඒක පහු කරන්න ලාබෙට බඩු ගන්න කියලා හිතාගෙන පොළට ගියේ...
රංජිත් පේජ් මේ පොළොවේ පය ගහලා හිටපු මිනිහෙක් හැටියට ඔහු වෙනස් කළේ ඒගොල්ලන්ගෙ තාත්තලගේ හිත් වල තිබුණු පුහු මාන්නක්කාරකම විතරක් නෙවෙයි. කාගිල්ස් සාප්පුවට අපිට ගොඩ වෙන්න බෑ කියලා අපේ රටේ කුලී වැඩ කරන දුප්පත් දවස් පඩියට වැඩ කරන පුංචි මිනිස්සුන්ගේ හිත්වල තිබිච්ච හීනමානයත් ඔහු එක පාර නැති කරලා දැම්මා...
ඉතින් එහෙම ජනතාව වෙනුවෙන් වැඩ කරන මහා පරිමාණ ව්‍යාපාරයක් අසාර්ථක වෙන්නේ කොහොමද...
සෙල්ලමක් නෙවෙයි. කාගිල්ස් ව්‍යාපාරය දැන් රට පුරාම ප්‍රචලිත ජනතාවගේ ව්‍යාපාරයක් වෙලා. අවශ්‍ය දේවල් අවශ්‍ය විදියට අවශ්‍ය ප්‍රමාණයෙන් තෝරගෙන යන්න නිදහස තියන කාගිල්ස් වෙළඳසැල් දැන් රට පුරාම ප්‍රචලිතයි. ඉස්සර අග නගරයේ කොළඹ කොටුවට, නුවරඑළියට මහනුවරට වගේ නගර කීපයකට විතරක් සීමා වෙලා තිබිච්ච මේ ව්‍යාපාරය දැන් රටේ නැති නගරයක් නැති ගමක් නැහැ කියලා කිව්වොත්... ඔව් ඒක ඇත්ත. රට වටේම අද කාගිල්ස් වෙළඳ සැල් 550ක සුපර් මාකට් ජාලයක්. ඒවයේ සේවය කරන සේවක සේවිකාවෝ 8 000ක්. පුංචි කාලෙම මුරන්දු වෙලා රස්සාවක් කරන්න යන්නේ නැතුව තමන්ගෙම ව්‍යාපාරයක් තමන්ට ඕන විදිහට පටන් ගන්න ඕන කියලා දෙමව්පියොත් එක්ක තර්ක කර කර ආරම්භ කරපු විප්ලවීය වෙනස සුළු පටු නෑ නේද... ඉතින් ඔන්න ඔහොමයි රංජිත් පේජ්.
දැන් හඟුරන්කෙත විතරක් නෙවෙයි, රට වටේම ඉන්න එළවළු පලතුරු වගා කරන ගොවි මහත්තුරු 10 000ට වැඩි පිරිසක් කාගිල්ස් සමග බද්ධ වෙලා ව්‍යාපාර කරනවා. ඒ හැමෝම සතුටින්. තමන්ගේ නිෂ්පාදන සීයට සීයක් ආරක්ෂිතව කාගිල්ස් එකට ලබාදීලා පාඩුවක් ලැබූ නැතුව ප්‍රතිලාභ ගන්න එක ගොවියන්ගේත් වාසනාව.
රංජිත් ඔය අතර වැහිලා යන්න ගිය තව තවත් නිෂ්පාදන ආයතන ගණනාවක් ගොඩ ගන්න දායක වුණා කියලා කිව්වොත්... ඔව් ඒ අතරින් එකක් තමයි "මැජික් අයිස් ක්‍රීම්" බවට පත් වුණ අයිස් ක්‍රීම් ව්‍යාපාරය. ඒකෙ උනත් හිතුවක්කාර විදිහට පොඩි පොඩි වෙනස්කම් කිහිපයයි කළේ. අයිස් ක්‍රීම් වලට අඹ කෑලි ටිකක් දැම්මා. මැන්ගෝ අයිස්ක්‍රීම් හැදුනා... රංජිත් පොඩි පොඩි බිස්නස් ට්‍රික්ස් ගැන කිව්වේ එහෙම.
"මිනිහෙකුට දියුණු වෙන්න ඕනම නම් හිතන විදිය වෙනස් කරන්න ඕන. මං කාගිල්ස් එකේ රස්සාව භාරගත්තේ 1982 දී. කාගිල්ස් කනපිට හරවන වැඩේ පටන් ගත්තෙ 1983 දී. හැබැයි එකපාර සාර්ථකත්වයක් දකින්න බැරි වුණා. කාගිල්ස් සාප්පු ආකෘතිය සුපර් මාකට් එකක් කරන්න ලේසි වුණේ නැහැ. එක එක වෙනස්කම් කලා. අසාර්ථක වුණා. හැබැයි මම අත ඇරලා ගියේ නෑ. අසූතුනේ විප්ලවය පටන් ගත්තට රටේ තිබුණු කලබලකාරී දේශපාලන අලකලංචිත් එක්ක සාර්ථකත්වයක් දකින්න හුඟක් කල්ගියා. අන්තිමේ මට ඕන ට්‍රැක් එකට මේ ව්‍යාපාරය වැටෙන්න පටන් ගත්තේ 1995න් වගේ පස්සේ..." මට මතකයි රංජිත් පේජ් එක්තරා පුවත් පතකට ඔහොම කියලා තිබුණා.
ඒ පත්තරේ ලියුම්කරු පේජ්ගෙන් මෙහෙමත් අහල තිබුණා...
ඔබෙන් පස්සේ මේ ව්‍යාපාරය ඔබේ දරුවන්ටද...?
"ඒක කවදාවත්ම වෙන එකක් නැහැ. මගේ දුව ''රායා'' බිස්නස් ගැන කිසිම උනන්දුවක් නෑ. එයාගේ විෂය පථය සමාජ විද්‍යාව. පුතා ''රන්දීර්''. එයා පිටරට බිස්නස් ඩිග්‍රියක් කරාට මම හිතන්නේනෑ මේ ව්‍යාපාර භාර ගන්න එයි කියලා.
කොටින්ම කියනවා නම් කාගේල්ස් කියන්නේ දැන් ෂෙයා හෝල්ඩර්ස්ලා ඉන්න පබ්ලික් ව්‍යාපාරයක්. මේක තවදුරටත් පැරණි ආකෘතියට අනුව තාත්තගෙන් පුතාට පුතාගෙන් එයාගේ පුතාට යන පවුලේ ව්‍යාපෘතියක් නෙවෙයි. මම එහි හිමිකරු නෙවෙයි. සභාපතිවරයා පමණයි. දැන් මේ වගේ ව්‍යාපාර පවුලේ බූදලයක් විදියට පවතින්නේ නෑ. මම තාත්තගෙන් ගත්ත ව්‍යාපාරය ගොඩක් වෙනස් කළා. ඉදිරියටත් ඒක වෙනස් වෙමින් වෙනස් වෙමින් අලුත් වෙන සමාජය සමඟ වෙනස් වෙමින් පවතීවි. කාලයේ තාලයට අනුව එහෙම වෙනස් වුණේ නැත්නම් ජනතාව අතරින් මේ ව්‍යාපාරය අවලංගු වෙලා යාවි....
රංජිත් පේච් අන්න එහෙම ඒ මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට උත්තර දීලා කථිකාව අවසන් කරලා තිබුණා...
එහෙනම් ඉතින් තවත් මොනවද. අපිත් මේ කතා බහ අවසන් කරනවා හැර...
What's Your Reaction?
Like
1
Dislike
0
Love
0
Funny
0
Angry
0
Sad
0
Wow
0

